උකුස්සන්ට අල්ලගන්න අපි මාලු දෙන්න ලෑස්ති නෑ – ඇමති ප්‍රසන්න රණතුංග

Spread the love

යහපාලන ආණ්ඩුව ගෙන ආ රටට අහිතකර අණපණත් සියල්ල ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ අහෝසි කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුව ද එහි විශ්වාසවන්ත පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍යය බව පැවසු ඇමති රණතුංග මහතා ඒ නිසා මෙවර පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ මහින්ද හැර නොයන විශ්වාසවන්ත පුද්ගලයන් පමණක් බව ද කීවේය. මේ නිසා මහින්ද මහත්තයා දාලා නොයන කොන්ද කෙළින් තියෙන මිනිසුන් පාර්ලිමේන්තුවට එවන්නැ‘යි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කළේය.

අද (21) පැවති මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්විම නයිවල සිටි සෙන්ටර් ශාලාවේ දී පැවැත්විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ මහින්ද රටේ නායකත්වයට පත් කිරීම සදහා එදා අපි ආරම්භ කරපු සටනේ අවසන් මෙහෙයුම තමයි මේ මැතිවරණය. අවුරුදු තුනක්, හතරහමාරක් මම මේ වෙනුවෙන් දුක් වින්දා. මේ රටට ආදරය කරන මිනිසුන් දුක් වින්දා. අපිව හැමදාම FCID  ගෙනිච්චා. අපි වැරදි කරලා නැති නිසා අපි බය වුණේ නෑ. මම හැමදාම හෘද සාක්ෂියට එකගව වැඩ කරපු මිනිහෙක්. අපිට තනතුරු වරප්‍රසාද දෙන්න අඩගැහුවා. ඒත් අපි මහින්ද මහත්තයාව දාලා ගියේ නෑ.

මහින්ද මහත්තයාව අගමැති කරලා අපි හදන්න හදන්නේ නීතිගරුක රටක්. සැමට එක සමාන රටක්. එක නීතියක්.  ඒකට නායකත්වය දෙන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා සමග මහින්ද අගමැතිතුමා. වසර තිහක යුද්ධය අවසන් කරලා රට ගොඩනගන වැඩ පිළිවෙලක් සකස් කළා. ඒ වැඩ පිළිවෙල 2015 දී අතරමග දී නතර කෙරුණා. ඒ සංවර්ධනය නැවත රට තුළ ඇති කරන්නයි අපි ආණ්ඩුවක් පිහිටුවන්න බලය ඉල්ලන්නේ. සමහරු අහනවා ගෝඨාභය ජනාධිපති වෙලා මාස 08යි. මොනාද කළේ කියලා. ගෝඨාභය මහත්තයා බලයට පත්වෙලා මාස 08 ක් වුණත් පළවෙනි මාස 03 එජාප බහුතර බලයක් සමගයි අපිට ආණ්ඩුව ගෙනියන්න වුණේ. එජාපය කළේ ඒ කාලයේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමයි. ඊට පස්සේ පහුගිය කාලය කුළ කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව රැක බලාගන්න කාලය ගත වුණා. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ජෝඩුව කොරෝනා කාලේ බලයේ හිටියානම් මේ රටේ හැම ගෙදරකටම සුදු කොඩි දාන්න වෙනවා. රටේ මිනී කදු ගොඩ ගැහෙනවා. රට තුල සමූහ මිනීවල වල් හැදෙනවා.

කොරෝනා වසංගතයෙන් මේ රට මුදා ගත්ත එක තමයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා රටට කරපු ලොකුම සේවය. ඒක පිළිගන්න බැරි පාට කණ්ණාඩි දාලා බලන උදවියට විතරයි. පාස්කු ප්‍රහාරය ගැන සියලු තොරතුරු දීලා ඒක නවත්ගන්න බැරි වුණ යහපාලනය කොරෝනා එනකොට හිටියා නම් මේ රටට දෙවියන්ගේ ම පිහිට තමයි. ගෝඨාභය මහත්තයාගෙන් රට ඉල්ලන වෙනස කරන්න නම් අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනේ.

පහුගිය යහපාලන ආණ්ඩුව තුනෙන දෙකක බලයක් තියාගෙන කටයුතු කළේ රටට හිතකර අණපණත් ගෙනෙන්න නෙමෙයි ඔවුන් කටයුතු කළේ අන්තවාදී දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ අවශ්‍යතා ඉටු කරන්නයි. ඔවුන්ට අවශ්‍ය පරිදි රටේ නීති සම්පාදනය කරන්නයි. ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හැදුවේ ඒකටයි. යහපාලන ආණ්ඩුවට තිබුණ ලොකුම වුවමනාව තමයි සමලිංගික පණත සම්මත කිරීම. ඒ වගේ ම බෞද්ධ ආගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තිබුණ අවස්ථා අහිමි කරන එක. රටේ ජනතාවගේ වාසනාවට තමයි පහුගිය ජනාධිපතිවරණයේ දී මේ යහපාලන නාඩගම ඉවර වුණේ. දැන් ආපහු වතාවක් මේ නාඩගම රගදක්වන්න ලෑස්ති වෙනවා. මේ පාර මහ මැතිවරණයෙන් මේ යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා.

පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ගෙනාපු රට වනසන අණපණත් සියල්ල අගෝස්තු 05 වෙනිදා පත් වන අපේ ආණ්ඩුව විසින් අහෝසි කරනවා. රටටත්, ජනතාවටත් අහිතකර මේ අණපණත් තවදුරටත් පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය නෑ.

 මේ අණපණත් අහෝසි කරන්න අපට තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ආණ්ඩුවට පත් කළ යුත්තේ මහින්ද අතහැර නොයන මහින්ද වෙනුවෙන් පෙනී සිටින විශ්වාසවන්ත පුද්ගලයන් පමණයි. ඒ නිසා මෙවර මැතිවරණයේ දී මහින්ද හැර නොයන අය පාර්ලිමේන්තුවට පත් කරන්න. මතකනේ මෛත්‍රී කිවුවා උකුසු කථාවක්. මෛත්‍රී උකුස්සා ලෑස්ති වෙන්නේ මොකාට ද කියලා අපි හොද අවධානයෙන් ඉන්නේ.

උකුස්සන්ට අල්ලගන්න අපි මාලු දෙන්න ලෑස්ති නෑ. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාට නැවත උකුසු සෙල්ලම් දාන්න ඉඩ නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපේ වගකීම. ඒ වගකීම ඉටු කරන්න අපි සුදානම්. ඒ නිසා පොහොට්ටුව අතහැර නොගිය පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. වසර හතරක්, පහක් දුක් විදපු අපිට නැවත වළේ වැටෙන්න බෑ”.

මිනුන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

RSL

Related Posts