ඉන්දියාව අපනයන කරන කුළුබඩුවලින් 40%ක් ව්‍යාජ ඒවා බව හෙළිවෙයි

Spread the love

සැපසුම්දාම තවම අඩාලයි – ඒත් සැපයුම ඉහළ ගිහින්

ව්‍යාජ නිෂ්පාදන සොයා ගන්න digital “food fingerprinting” technology එයි

කහ ආනයනය නවතා දැමීම සමග එහි මිල අහස උසට ගියේය. ඒ අතර ඇතැමුන්ගෙන් එල්ල වන බරපතළ චෝදනාවක් වන්නේ ‘ව්‍යාජ නිෂ්පාදන‘ මේ වන විට බහුල බවය.

මෙය ලංකාවට පමණක් සීමා වී ඇති අර්බුදයක් නොවේ. කොවිඩ් වසංගතය සමග ගෝලීය වශයෙන් කුළුබඩු ඉල්ලුම ඉහළ ගියත් සැපයුම්දාම තවමත් යථාතත්ත්වයට පත්ව නැත. එතුළ නිර්මාණය වන ‘සැපයුම් හිගය‘ පියවනු ලබන්නේ ‘ව්‍යාජ නිෂ්පාදන‘වලින් බවට බරපතළ සැකයක් සාක්ෂි සහිතව ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යනයවලින් හෙළිවී ඇත්තේ වත්මන් ගෝලීය කුළුබඩු වෙළෙදපොලේ ඇතැම් නිෂ්පාදවලින් 40%කට අධික ප්‍රමාණයක් ‘ව්‍යාජ‘ නිෂ්පාදන බවයි. පර්යේෂකයින් පවසන්නේ මේ වන විට එම අගය තවත් ඉහළ ගොස් තිබිය හැකි බවයි.

මේ ලිපිය ඉහත කරුණ ද සහිතව කුළුබඩු වෙළෙදාම කොවිඩ්-19 වසංගය හමුවේ මුහුණ දෙන ප්‍රවණතා ගැනයි.

ලෝකය අගුලු දමා යත්ම, කුළුබඩු නිෂ්පාදනය, ප්‍රවාහනය, සැකසීම සහ ඇසුරුම් කරන සංකීර්ණ ජාල අවුල් ජාලයකට ඇද වැටුණි. භෝග අස්වැන්න සැකසුම් කරන්නේ කවුද? සැකසුම් කම්හල් පවත්වාගෙන යන්නේ කවුද? කුළුබඩු වරාය වෙත ගෙන යන්නේ කෙසේද? ආරක්ෂාව සඳහා භාණ්ඩ පරීක්ෂා කරන්නේ කවුද? මෙමැනි ගැටලුවලට කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයෝ මුහුණ දුන්හ.

ඒ අතරම, කුළුබඩු සඳහා ගෝලීය ඉල්ලුම අහස උසට නැඟෙමින් පැවතුනි. කුරුඳු, දුරු සහ කළු ගම්මිරිස් වැනි කුළුබඩු හදිසියේම අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය බවට පත්විය. කහ සහ ඉඟුරු වැනි සාම්ප්‍රදායික කුළුබඩුවල කොවිඩ්-19 එරෙහිව සටන් කිරීම සදහා ප්‍රතිශක්තිකරණය ඇතුළු ඖෂධීය ප්‍රතිලාභ ඇතැයි සිතන අයද වැඩි වැඩියෙන් මේ ඉල්ලුම්කරුවන් අතරට එක්වූහ. එය සාම්ප්‍රදායික පාරිභෝගිකයින් විසින් දෛනිකව හෝ මාසිකව සිදුකරන ඉල්ලුම ඉක්මවා ගිය ඉල්ලුම් තත්ත්වයකි.

ලොව විශාලතම කුළුබඩු නිෂ්පාදකයා, පාරිභෝගිකයා සහ අපනයන කරුවෙකු වන ඉන්දියාව, මාර්තු අග දී රට පුරා අගුලු දැමීමට මුහුණ දුන් අතර, සංක්‍රමණික කම්කරුවන් මත යැපෙන ගොවීන්ට සහ සකසනයන්ට දාමය ඔස්සේ භාණ්ඩ ගෙනයාම දුෂ්කර විය. තවත් ප්‍රධාන කුළුබඩු වගා කරන්නෙකු වන වියට්නාමය ද ඇතැම් ආහාර අපනයනය කිරීම සදහා ඔවුන්ගේ දේශසීමා තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය.

මේ සමග වරායවල සහ දේශීය වෙළඳපලවල කුළුබඩු ගොඩ ගැසුණ අතර, ඉන්දියානු කරදමුංගු මිල 50% කින් සහ වියට්නාම ගම්මිරිස් 10% කින් පහත වැටුණි. මෙය තාවකාලික වුවත්, ඉතා ඉක්මනින් ජාත්‍යන්තර කුළුබඩු වෙළඳාම නැවත ආරම්භ විය.

ඉන්දියාවට කුළුබඩු වගා කිරීමේ පොහොසත් ඉතිහාසයක් ඇතිවා පමණක් නොව, එහි විවිධ දේශගුණය සහ භූමි ප්‍රදේශ විශේෂයෙන් සුවඳවත් බෝග නිපදවන බව මුළු ලෝකයම දන්නා කරුණකි.

ජුනි මාසය වන විට ඉන්දියානු කුළුබඩු අපනයන අලෙවිය 2019 ජුනි හා සසඳන විට ඩොලර් මිලියන 67 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 359 ක්  දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දියාවේ වාණිජ මණ්ඩලය (Associated Chambers of Commerce of India) පවසයි.

වසංගත අගුලු දැමීම ආරම්භ වන විටත් කුළුබඩු සඳහා පාරිභෝගික ඉල්ලුම ඉහළ ගියේය

ඉන්දියාවේ සුළුපරිමාණ කුළුබඩු ගොවීන් දස දහස් ගණනකට එය හොඳ ආරංචියක් විය යුතුය. කේරළයේ සාධාරණ වෙළඳ සන්ධානයේ කුළුබඩු වගාකරුවන්ගේ සමුපකාරයේ (Fair Trade Alliance of Kerala) නිර්මාතෘ ටොමී මැතිව්ට අනුව, ඉල්ලුමේ වැඩිවීම තවමත් ගොවීන්ට ලැබෙන මිල ඉහළ යාමට හේතු වී නොමැත.

අගුළු දැමීමත් සමග අවිධිමත් ආර්ථිකයේ රැකියා කළ නොහැකි වූ විට කම්කරුවන් නැවත ගම්බිම් බලා පිටත්ව යාමත් සමඟ බොහෝ වගාකරුවන් මූල්‍යමය වශයෙන් පීඩාවට පත්ව ඇත.

“කුළුබඩු සඳහා ඇති ඉල්ලුම ගොවිපල මිලෙන් පිළිබිඹු වූයේ නම්, එය විශාල වෙනසක් කරනු ඇත. වෙළඳ යුක්තිය වැදගත් (trade justice)  බව මෙම අර්බුදය වෙන කවරදාටත් වඩා ඔප්පු කරයි.”

කෙසේ වෙතත්, කුළුබඩු වෙළඳාමේ යෙදී සිටින අනෙක් අයට, වසංගතය විසින් ගෙන එන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට මෙම උත්පාතය ඉවහල් වී තිබේ.

“අපේ කුළුබඩු සඳහා ඉල්ලුම අප්‍රේල් සහ මැයි මාසවලදී 15% කින් ඉහළ ගොස් තිබෙනවා” යැයි ඉන්දියාවේ විශාලතම කුළුබඩු සැකසුම් කරුවන්ගෙන් එකක් වන Synthite Industries හි කළමනාකාර අධ්‍යක්ෂ විජු ජේකොබ් පවසයි.

“දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න අපි දැන් හොඳ ක්ෂේත්‍රයක යෙදී සිටිමු [මේ මොහොතේ] එය ක්‍රියාවලිය සිදු කිරීමට අසීරු කාලයකි.”

ඉන්දියාවේ බොහෝ කුළුබඩු වගා කරන්නන් කුඩා පරිමාණ පවුල් ගොවීන් වන බැවින්, එම ක්‍රියාවලියට ගොවීන් 10,000 කින් Synthite Industries මිල දී ගැනීම සිදු වේ. (උතුරේ උත්තර් ප්‍රදේශ්හි මිරිස් නිෂ්පාදකයින්ගේ සිට දකුණේ කේරළයේ කුරුඳු වගා කරන්නන් දක්වා)

සාමාන්‍යයෙන් ගොවීන් තම භෝග Synthite Industries දේශීය සැකසුම් කම්හල් වෙත ගෙන යන අතර එහිදී ඒවා ගුණාත්මක බව පරීක්ෂා කර, සැකසූ හා ඇසුරුම් කර ගබඩාවලට ප්‍රවාහනය කර ගෝලීය වශයෙන් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ.

විද්‍යාත්මක සාක්ෂි තවමත් නොමැති වුවද කහ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇති බවට පිළිගැනේ

නමුත් වසංගතය මෙම ශක්තිමත් දාමය කඩාකප්පල් කර ඇත. “ඉන්දියාවේ සමහර ප්‍රදේශවලට සීමාවන් තිබෙන නිසා ප්‍රවාහනය ප්‍රශ්නයක් වී තිබෙනවා” යැයි විජු පවසයි.

“කර්මාන්තශාලාවලින් වරායට භාණ්ඩ ලබා ගැනීමේදී අපට යම් යම් ගැටළු සහගත තත්ත්වයන් ඇති වූ අතර සති කිහිපයකට පෙර කොළඹ සිට පැමිණීමට නියමිතව තිබූ [ශ්‍රී ලංකාවේ] නැවක් ප්‍රමාද වුණා. අපට අර්බුදයක් තිබුණේ නැහැ. නමුත් එය අභියෝගයක්.”

කෙසේ වෙතත්, මෙම තත්වය යහපත් අතට හැරී ඇති බව විජු පවසයි. සමාගම ඉල්ලුම සපුරාලීම සඳහා වියට්නාමයෙන් හා ඉන්දුනීසියාවෙන් කහ හා ගම්මිරිස් ආනයනය කර ඇති අතර Synthite Industries සමඟ වැඩ කරන ඉන්දියානු ගොවීන්ගේ සංඛ්‍යාව 5-10% කින් වැඩි කර තිබේ.

මුහුණු ආවරණ සහ කුළුබඩු පරිත්‍යාග කරමින් දේශීය පවුල් 6,000-7,000 ක් සඳහා ආධාර කිරීම සඳහා Synthite Industries සිය පරිමාණය භාවිතා කර ඇති අතර පීපීඊ සහ අත් සනීපාරක්ෂක යන්ත්‍ර පවා නිෂ්පාදනය කර ඇත.

විජු මෙසේ පවසයි. “අපට [උදව් කිරීමට] කළ හැකි දේ ගැන අපි කල්පනා කරනවා. අප වර්ධනය වන සෑම අවස්ථාවකම අපගේ ප්‍රජාව වර්ධනය වීමට අපට අවශ්‍යයි”

කුළුබඩු Synthite Industries වෙත පැමිණි පසු, ඒවා එක් යන්ත්‍රයකින් ඇතුළුව පරිස්සමින් පරීක්ෂා කරනු ලැබේ. (එය ඡායා පිටපත් යන්ත්‍රයක් මෙන් පෙනේ) අපද්‍රව්‍ය සඳහා එක් එක් නියැදිය පරීක්ෂා කරයි.

“අපට පැහැදිලි 100% පරිපූර්ණ නිෂ්පාදනයක් තිබිය යුතුයි,” විජු පවසයි. “අමුද්‍රව්‍ය, ගුණාත්මකභාවය, පළිබෝධනාශක යනු කුමක්ද, කාර්මික ද්‍රාවණය කුමක්ද – සියල්ල පරීක්ෂා කර බැලිය යුතුයි.”

කුළුබඩු වල අපිරිසිදුකම බරපතල ආහාර සුරක්ෂිතතා ගැටළුවක් වන නමුත් නව පරීක්ෂණ තාක්ෂණයන් ඒවා අඩු කිරීමට උපකාරී වේ

සැකසුම් කම්හල්වල තත්ත්ව පාලනය වසංගතයේ ඊටත් වඩා වැදගත් වී තිබේ. කුළුබඩු වෙළඳාමේ සෑම විටම වංචනික ක්‍රියාකාරකම් සිදුවී ඇත. කුළුබඩු සම්බන්ධ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ,40% ක් පමණ ව්‍යාජ ඒවා බවයි. එම අධ්‍යයනයට නායකත්වය දුන් ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ බෙල්ෆාස්ට් හි ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ මහාචාර්යවරයකු වන ක්‍රිස් එලියට් විශ්වාස කරන්නේ පසුගිය මාස හය තුළ වංචාව ඉහළ ගොස් ඇති බවයි.

“කොවිඩ් නිසා පැහැදිලිවම සැපයුම්දාම අවහිර වී තිබෙනවා. ඒක පැහැදිලි තත්ත්වයක්. ඒත් ඉල්ලුම අඛණ්ඩව ඉහළ යනවා. ඒත් දැන් අනපේක්ෂිත සැපයුමක් ද තිබෙනවා. ඒත් ඇත්තටම ඒවා පැමිණෙන්නේ කොහෙන්ද ? ”

සාමාන්‍යයෙන්, පාරිභෝගිකයින් වෙත ළඟා වන වැරදි නිෂ්පාදන අවම කිරීම සඳහා කුළුබඩු දාමය ඔස්සේ බහු තත්ත්ව පාලන පරීක්ෂණ සිදු වේ. පරීක්ෂකවරුන්ට මෙම පරීක්ෂණ පෞද්ගලිකව කිරීමට නොහැකි වීමත් සමඟ, සින්ටයිට් භාවිතා කරන තාක්ෂණයන් වැනි වෙනත් තත්ත්ව පාලන ක්‍රියාවලීන් ඊටත් වඩා වැදගත් වී තිබේ.

බොහෝ කුළුබඩු ආනයනකරුවන්ට වසංගතය තුළ නව ප්‍රභවයන් සෙවීමට සිදුවී ඇත්තේ සීමාවන් නිසා ප්‍රවාහන ජාලයන් කඩාකප්පල් වී ඇති බැවිනි

එලියට් එවැනි එක් තාක්ෂණයක් මතම කටයුතු කරයි: ‘‘ඩිජිටල් ආහාර ඇඟිලි සලකුණු තාක්ෂණය (digital food fingerprinting technology) කුළුබඩු පරීක්ෂා කිරීම සහ ආරක්ෂාව පිළිබඳ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇතැයි ඔහු පවසයි.

සාම්ප්‍රදායික පරීක්ෂණයේදී, සාම්පල විද්‍යාගාරයකදී පරීක්‍ෂා කළ යුතු අතර, එයින් අදහස් වන්නේ ප්‍රතිඵල නැවත පැමිණෙන විට නිෂ්පාදනයක් රටවල් කිහිපයකට ළඟා විය හැකි බවයි. digital “food fingerprinting” technology සමඟ ප්‍රතිඵල එම ස්ථානයේදීම ලබා දෙනු ලැබේ.

“අපට මෙම තාක්ෂණය මගින් ලොව පුරා සාම්පල දහස් ගණනක් එකතු කර වංචනික ක්‍රියාකාරකම් පිළිබඳ සිතියම් නිර්මාණය කිරීමට හැකි වනු ඇත,” එලියට් පවසයි.

Covid-19 වසංගතය ඉක්මනින් අවසන් වන බවට සුළු සලකුණු පෙන්නුම් කිරීමත් සමඟ, කුළුබඩු සඳහා ඉහළ ඉල්ලුම දිගටම පැවතිය හැකිය. එහි ප්‍රතිලාභ ගොවීන්ට ලැබේද යන්න තවමත් දැකගත නො හැකි නමුත් නව තාක්‍ෂණය මඟින් අවම වශයෙන් වඩාත් විනිවිද පෙනෙන දාමයක් නිර්මාණය කළ හැකි අතර විශ්වාසදායක වෙළෙඳුන්ට ත්‍යාග ලැබේ.

බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts