ඉඩම් පවරා ගැනීමේ පණතට එජාපයේ විරෝධය

Spread the love

පසුගිය විසි වසර තුළ රජ‍ය හෝ රජයේ ආයතන සින්නක්කරව හෝ වෙනත් පැවරුම් ලෙස ලබාදුන් ඉඩම් යළි සින්නක්කරව හෝ වෙනත් පවරා ගැනීමට හැකි ආකාරයේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජයේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ ඌණ කාර්ය සාධක ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරිමේ එම කෙටුම්පත මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකණයට යොමු කර ඇති බවයි.

ආයෝජන මණ්ඩල නීති හෝ ඒ යටතේ නිකුත් කරන ලද රෙගුලාසි අනුව බදු අය කර ගැනීමේ කවර හෝ නීතියන් යටතේ බදු සහන ලබා සිටින අයට අයත් ඉඩම් ද භාණ්ඩාගාර ලේඛණයට පවරාදීමේ බලය ද අදාළ පනතෙන් හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

එහි දැක්වෙන්නේ රජය, අනපේක්ෂිත බැරකම් ගෙවූ සහ දීර්ඝ වශයෙන් නඩුවලට සම්බන්ධවීමට මුල්ව ඇති කවර හෝ නීතියක් යටතේ ස්ථාපනය කර ඇති සමාගමක් අධිකාරියක් හෝ ආයතනයක් එලෙස පවරාදීමට මේ යටතේ හැකිවන බවය.

එහි උපලේඛනයේ ආයතන හා වත්කම් ලෙස පැල්වත්ත සීනි සමාගමේ ඉඩම්, සෙවනගල සීනි සමාගමේ ඉඩමක් සහ සෙලින්කෝ ප්‍රොපර්ටි සමාගම විශේෂයෙන් සඳහන්වන බව ද එම නිවේදනයේ දැක්වේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙන්වා දෙන්නේ අදාළ කෙටුම්පත නිසා පුරවැසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවය.

එම පනත කෙටුම්පත හදිස්සියේ සම්මත කර ගැනීමට රජය ප්‍රයත්න දරන නමුත් එක්සත් ජාතික පක්ෂය ඊට දැඩි විරෝධය පල කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

RSL

Related Posts