ඇපල් වෙනුවට අපේ ‘රහංගල පෙයාර්ස්’වලට පුරුදු වෙමු !

Spread the love

2018 වර්ෂයේදී ලංකාවට රුපියල් මිලියන 4300ක් වටිනාමින් යුතු ඇපල් ටොන් 27,253ක් ආනයනය කරලා තිබෙනවා. ඊට අමතරව පෙයාර්ස් ටොන් 355ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කරලා තිබෙනවා.

ඒ කියන්නේ අපි 2018දී ඇපල් සහ පෙයාර්ස් කන්න රුපියල් මිලියන 4350ක විදේශ විනිමය විනාශ කරලා තිබෙනවා.

ලංකාව කියන්නේ ‘පලතුරු වත්තක්’. එහෙම රටක තමයි මේ මිලියන 4350ක විදේශ පලතුරු කාලා තියෙන්නේ.

පිට රට පලතුරුත් ඕනෑම නම් ඇපල් අමාරු වුණාට අපිට අපේම පෙයාර්ස් වගා කරන්න පුළුවන්.
ලංකාවේ උඩරට භූමිය තේ වගාවට වෙන් වෙලා. හැබැයි ‘නිසරු’ තේ වගාබිම් ඕනෑ තරම් තියෙනවා. ඒවාට පොහොර දාන්නෙත් නෑ, නඩත්තුවත් දුර්වලයි.

මුහුදු මට්ටමින් අඩි 4000-5500ත් උඩින් පිහිටි නිසරු ඉඩම්වලට ‘හොඳ භෝගයක්’ තමයි පෙයාර්ස් කියන්නේ.

ඔහිය, රත්කරච්ච, බොරුලන්ද, කැප්පෙටිපොළ, බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, ඌව පරණගම, මලපොළ පෙයාර්ස් වගාවට සුදුසු ප‍්‍රදේශ කිහිපයක් පමණයි. තවත් ප‍්‍රදේශ ඕනෑ තරම් තියෙනවා.
රහංගල පර්යේෂණායතනයෙන් සහ ගොවිපොළෙන් පෙයාර්ස් පැළ නිෂ්පාදනය කරනවා.

ලොකුවට වවන්න ඉඩ නැතිනම් මේ පළාත්වල අයට පළ 05 බැගින්වත් අරං ගිහින් තමන්ගේ වත්තේ පෙයාස්ර් ගස් කිහිපයක් වවා ගන්න පුළුවන්. අස්වැන්න ආ විට හොඳ මිලක් ගන්නත් පුළුවන්.

මාස ගණනාවකට පෙර ගහෙන් කඩාගෙන, නොයෙකුත් රසායනික ප‍්‍රතික‍්‍රියා කරලා, සීත ගබඩා ඇතුළෙත් කාලයක් තිබුණ ‘රට පෙයාර්ස්’ වෙනුවට ‘රහංගල පෙයාර්ස්’ වලට මාරු වෙන්න පුළුවන් නම් ඒක ඇඟටත් ගුණයි… රටටත් හොඳයි.

පෙයාර්ස් වගාව ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, බෝග විශේෂඥ බන්දුල හේමචන්ද්‍ර මහතාට (071 821 1770) කතා කරන්න පුළුවන්.

සනත් එම්. බණ්ඩාර

RSL

Related Posts