අලි-මිනිස් ගැටුම ‘සමාදානයට නව දැනුම සොයා යාම කාලීන අවශ්‍යතාවක්

Spread the love

මහාචාර්ය රංගික හල්වතුර – කොමසාරිස්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම

සත්තු ද පරිසරයේ ම කොටස්කරුවෝ ය. එහෙත් මිනිසා සෑම සතකු ම මිතුරකු ලෙස හෝ පරිසරයට අවශ්‍ය ජීවි කොට්ඨාසයක් ලෙස හෝ නොදකී. නාගරික මිනිසුන් අලින්, මොනරුන්, දඬුලේනුන්, රිළවුන් වැනි සතුන් බැලීමට යාල, විල්පත්තු යනමුත් ඒ අවට ගම්මානවල මිනිසුන්ට එකී සතුන් විශාල හිරිහැරයකි. ඒ හේතුවෙන් ම නාගරික ජනතාව දකින්නා වූ සුන්දරත්වය ඒ සතුන් තුළින් දකින්නට ග්‍රාමීය ජනතාවට ඉඩක් ඇත්තේ ම නැත.

විශේෂයෙන් ම අලි මිනිස් ගැටුමට ප්‍රධානම හේතුව තමන් විසින් අලින්ගේ සීමාවට ගොස් ජනාවාස ඉදිකරගැනීම බව කළුවරගස්වැව, ගල්ගමුව වැනි ප්‍රදේශවල දැනට ජීවත් වන මිනිසුන් හොඳින් දන්නා කරුණකි. එහෙත් ඔවුන්ගෙන් පසු පරම්පරාව පිළිබඳ සලකා බැලුවහොත් කුඩා දරුවන් අලියා සලකනු ඇත්තේ සිය පියා මරාදැමීමට එන සතුරකු ලෙසිනි. ඔවුන් වැඩිහිටියන් බවට පත් වන කලෙක අලිඇතුන් ත්‍රස්තවාදීන් ලෙස සලකනු ඇත. එවැනි සතුන් සමූල ඝාතනය කළ යුතු යැයි සිතන තැනකට ද පත් විය හැකිය.

එබැවින් ශ්‍රී ලංකාවේ වන සතුන් සහ මිනිසුන් අතර ඇති මෙම ගැටලුවට ලබාදිය හැකි පිළිතුරු සොයා, අත්හදාබැලීමට මේ වන විටත් විශේෂ ව්‍යාපෘතියක් දියත්කොට ඇත. එම ව්‍යාපෘතියේ පළමු අදිරය ලෙස ක්‍රියාත්මක වන්නේ අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමට පිළිතුරක් ලෙස ඒ වෙනුවෙන් ලංකාවේ ඇති නව නිපැයුම් ජනතාවට හඳුන්වා දීම ය. මෙය වූ කලී නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, වනජීවී දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශය එක්ව දියත් කරන වැඩසටහනකි. මේ ව්‍යාපෘතිය දියත් වීමත් සමඟ ඒ වෙනුවෙන් බොහෝ නව නිපැයුම් ඉදිරිපත් විය. අලි මිනිස් ගැටුම නැවැත්වීමට නම් අලින් ගම්වැදීම කෙසේ හෝ නවතාලිය යුතු ය. ඒ වෙනුවෙන් අවශ්‍ය ස්ථානවලට සුදුසු පරිදි අලිවැටවල් යෙදීම සිදු කළ යුත්තකි.

සංචාරක ආකර්ෂණය

මෙහිදී මිනිසාට අලියාත් අලියාට මිනිසාත් හිතකර වන අන්දමින් තරමක් දුරට සම්බන්ධ කිරීමට හැකි නම් එය ද මෙකී ගැටලුවට පිළිතුරු සෙවීමේ මාර්ගයක් වනමුත් එය එතරම් පහසු කර්තව්‍යයක් නොවනු ඇත. මේ වෙනුවෙන් අපට සාමාජීය වශයෙන් සිදු කරන්නට වන වෙනස සුළුපටු නොව නමුත් කළ නොහැක්කක් ද නොවේ. වන සතුන් මෙරට ආර්ථිකයට විශාල වාසියක් බවට පත්කර ගැනීමේ ඉඩක් පවතින බව පැහැදිලි ව පෙන්වා දිය හැකි නම් මේ ව්‍යාපෘතිය ඒ ඔස්සේ පහසුවෙන් ම ඉදිරියට ගෙන යා හැකි ය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ වන ජීවීන්ගේ අසිරි සිරියෙන් මුදල් ඉපයීමට වැඩි ඉඩක් වෙන් නොවීම කනගාටුවට කරුණකි. වනජීවීන් යනු හිරිහැරයක් ම නොව විශාල වශයෙන් ආදායම් උත්පාදනයෙහිලා යොදාගත හැකි සම්පතක් බව ජනතාවට ඒත්තු ගැන්වීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. සංචාරක ව්‍යාපාරය ඇසුරු කරගනිමින්, අලියා හේනට ඒම තුළ තමාට යම් ආදායමක් ලැබිය හැකි බව හේන අයිති ගොවියාට ඉගැන්විය හැකි නම් හේනට වැදී බඩ ඉරිඟු කන අලියා වෙනුවෙන් වැඩිපුර බඩඉරිඟු කොටසක් වැවීම ගොවියාට වාසියක් වනු ඇත. හේනට වදින අලින් ඇතුළු වන ජීවින් නැරඹීම සඳහා සංචාරකයන් ඇදබැඳ ගැනීමෙන් ආදායම් ඉපයීමේ මාර්ග ගොවීන් වෙනුවෙන් විවරකොට දිය යුතු ය.

මෙවැනි නව අදහස් රැසක් මුල් කර ගනිමින් දියත් වන මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් සිදු කෙරෙනුයේ අලි මිනිස් ගැටුම වළකාලීම සඳහා යොදාගත හැකි නව නිපැයුම් හයක් ජනතාව අතරට ගෙනයෑම ය. මෙහිදී ස්වීඩනයෙන්, නවසීලන්තයෙන් ආනයනය කොට යොදනු ලබන අලි වැට වෙනුවට ලංකාවේ බුද්ධිමය දේපළ අයිතිය ඇති අලිවැටවල් අත්හදා බැලීම ද විශේෂත්වයකි. ලාංකිකයන් විසින් නිර්මාණය කරන ලද නවීන පන්නයේ අලි වැටවල් තවම අප විසින් අත්හදා බලා නැත. එම අලිවැටවල් දැනට පිටරටින් ආනයනය කොට යොදනු ලබන අලිවැටවලට වඩා උසස් තාක්ෂණයෙන් යුක්ත ය.

අලියකු විත් අලිවැට ස්පර්ශ කරනවාත් සමඟ ම මුළු ගමටමත් ළඟ ම පොලිස් ස්ථානයටත් අනතුරු ඇඟවීමේ සංඥාවක් ලබාදිය හැකි තරමට දියුණු කළ අලිවැටවල් ද ලංකාවේ නිපදවා ඇති අතර මෙහිදී ඒවා යොදාගැනීමට උත්සාහ කෙරේ. යම් හෙයකින් අලියා ගම තුළට ඇතුළු වුව හොත් ගමට හානියක් නැතිව නැවත කැලෑව දෙසට යා හැකි අන්දමින් සකස්කොට ඇති අලිවැටවල් ද අලියකුට කිසිසේත් ම කඩා දැමිය නොහැකි අලිවැටවල් ද කඩිනමින් යෙදිය හැකි අලිවැටවල් ද මේ අතර වේ. මෙකී අලිවැටවල් අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රදේශවලට යෙදීමට කටයුතු සම්පාදනය කිරීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදු කිරීමට නියමිත ය. කෙසේ වෙතත් මෙය අලිවැටක් යොදා අලින් ගම්මානවලින් වෙන් කිරීමෙන් පමණක් නවතින සරල ව්‍යාපෘතියක් ලෙස සැලකිය යුතු නොවේ. මේ මඟින් අලින් මෙහෙයවීමේ වැඩ පිළිවෙළක් ද අත්හදා බැලීමට නියමිත ය.

සැබැවින් ම අපට අලින් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැත. එබැවින් ගම්මානවලට ඇතුළු වන අලින් කිහිප දෙනකු තෝරා ගෙන ගෙලට කොලරයක් යොදා ඒ ඔස්සේ අලින් පුහුණු කිරීමක් ඉදිරියේදී අපෙක්ෂා කෙරේ. ඒ මඟින් අලි ගමන් ගන්නා දිශාව, ඒ අලින්ගේ චලන, රංචුව තුළ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීම ද මෙම ව්‍යාපෘතියේ ම කොටසකි. එලෙස අලින්ට පැලඳීමට අපේක්ෂා කරන කොලරය ද ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කරන්නකි. එම කොලරය මඟින් අපේක්ෂා කරනුයේ අලියා ගමට ළං වන විට යම් සංඥාවක් නිකුත් කිරීම ය. ඒ ඔස්සේ අලියා ගමට කිලෝමීටර් 10ක් දුරින් සිටින බව, කිලෝමීටර් 05 දුරින් සිටින බව දන්වමින් ගම්වාසින් සූදානම් කළ හැකි ය. එතෙකින් නොනැවතී ගමේ තරුණයන් එක්කර ගනිමින්, අලියා ගම්වැදීමට උත්සාහ කරන විට, අලිවැට කැඩීමට උත්සාහ කරන විට ක්ෂණිකව යෙදිය හැකි දෙවැනි අලිවැටක් යොදා අලියා නැවත කැලේට පන්නා දමන ක්‍රමවේදයක් ද අප සතු ය.

කෙසේ වෙතත් අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාව මුහුණපා සිටින විශාල ගැටලුවක් වන අතර තවදුරටත් මේ සමඟින් ඉදිරියට යෑම තුළ ලංකාවේ කැලෑවල සිටින අලිඇතුන් හෝ ගම්මානවල ජීවත් වන මිනිසුන් අපට අහිමි වනු ඇත. එසේ හෙයින් මෙය වූකලී කඩිනම් විසඳුමක් අවැසි ගැටලුවකි. අලි ගම් වදින ස්ථාන සොයා බලා අලිවැටවල් යෙදීම පමණක් මෙකී ගැටලුවට සාර්ථක පිළියමක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අලියා යනු බුද්ධි මට්ටමෙන් ඉහළ සත්ත්වයකු ලෙස දකින අප උත්සාහ කරනුයේ අලින්ගේ චර්යා පිළිබඳව ද නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් සෙවීමට ය.

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ සිටින නව නිර්මාණකරුවන් මෙම ව්‍යාපෘතිය පර්යේෂණ ඔස්සේ ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි. එම සාමුහික ප්‍රයත්නය තුළ අලි මිනිස් ගැටුම් අවම කිරීමට වඩාත් නිවැරදි ක්‍රමවේදයක් සොයාගත හැකි වනු ඇත. ශ්‍රී ලංකාව තුළ අලිඇතුන් සම්බන්ධයෙන් නිර්මාණය වූ නව නිපැයුම් රැසක් ඇති අතර එමඟින් වඩා සුදුසු ක්‍රමවේදය තෝරාගැනීම මෙම පර්යේෂණයේ එක් අරමුණකි.

අලි වැට හා අගල් ඉදිකිරීම සම්බන්ධ ඇති කරන තිබෙන අමාත්‍යංශයෙන් ද මෙම ව්‍යාපෘතියට ලබාදෙන්නේ නොමඳ සහයෝගයකි. මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාධනීය ව්‍යාපෘතියක් වන බවට මේ වන විටත් පෙර ලකුණු පෙනෙන්නට තිබෙන බැවින් ඉතාමත් කෙටි කාලයකදී මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට පිළිතුරක් ලබාදිය හැකි බව අපගේ විශ්වාසය යි.

වෙනත් රටවල ද අලි මිනිස් ගැටුම් පවතින නමුත් ඒ සෑම රටක් ම අප තරම් දරුණුවට මේ ගැටලුවට මුහුණ පාන්නේ නැත. ශ්‍රී ලංකාවේ ඇති අලිමංකඩවල් ගැසට් කිරීම අනිවාර්යෙන් කළ යුතු නමුත් එය තව ම සපුරාගත නොහැකි ව ඇති අවශ්‍යතාවක් ලෙස දැක්විය යුතු ය. පළමුවෙන් එකී අවශ්‍යතාව සපුරාගත යුතු අතර ඉන් අනතුරුව අලින් නිරන්තරයෙන් ගමන් කරන්නා වූ ප්‍රදේශ අලින් වෙනුවෙන් නිරාවරණය කරදීමට සිදු වේ.

අලින්ගේ හා ගම් වැසියන්ගේ සීමා වෙන වෙන ම හඳුන්වා දෙමින් අලින් ගම් වැදීම නවතාලීමේදී අලින්ට ආහාර සහ ජලය සපයන ක්‍රමවේද සෙවීමේ අවශ්‍යතාව ද මතු වනු ඇති. එපමණක් නොව මෙහිදී ග්‍රාමීය ජනයාගේ මනස වෙනස් කළ හැකි ක්‍රමවේද සෙවීම ද අත්‍යවශ්‍ය කාරණාවක් ම ය. ගම්මානවල වැසියන් එක්රැස්කොට කණ්ඩායම් කිහිපයකට බෙදා, අලි මිනිස් ගැටුමට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ද ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකයක් සමඟ ගම ආර්ථික වශයෙන් නඟාසිටුවීමට ද කටයුතු කළ හැකිය.

ව්‍යාපෘති ගණනාවක එකතුවක් වන මෙම වැඩපිළිවෙළ දැකිය හැක්කේ ඉතා සාර්ථක ව්‍යායාමයක් ලෙසිනි. කෙසේ වෙතත් අවම වශයෙන් සය මාසයක් මේ පිළිබඳ පර්යේෂණ සිදු කළ යුතු ය. අලි වැට කෙසේ විය යුතු ද? අලියාගේ ගමන් මාර්ගය, අලියා අලිවැට කඩාගෙන ගම්වැදුණහොත් මීළඟට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ තව දුරටත් පර්යේෂණ පැවැත්විය යුතු ය. මෙය පුහුණු කිරීම් මත පදනම් වන ව්‍යාපෘතියක් වන අතර මේ වෙනුවෙන් ලබාදිය හැකි නායකත්වය නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් ලබාදී තිබේ. මේ සඳහා අවශ්‍ය සහාය අදාළ සියලු පාර්ශ්වවලින් ලැබෙන්නේ නම් වසර ගණනාවක් මුළුල්ලේ උඩුදුවමින් පවතින අලි මිනිස් ගැටුමට නිසැක විසඳුමක් සෙවිය හැකි ය.

මෙම ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වන්නේ නිතර අලි කරදරයට මුහුණ පාන ගමක් වන කළුවරගස්වැවෙනි. නියමු ව්‍යාපෘතිය තුළ මෙම ගම වටා අක්කර දෙදහක වපසරියක් ආවරණය කිරීමට නියමිත ය. කළුවරගස්වැවෙන් පසු හැරෙන්නේ අම්පාරට ය.

ජාතික අවශ්‍යතාවක්

ව්‍යාපෘතිය තුළ අලින් ගම්වැදීම නවතාලීමට මෙන් ම ගම්වදින අලින් පලවා හැරීමට ද ක්‍රමවේද සෙවිය යුතු ය. එහිදී අලින් ගම්වැදීම නවතාලීමේ ක්‍රම අත්හදා බැලීම සහ අලින් පලවා හරින ක්‍රම අත්හදා බැලෙනුයේ වෙන වෙනම ගම්මානවල ය. ඉන්පසුව යොමු වන්නේ අලිඇතුන් දුම්රියේ ගැටීම වළකාලීම වෙනුවෙන් මෙරට නිර්මාණය කොට ඇති නව නිපැයුම් අත්හදා බැලීමට ය. අලින්ගෙන් නොනවතින මෙම ව්‍යාපෘතිය තුළ මීළඟ පියවර වන්නේ මොනරුන්, දඬුලේනුන් වැනි වගාවට හානි කරන වෙනත් සතුන් පලවා හරින ක්‍රමවේද ගම්මාන තුළ අත්හදා බැලීමට ය. මෙයාකාරයෙන් පියවර ගණනාවකින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට යනු ඇත.

නව නිපැයුම්කරුවන්ගේ අන්තර්ජාතික තරගාවලියක් ලෙස පැවැත්වූ “සහසක් නිපැයුම්” තරගාවලියේදී රටරටවල නව නිර්මාණකරුවන්, අප හා සම්බන්ධ වූ අතර එම නිර්මාණකරුවන්ගෙන් අය කරගත් මුදල සම්පූර්ණයෙන් ම මෙම ව්‍යාපෘතියට යෙදවීමට නියමිත ය. එසේ ම පෞද්ගලික අංශයෙන් ද අමාත්‍යංශ කිහිපයකින් ද මේ සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන බැවින් මෙය වූකලි ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින් සියලු පාර්ශ්ව එක්ව දියත් කරන ව්‍යාපෘතියක් ලෙස පෙනෙන්නට තිබීම සුවිශේෂත්වයකි.

මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ඥානය ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන්ගෙන් ලැබෙන අතර සියලු සම්බන්ධීකරණ කටයුතු නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් සිදු වේ. අමුද්‍රව්‍ය ලබාදෙමින් සහයෝගය දැක්වීමට දෙස්විදෙස් පරිත්‍යාගශීලීන් අප හා අත්වැල් බැඳගෙන සිටීම ද සතුටට කරුණකි. මාධ්‍ය දායකත්වය තවත් අතෙකින් මෙම ව්‍යාපෘතිය ශක්තිමත් කරවයි. මේ සියල්ල එක්තැන් වූ කල නුදුරේදීම යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව පෙනෙන්න තිබේ.

සටහන – කාංචනා සිරිවර්ධන

RSL

Related Posts