ගෙවතු වගාව සහ එහි ප්‍රතිලාභ ගැන නිවැරදිව දැන ගනිමු

Spread the love

ගෙවත්ත’ කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ.

ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්.

නිවස ආශ‍්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය වූ අංග ඇතුළත්ව ක්‍රමානුකූලව සකස් කිරීමයි. බෝග වගා කිරීම මෙන්ම හැකියාව අනුව සතුන් ඇති කිරීමත් එයට ඇතුළත්ය.

දේශගුණික කලාප අනුව වර්ගීකරණය

1. තෙත් කලාපීය ගෙවතු

වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 2500 වඩා වැඩිපුර ලැඛෙන ප්‍රදේශ තෙත් කලාපය ලෙස හැඳින්වෙනවා. තෙත් කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ නිරිතදිග මෝසමෙන්. තෙත් කලාපීය ගෙවතුවල වැඩි බෝග විවිධත්වයක් සහ වැඩි පැළ ගහණයක්දකින්න ලැඛෙනවා.

2. වියළි කලාපීය ගෙවතු

වාර්ෂික වර්ෂාපතනයමිලි මිටර් 1750 ට අඩුවෙන් ලැඛෙන ප්‍රදේශ වියළි කලාපය ලෙස හැඳින්වෙනවා. වියළි කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ ඊසානදිග මෝසමෙන් වියළි කලාපීය ගෙවතුවල අඩු බෝග විවිධත්ත්වයක් සහ අඩු පැළ ගහණයක් දැකිය හැකියි. වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ ස්වභාවයෙන්ම වියළි තත්ත්ව සඳහා ඔරොත්තු දෙන බෝග වර්ගයි.

3. ගම/ නගරය/ භූමිය/ සමාජ පසුබිම අනුවර්ගීකරණය

ග්‍රාමීය ගෙවතු

නාගරීකරණය නොවූ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ගෙවතු ග්‍රාමීය ගෙවතු ලෙස හැඳින්වෙනවා.මේ ගෙවතු බොහෝවිට ප්‍රමාණයෙන් විශාලයි. බෝග වර්ග වැඩි ප්‍රමාණයක් දැකිය හැකි අතරම පහසුවෙන් සතුන් ද ඇති කළ හැකියි .

අර්ධ නාගරික ගෙවතු

වඩා නාගරීකරණය නොවූ ප්‍රදේශවල පිහිටි ගෙවතු අර්ධ නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල තරම්ම ඉඩකඩක් දකින්නට නොලැබුනත් නාගරික ගෙවතුවලට වඩාවැඩි ඉඩකඩක් බොහෝවිට දකින්නට ලැඛෙනවා.

නාගරික ගෙවතු

බොහෝ සෙයින් නාගරීකරණය වූ ප්‍රදේශවල දකින්නට ලැඛෙන ගෙවතු නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා. මේ ගෙවතුවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඉතා අඩු, සීමිත ඉඩකඩක් පැවතීමයි.  මහල් නිවාස, නිවාස සංකීර්ණ, ඉතා සීමිත ඉඩකඩක පිහිටි නිවාසවල ගෙවතු මේ යටතට ගැනෙනවා.

ප්‍රතිලාභ

පවුලේ සියලූදෙනාට ප්‍රියජනක සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට උදව් වෙනවා.

වස විස නැති, රස ගුණයෙන් පිරි, පිරිසිදු එළවළු හා පලතුරු අවශ්‍ය වෙලාවට ලබාගත හැකියි.

හොඳින් සැළසුම් කළ ගෙවත්තකින් ලැඛෙන ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වෙළඳපොල ගනුදෙනුව ටිකෙන් ටික අඩුවීමයි. ඒ නිසාම, පවුලේ පෝෂණය මෙන්ම ආර්ථික තත්ත්වය ටිකෙන් ටික ඉහළ නැගෙනවා.

සැලසුම් සහගත ගෙවත්ත කෘෂිකාර්මික දැනුම, කුසලතා හුරුව හා ආකල්ප පරපුරෙන් පරපුරටත්, අසල්වැසියන්ට නෑදෑයින්ටවගේම හිත මිතුරන්ටත් ලබාදෙන කෘෂි තක්සලාවක් ලෙස කටයුතු කරනවා.

ගෙවත්තක විවිධ බෝග වගා කිරීමෙන්, සතුන් ඇති කිරීමෙන්, අලූත් කෘෂිකාර්මික ක්‍රම අත්හදා බැලීමෙන් අපට නිරන්තරයෙන් අත්දැකීම් ලැඛෙනව. එය අනාගතයේදී මහා පරිමාණ වාණිජ්‍ය වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා යොමුවීමට කදිම අත්වැලක් සපයනවා.

ගෙවත්තක තියෙන සමහර ශාක අපට දර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම ඉන්ධන සඳහා මුදල් වැය වෙන්නේ නැහැ.

හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් නඩත්තුකරන කොට අපට ලැඛෙන විවේක කාලය සතුටින්ම ගත කරන්න පුළුවන්.

හොඳ අරමුණක් තියෙන නිසා අනවශ්‍ය දේවල් කරන්න, කියන්න, හිතන්න යොමුවන්නේ නැහැ. හරියට භාවනාවක් වගේ සිතට වින්දනයක් සමඟ මානසික සුවයකුත් ගතට ව්‍යායාමයක් සමඟ නිරෝගී බවට අත්වැලක් ලැබීම මිල කරන්න බැරි තරම් වටිනවා.

හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් තියෙන නිවසක ජීවත්වන ලොකු කුඩා හැමෝම තමන්ගේ වටාපිටාවේ පරිසරය නිසා පුදුම සතුටක්, වින්දනයක් ලබනවා.

ගෙවතු වගාවට නැඹුරු වන ඔබට මේ සියලූ අත්දැකීම් විඳගන්නට ලැබීම ජීවිත කාලය පුරාවටම ලබන අපූර්ව අත්දැකීමක් වේවි.

ගෙවත්ත හා පෝෂණය

දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට මෙන්ම පවුලේ සියළු දෙනාගේම නිරෝගී පැවැත්ම සඳහා ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ලැබිය යුතුයි.

සමබල ආහාර වේලක.- ශක්තිජනක ආහාර ( කාබෝහයිඩ්‍රේට්), මේද වර්ධක ආහාර ( ප්‍රෝටීන), ආරක්ෂක ආහාර (විටමින් සහ ඛණිජ ලවණ) යන කොටස් හතරම ඇතුළත් විය යුතුයි.

මන්දපෝෂණය වළක්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදා ගැනීම සඳහා සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට හැකිවන පරිදි ඔබේ ගෙවත්ත සැලසුම් කරගන්න.ඒ සදහා විවිධ පෝෂක සංඝටක අඩංගු විවිධ බෝග/ සත්ත්ව පාලනය ඔබේ ගෙවත්තට ඇතුළත් කරන්න.

ඉදිරිපත් කිරීම – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන ඇසුරිනි

RSL

Related Posts