කොරෝනා: ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු – JVP

Spread the love

කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු යැයි ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

කොරෝනා රෝගී තත්ත්වය ගෝලීය වශයෙන් වසංගත මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ තත්ත්වය තුළ සෑම රටක්ම විසින්  කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම තවදුරටත් අවධාරණය වී ඇත. මේ අතර රට තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබීමත් සමග ශ‍්‍රී ලංකාව විසින් ද කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කිසිවකුටත් බැහැර කළ නොහැක. මේ තත්වය තවදුරටත් පැතිර ගියහොත් අප රට තුළ මහත් ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකිව තිබේ. 

එමනිසා මේ මොහොතේ ආණ්ඩුව විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අප යෝජනා කරමු. එම ජාතික වැඩපිළිවෙළ සඳහා සියලූ දෙනා පක්ෂ පාට බේදයකින් තොරව සහය පළ කළ යුතු යැයි අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා සම්පූර්ණ සහය ලබාදීමට සූදානම් බවද ප‍්‍රකාශ කරමු. 

එමෙන්ම මේ මොහොතේ මෙම ව්‍යසනයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන නිර්දේශයන් සහිත දැනුවත් කිරීම් අකුරටම පිළිපදින ලෙසත් අනවශ්‍ය කළබලවීම් නොකොට කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට උපරිම සහය ලබාදෙන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

RSL

Related Posts