රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි.
මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ හතර මායිම් හොඳින් දැන සිටි රේගු වෘත්තීය සමිති එම තීරණයට එරෙහිව අවි අමෝරා ගත්හ. ඒ අනුව පසුගිය බදාදා (30දා) පස්වරුවේ සිට ඔවුහු ‘විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත් වූහ.
රියර් අද්මිරාල්වරයාගේ පත්වීම අකුළා ගන්නට ඒ අනුව ආණ්ඩුවට සිදුවූ අතර ඒ වෙනුවට වැඩබලන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන එම්.ජී. සුමනසිංහ මහතා පත් කිරීමට රජය තීරණය කළේය.
අවසානයේ රේගු වෘත්තීය සමිති ඔහුගේ පත්වීමද ප්‍රතික්ෂේප කරමින් බ්‍රහස්පතින්දා (31දා) ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යෑමට තීරණය කර තිබේ. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ චාල්ස් මහත්මිය නැවත පත්කර එවන ලෙසය. නැතහොත් රේගු සේවයේ නිලධාරියකු රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීමට කටයුතු කරන ලෙසය.රේගු අධ්යක්ෂ ජනරාල්වරිය එම තනතුරින් ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මිනුවන්ගොඩ වෙහිකල්ස් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකරු නිසාය. එහි හිමිකරු වන හර්ෂ ප්‍රභාත් ද සිල්වාට විරුද්ධව රේගු නිලධාරීන් විසින් විමර්ශනයක් ගෙනයන්නේ වසර ගණනක සිටය. ඊට හේතු වී තිබෙන්නේ ජපානයෙන් ගෙන්වන ලද වාහන සඳහා රජයට අය විය යුතු තීරුබදු නොගෙවීමට එරෙහිව ආරම්භ කර ඇති පරීක්ෂණයයි.
මේ වන විට හර්ෂ ප්‍රභාත් ද සිල්වා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයිද වාර්තා වෙයි. එම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට නම් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කෑලි ගලවා ගෙනැවිත් විකිණීමට සැලැසුම් කළ වාහන 410 නිදහස් කර ගත යුතුය. මේ වාහන පිළිබඳ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හර්ෂ ප්‍රභාත් ද සිල්වාට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගෙන තිබිණි. එහිදී අධිකරණයද තීන්දු කළේ වාහනයක් මෙරටට ආනයනය කිරීමේදී ගෙවිය යුතු නියමිත මුදල ගෙවා අදාළ වාහන තොගය නිදහස් කර ගන්නා ලෙස එක් වාහනයකින් රුපියල් ලක්ෂ 35ක අවමයක පමණ තීරුබදු ප්‍රමාණයක් ගෙවිය යුතු අතර එවැනි වාහන 410ක් ඇති අතර හර්ෂ ප්‍රභාත් ද සිල්වාට රුපියල් කෝටි ගණනක තීරු බදු රජයට ගෙවීමට තිබේ.
එසේ තිබියදී හර්ෂද ප්‍රභාත් ද සිල්වා කර තිබුණේ ගෙන්වන ලද වාහනවල ඇන්ජින් ගලවා අමතර කොටස් ගෙන්වන ලෙස වාහන ගෙන්වීමය. එහිදී ඔහු රජයට එක් වාහනයක් සඳහා ගෙවිය යුතුව තිබුණේ රුපියල් ලක්ෂ අටක පමණ තීරු බදු ප්‍රමාණයකි.
දේශපාලනඥයන්, හිටපු රේගු නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකුගේ සහාය ඇතිව හර්ෂ ප්‍රභාත් ද සිල්වා මේ වැඩේ දිගටම කරගෙන ගොස් තිබිණි. මේ නිසා රේගුවේ අත්අඩංගුවට පත් වාහන නිදහස් කර ගැනීමට ඔහු මහත් වෙහෙසක් ගනිමින් සිටියි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝහිත හරීන් සම්පත් සමරතුංග සහ හර්ෂප්‍රභාත් ද සිල්වා අතර දැඩි මිත්‍රත්වයක් ඇති බවට වාර්තා වෙයි. එසේම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝහිත හරීන් සම්පත් සමරතුංග මහතා එම තනතුරට පත්වීමට පෙර මුදල් අමාත්‍යාංශයේ වෙනත් තනතුරු දරන කාලයේ සිටද හර්ෂ ප්‍රභාත් ද සිල්වාට තීරුබදු නොගෙවා වාහන තොග නිදහස් කර ගැනීමට උදවු කර තිබේ.
මෙම වාහන තොගය නිදහස් කර ගැනීමට හර්ෂ ප්‍රභාත් ද සිල්වා පසුගිය කාලයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝහිත හරීන් සම්පත් සමරතුංග හා එක්ව රේගු අධ්යක්ෂ ජනරාල්වරියට බලපෑම් කර තිබේ. එහෙත් රේගු අධ්යක්ෂ ජනරාල්වරියට මෙම වාහන තොගය නිදහස් කිරීමටද බැරි තත්ත්වයක් තිබේ. ඒ උසාවි නියෝගය හේතුවෙනි. එහෙත් කෙසේ හෝ වාහන තොගය නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විටින් විට කරන ඉල්ලීම් හමුවේ රේගු අධ්යක්ෂ ජනරාල්වරිය පවසා ඇත්තේ එසේ නම් ඔබතුමා ඒ සඳහා සටහනක් එවන ලෙසය.
මේ අතර හර්ෂ ප්‍රභාත් ද සිල්වා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නිල කාමරයට ගොස් වාහන නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබේ. එහිදී හර්ෂ ප්‍රභාත් ද සිල්වා රේගු අධ්යක්ෂ ජනරාල්වරියට කියා ඇත්තේ මගේ බඩු නිදහස් කරන්න බැරි නම් ඔය තනතුරේ මාස එකහමාරකට වඩා නොතියන බවය. එහිදී රේගු අධ්යක්ෂ ජනරාල්වරිය හර්ෂ ප්‍රභාත් ද සිල්වාට කියා ඇත්තේ එල්ටීටීඊ ප්‍රශ්න තිබුණු කාලයේ මම බය නැතිව මඩකළපුවේ සේවය කළා නම් ඔයාගේ තර්ජනවලට මම බය නැහැ කියාය.
හර්ෂද ප්‍රභාත් ද සිල්වාගේ මෙම තර්ජනය හමුවේ රේගු අධ්‍යක්ෂවරයාද දැනුවත් කිරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරිය පියවර ගෙන ඇත. ඉන් පසු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙත ඇය දැනුම් දෙන්නේ හර්ෂ ප්‍රභාත් ද සිල්වා හෝ ඔහුගේ වාහනය (ම්ජ්-2828) ද රේගුවේ ගේට්ටුවෙන් කිසිම හේතුවක් නිසාවත් ඇතුළට නොගන්නා ලෙසයි. හදිසියේවත් යම් විමර්ශන කටයුත්තකදී හර්ෂ ප්‍රභාත් ද සිල්වා රේගුවට කැඳවන අවස්ථාවකදී හෝ ඔහු පැමිණෙන අවස්ථාවකදී රේගු අධ්යක්ෂ ජනරාල්වරිය දැනුවත් කර ඔහුගේ හැඳුනුම්පත රේගුවේ ආරක්ෂක අංශයේ තබා ඇතුළු වීමේ අවසර පත්‍රයක් නිකුත් කර පමණක් රේගුව ඇතුළට එවිය යුතු බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.
මේ ආකාරයට හර්ෂ ප්‍රභාත් ද සිල්වාට රේගු මූලස්ථානයට ඇතුළුවීමට අවසර නොදීම ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැඩි කැමැත්තක් තිබී නැත. දැනගන්ට ලැබෙන ආකාරයට පැවැති එක් රාජකාරි රැස්වීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රේගු අධ්යක්ෂ ජනරාල්වරියට පවසා ඇත්තේ හර්ෂ ප්‍රභාත් ද සිල්වාට රේගුව තුළට ඇතුළුවීමට කළ තහනම ඉවත් කරන ලෙසය. රේගු අධ්යක්ෂ ජනරාල්වරිය නීතියට වැඩ කරන අයකු බවද වාර්තා වෙයි. මීට පෙර තීරුබදු නොගෙවා භාණ්ඩ නිදහස් කිරීම මෙන්ම විවිධ අක්‍රමිකතා වාර්තා වූ රේගු නිලධාරීන් අටදෙනකු අනිවාර්ය නිවාඩු යවාද තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විවිධ බලපෑම් ආවත් ඇය එම බලපෑම්වලට යටත් නොවීම හේතුවෙන් ‘මම කියන විදියට වැඩ කළේ නැත්නම් මම ඔයාව අයින් කරනවා’ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා ඇතැයි රේගුවේ නිදහස් වෘත්තීය සමිතියේ ජේයෂ්ඨයෙක් අප සමඟ කීය.
ඉන් පසු අධ්‍යක්ෂ ජනරාල්තුමිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් හමුවී මේ ගැන බේරුමකට පැමිණ ඇත. එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමියගෙන් ඉල්ලා ඇත්තේ හර්ෂ ප්‍රභාත් ද සිල්වාට රේගු මූලස්ථානයට දමා තිබූ තහනම ඉවත් කරන ලෙසය. ඉන් පසු රේගු අධ්යක්ෂ ජනරාල්වරිය පැමිණ 2019-1-11 දින සිට ක්‍රියාත්මක වන පරිදි හර්ෂ ප්‍රභාත් ද සිල්වාට රේගු මූලස්ථානයට ඇතුළුවීමට අවසර ලබා දෙන බවට ලිපියකින් දැනුම් දී තිබේ.
මේ ලිපිය අනුව කියැවෙන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමිය හා 2018-12-27 අදාළ කාරණාව සාකච්ඡා කළ පසු 2019-1-11 දින සිට රේගු මූලස්ථානයට පැමිණිය හැකි බවයි. මේ ලිපිය අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් එච්.පී. ජයනන්ද විසින් හර්ෂ ප්‍රභාත් ද සිල්වා වෙත යවන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ උපදෙස් මතය. මෙම ලිපියේ පිටපත් රේගුවේ අනෙකුත් අංශ වෙත මෙන්ම ස්ථානභාර නිලධාරි රේගු ආරක්ෂක අංශ වෙතද යවයි.
මේ ආකාරයට හර්ෂ ප්‍රභාත් ද සිල්වා නැවත රේගුව ඇතුළට එන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝහිත හරීන් සම්පත් සමරතුංග රේගු අධ්යක්ෂ ජනරාල්වරියට කළ බලපෑමට අනුවය. රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමිය විසින් දැමූ තහනම ඉවත් කරගෙන නැවත හර්ෂ ප්‍රභාත් ද සිල්වා ඇතුළට ගැනීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවී ඇතැයි රේගු නිදහස් වෘත්තීය සමිතියේ ජේයෂ්ඨ ප්‍රකාශකයා අපට කීය.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් ඇතුළට පැමිණීමේ අවසරය නැවත ලබාගෙන එතුමිය එළවා අලුත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කර ගනිමින් සිදු කිරීමට උත්සාහ කරන්නේ හර්ෂ ප්‍රභාත් ද සිල්වාගේ රේගු භාරයේ ඇති වාහන 410 නිදහස් කර ගැනීමටය.
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට තරම් ප්‍රබල තැනක සිටින හර්ෂ ප්‍රභාත් ද සිල්වා තම ක්‍රියාදාමයට විරුද්ධ වූ රේගු නිලධාරීන්ට මෙන්ම අධ්‍යක්ෂවරුන්ටද මීට පෙරද බලපෑම් කර තිබේ.
රේගුවේ අධ්‍යක්ෂවරයෙක් හර්ෂ ප්‍රභාත් ද සිල්වාගේ වාහන ගෙන්වන කන්ටේනරය වරාය ඇතුළත පරීක්ෂාවට ලක් කළේය. එම පරීක්ෂාවෙන් පසු හර්ෂ ප්‍රභාත් ද සිල්වා කළ හොර වැඩ සියල්ල හසුවිය. රජයට බදු ගෙවා වාහන මෙරටට ගෙන්විය යුතු වුවත් ඔහු කර තිබුණේ ජපන් වාහනවල කොටස් ගලවා අමතර කොටස් ගෙන්වන බව අඟවමින් වාහන ගෙන්වීමයි. මේ හරහා හර්ෂ ප්‍රභාත් ද සිල්වා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි ගණනක බදු ගෙවීම පැහැරහැර තිබේ. ඔහුට මේ ක්‍රියාදාමයේදී ඇතැම් රේගු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම දේශපාලකයන්ගේද සහාය ලැබී තිබේ. කෙසේ හෝ අවසානයේ හර්ෂ ප්‍රභාත් ද සිල්වා රජයට බදු නොගෙවා වාහන ගෙන්වා විකුණමින් විශාල මුදලත් හම්බ කරගෙන තිබේ.
ඉහත කී වැටලීමෙන් පසු නීතිය ක්‍රියාත්මක වූ අතර අධිකරණය තීන්දු කළේ රජයට අයවිය යුතු බදු ගෙවා වාහන ටික නිදහස් කර ගන්නා ලෙසය. දැනට රේගුව සතුව වාහන 410ක් ඇති අතර එම වාහන නිදහස් කර ගැනීමට හර්ෂ ප්‍රභාත් ද සිල්වා නොගන්නා උත්සාහයක් නැත.
බී.ඕ.අයි. ව්‍යාපෘතියක් ලෙස වාහන ගෙන්වා රටට ආදායමක් ලබාදීමට උත්සාහ කරන බව පෙන්වා වසර 10ක බදු සහනයක්ද හර්ෂ ප්‍රභාත් ද සිල්වා ලබාගෙන ඇත. එහෙත් එවැනි කිසිදු ආයෝජනයක් ලබානොදීම ගැන බී.ඕ.අයි. මඟින් හර්ෂ ප්‍රභාත් ද සිල්වාගෙන් විමසා තිබුණත් ඊට පිළිතුරු නැත.
රුපියල් මිලියන 500ක ආයෝජනයක් හරහා රටට මුදල් එන බව පැවැසුවත් හර්ෂ ප්‍රභාත් ද සිල්වා රුපියල් ලක්ෂ 5ක් පමණක් තැන්පත් කර වසර 10ක බදු සහනය ලබාගෙන තිබේ.
අධිකරණය විසින් බදු මුදල් ගෙවා වාහන නිදහස් කර ගන්නා ලෙස කීවත් වාහනවලට අදාළ බදු මෙතෙක් ගෙවා නොමැති බව දැනගන්නට තිබේ. එසේම රේගු නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත ලිපියකින් දැනුම් දෙන්නේ වාහන 410 අතුරෙන් නිෂ්පාදන බදු මුදල් ගෙවන ලද වාහන ලියාපදිංචියට අවසර දෙන ලෙස ඉල්ලමිනි. එහෙත් හර්ෂ ප්‍රභාත් ද සිල්වා වාහන සඳහා කිසිදු බදු මුදලක් ගෙවා නොමැති බවද වාර්තා වෙයි.
2011.04.28 දරන කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැති අමාත්‍ය මණ්ඩල සන්දේශය අනුව සඳහන් වෙන්නේ වෙහිකල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ වැඩපළක් පරීක්ෂා කිරීමට සහ ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාගේ නිලධාරි කණ්ඩායමට නියම කළෙමි. එම කණ්ඩායම ඔවුන්ගේ වාර්තාවෙන් එම වාහන සම්බන්ධ ගැටලු කිහිපයක් පෙන්වා දී ඇත. එම වාහන වසර 10කට වඩා පැරණි ඒවා බවයි. ජපානයේ සුන්බුන් කිරීමට නියමිතව ඇති වාහන සුන්බුන් කරන ස්ථානයේදී අඩු මිලට මිලදී ගෙන කැබැලිවලට වෙන්කර ශ්‍රී ලංකාවට ආනයනය කිරීමත්, එම කොටස් නැවත ලංකාවේදී එකලස් කොට එකම චැසි අංකය යටතේ සිදු කෙරේ. එමෙන්ම පූර්ණ අලුත්වැඩියාවෙන් තොරව බඳ ආවරණයට එන්ජිම, ගියර් පෙට්ටිය, ඉදිරිපස ඇක්සලරය, ඩිෆරන්සලය හා අනෙක් කොටස් නැවත එකලස් කරන බව එම නිරීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබේ.
මේ ලිපිය පදනම් කර ගනිමින් චූලානන්ද පෙරේරා මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපිය යවන්නේ ඉන් පසුවය. අධිකරණ නියෝගයේද සඳහන් වන්නේ රජයට අදාළ බදු ගෙවා වාහන ටික නිදහස් කරගන්නා ලෙසය. එහෙත් එසේ නොකර හර්ෂ ප්‍රභාත් ද සිල්වා උත්සාහ ගන්නේ සිය දේශපාලන හයිය සහ හිතවත් රේගු හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හරහා වාහන 410 නිදහස් කර ගැනීමටය.
ඔහු මේ සඳහා නොකරන උත්සාහයක් නැත. මහවැලි හා පරිසර අමාත්‍යාංශයට හර්ෂ ප්‍රභාත් ද සිල්වා ලිපියක් යොමු කරමින් වාහන 410 නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. භාවිත කළ වාහන වසර තුනකට වඩා පැරණි නොවිය යුතු යැයි කියා ඊට වඩා පැරණි වාහන ලංකාවට ගෙන ඒම තහනම් කිරීමත් සමඟම නාගරික වායු දූෂණය සියයට 70කට වැඩි නිසා එම ක්‍රියාදාමය අඩු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණයකට අනුවය. ඒ පිළිබඳව සදහන් ලිපියක් හර්ෂ ප්‍රභාත් ද සිල්වාට 2017.02.16 දින යොමු කර තිබේ. මගේ අංකය ර්ච්ඡ්/ඒච්/03/ඹ්චඡ.ධඡඵ. 2017 ලිපියෙනි.
එහි සඳහන් වන්නේ වාහන උපාංග හා අමතර කොටස් භාවිත කර එකලස් කරන ලද වාහන වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලබාදීම වාහන තාක්ෂණය වාහන තත්ත්වයන් ආරක්ෂාව ඉන්ධන භාවිතය, කාර්යක්ෂම හා පිරිසුදු ඉන්ධන භාවිතය කරන වාහන සම්බන්ධයෙන් මේ දක්වා රජය ගෙන ඇති පියවරයන්ට ප්‍රතිවිරුද්ධ වේ. මෙවැනි වාහන අවසර ලබාදීම හා එවැනි ව්‍යාපෘති සඳහා බදු සහන හා ඒ ආශි්‍රත වෙනත් සහනයන් ලබාදීම හරහා රජය විසින් මේ දක්වා ගනු ලැබූ ඉදිරි පියවර ආපස්සට හැරවීමක් වන අතර මෙවැනි සහන ලබාදීම පිරිසුදු හා කාර්යක්ෂම වාහන පාවිච්චිය ප්‍රවර්ධනය හරහා නාගරික වායු දූෂණය කිරීමට ගන්නා වූ පියවර අඩපණ කිරීමට හේතු විය හැකි යැයි කියාය.
එසේම ලංකාවේ අධිකරණ පද්ධති තුනකින් හර්ෂ ප්‍රභාත් ද සිල්වාගේ වාහන නිදහස් කර දීමට කළ ඉල්ලීම් ඉවත දමා තිබේ.
එසේ තිබියදී කෙසේ හෝ වාහන 410- නිදහස් කර ගැනීම වෙනුවෙන් හර්ෂ ප්‍රභාත් ද සිල්වා උත්සාහ කරයි. මේ ක්‍රියාදාමයේදී තමන්ට විරුද්ධ බලවේග සියල්ලම ඉවත් කිරීමට ඔහු තම හිතවතුන්ගේ සහය ලබාගෙන ඇත. එහි අලුත්ම පිම්ම රේගු අධ්යක්ෂ ජනරාල්වරිය එම තනතුරෙන් ඉවත් කිරීම බව රේගු නිලධාරීහු කියති.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රේගු අධ්යක්ෂ ජනරාල්වරියට බුලත්, පුවක්, ගම්මිරිස් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලකයන්ගේ භාණ්ඩ නිදහස් කර ගැනීමට බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි.
එසේ වුවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට මූලිකව බලපා ඇත්තේ හර්ෂ ප්‍රභාත් ද සිල්වාගේ වාහන බදු ගෙවීම්වලින් තොරව රේගු අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට එකඟ නොවීම යැයි රේගු නිලධාරීහු කියති.
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කොට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත් කිරීමට යාම පිටුපස තවත් ක්‍රියාදාම රැසක්ද වාර්තා විය. එහිදී සිය හිතවතුන්ට සහ හිතවත් සමාගම්වල රේගු බදු සහන ලබාගැනීමේ අරමුණකි.
රේගු ආදායම් අඩුවීම වළක්වා ගැනීමට සහ මත්ද්‍රව්‍ය රටට පැමිණීම වළක්වා ගැනීමට යැයි රජය ප්‍රකාශ කළත් ඇත්ත එය නොවන බව දයාසිරි ජයසේකර මහතාද ප්‍රකාශ කර සිටියේය.
මේ වනවිට මුදල් අමාත්‍යාංශ ඉහල නිලධාරින්ගේ, ආණ්ඩුවේ ඇමැතිවරුන්, ඉහළ නිලධාරීන් රේගු අධ්යක්ෂ ජනරාල්වරියට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට විවිධ බලපෑම් කර බදු සහන ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙයි. රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඊට අවනත නොවීම මත රේගු අධ්යක්ෂ ජනරාල්වරියට සිය ධුරය අහිමි වී ඇතැයිද වාර්තා වෙයි.
වසරකට රජයේ ආදායමට රේගුවෙන් සියයට 35ක ආදායමක් ලැබෙයි. 2019 ජනවාරි 8 වැනිදා වන විට රුපියල් බිලියන 17.58ක්ද, 2019දී බිලියන 920.9ක්ද, 2017දී බිලියන 918.6ක්ද රේගුවෙන් රජයට ආදායම් වශයෙන් ලබාදී තිබේ.
එහෙත් පසුගිය කාලයේ රජයට අහිමි වූ රේගු බදු ආදායම රුපියල් බිලියන 131කි. පෙට්රල් අඩු කිරීමෙන් බිලියන 30ක්ද, රථවාහන එන්ජින් ධාරිතාව මත බදු අඩු කිරීමෙන් රුපියල් බිලියන 4ක්ද රටට අහිමි වී තිබේ.
එසේම රජයේ ඉහළ ඇමැතිවරයකුගේ රැකවරණය මත වියට්නාමයෙන් බාල ගම්මිරිස් ටොන් 2,800ක් කන්ටේනර් 134ක් බදු නොගෙවා මෙරටට ගෙන්වා ඇත. එම ගම්මිරිස් මෙරට ගම්මිරිස් සමඟ කවලම් කොට ප්‍රති අපනයනය කිරීම තුළින් රටට අහිමි වූ ආදායම ඩොලර් මිලියන 9කි. තීරුබදු නොගෙවා ගෙන්වූ පොල්තෙල් මෙ.ටො. 469ක් නිසා රුපියල් මිලියන 81.3ක් රටට අහිමි විය. පී්‍රමා පිටි ගෙන්වීමේදී අගමැති කාර්යාලයේ බලපෑම මත රුපියල් මිලියන 475ක් රේගුවට අහිමි විය. මේ මුදල් රේගුව අයකර ගැනීමට ගිය විට දේශපාලන බලපෑම් මත එම මුදල අහිමි වී තිබේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය එම ධුරයේ වැඩ භාරගත් පසු දූෂිත රේගු නිලධාරීන් 08 දෙනකුගේ වැඩ තහනම්ද කළාය. එසේම මැලේසියාවෙන් ලංකාවට ගෙන්වූ ෆාම් ඔයිල් කන්ටේනර් 24ක් තුළ ෆැටි ඇසිඩ් නමැති අපද්‍රව්‍යයක් ඇති බව සොයා ගැනිණි. එසේ තිබියදී එම පාම් ඔයිල් රේගු අධ්‍යක්ෂවරයෙක් විසින් නිදහස් කළාය. එහෙත් රේගු අධ්යක්ෂ ජනරාල්වරිය මැදිහත්ව ඒ ගැන නැවත පරීක්ෂණයක්ද ආරම්භ කළාය. එවැනි දක්ෂ නිලධාරිනියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව ඇත්තේ ද එනිසාය.
-මව්බිම-