Roundup වල්නාශක නඩුවෙන් ‘බේයර්’ සමාගම පරාදයි

Spread the love

කෘෂි රසායන ඇතුළු රසායන නිෂ්පාදනය කරන ලෝ ප්‍රකට බහුජාතික සමාගමක් වන ‘බේයර් Bayer සමාගමට එරෙහිව පැවති නඩුවකින් එම සමාගම පරාජයට පත්ව ඇති අතර පැමිණිලි පාර්ශ්වයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.9ක් ගෙවීමට බේයර් සමාගමට සිදුව ඇත.

ශ්‍රී ලංකාව තුළ පවා දැඩි සංවාදයට ලක් වූ ප්‍රකට වල්නාශකයක් වන ‘ග්ලයිෆොසේට්‘ (Glyphosate) මත පදනම් වූ නිෂ්පාදිතය වන Roundup මගින් සිදුවන පිළිකා කාරක බලපෑම් සම්බන්ධයෙන් බේයර් සමාගමට එරෙහිව පුද්ගලයින් 125,000 ක් විසින් ගොනුකර තිබූ නඩුවත් සමථයට පත්වීම සමග අද (25) දින මෙම තීන්දුව ප්‍රකාශයට පත්ව ඇත.

නිව් යෝර්ක්හි නීති ආයතනයක් වන වයිට්ස් සහ ලක්සෙන්බර්ග් (Weitz & Luxenberg) පවසන්නේ එය 100,000 කට ආසන්න පිරිසක් වෙනුවෙන් විසඳුමකට පැමිණ ඇති බවයි.

රවුන්අප් හි වත්මන් හිමිකරු වන බේයර් සමාගම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත් වන්දි ගෙවීම මගින් “අවිනිශ්චිතතාව” අවසන් කරන බව පැවසීය.

රවුන්ඩ්අප් (Roundup) මුලින් නිෂ්පාදනය කරමින් අලෙවි කළේ එක්සත් ජනපද සමාගමක් වන මොන්සැන්ටෝ සමාගම විසින් වන අතර මොන්සැන්ටෝ සමාගම 2018 දී බේයර් සමාගම විසින් මිලදී ගන්නා ලදී.

දශක හතරකට පෙර එය හඳුන්වා දුන් දා සිට රවුන්ඩ්අප් ලොව ජනප්‍රිය වල්පැලෑටි ලෙස ප්‍රසිද්ධ වී තිබේ.

බේරුම්කරණයේ කොටසක් ලෙස, බේයර් සමාගම විසින් ගෙවිය යුතු හිමිකම් පියවීම සඳහා ඩොලර් බිලියන 9.6ක් ගෙවන අතර අනාගත ඕනෑම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1.25 ක් වෙන් කරන බව සමාගම සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

“එය දිගු ගමනක්. නමුත් මොන්සැන්ටෝ සහතික කළ නිෂ්පාදනයක් භාවිතා කිරීමෙන් පසු තමන්ගේම වරදකින් තොරව, හොඩ්ග්කින් නොවන ලිම්ෆෝමා (Non-Hodgkin Lymphoma) රෝගයෙන් පීඩා විඳින දස දහස් සංඛ්‍යාත ජනතාවට සාධාරණය ඉටු කිරීම ගැන අපි සතුටු වෙමු ‘යැයි වයිට්ස් සහ ලක්සෙන්බර්ග් හි පරිසර දූෂණය හා පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ පුහුණු කණ්ඩායම් සභාපති රොබින් ග්‍රීන්වෝල්ඩ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එකඟ වූ ගෙවීම් වලින් ඩොලර් බිලියන 5 ක් දක්වා මේ වසරේදී මුදා හරිනු ඇති අතර තවත් ඩොලර් බිලියන 5 ක් 2021 දී ගෙවනු ලැබේ. බේයර් සමාගම කියා සිටියේ හිඟ හිමිකම් වලින් 25% ක් සඳහා තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවයි.

“පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, Roundup නිරවුල් කිරීම යනු දිගු කාලීන අවිනිශ්චිතතාවයක් අවසානයකට ගෙන ඒම සඳහා නියම වේලාවට කළ යුතු නිවැරදි ක්‍රියාවයි” යනුවෙන් බේයර් හි ප්‍රධාන විධායක වර්නර් බවමන් පැවසීය.

විද්‍යාත්මක පර්යේෂණ මගින් ඇඟවෙන්නේ “ Roundup මගින් පිළිකා ඇති නොකරන අතර එම නිසා මෙම නඩු විභාගයේදී චෝදනා කෙරෙන රෝගාබාධවලට එය වගකිව යුතු නැත” යනුවෙනි.

ග්ලයිෆොසේට් තහනම් කිරීම

ජර්මානු රසායනික දැවැන්තයා වන බේයර් සමාගම විසින් මීට වසර දෙකකට පෙර මොන්සැන්ටෝ සමාගම ඩොලර් බිලියන 63 කට මිල දී ගත් අතර ඒ සමගම වල් නාශක සම්බන්ධයෙන් නීතිමය සටන්වලට මුහුණ දුන්නේය.

2018 අගෝස්තු මාසයේදී කැලිෆෝනියාවේ උසාවියක් විසින් රවුන්ඩ්අප් පිළිකා සමඟ සම්බන්ධ කරන පළමු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිමිකම් පෑමට සැලකිය යුතු වන්දි මුදලක් ප්‍රදානය කළේය.

ඔවුන්ගේ නඩු වලදී, පරිශීලකයින් ඔවුන්ගේ හොඩ්ග්කින් නොවන ලිම්ෆෝමා සහ වෙනත් පිළිකා සඳහා රවුන්ඩ්අප් සහ එහි ක්‍රියාකාරී අමුද්‍රව්‍ය ග්ලයිෆොසේට් වලට දොස් පවරති.

ග්ලයිෆොසේට් බොහෝ වල්පැලෑටි නාශකවල ක්‍රියාකාරී සංඝටකය වන නමුත් එහි ආරක්ෂාව පිළිබඳ තවමත් දැඩි මතභේද පවතී.

ශ්‍රී ලංකාව ද ඇතුළු සමහර රටවල් ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක තහනම් කර ඇති අතර තවත් රටවල් ඒවා දිගටම භාවිතා කරයි.

ග්ලයිෆොසේට් යනු පිළිකා කාරකයක් බවට වන චෝදනා බේයර් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ට එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියේ (Environmental Protection Agency) සහාය ද හිමිව තිබේ.

රවුඩ්අප් සදහා වන්දි ගෙවීමට අමතරව, දැන් තහනම් කර ඇති විෂ රසායනික සංයෝගයක් වන පොලිකොරිනේටඩ් බයිපෙනයිල් (Polychlorinated biphenyl (PCB) භාවිතයෙන් ජල දූෂණය සම්බන්ධ නඩු විසඳීම සඳහා බේයර් ඩොලර් මිලියන 820ක් වන්දි ගෙවා ඇත.

2020 ජූනි 25 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts