Political Week – UNP: සජිත්ට ‘හංස අවුල’ බේර ගන්න වෙන්න රවි එක්ක – අගමැති

Spread the love

සටහන – ගජබා නාහවත්ත

වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු ක්‍රියා කළේය.

“බැදුම්කර මගඩිය එ.ජා.පෙ ඇගේ ගහලා බේරෙන්න හදලා තියෙන්නේ 2015 ට කලින් බැදුම්කර වලින් කෝටි 5600 ක මගඩි කරපු වත්මන් ආණ්ඩුව බව වෝහාරික වාර්තාවෙන් එළියට ආවා. එ් ගැන තියපු විවාදය බොහෝ ජනමාධ්‍ය හරියට වාර්තා කළේ නැහැ. ඒ ව්‍යාජ දේශප්‍රේමින් රුපියල් දශ ලක්ෂ 8900 ක් අර්ථ සාධකයෙන් මේ මගඩියට යට කරලා වැඩ කරන ජනතාවත් උගස් කරලා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“වෝහාරික වාර්තාව හැදුවේ ජාත්‍යන්තරය පිළිගත් ස්වාධීන අයයි. ඒත් මේ ආණ්ඩුව කියන්නේ විගණකාධිපති කරපු නැති නිසා පිළිගන්න බෑ කියලායි. විගණකාධිපති මේ වාර්තාව හැදුවානම් කියාවි යහපාලන ආණ්ඩුව යටතේ හිටපු කෙනෙක් හදපු වාර්තාවක් පිළිගන්නේ නෑ කියලා.” ජේ.සි අලවතුවල කීවේ එවැන්නකි.

“දැන් එ.ජා.පෙ සියළු දෙනා එකතු වෙලා යන්න තීන්දුව ගැනීම වටිනවා. ඒත් ඡන්ද ලකුණ ඉක්මණින් තීන්දු කර ගන්න ඕනේ. ඔබතුමා හා විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නය ඉක්මණින් ඉවර කර ගන්න.” ජේ.සි අලවතුවල තවදුරටත් නායකයාගෙන් ඉල්ලා සිටියේය.

“හදවත ලාංඡනය පස්සේ මුලින්ම ගියා. ඒක වෙන පක්ෂයකට අයිති එකක් කියලාවත් අධ්‍යයනයක් නොකලේ ඇයි? සන්ධානයේ ව්‍යවස්ථාව පවා තාම ලැබිලා නෑ. අලියාගෙන් යමු කියලා යෝජනා කළාම පස්ස ගැහුවා. හංසයාගෙන් යනවා නම් රවිත් එක්ක කතා කරලා නීතිඥයෝ එක්ක ගිහින් කොමසාරිස් හමුවෙලා ප්‍රශ්නය බේර ගන්න ඕනේ.  මම මේ කරුණු මද්දුම බණ්ඩාරට පැහැදිලි කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු දුන්නේය.

“දැන් හංසයාගෙන් හෝ අලියාගෙන් ආවොත් නාමයෝජනා අත්සන් කරන්නේ සන්ධානේ මහලේකම්ද ඒ පක්ෂයේ ලේකම් ද” චම්පිකා ප්‍රේමදාස විමසුවේ තීරණාත්මක පැනයකි.

“අලියාගෙන් ආවොත් එ.ජා.ප මහලේකම්ට තමයි අත්සන් කරන්න වෙන්නේ. හංසයාගෙන් ආවොත් ඒ පක්ෂයේ මහලේකම්. ඒක සරල නීති පදනමක්.” එ.ජා.ප නායකයා ද කටහඩ අවදි කළේය.

“දෙවෙනි රාජසිංහ රජු පෘතුග්‍රිසි මාරු කරලා ඕලන්දක්කාරයෝ ගෙන්න ගත්තා. මෙයාලා රනිල් මාරු කරලා රවි ගන්නයි හදන්නේ. එ.ජා.ප යෙම ඉන්නවාද රවිගේ අතට පනිනවද කියලායි තීන්දු කරන්න වෙන්නේ.” එ.ජා.ප නීති නිලධාරියෙකු පැහැදිලි කළේ ඉතිහාසය හා වර්තමානය සසදමිනි.

“මම නීතිමය පදනම පෙන්නලා වරද්ද ගන්නේ නැතුව යන්න කිව්වා. ඒක හරියට තේරුම් ගත්තා ද මම දන්නේ නැහැ. මම විසදුම් දීලා නැහැ. පැහැදිලි කළා පමණයි. කොමිසමත් එක්ක කතා කරලා විසදුමකට එන්න අමාරු නම් ලබන සතියේ මට අවසන් විසදුම දෙන්න වෙනවා. පැය හයෙන් උත්තර ඉල්ලනවා. එහෙම කරන්නේ කොහොමද?” එ.ජා.ප නායකයා කීවේය.

“මේ හමුදාපති පත්කරන කොට ලෝකයෙන් විරෝධතා ආවා. හිටපු ජනපති වලන් කඩේට පැනපු ගානට එයා හිතපු දේවල්ම කලා. දැන් හමුදාපතිට ඇමරිකාව තහනම්. තව රටවල් කීයක් ඒ පාරේ යාවිද දන්නේ නැහැ. ආණ්ඩුවත් ෂෝ දානවා මිසක් ප්‍රශ්නයට විසදුම් හොයන්නේ නැහැ.” කේ.කේ පියදාසගේ මතය එය විය.

“අපේ හමුදාපතිට මේ තහංචිය ආවේ යහපාලන රජය ජිනිවාවලදී අත්සන් කරපු 30/1 යෝජනාව නිසා කියලා ආණ්ඩුව කියනවා  නේද?” චම්පිකා ප්‍රේමදාස විමසීය.

“ආණ්ඩුව අනාථ වෙලා ජනතාව නොමග යවන්න හදනවා. මීට කලින් ජගත් ජයසූරියටත් ඔය ප්‍රශ්නයම ආවා. ඉන්දුනිසියාවේ ජෙනරල් විරන්තෝට වගේම ඉන්දියානු වත්මන් අගමැති මෝදිටත් ඇමරිකාව මෙවැනි තහංචිම දැම්මා. 30/1 වගන්තිය අනුවද එයාලටත් තහංචි දැම්මේ කියලායි අපි ආණ්ඩුවෙන් අහන්නේ. යමෙකුට රටකට ඇතුල් වෙන්න දීම නොදීම ඒ රටේ තීන්දුවක්.” ලක්ෂ්මන් කිර්ඇල්ල කළ පැහැදිලි කිරීම එ.ජා.ප නායකයා ද අනුමත කළේය.

“එම්.සි.සි ගිවිසුම අත්සන් කරවන්න මේ ආණ්ඩුවට කරන බලපෑමක් ලෙසත් හමුදාපතිගේ සිද්ධිය සමහරු විග්‍රහ කරනවා නේද?” කේ.කේ පියදාස ඇසුවේ නායකයාගෙනි.

“නෑ එහෙම හිතන්න අමාරුයි. එම්.සි.සි වල ඩොලර් මිලියන 490 නැතුව මේ ආණ්ඩුව කොහේ දුවන්නද? ඉන්දියාව ලග දනින් වැටිලා ණය කපන්න කියලා ඉල්ලුවේ නිකංද?” එ.ජා.ප නායකයා කීවේ කාගෙත් සිනා මැදය.

“මේ ආණ්ඩුව ජිනිවා යෝජනාවෙන් ඉවත් වෙන්නයි හදන්නේ. 2015 ට කලින් වගේ ජි.එස්.පි නැති කරගෙන මාළු තහංචි දමාගෙන විශාල ආර්ථික ව්‍යසනයක් ජනතාවට කරන්නයි මේ උත්සාහ කරන්නේ.” දයා ගමගේ කී දේ ද සියළු දෙනා අනුමත කළහ.

RSL

Related Posts