Political vs Political: ආණ්ඩුවට එරෙහිව රවීගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්

Spread the love

සටහන – ගජබා නාගහවත්ත

කොරෝනා වසංගතය ලෝක ආර්ථිකය ගිලගනිද්දි එහි අනිටු ඵල විපාක විදීමට දියුණු වෙමින් පවතින අප වැනි රටවලට ද සිදුව ඇත. ජිවත්වීම, ආර්ථිකය හා සෞඛ්‍ය යන ප්‍රශ්නවල ජනතාව සිරව සිටියදි මැතිවරණයක අවශ්‍යතාවය ද දේශපාලනයේ කරණම් ගසමින් සිටිනා මාතෘකාවකි.

දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජනජීවිතය යතාවත් වී නොමැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් ජාතික පක්ෂයේ කොටස් යළිත් එක්වීමේ කොළ එළි දැල්වෙද්දි පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරීන් නායකයාගේ කොල්ලුපිටියේ නිවසට එක් වූවේ පවතින ආර්ථික හා දේශපාලන කරුණු ගැන සාකච්ඡා කිරිමටය.

“නායකතුමා රටේ පවතින ආර්ථික තත්ත්වය ගැනත් ඉන් ගැලවීමේ මාර්ගය ගැනත් හොද විග්‍රහයක් කළා. රටේ ජනතාව ඉතාම අසීරු ආර්ථික වටපිටාවක ඉන්නේ.” රවි කරුණානායක කතාවට මුල පිරීය.

“ලෝක ආර්ථික දත්ත අනුව අපි ලොකු මුල්‍ය අර්බුදයක ඉන්නේ. මෙහෙම ඉස්සරහට යන්න අමාරුයි. අපි ලොකු ණය කන්දක හිරි වෙලා. ඒකයි මම කිව්වේ ඇත්ත තත්ත්වය රටට හෙළි කරන්න කියලා. රටක් හැටියට සැලසුමක් නැතුව ඉස්සරහට යන්න බැහැ. සංචාරක ක්ෂේත්‍රය, ඇගළුම් ක්ෂේත්‍රය ගැන දැන්ම විශ්වාසයක් තියා ගන්න බැහැ. ඒ නිසා අපි අලුත් අවස්ථා හොයන්න ඕනේ විදේශ විනිමය ගෙන්න ගන්න. ඒ වෙනුවෙන් හොද විදේශ ප්‍රතිපත්තියකුත් අවශ්‍යයි.” නායකයා පැහැදිලි කළේය.

“ඩඩිලි සිරිසේනගේ හාල් මෝලට පැනලා ලොකු මාධ්‍ය සංදර්ශනයක් පසුගිය දවසක දැම්මා. මොකක්ද මේ ගැටුම.” චම්පිකා ප්‍රේමදාස තවත් කතාවක් මතු කළේය.

කටකතාවලින් – සමාජ මාධ්‍යවලින් රටක් ...

“ඕක එහෙම පිටින්ම බොරුවක්නේ. ඕක ශ්‍රීලනීපයේ හා පොහොට්ටුවේ ගැටුමක්. වැඩි මිලට බඩු වික්කා කියලා ඔය පාරිභෝගික අධිකාරියේ විශ්‍රමික මේජර් ජනරාල්වරයා මැනින් මාකට් එකට ගිහිල්ලා අහිංසක වෙළෙන්දෙක්ට කන පැලෙන්න ගහනවා කියා තර්ජනය කරනවා අපි දැක්කොනේ. හැබැයි ඩඩ්ලි සිරිසේන ගාවට ගිහිල්ලා අත් දෙක එකතු කරලා වැදලා කියනවා වැඩි මිලට හාල් විකුණන්න එපා කියලා. මේවා දකිනකොට මතක් වෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක්. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා උන්වහන්සේ ලස්සනට කවියෙන් කියලා තියෙනවා.” නවීන් දිසානායක කී දේ සැවොම හිස සලා අනුමත කළහ.

“මහ මැතිවරණය අගෝස්තු 15 දා පවත්වන්න යනවා කියලාත් ආරංචි පැතිරෙනවා. ආණ්ඩුව ඉක්මනට ඡන්දය තියන්න කියලා මැතිවරණ කොමිසමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්.” වජිර අබේවර්ධන කීවේය.

“ඔව් අගෝස්තු 15 ත් සැප්තැම්බර් 15 ත් අතර ඡන්දය තියන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද අධිකරණ තීන්දුව අනුව තමයි මැතිවරණ කොමිසමට කටයුතු කරන්න වෙන්නේ. එහෙම ගත්තත් දින 70 ක් එයාලා ඕන කියලා අධිකරණයට කියලා තියනවා. මමත් කියන්නේ කොමිසම පැත්තේ අපි හැමෝම හිට ගන්න ඕනේ කියලායි. මේක පක්ෂ විපක්ෂ හැමෝටම බලපාන දෙයක්. කොමිසම රැක්කොත් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. අද කොමිසමට විරුද්ධව කෑ ගහන අයට වුනත් එයාලා විපක්ෂයට ගිය දවසට මෙවැනි කොමිසමක අගය තේරෙයි. මැතිවරණ කොමිසම ඉන්න ඕනේ ජනතාවගේ පැත්තේ. එහෙම නොවුනොත් අද කෑ ගහන අයත් අමාරුවේ වැටෙනවා. අපි ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. මමත් මේ ගැන කතා කරනවා. පක්ෂයක් ලෙස අපි ස්වාධීන මැතිවරණ කොමිසම රැක ගන්න ඕනේ. මේ හදන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම නැති කරලා දාන්නයි. මොකද 17 වෙනි සංශෝධනයෙන් පවා මැතිවරණ කොමිසම ස්ථාපිත කළාට, ඒක බලසහිත කළේ නැහැ. නමුත් 19 යෙන් තමයි ඒක බලාත්මක කළේ.” නායකයා දීර්ඝ පැහැදිලි කිරිමක් කළේය.

“ඡන්දය කල් දාන්න ඉල්ලපු පෙත්සම් දැන් විභාග කරනවා. ඒවායේ තීන්දුව ඉදිරියේදි දේවි. ඉන් පස්සේ මොකද වෙන්නේ.” කේ.කේ පියදාස විමසා සිටියේය.

“නිතිපතියි මැතිවරණ කොමිසමයි දෙපැත්තට බෝලේ පාස් කර ගන්නවා. කොහොමවුනත් මෙතනදි බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඒක නිසා තමයි මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය නැති කරන්න හදන්නේ. දයා ගමගේ කීය.

“අපිත් නඩුවක් දාලා තියෙනවා මැතිවරණය කැදවිමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ජුනි 02 දායින් පසුව බලරහිත වෙනවා කියලා. අධිකරණය එය පිළිගත්තොත් මොකද වෙන්නේ.” කේ.කේ පියදාස යළිත් හඩ අවදි කළේය.

“නීතිපති කියන්නේ ගැසට් නිවේදනය අවලංගු වෙන්නේ නැහැ කියලායි. හැබැයි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ මැතිවරණය කැදවිමේ ප්‍රකාශය ලබන 02 දායින් අවසන් වෙනවා. මොකද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට බලය තියෙන්නේ මාස 03 කට පමණයි. එතනදි කථානායකට බලය එනවා පාර්ලිමේන්තුව කැදවන්න. නමුත් මෙතන ගැටුමක් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව වැදගත් වෙනවා. අපි අධිකරණයෙන් ගන්න බලන්නේ පාර්ලිමේන්තුව යළි කැදවීමේ බලය කතානායකට තිබෙන බවට නියෝගයක්.” මහලේකම් අකිල සදහන් කළේ පක්ෂය වෙනුවෙන් නඩුව ගොනු කළ පෙත්සම්කරුගේ භූමිකාව ඉටු කරමිනි.

“ඉන් පසුව ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව යළි විසුරුවනවාද කියලා තීන්දුවක් ගන්න. එහෙම නැතිනම් අගෝස්තු මාසයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන නිසා මැතිවරණ කොමිසමට බලය එනවා මැතිවරණය තියන්න. පාර්ලිමේන්තුව කැදවිමේ දිනය ඒ අනුව ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්න පුළුවන්.” නායකයාද කතාවට අලගු තැබීය.

“සජිත්ගේ කණ්ඩායමට ගිය පිරිසක් නායකතුමා එක්ක කතා කර කර හිටියා. දැන් ඒ අය එන්න ලැහැස්තිද? පත්තරවල ගිහින් තිබුණා 12 ක් ආයේ පක්ෂයට එනවා කියලා. චම්පිකා ප්‍රේමදාස යළිත් කතාවට හවුල් වුවේ මාතෘකාව වෙනතකට හරවමිනි.

“ඔව් අපිත් එක්ක පිරිසක් කතා කරමින් ඉන්නේ. පක්ෂය දැනට ගිය අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. මේ ගැන අපි ලබන සිකුරාදා කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා කතා කරමු. මම නම් හිතන්නේ මේ අයගෙන් එන්න කැමති කණ්ඩායම ගත්තාට කමක් නැහැ කියලායි. නමුත් අපි බහුතර මතයට අනුව කටයුතු කරන පක්ෂයක් නිසා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීන්දුව අනුව කටයුතු කරමු.” නායකයා කීවේය.

“කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කලාම තවත් පරිපාලන තීන්දු රැසක් ගන්න තියෙනවා. මැතිවරණයට මුහුණ දෙන්නත් අවශ්‍ය කටයුතු මෙතනදි කතා කරලා අවසන් කරන්න පුළුවන්.” මහලේකම්වරයා තවත් කොටසක් එකතු කළේය.

“රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපනවා. ව්‍යපාරිකයන්ට සහන නෑ. සුව විරුවෝ කියපු හෙදියන්ගේ අතිකාල කපනවා. ඔවුන්ට රැකියාවට එන්න විදියක් නැහැ. මේ අය අද පාරට බැහැලා. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදනවා. රටේ එක බිම් අගලක් දෙන්නේ නැහැ කියලා ආපු අය දැන් සද්ද නැතුව වරායත් ඉන්දියාවට දෙනවා. හාල් පොල් තුනපහ ඔක්කොම ගණන් ගිහිල්ලා ආණ්ඩුව බදු වැඩි කරපු නිසා. වෙළෙද පොලේ හාල් නැහැ. විදේශ රටවලට, සංවිධානවලට, යටත් වෙන්නේ නැහැ කියපු ආණ්ඩුව දැන් ආයෙත් අයි.එම්.එෆ් එකෙන් ණය ඉල්ලලා. යු.එන්.පී ය අයි.එම්.එෆ් එකේ කොන්දේසිවලට යටවෙලා කියපු අය දැන් යස අගේට සියළු කොන්දේසි පිළිගන්නම් ණය දෙන්න කියලා එතන වැද වැටෙනවා. අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ.” රවි කරුණානායක ආණ්ඩුවට දැඩි ප්‍රහරයක් එල්ල කළේය.

“ජනතාවට දැන් තියෙන්නේ ජිවත්වීමේ ගැටළුවයි. ව්‍යාපාරිකයන්ට ආදායම් නැහැ. ජිවිතයයි. ආර්ථිකයයි. සෞඛ්‍යයි කියන ත්‍රිකෝණය ඇතුලේ රට හිරවෙලා. අපි මේ මැතිවරණයේදි ජනවරම ඉල්ලන්න ඕනේ මේ ගැටළුවෙන් රට හා ජනතාව මුදා ගන්නා බව පෙන්වා දීලයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කොට විදිමත් වැඩපිළිවෙලක් හදමු.” නායකයා සිය සැලසුම් පසුවට කල් තැබීය.

Daily Mirror - Anomaly in allocating duty free vehicle permits to PCs

“විදේශ ශ්‍රමිකයෝ විශාල පිරිසක් ඒ රටවලින් මෙරටට එනවා. තවත් පිරිසක් එන්න බැරිව හිර වෙලා. මේ සියළු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ නිසි සැලසුමක් නැති නිසයි. සීෂෙල්ස් ඉදලා ලංකාවට රෝගීන් ගේනවා. අනිත් පැත්තෙන් විදේශ ශ්‍රමිකයෝ ගේන එක නවත්වනවා. නායකතුමා කිව්වා වගේ රට අරාජික වෙමින් යන්නේ.” වජිර අබේවර්ධන තවත් ආර්ථික කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.

“මැතිවරණය වෙනුවෙන් අපි දැන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමවුනත් අපි එකට හිටියා නම් ආණ්ඩුව පෙරලන්නත් තිබුණා. අපේ අයනේ කකුලෙන් ඇද්දේ. පක්ෂ ක්‍රියාකාරිකයෙක් මේ අතර සිය මතය ඉදිරිපත් කළේය.

“අපිට බලය තිබුණත්, පාර්ලිමේන්තුව රැස් වෙලා තිබුණත් මේ වෙලාව බලය ගැන හිතන්න ඕන වෙලාවක් නොවෙයි. අපි හිතන්න ඕනේ රට ගැනයි. අනෙක අපි ජනාධිපතිවරයාට ආණ්ඩුව කරගෙන යන්න අවස්ථාව දුන්නා නම් එයාලට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. මොකද බහුතරය හිටියා කියලා කකුලෙන් අදින්න හොද නැහැ. ආණ්ඩුව හරියට වැඩ නොකරනවා නම් ඒ ගැන තීන්දුවක් ගන්න අපි ජනතාවට බාර දෙන්න ඕනේ. අනෙක ඡන්දයටත් දැන්ම දුවලා වැඩක් නැහැ. ජනතාවට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. වේගයෙන් දුවන කෙනාට ඉක්මනට හති වැටෙනවා. තාක්ෂණයට අනුව දුවන කෙනාට දිනුම ගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථාවේදි අපි වේගය වැඩි කරමු. මැතිවරණ කොමිසම දිනය කිව්වාට පස්සේ අපි ඡන්ද වැඩ පටන් ගනිමු.” නායකයා කී දේ සැවොම අනුමත කළහ.

ඉන් අනතුරුව සියළු දෙනාගේ අවධානය යොමුවූවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොන්ඩමන්ගේ හදිසි අභාවය ගැනය. නායකයා ප්‍රමුඛ සියළු දෙනා ඔහු ගැන කණගාටුවෙන් කතා කළේ එකට සිටි පාර්ලිමේන්තු සගයෙකුගේ නික්මයාම ගැන සොව පළ කරමිනි.

මේ අතර සමගි ජනබලවේගයේ පිරිස් ද ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයේ සැලසුම් සාකච්ඡා කළ අතර එහිදි පිරිසකට බලතල බෙදා දුන්නේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් කතා කළයුතු දෑ ගැන තීරණය කිරිමට කමිටු පත් කරමිනි.

එහිදි කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජගත් විතාන විමසා සිටියේ ඡන්ද දිනය පිළිබදව අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති පෙත්සම්වල ප්‍රගතිය ගැනය.

ඊට පිළිතුරු දුන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මේ වන විට අධිකරණයේ පවතින නඩුවල වත්මන් තත්ත්වය විස්තර කළ අතර මහ මැතිවරණය ජුනි 20 දා නොපවත්වන බවට මැතිවරණ කොමිසම අධිකරණයට කළ කරුණු දැක්වීමම ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය. ජුනි 02 දා වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණය කැදවීමේ ගැසට් නිවේදනයද අවලංගු වන බව ඔහු වැඩි දුරටත් කීවේ ඊට සුදානම් විය යුතු බව කියමිනි. ඔහුගේ අදහස පැමිණ සිටි සැවොම පිළිගත්හ.

සටහන – ගජබා නාගහවත්ත

RSL

Related Posts