NPP Press: ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම දැන් පේනවා – ලාල් කාන්ත

Spread the love

ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණම කතාව පහත පළ වෙනවා.

අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය අංශයේ සේවකයන්ට පණිවුඩයක් දෙන්න එක්ක තමයි ජාතික ජන බලවේගය හැටියට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. 

අවසාන වරට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රු. 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා අරගලයක් කළා. එතැනදී අපේ සටන් පාඨ වුණේ, ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක්, දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීමත් යන්නයි. එදා අපි කළ අරගලයේ බලපෑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුවට සිද්ධ වුණා 2015 ජනාධිපතිවරණයට කලින් රු. 3,000ක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න.  ඊළඟට බලයට ආ එජාප ආණ්ඩුවට අර 10,000 ඉතිරිය කොටස් වශයෙන් දෙන්න සිද්ධ වුණා. මේවා අපේ අරගලයේ බලපෑම මත සිදුවූ දේවල්. එදා සිට මේ දක්වා කිසිදු වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්.

ගෝඨාභයලාගේ භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26කට දැන් බදු ගහලා. මේ බදු නිසා ජීවන වියදම වැඩිවෙනවා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ. 

2018දී වැඩ කරන ජනතාව දියත් කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එක එය  අනුමත කළා. භාණ්ඩාගාරයත් එය අනුමත කළා. ගෝඨාභයලා බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේක රාජ්‍ය සේවකයාට බරපතළ ලෙස බලපාන දෙයක්. ඒනිසා අපි දැන් වැඩ කරන පංතියට කියනවා, මේ කප්පාදුවට එරෙහිව අරගල භූමියට ඒම අත්‍යවශ්‍යයි කියලා.  ඒ වගේම මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. දැන් මාස තුනක් තිස්සේ එය ලැබෙන්නේ නැහැ. 

විදුලි බිල කලින් කිව්වා පෙබරවාරි බිල මාර්තුවලට ගෙවන්න කියලා. ඡන්දය වරින් වර කල් ගිය නිසා මෙය අවුල් වෙලා දැන් පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක් එන්න පටන් අරන්. විදුලි බිල් ගෙවන කාර්යාලවල හැමදාම ජනතාව පෝලිම්වල  පොරකකා රණ්ඩු කරනවා, ඒව නිවැරදි කර ගන්න. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. කිව්වේ නම් ගෝඨාභයගේ වැඩ නීට්, වැඬේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේ ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම.

2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා. මේ සියලු කප්පාදු අස්සේ 2/3ක බලයකුත් ඉල්ලනවා. වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා වැඩ කරන ජනතාව තම ඡන්දය හරහා මෙවර සටනක් දිය යුතුයි. ඡන්දය ඒ සඳහා යොදාගත යුතුයි. ඊට අවශ්‍ය මැදිහත්වීම හැකි උපරිමයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරන ගමන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන ලෙස මෙම ඡන්දයේදී අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අර්බුදයෙන් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි

මහින්ද  රත්නායක – ලංකා කම්කරු සම්මේලනය

කොරෝනා වසංගතය අස්සේ කම්කරු අමාත්‍යාංශය වෘත්තීය සමිති සාකච්ඡාවක් කැඳෙව්වා. ඒකේදී අවධාරණය කළේ කම්කරුවන්ට වැටුප් ගෙවන්න තියෙන අසීරුතාවය. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න කාර්ය සාධක බලකායක් හැදුවා. සමිති හතරක් පමණයි ඒකට තෝරා ගත්තේ. එතැනදී කම්කරුවන්ට විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන්ට මූලික වැටුපෙන් 50%ක් ගෙවන්න තීන්දු කළා. ඒකට අපේ සංගමයත් අන්තර් සමාගම් සේවක සංගමයත් ලංකා බැංකු සේවක සංගමයත් විරුද්ධ වුණා. අනෙක් සමිති කැමති වුණා. දැන් මාස හතරක් තිස්සේ ඒ කම්කරුවන්ට ගෙවන්නේ පඩි බාගයයි. කාර්යසාධක බලකායත් දැන් අක්‍රීයයි. ඒ කම්කරුවෝ දැන් ඉන්නේ දැඩි අසීරුතාවයේ.

කම්කරුවන්ගේ වැටුප් කපන්න නීතියක් නැහැ. එහෙම කරන්න බැහැ. ඇත්තටම ගත්තාම කොරෝනා වසංගතය වෙනුවෙන් කම්කරුවන්ගේ පැත්තෙන් කැපකිරීම කරලා හමාරයි.
පෞද්ගලික අංශය තමයි විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නේ. රටක වැඩ කරන ජනතාවගේ ආර්ථික තත්වය  උසස් නොකර ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන වැටිච්ච ආර්ථිකයක් ගොඩගන්න බැහැ. 

අර කාර්යසාධක බලකාය හැදුවේ 98%ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයෝ නියෝජනය කරන සමිති රාශියක් අත්හැරලා ආණ්ඩුවට කරදරයක් නොකරන සමිති හතරක් එකතු කරගෙන. ඒක අපිට ප්‍රශ්නයක්. 

දැන් සේවකයෝ අයින් කරන්න ක්‍රියාමාර්ග අරගෙන. දැන් ඔවුන්ට පඩියත් නැහැ, රැකියාවත් නැහැ. වෙන රටවල නම් මේ කාලයේ ඒ රටවල ආණ්ඩු මැදිහත් වෙලා සේවක වැටුප් ගෙවනවා. ආයතනය යථා තත්වයට පත්වූ පසු නැවත ගෙවීමේ කොන්දේසිය යටතේ. ඒ මුදල් ගෙවිය යුත්තේ ආයතනය විසිනුයි.

බැංකුවලට ගිහිල්ලා තග දැම්ම පලියට ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. ජාවාරම්කාරයෝ වටකරගෙන ජාතික ආර්ථිකය ගොඩගන්න බැහැ. මේ වන විට මැද පෙරදිග සේවය කළ අපේ රටේ සේවකයන් ලක්‍ෂ 5කය රැකියා අහිමි වෙලා. වෙළඳ කලාපයේ ලක්‍ෂ 3කට රැකියා අහිමි වෙලා. සියල්ල පවතින්නේ ගරා වැටෙන තත්වයක. මෙයින් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි. ඒ සඳහා තියෙන එකම මාවත මාලිමාව යටතේ තරඟ වදින ජාතික ජන බලවේගය බව අපි දැඩිව ප්‍රකාශ කර සිටිනවා. 

වෙළඳ කලාප සේවිකාවන් ඡන්දය දීමේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි

චමිලා තුෂාරි – ඩා බිඳු සාමූහිකය සංවිධානය, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා

තේ කර්මාන්තයේ, නිදහස් වෙළඳ කලාපයේ, මැද පෙරදිග මේ හැම තැනම ආර්ථිකයේ වැඩි කොටසකට දායකත්වය දෙන්නේ කාන්තාවෝ. මාර්තු 20වැනිදා වනකම් මේ රටේ පෞද්ගලික අංශය සේවකයන්ගෙත් බලෙන් වැඩ ගත්තා. කොරෝනා වසංගතය අස්සෙම. ඒ නිසා ඔවුන්ට ගමට යන්න බැරි වුණා. අපි මැදිහත් වෙලා තමයි ඔවුන්ට යන්න සැලැසුවේ.

නිදහස් වෙළඳ කලාපවල කම්කරු කාන්තාවන් ඇතුළු සේවකයින් දැන් බුරුතු පිටින් දොට්ට දානවා. නිදහස් වෙළඳ කලාපවල සේවකයින් ඡන්දය දාන්න නම් ගමට යන්න ඕනෑ. ඒ සඳහා පාලකයෝ විවිධ කොන්දේසි දානවා. නැවත වැඩට එන්න ප්‍රමාද වුණොත් වැටුප් කපනවා. ඒ වගේම මෑන් පවර් සේවකයන්ට දැන් මාස හතරක් තිස්සේ වැටුප් නැහැ. අඩුම තරමේ ඔවුන්ට රජයෙන් ලබාදුන් රු. 5,000වත් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. 

කලාප සේවක සේවිකාවන්ට බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඔය කියන සමාජ දුරස්ථභාවයෙන් ඔවුන්ට වැඩ කරන්න වාතාවරණයක් නැහැ. එකම පයිප්පයේ එකම ළිඳෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන් බුරුතු පිටින් නානවා. කලාප සේවිකාවන් අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද වැඩි වෙලා. මේවා කළමනාකරණය කරන්න මේ ආණ්ඩුවටත් කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒනිසා මේ මැතිවරණයේදී ඔවුන් ඡන්දය දිය යුත්තේ කාටද කියලා නිවැරදි තීන්දුවක් ගත යුතුයි.

වැඩ කරන ජනතාව මේ ආණ්ඩුවට තවත් ඡන්දය දිය යුතුද?

මහින්ද ජයසිංහ – ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක

මේ ආණ්ඩුව කොරෝනා එන්නත් කලින් විශ්‍රාමික සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම නතර කළා. බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා විශ්‍රමිකයන්ට සම්භාවනීය පැවැත්මක් තහවුරු කරනවා කියලා. ඒ වෙනුවට දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවල පොලිය 15% සිට 8% දක්වා පහළ දමලා. බන්දුල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒක පිළිගත්තා. මේකෙන් විශ්‍රාමිකයෝ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා සහ එය නිවැරදි කරනවා කියලත් ඔහු කිවුවා. නමුත් එදාම මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා එහෙම පොලී පහල දැමීමක් කරලා නැහැ, ඒක මාධ්‍ය විසින් පතුරුවන බොරුවක් කියලා. ඇත්ත තත්වය අපි හොයලා බැලුවා. ඇත්තටම පොලිය කපලා.

මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ට රු. 1,000ක දෛනික වැටුපක් දෙවා කියලා මේ ආණ්ඩුව කිව්වා. ඡන්දෙට කලින් ගෝඨාභය මහත්තයා දුන්න පොරොන්දුවක් ඒක. දැන් ඒක දෙනවද? 
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ සියලු ක්‍ෂෙත්‍රවල වැඩ කරන ජනයා දැන් ඉන්නේ විශාල අර්බුදයක. දැන් පාසැල් විවෘත කරගෙන යනවා. ඒකට කිසිම විධිමත් සැලැස්මක් නැහැ. සෞඛ්‍ය නිර්දේශ පැත්තකට දාලා. මේ ආණ්ඩුවත් අධ්‍යාපන බලධාරීනුත් මොනවද මේ කරන්නේ කියලා ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් විශාල ප්‍රශ්නයක්.

මේ ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් කොරෝනා පිට දාලා බලෙන් කැපුවා. නැගෙනහිර, සබරගමු ගුරුවරුන්ගේ වැටුප් බලෙන් කැපුවා. අපේ මැදිහත්වීම නිසා ඉතිරි ප්‍රදේශවල ඒක නවත්ත ගත්තා. අපි මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩ කරන ජනතාවගෙන් අහනවා, මේ ආණ්ඩුවට තවත් ඡන්දය දියු යුතුද කියලා.

ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකත්වය හරහා ප්‍රබල වෘත්තීය සමිති නායකයින්, කම්කරු සංගම් නායකයින් විශාල පිරිසක් මෙවර තරඟ වදිනවා. අපි මේ රටේ ජනතාවට එකක් පැහැදිලි කරනවා. එනම් ඔබේ සටන පාර්ලිමේන්තුවේ කිසිදු පාවා නොදීමකින් කිරීමට නම් ජාතික ජන  බලවේගයේ නියෝජිතයෝ හැකි තාක් පාර්ලිමේන්තුවට යවන්න කියලා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

ප්‍රශ්නය:- දැනට තිබෙන ජීවන වියදමට සාපේක්‍ෂව කොපමණ ප්‍රමාණයකින් වැටුප් වැඩිවිය යුතුද?

රු. 3,000- 24,000 දක්වා වැටුප් වැඩිවිය යුතු බව රනුක්ගේ කමිටුවේ නිර්දේශයයි.

ප්‍රශ්නය:- ආර්ථිකය මෙච්චර වැටිලා තියෙද්දී ඔය විදිහට වැටුප් වැඩිකළ හැකිද?
ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මැති ඇමතියන්ගේ වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද දිගින් දිගටම වැඩි කර ගන්නවා නම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ නොහැක්කේ ඇයි? අනෙකුත් සේවක වැටුප් වැඩිකළ නොහැක්කේ ඇයි? 

මද්‍රසා පාසල් ගැන රතන හිමිගේ මැදිහත්වීම ගැන ?

මේ මැතිවරණයේදීත් ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරිවෙලා තිබෙනවා. රාජපක්‍ෂලාට ඒක නැති පවතින්න බැහැ. කරුණා හරහා තමයි මෙවර ඒක මතු කරන්නේ. දකුණේ පොහොට්ටුවේ කට්ටිය කියනවා කොටි මරපු නිසා ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්න කියලා. කරුණා කියනවා, හමුදාව මරපු නිසා දෙමළ ජනතාවගේ ඡන්දය දෙන්න කියලා. එහෙම කියපු කරුණාම ආපහු කියනවා, අපි නැවත සැරයක් මහින්දලා සමග එකතු වෙනවා කියලා. 

මද්‍රසා පාසැල් ගැන රතන හාමුදුරුවෝ කාලෙක ඉඳලා කතා කරනවා. නමුත් හාමුදුරුවන්ට හරි රාජපක්‍ෂලට හරි වෙන කාට හරි ඕන ඕන විදිහට මේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න බැහැ. මේ සියල්ල කරන්නේ ජනතාව ගොනාට අන්දලා ඡන්දය ගැනීම සඳහායි. 

ආණ්ඩුව මේ ඡන්දෙදී මන්ත්‍රීවරු 125ක් දිනා ගන්නවා කියලා කියනවා එහෙම පුළුවන්ද?

යුද්ධය ඉවර වුණේ 2009. 2010 මැතිවරණය තිබ්බා. ඒ වනවිට රාජපක්‍ෂලා උපරිමයෙන් ජනප්‍රිය වෙලයි හිටියේ. ඒත් 2/3ක ප්‍රතිශයක් ඔවුන්ට ලැබුණේ නැහැ. මේ ගෙවුණු මාස අටෙන් රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ අසමත්කම ගත්තම ඔය සූත්තර කොච්චර දැම්මත් 2/3ක ගන්න බැහැ. ඕවා ජනතාවගේ මොරාල් එක හදන්න කියන චූන් කතා. ජනතාවට මොනම හරි දෙයක් ලැබුණා නම් ලැබුණේ පාලකයන්ගේ පාර්ලිමේන්තු බලය දුර්වල වූ මොහොතවල්වල. මෙම මැතිවරණයේදී ජනතාවට වාසි වන බල තුලනයක් හැදීම සඳහා ඡන්දය දීම තමයි ඔවුන්ගේ වගකීම වන්නේ.

RSL

Related Posts