Covid-19 නිසා ලංකාවේ කෘෂිකාර්මික අපනයනවලට බරපතල අර්බුද තත්වයක් ඇතිවී නෑ

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ

පශ්චාත් කොවිඩ් 19 තත්වය තුළ අපනයනයට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර ඉන් එකක් වන්නේ අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයයි. කෘෂි අපනයන අංශයේ වත්මන් තත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියා.

කෘෂි අපනයන ගැන කෙටි හැඳින්වීමක් ක‌ළාත්

අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂිකාර්මික, ධීවර සහ ජලජීවී නිෂ්පාදන අපනයන ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන අංශය කෘෂි අපනයන අංශය විදිහට හඳුන්වනවා. මෙම අංශය මගින් විශේෂිතව තෝරාගත්  අපනයන බෝග වර්ග ප්‍ර‍වර්ධනය සිදුකරනවා. ජාතික අපනයන උපායමාර්ගික සැලසුම යටතේ හඳුනාගත් කුළු බඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන සහ සකස් කළ ආහාර සදහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන, එළවළු සහ පළතුරු, මල් සහ විසිතුරු පැලෑටි, මුහුදු ආහාර, විසිතුරු මසුන්, කාබනික නිෂ්පාදන ආදිය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරනවා. මෙම බෝග සඳහා නිෂ්පාදන හා සැපයුම් සංවර්ධනය, තත්ව පාලනය සහ වෙළඳපල සංවර්ධනය වැනි අංශ ආවරණය වන පරිදි ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගනිමින් වෙළඳපළ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සිදුකෙරෙනවා.

කෘෂිඅපනයනඅංශයේවත්මන් තත්වය කෙටියෙන් පැහැදිලි ක‌ළාත්

කොවිඩ් 19 තත්වයත් සමග ලංකාවේ කෘෂිකාර්මික අපනයනවලට බරපතල අර්බුද තත්වයක් ඇතිවී නැහැ. සමහර කෘෂිකාර්මික බෝග සඳහා ඇති ඉල්ලුම වැඩිවී තවත් බෝග සඳහා ඇති ඉල්ලුමේ තරමක අඩුවීමක් දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස පොල් සහ පොල් ආශිත නිෂ්පාදන සලකා බලන විට අපේ තරගකාරී රටවල් වන ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් කොවිඩ් 19 තත්වයත් සමග ඇති වූ බාධාවන් සමග නිෂ්පාදන අපනයනය අඩුවුණත් ශ්‍රී ලංකාවට එවැනි තත්වයක් ඇති වුණේ නැහැ. අපි මේ තත්වය සමගත් අඛණ්ඩව නිෂ්පාදනය හා අපනයනය සිදුකළා. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යම් මැදිහත්වීම් සිදුකළා. සියලු අපනයනකරුවන්ට ඔවුන්ගේ කර්මාන්තශාලා විවෘත කර අවම සේවක සංඛ්‍යාවක් සමග සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් අප ක්‍රියත්මක වුණා. ඒ තුළ අපේ  අපනයනකරුවන්ට වාසිදායක තත්වයක් නිර්මාණය වුණා. පොල් කිරි, පිටිකළ පොල් කිරි, දිසිඳි පොල් වැනි නිෂ්පාදන නොකඩවා අපනයනය සිදුකිරිමට හැකි වුණා. මේ මොහොතේ ලෝකයේ සැම රටක්ම පාහේ ආහාර සුරක්ෂිතතාවය පිළිබද විශේෂ අවධානයක් යොමුකරල තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් තුමා පවා පෞද්ගලිකවම අපට කතා කළා, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ  නිෂ්පාදන අඛණ්ඩව තම රටට අවශ්‍ය බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ඉල්ලා සිටීමට. අනෙක් අතට වගා කටයුතුවලට අවශ්‍ය කොහුබත් ආශ්‍රිත වගාමළු ඇතුළු අගය එකතු කළ වගා මාධ්‍ය  සඳහාත් අපට මේ කාලයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා.

මේ වන විට කෘෂිකාර්මික අපනයන සදහා ඇති ඉල්ලුම කෙබඳුද (අපට ඇති වෙළදපොල)

එළවලු පළතුරු සඳහාත් මැදපෙරදිග රටවලින් හොඳ ඉල්ලුමත් තිබුණා. මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියතික ජනතාව තමයි වැඩිපුර අපේ එළවළු මිලදී ගැනීමට පුරුදුව සිටින්නේ. ඒ වගේම ඉතාලියට සහල් ඇතුළු අනෙකුත් ආහාර වර්ග අපනයනය කරන්නටත් හැකියාව ලැබුණා. විසිතුරු මසුන්, විසිතුරු පැළෑටි ආදිය සඳහා ඉහළ ඉල්ලුමක් මේ දිනවල පවතිනවා. කෘෂිකාර්මික නිෂ්පාදන සඳහාත් ඉල්ලුම තිබෙන නමුත් ගුවන් යානා පහසුකම් සීමිත වීමත්, ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් අපනයනයට බාධාවක්ව පවතිනවා. අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා ගුවන් සමාගම ඇතුළු අනෙකුත් ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර යම් තරමකට ගුවන් ගමන් ආරම්භ කිරීමටත්, අපනයන කටයුතු සැලසුම් කර ගැනීම පහසු වන ලෙස ගුවන් ගමන් කාලසටහනක් අපනයනකරුවන් වෙත කලින් ලබා දීමටත් ක්‍රියාමාර්ග අරන් තියෙනවා.

මේ වෙද්දි අපේ රටේ බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයට යොමුවෙලා තිබෙනවා. මේ ප්‍ර‍වනතාවය කෘෂි අපනයනය වැඩිකරන්නත් අපට යොදාගන්න පුළුවන්. ඒ සඳහා අවධානය යොමුවෙලා තිබෙනවාද?

රජයේ නව වැඩපිළිවෙල යටතේ ස්වයංපෝෂිත ආර්ථිකයක් සේම අපනයනය කෙරෙහි ද අවධානය යොමු කෙරෙනවා. ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙලේ ද කෘෂිකර්මාන්තයට ක්‍රම දෙකකට සහය දැක්විය හැකියි. පළමුවැන්න වෙළඳ ශේෂය පියවා ගැනීමට දායක වීමයි. එහිදී අපනයනය සදහා අගය එකතුකිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍ර‍ව්‍ය ශ්‍රී ලංකාව තුළම වගා කිරීමෙන් රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙන්ම අපනයනය කිරීමෙන් විදේශ විනිමය ලබා ගැනීමට ද හැකි වෙනවා. එසේම දෙවන කරුණ ලෙස රටේ ස්වයංපෝෂිතභාවය ඇති කිරීමට ද දායක විය හැකියි. අපනයනය සඳහා වගා කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය බෝග නිසි ප්‍රමිතියක් සහිතව වගා කළ යුතුයි. එසේම නිෂ්පාදන තරගකාරී මිලකට අපනයන වෙළඳපලට සැපයීමට සිදුවන බැවින් ඒ නිශ්පාදන වියදම පාලනය කර ගනිමින් ප්‍රමාණාත්මක ලෙස වගා කළ යුතුයි.

අගය එකතු කළ නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන ඉඟුරු, කහ ආනයනය දැන් නැවතිලා තිබෙනවා. අපට පුළුවන් ඒ බෝග වගා කිරීමට. එක් එක් කෘෂිකාර්මික ක්ෂේත්‍රවල අපනයන ප්‍රවර්ධනය සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන ලෙස සැලසුමක් සකස් කර තිබෙනවා. කර්මාන්තශාලා විවෘත කිරීම, සේවකයින් ආරක්ෂිතව සේවයේ යෙදවීම, අපනයනය සඳහා අවශ්‍ය නොයෙකුත් යෙදවුම් ආනයනය පහසු කිරීම, ගුවන් ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා මැදිහත් වීම  වැනි ප්‍රශ්න කෙටිකාලීනව විසඳා ගත යුතුයි. මාස හය ඇතුළත අපනයනය සඳහා මෙන්ම ආනයන ආදේශක ලෙස වගා කළ හැකි බෝග හඳුනා ගෙන ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කොට තිබෙනවා. මේ සඳහා අපනයනකරුවන්ගේ ද යෝජනා සලකා බලමින් අපි පුනර්ජීවන සැලැස්මක් සකසලා තියෙනවා. එම සැලැස්ම අපනයන සංවර්ධන මණ්ඩලය පමණක් තනිවම  ක්‍රියාත්මක කරන එකක් නොව,  කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු සැලැස්මක්.

කෘෂිකාර්මික නිෂ්පාදන අමුද්‍රව්‍ය විදිහට වඩා අගය එකතු කර අපනයනය කිරීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂ අවධානය යොමුකරල තිබෙනවා. මේ තත්වයත් සමග අපට ඒ වාසිය ගන්න පුළුවන්ද?

අප අගය එකතු කිරීම අඛණ්ඩව සිදු කළ යුතුයි. තේ හා පොල් කර්මාන්තය ආශ්‍රිතව මෙන්ම සැකසූ ආහාර අපනයනයේදී බොහෝ දුරට අගය එකතු කිරීමක් සිදු වුවත්, කුළුබඩු වැනි අංශවල තවමත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය සිදු වෙනවා. විශේෂයෙන්ම කුරුඳු තමයි ශ්‍රී ලංකාවට ආවේණික කුළුබඩු විශේෂය. එහෙත් අපි තාමත් යවන්නේ තොග වශයෙන්. ආයතන කිහිපයක් අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කර තියනවා. එම නිෂ්පාදන යවන්නේ බොහෝ දුරට තවත් නිෂ්පාදනයක අමුද්‍රව්‍යයක් විදියටයි. ආහාර රසකාරක ලෙස, ඖෂධ නිෂ්පාදන, සුවඳවිලවුන් කර්මාන්තය මේවා අමුද්‍රව්‍ය ලෙස භාවිත කරනවා. නමුත් අපගේ අරමුණ ඉදිරි කාලයේ දී මෙවැනි කර්මාන්ත රට තුළ ආරම්භ කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමයි.

අපනයන සංවර්ධන මණ්ඩලය මේ තත්වයත් සමගින් කෘෂි අපනයන අංශය සදහා සකස් කරල තිබෙන ඉදිරි සැලසුම් මොනවාද?

වෙළඳපල ප්‍රවර්ධනය සඳහා අප කලින් භාවිත කළ වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම, විදේශ රටවලට දූත පිරිස් යැවීම වැනි වැඩසටහන් අපට දැන් ක්‍රියාත්මක කිරීමට නොහැකියි. එම නිසා අප විදේශ කටයුතු අමාත්‍යාංශය හා අපගේ තානාපති කාර්යාල හරහා කොවිඩ් 19න් පසු එම වෙළඳපොලවල ඇතිවී තිබෙන නව ප්‍රවණතා හා වෙළඳපල අවස්ථා හඳුනා ගැනීමට කටයුතු කරනවා.

එසේම තෝරා ගත් නිෂ්පාදන සඳහා එම වෙළඳපොලවල සිටින ගැනුම්කරුවන් හා ශ්‍රී ලාංකික අපනයනකරුවන් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට නව තාක්ෂණය ඔස්සේ  පහසුකම් සැපයීමට කටයුතු කරනවා. එසේම නව වෙළඳපොල සොයා ගැනීමට වෙළඳපොල සමීක්ෂණ සිදු කරනවා. විදේශ තානාපති කාර්යාලවල තානාපතිවරුන්, විදේශ වෙළඳ ප්‍රවර්ධන ආයතන හා සාකච්ඡා පවත්වමින් අපගේ නිෂ්පාදන අපනයනයට ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය ලබා ගැනීමට කටයුතු කරනවා. එසේ ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග එක්ව තෝරාගත් අංශ සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. එසේම අපගේ ප්‍රාදේශීය කාර්යාල හරහා විවිධ බෝග අපනයනය සඳහා වගා කිරීමට අපනයනකරුවන් සම්බන්ධීකරණයටත් කටයුතු යොදා තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනක කිරීමට කැමැත්ත තිබෙන කෙනෙක්ට කෘෂි අපනයන අංශයෙන් තොරතුරු ලබාගන්නේ කොහොමද?

දැනටමත් එවැනි ඇමතුම් බොහෝමයක් ලැබෙනවා. අපි ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ලබා දෙනවා.  අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන උපකාරක කවුළුව ඔස්සේ අපව සම්බන්ධ කර ගත හැකියි. 011 230 0710(Hotline) helpdesk@edb.gov.lk

කෘෂි අපනයනකරුවන්ට මේ මොහොතේ ලබාදියයුතු පණිවිඩය කුමක්ද?

අපනයන සංවර්ධන මණ්ඩලය විදියට අපි අපනයනකරුවන්ට ලබා දිය හැකි උපරීම සහයෝගය මේ කාලය තුළ ලබා දුන්නා. නමුත්  සමහර ප්‍රශ්න තවත් තියනවා ඔවුන් වෙනුවෙන් විසඳිය යුතු. අපි දිගටම ඒ සඳහා මැදිහත් වීම සිදු කරනවා. අපගේ නිලධාරීන් නිරතුරුව අපනයනකරුවන් සම්බන්ධීකරණය කරමින් ඔවුන්ගේ ගැටළු, අදහස් හා යෝජනා ලබා ගන්නවා. අපට විසඳුම් ලබා දිය නොහැකි ප්‍රශ්න අදාළ අංශවලට යොමු කිරීමෙන් ඒවා විසඳා දීමට අප මැදිහත් වෙනවා. පහසුකම් සැලසීම අතින් කළ යුතු හැම දෙයක්ම අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සිදු කරනවා. අපනයන සංවර්ධන මණ්ඩලය මෙරට අපනයනකරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටීමට ප්‍රධාන හේතුව, අප නිරන්තරයෙන් ඔවුන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමයි.

කොවිඩ් 19 තත්වයත් සමඟ රටේ කෘෂිකාර්මික අපනයන සම්බන්ධයෙන් වන ඉදිරි අනාගගතය ගැන පුරෝකථනයක් කළ හැකිද?

කොවිඩ් 19ත් සමග රටවල් අතර ඇති වූ සම්බන්ධතාවය බිඳ වැටුණත් අපේ ගැනුම්කරුවන් සමඟ තිබුණු සම්බන්ධතාවය හුඟක් තහවුරු වුණා. එයට හේතුව අපගේ අපනයනකරුවන් තම අපනයන කටයුතු බාධක මැද වුව ද සාර්ථක ලෙස ඉටු කිරීමයි. අනෙක් කරුණ අපේ රට කොවිඩ් 19 මනා ලෙස පාලනය කරන රටක් ලෙස ලෝකය පිළිගැනීමයි. අපේ කර්මාන්තශාලාවල කොවිඩ් පැතිරිලා නැහැ, සේවකයන් රෝගයෙන් තොරයි… මේ පණිවිඩය ගොඩක් වටිනවා ලෝකෙට අපේ නිෂ්පාදනවල පිරිසිදු බව තහවුරු කරන්න. ඒ වගේම වෙනත් රටවල ගැනුම්කරුවනුත් අප වෙත හරවාගැනීමට අවස්ථාවක් ලැබුණා. අපි මෙතෙක් ළඟා නොවූ නව වෙළඳපොලවල් වෙත ළඟා වීමට සහ අපනයන නිෂ්පාදන ප්‍රචාරය කරගැනීමට මෙය අවස්ථාවක් කර ගත යුතුයි.

සටහන – අජිත් නාලක, ප්‍ර‍චාරක නිලධාරී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

RSL

Related Posts