‘සේනා’ මර්දනය පහසුවෙන් සහ නිවැරදිව කරමුද ?

Spread the love

දැනට ඇති වගාවට හා ඉදිරි කන්නයේ වගාව වෙනුවෙන් වෙනම මාර්ගෝපදේශ අවශ්‍යයයි

සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණවී තිබේ. 2018 වසරේ මහ කන්නය තුලදී මෙම පළිබෝධ ආක්‍රමණය මෙරටින් හඳුනාගන්නාවිට සත්වයාගේ හැසිරීම හෝ පළිබෝධ පාලන ක්‍රමවේදයන් පිළිබඳව කිසිදු අත්දැකීමක් ලාංකික බඩඉරිඟු ගොවියා සතුව තිබුණේ නැත.

කෘෂි විද්වතුන් විසින් කල්පනාකාරීව දුන් උපදෙස් නිසිලෙස පිළිපැදීමට ගොවි ප්‍රජාව දැක්වූ එකඟතාවය නිසා බරපතළ විනාශයක් අපේක්‍ෂා කළ එම වගා කන්නය තුළ පවා සිදුවූ හානිය 20% කටත් වඩා අඩු බව අවසානයේදී සනාථ විය.

එදා මෙදා කාලය අතරතුර කෘෂි විද්වතුන් විසින් සේනා දළඹුවාට අදාළ තොරතුරු බොහොමයක් එකතු කරගෙන තිබේ. පර්යේෂණ ගණනාවක්ද පවත්වා තිබේ. උවදුරෙහි අවදානම එතරම් සරල බසින් ජනතාව අතරට යනවිට ඒ පිළිබඳව ඇති අවධානයද සමාජය තුළින් ක්‍රමයෙන් ගිලිහීයාම නිතැතින්ම සිදුවන්නකි.

මේ අතරතුර දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ නගරයේ පමණක් නොව ගම්බදව වෙසෙන ජනතාවට පවා වැඩිපුර ඇසෙන්නේ මානව සෞඛ්‍යය පිළිබඳව කෙරෙන දැනුවත් කිරීමය. රජයේ සේවකයින්ද සේවයට එන්නේ සීමා සහිතවය. මේ නිසා ජනමාධ්‍යය හරහා හෝ රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවියා වෙතට ගලායන කෘෂිකාර්මික දැනුවත්කිරීම් යම් තරමකින් අඩුවන්නට ඇතැයි සිතීම අසාධාරණ නොවේ.

බඩඉරිඟු ගොවියාට නියම කලට මෙවර මහ කන්නයේ වගා පිහිටුවන්නට වතුර තිබුණේද නැත. කන්නයද සති කීපයක් ප්‍රමාද විය. මේ සියල්ලෙහි වාසිය තමා වෙතට හරවාගත් ‘සේනා දළඹුවා’ මේ වනවිට වගා ආක්‍රමණය කරමින් සිටී.

වගාකරුවන්ට ‘සේනා’ ව පෙනෙන්නේ අඟල් කීපයක් තරමට දික්වූ දළඹුවන් බඩඉරිඟු පත්‍ර මත දඟලන විටදීය. ඇතැම් පණුවන් ගොබය තුළට රිංගා ඇතුළත ඇති දෑ කමින්, පණුපස් පිටතට දමනා විටදීය.

මෙවැනි අත්දැකීමක් හරහා නැවතත් සිතෙහි තැන්පත් කරගතයුතු කාරණය වන්නේ ‘සේනා’ කළමනාකරණය වගාව ආරම්භයේදී සිටම ඉතා සැලකිලිමත්ව වගකීමෙන් කළයුතු දෙයක් බවයි.

කිරිකරල් ලබා ගැනීම අවදානම්

කිරිකරල් ලබාගැනීමේ අරමුණ ඇතිව කඩින්කඩ බඩඉරිඟු වගා ස්ථාපනය කිරීම නම් නොකළ යුත්තක්මය. මේ හරහා සලබයාට බිත්තර හෙළීමේ ස්ථාන සපයාදීම ගොවියා විසින්ම සිදුකරන බව ඔහු තේරුම්ගත යුතුය. අවසන් වින්දිතයා වන්නේද ගොවියාම නිසා සාමුහික එකඟතාවයකට පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි.

අවාරයට වගාකිරීම හෝ වසර පුරා පැතිරෙන පරිදි කිරිකරල් අලෙවිය තහනම කිරීමට නීතිරීති නොමැති බැවින් ගොවි සංවිධාන වැනි දෑ හරහා සාමුහික එකඟතාවයක් ගොඩනැගෙන්නේ නැතිනම්, මෙතැනදී කෘෂි නිලධාරීන්ට කරන්නට ඉතිරිවන්නේ ඉතා සුළු කාර්යභාරයක් බව සමාජය තේරුම්ගත යුතු සත්‍යයි. එසේ නොමැතිව බඩඉරිඟු ගසට නගින්නට අවැසි සියලු පහසුකම් ‘සේනා’ට සපයාදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙසට හැරී කෑගැසීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

අද පවතින තත්වය පාලනය කරගත හැකි අන්දම ගැන පළමුව සලකා බලමු. සලබයා පැමිණ වගා තුළ බිත්තර දමාගොස් දැන් අවසන් වී ඇත්තාක් පමණක් නොව, දළඹුවන්ද ඉපදී හමාරය. ඇතැම් තැනක අලුත උපදින දළඹුවන් වුවත් සිටිය හැකිය.

එකම ක්‍රමවේදයකට වඩා ඒකාබද්ධ ක්‍රමවේද වැදගත්

“දැන් වෙළඳපොලේ තියෙනවා ෆොලිජන් (Fawligen) කියලා වයිරස් ද්‍රාවණයක්. මෙය විෂවෙන්නේ සේනා දළඹුවාට විතරමයි. වෙන කිසිම සතෙකුට හෝ ශාකයකට බලපෑමක් නෑ. දළඹුවා බොහොම කුඩා තරමේ නම්, ඒ කියන්නේ සෙන්ටිමීටරයකට වඩා දිග අඩු නම් මේ වයිරස් ද්‍රාවනය ඉසින්න පුළුවන්. හැම තැනටම නෙවෙයි, සතුන් ඉන්න තැන්වලට.”

එසේ අදහස් දක්වන්නේ ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණායතනයේ කෘමි විද්‍යාව පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ සේනානි වැලිගමගේ මහතායි. ඔහු මූලධර්මයක් වශයෙන්ම ඉතා අවධාරණයෙන් පවසන්නේ ‘සේනා’ මර්දනය සඳහා එක ක්‍රමවේදයකට යොමු නොවෙමින්, ක්‍රම කීපයක් ඒකාබද්ධ කර මේ සඳහා ප්‍රවේශයක් ලබාගතයුතු බවකි. පරිසරයේ සිටිනා කුරුල්ලන්, සේනාට සතුරුවෙන කෘමි සතුන් යනාදියගේ සහාය පවා අනිවාර්යයෙන් ගතයුතු බව හෙතෙම ඉතා ප්‍රබලව අවධාරණය කරයි.

“වගාව තුළට කිසිවිටෙකත් වල්නාශක ඉසින්න එපා. හිතකර සතුන් පවා මැරෙනවා. අවශ්‍යම නම් උදලුගාන්න හෝ අතින් වල් ගලවන්න පුළුවන්. බඩඉරිඟු ගස් උස ගියහම වල් වලින් කොහොමටත් බෝගයට තරඟයක් නෑනේ. අනෙක තමයි අවට වන ලැහැබ සුද්ධ කරන්නත් එපා. ‘සේනා’ගේ සතුරන් එන්නේ එහි සිටයි. අක්කරයකට එකක් පමණ වෙන්න ලොකු වතුර භාජන තබන්න. දළඹුවාව අහුලාගෙන කන කුරුල්ලෝ වර්ග ඕනේ තරම් ඉන්නවා. ඒ අය කැඳවා ගැනීමටයි වතුර භාජන තබන්නේ.”

මර්දන පිළිවෙත් ඔහු විසින් පරිසරය හා බද්ධ කෙරුවේ එලෙසිනි. දළඹුවන් විසින් ලපටි පත්‍ර කාදැමුවත්, එම හානිය ප්‍රතිසංවිධානය කරගැනීමට ශාකය පසුව සමත්වෙනු ඇත. ස්වභාවික සතුරන්ගේ අහුලාකෑමට මෙන්ම දළඹුවන් අතරම සිදුවන ස්වභක්‍ෂණය නොහොත් එකිනෙකා කා ගැනීම නිසා ඉක්මනින්ම දළඹු ගහනය අඩුවී යයි. අවසානයේ එක ගසකට ඉතිරිවන්නේ දළඹුවන් කීප දෙනෙකි.

උන්ගේ මීළඟ ඉලක්කය වැඩෙන ගොබය තුළට පිවිසීමයි. සත්වයා ඇතුල් වූ සිදුර ඌ විසින් පිටකරන ‘පණුපස්’ වලින්ම වැසී යන නිසා දළඹුවා ඇත්තේ ආරක්‍ෂිත ස්ථානයකය. දැන් කුරුල්ලන්ට හසුවන්නේවත්, කලබලයට පත් ගොවියා විසින් ඉසින පළිබෝධනාශක ඇඟට වදින්නේවත් නැත.

සේනා මර්දනයේ හොඳම ක්‍රමය

“තෙල් බෙහෙත් ජාති සේරෝම ගැහුවා. එත් ගොබය ඇතුලේ සතා ඉන්නවා කියලා ගොවියෝ කියන්නේ ‘සේනා’ පළිබෝධනාශක සමග ගැටෙන්නේ නැති නිසා. ඒක බෙහෙතේ වරදක් කියලත් ඇතැමුන් කියනවා. මේ සතුන් හැම ගසකම නෑ. ඉන්න ගස් හඳුනාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ගොබය පළල් කරලා පනුවා අරන් විනාශ කරන එක. වසවිස භාවිතයකුත් නැති නිසා ඒක තමයි හොඳම ක්‍රමය. අපි මේ ක්‍රමයේ ප්‍රායෝගික බව සොයා බලා තිබෙනවා. අක්කරයකට වඩා ප්‍රමාණයක් එක පුද්ගලයෙකුට දවසකට කරන්න පුළුවන්. ගොබය තුළට අළු ටිකක්, වැලි ටිකක් වුණත් දැමිය හැකියි. එහෙමත් නැතිනම් කට උල් බෝතලයකට නාශක දියරය මිශ්‍රකරලා අරගෙන ගොබය තුළට මේස හැන්දක් විතර වැටෙන්න විදින්න ඕනේ.”

අවසන් විකල්පය වෙතට යන්නට ඔහු උපදෙස් දෙන්නේ අතින් අහුලා සතාව ඉවත් කරන්න නොහැකි නම් පමණය. මන්දයත් අන්තිම තුරුම්පුව භාවිතා කරද්දී රසායන ද්‍රව්‍ය යොදාගන්නා  බැවිනි. අප හැකි පමණ උත්සාහ ගත යුත්තේ ආහාරය වසවිසෙන් තොරව නිපදවා ගැනීමටයි. වගාකරු නොකෑවා කියා සමාජයට වස කැවීම සදාචාරාත්මක නොවේ. එතැන වගකීම ඇත්තේ වෙන කිසිවෙකු අත නොව ගොවියා සතුවමය.

ආරම්භයේදී වගාව කෙරෙහි වූ අවධානය අඩුවීම, කන්නය පමාවීම, කඩින් කඩ සිටුවීම වැනි අඩුපාඩු සිදුව ඇති නිසා යතාර්ථයට මුහුණදෙමින් දැන් කලයුත්තේ මෙම උපදෙස් අනුගමනය කරමින් පවතින වගාවේ ඉතිරිය ආරක්ෂා කරගැනීම මිස, ඉවක් බවක් නැතිව කෘමිනාශක ඉසිමින් කාලය හා ධනයද අපතේ යවා, පරිසරයද වනසා ගැනීම නොවේ.

යල කන්නය ගැනත් අවධානය ඕනෑ

මීළඟට අප අවධානය යොමුකළ යුත්තේ තව මාස දෙක තුනකින් ආරම්භ වෙන යල කන්නය පිළිබඳවයි. එය බහුලව බඩඉරිඟු වවන කන්නයක් නොවන බව සැබෑ නමුත් ‘සේනා’ කළමනාකරණය පිළිබඳව ආරම්භයේ සිටම කටයුතු කලයුතු අකාරය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ කෘමි විද්‍යාව යටතේ ගන්නොරුවේම සේවය කරන තවත් විද්‍යාඥයෙකි. ඔහු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ප්‍රභාත් නිශාන්ත යි. සේනා නසන වයිරසය මෙරටට රැගෙන ඒම උදෙසා ඉදිරිපෙළ කාර්යභාරයක් කෙරුවේ ඔහු විසින්ය.

“සම්පුර්ණ ක්‍රියාවලිය පියවර කීපයකට බෙදලා විස්තර කරන්න පුළුවන්. පළමු පියවර තමයි වගාව පටන් ගනිත්දීම ෆෙරමෝන් උගුල් අටවා පිරිමි සතුන්ගේ ගහනය අඩුකර ගැනීම. එතකොට ජීවී බිත්තර බිහිවීම අඩුවෙනවා. අපි ළඟ දැන් ඉන්නවා බිත්තර පරපෝෂිතයෝ. මේ වෙලාවේම ඔවුන්වත් නිදහස් කරන්න පුළුවන්. මේ අය ‘සේනා’ ගේ බිත්තර ඇතුලේ බිත්තර දානවා. උපදින පැටවූ ‘සේනා’ගේ කළලය අනුභව කරමින් තමයි වැඩෙන්නේ.  දැන් ඔන්න දෙවැනි පියවරේදී තව ටිකක් ‘සේනා’ ගහනය අඩු වුණා. කොහොමහරි මේ පියවර දෙකෙන්ම බේරිලා යම් ප්‍රමාණයක් දළඹුවන් හැදුනයි කියමුකෝ. තුන්වෙනි පියවර හැටියට ඒ අය උපදිනකොටම අපි වයිරසය ඉසිනවා. ලපටි දළඹුවෝ වැඩි හරියක් එතනින් මැරෙනවා. හතරවෙනි පියවර අපි භාරදෙනවා පරිසරයට. ස්වභාවික සතුරන් වැඩිපුර වගාවේ ගැවසෙන විධියට අපි පරිසරය සකස්කරනවා. ඉතුරුවෙලා ඉන්න දළඹුවන් එතැනදී වැනසී යනවා. දැන් ඉතින් ඕනේ වෙයිද පළිබෝධනාශක?”

වාසනාවන්ත දළඹුවෙක් ?

නිශාන්ත මහතා අසන්නේ අත්දැකීම් බහුල බඩඉරිඟු ගොවියා නොව ගොවිගෙදර සිටින පාසල් දරුවෙකුට වුවත් පිළිතුරු දියහැකි පහසු ප්‍රශ්නයකි. සැබැවින්ම මෙම බාධක හතරම පසුකරමින් උස්මහත්වී ගොබයට ළංවීමට තරම් වාසනාවන්ත ‘සේනා’ දළඹුවෙක් සිටීනම් එය ඉතා විරල සිදුවීමක් වනු ඇත. අතරින් පතර එවැන්නෙක් සිටියත් ඉහත දැක්වූ පරිදි වගාව පිරික්සමින් පළිබෝධකයා යාන්ත්‍රිකව ඉවත් කිරීමේ අපහසුවක්ද නැත. ඒ නිසා ඉදිරි කන්නයකදී බඩඉරිඟු වගාවක් පිහිටුවීමට සිතා සිටින ගොවීන් නිශාන්ත මහතාගේ මෙම පාඩම කියවා තේරුම්ගෙන මතක තබාගත යුතුවේ.

රටේ කුමන මාතෘකාවක් වැඩිපුර කතාකෙරුවත්, සන්නිවේදන මාධ්‍යයන් වෙතින් කුමකට වැඩි ප්‍රමුඛතාවය දුන්නත්, ගොවියා විසින් තම ක්‍රියාකාරකම් ඒ හමුවේ උදාසීන කරගත යුතු නැත. ගොවිතැන යනු බිම් සැකසීම, බීජ සිටුවීම, පොහොර දැමීම, අස්වැන්න නෙලීම හා විකිණීම වැනි ප්‍රධාන මෙහෙයුම් පමණක් නොව, ක්‍රමවත්ව හා විද්‍යානුකූලව වගාව රැකබලා ගැනීමත් ගොවිතැනටම අයත්වෙන බව හෙතෙම පැහැදිලිව අවබෝධ කරගත යුතු කරුණකි. එසේ නොකෙරෙන ගොවිතැනක් අතරමගදී ගොවියාට නිතරම සිදුවන්නේ, අකරතැබ්බ වලින් මිදීම සඳහා කෑගසන්නටය.

විසඳාලන්නට තවත් ගැටළුවක්ද කෘෂි විද්වතුන් වෙතට දළඹුවා විසින් රැගෙනවිත් තිබේ. මෙවැනි ගහනයක් හදිසියේ බිහිකරන්නට තරම් සලබ ගහනයක් වගා කන්න දෙකක් අතර මැද පැවතුනේ කෙසේද, කොතැනකද යන්නද සොයා බැලිය යුතුම කරුණකි.

සලබයාගේ ජීවිතකාලය දින 10 කි. බිත්තර දින 2-3 ක් අතර පුපුරා යන අතර දළඹුවා උපරිම වශයෙන් දින 22 ක් ජීවත්වී පිලවා බවට පත්වේ. පිලවා සති දෙකකින් නැවතත් සලබයෙකු වන්නේය. එසේනම් කන්න දෙකක් අතරමැද කාලය තුළදී වට කීපයක් ක්‍රියාත්මක වියයුතු මෙම චක්‍රය අපේ ඇස ගැටෙන්නේ නැතිව සිදුවූ ආකාරය සෙවීම, අගනා පර්යේෂණ නිමිත්තක් බවද පෙනෙන්නට තිබේ.

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

RSL

Related Posts