කාබනික පොහොර වෙත මාරු වීමට නිසි කාලය පැමිණ තිබේ

Spread the love
‘රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය නිරෝගිමත් පරපුරක් සහ පරිසරය ට අවනත කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට නම් කාබනික වගාව පිළිබඳ මිථ්‍යාව බිඳ දමා කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත. ඒ සඳහා ධනාත්මක ආකල්ප ඔස්සේ රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ගොවින් ට ආරාධනා කර සිටිමු‘‘

පොහොර නිෂ්පාදන සැපයුම්, රසායනික පොහොර, කෘමිනාශක පාලන නියාමන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මන්පිල  මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

පොහොර වැඩියෙන් යොදන තරමට බැරලෝහ වර්ග පසට උරා ගැනීම වේගවත් වන අතර, ඒවා නැවත ජල මුලාශ්‍ර හරහා මිනිස් සිරුරට එක්වීමේ බරපතළ ආදිනව ගැන ගොවි ජනතාව බුද්ධිමත්ව කල්පනා කළ යුතුව ඇත.

කොරෝනා ඇඳිරිනීතියත් සමඟ ලැබුණු නිදහස පලදායි ආකාරයට ප්‍රයෝජනයට ගැනීමට ගොවිතැනට ලැදි බොහෝ පිරිසක් උනන්දු වූහ. මේ නිසා ම රටේ අස්සක් මුල්ලක් නෑර පැවති ගොවි බිම්, මුකලන් බවට පත්ව තිබුණු හේන් බිම් පුරන් ව පැවති කුඹුරු මේ සියල්ලක් ම විවිධ භව භෝගවලින් සශ්‍රික විය. එමෙන්ම රජය විසින් බෝග වර්ග 16ක් පිටරටින් ගෙන්වීම සිමා කිරිමේ අරමුණින් ඒවා රට තුළ ම වගා කිරීමට දිරි ගැන්වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

කොරෝනා අවදානමත් සමග රටට බලපෑ හැකි අසීරුතාවන්ගෙන් මව්බිම මුදා ගැනීමට දිරියෙන් වැඩ කළ ගොවීන්ට ඉකුත් යල කන්නයේ බිජ මිලදී ගැනීම සඳහා වැය වු මුදල් ද රජයෙන් ලබා දීමට කටයුතු කරන ලදි. මේ සියල්ලක් ම හේතුවෙන් 2020 වසරේ අපේක්ෂිත ඉලක්කයටත් වඩා වගා බ්ම් අස්වද්දන ලදී. මේ හේතුවෙන් 2020 වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 7,48000 දක්වා ප්‍රසාරණය විය.

පොහොර අවශ්‍යතාව මෙසේ ඉහළ ගොස් ඇති අතර මේ හා සමගාමිව පසට මිශ්‍ර වන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයද ඉහළ යෑම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.

කෘෂිකාර්මික රටවල රසායනික පොහොර යෙදවුම් වගා බිම්වල සශ්‍රිකත්වය ට බලපාන නමුත් එහි ආදිනවයන් ද මතු වී ඇති බැව් අවබෝධ කර ගැනිමට අප පසුබට විය යුතු නොවේ. වගකිව යුතු රජයක් විසින් ගොවි අවශ්‍යතාවලට මුල් තැන දෙන්නා සේ ම සශ්‍රිකත්වට මුල් තැන දෙනවාටත් වඩා සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ඊටත් වඩා අවධානය යොමු කළ යුතුව ඇත. මේ වන විට ලොව බොහොමයක් රටවල් කාලාන්තරයක සිට සිදු කළ රසායනික පොහොර විධිමත් හෝ අවිදිමත් භාවිතය නිසා සෞඛ්‍යමය මෙන්ම පස නිසරු විමේ ගැටලුවක් වී තිබේ. විශේෂයෙන් යුරියා පොහොර පමණ ඉක්මවා යෙදීම බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති බවට හඳුනාගෙන ඇත. 

කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් රසායනික පොහොරවලට කාලයක් තිස්සේ හුරුවීමත් සමග රසායනික පොහොරවලින් ඔබ්බට යාමට උත්සාහ නොදරන තත්ත්වයක් දක්නට ලැබෙයි. විශේෂයෙන් සහනාධාර ක්‍රමයට ලැබෙන මඩ පොහොර ප්‍රමාණවත් නොමැති බවට නිතර මැසිවිලි නැඟෙයි. නමුත් දැනට සිදු කර ඇති පාංශු පර්යේෂණ අනුව ලංකාවේ ගොවි බිම් ආශ්‍රිත පසෙහි පොස්පරස් ප්‍රමාණය සියයට 35කින් වැඩි බැව් සොයා ගෙන ඇත.ගොවින් තව තවත් මඩ පොහොර යොදන්නේ නම් ඒ සියල්ල එකතු වන්නේ භූගත ජල පද්ධතියටයි.

මේ වන විට උතුරුමැද පළාතේ සහ තවත් බොහොමයක් දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති නිදන් ගත වකුගඩු රෝගයේ මුලාරම්භයද මෙම අවිධිමත් ලෙස රසායනික පොහොර භාවිතය බවට අමුතුවෙන් සිතිය යුතු නොවේ.ලංකාවේ පසෙහි රසායනික පොහොරවලින් ලැබිය යුතු සියලු සංඝටක ප්‍රමාණවත් පරිදි තිබෙනනිසා සිමාව ඉක්මවා පොහොර යෙදිමේ අවශ්‍යතාවක් නොමැත.දැනටමත් අපේ පසෙහි පවතින ස්වභාවය ඉතාමත් භයානකබව සිහි තබා ගත යුතුව ඇත.රසායනික පොහොර වැඩියෙන් යොදන තරමට බැරලෝහ වර්ග පසට උරා ගැනීම වේගවත් වන අතර, ඒවා නැවත ජල මුලාශ්‍ර හරහා මිනිස් සිරුරට එක්වීමේ බරපතළ ආදිනව ගැන ගොවි ජනතාව බුද්ධිමත්ව කල්පනා කළ යුතුව ඇත.

රසායනික පොහොර යෙදවුම් නිසා පරිසරයට සිදු වී ඇති විපාකය ගැන ඇති තතු ඇති සැටියෙන් දන්නේ ඉතාමත් සුළුතරයකි. මේ වන විට වැව්වලින් පෝෂණය වී ඇති දිස්ත්‍රික්කවල වැව් පද්ධතිවලට බරපතළ තර්ජනයක් වි ඇති ජලජ පැළෑටි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විමට ද මෙය බලපා තිබෙන බැව් සොයා ගෙන තිබේ. ජපන් ජබර, බෙරු ආදි ජලජ පැළෑටි නිසා වැව් පද්ධති ගොඩවීමත් එහි ජීවත් වන ජලජ සතුන්ට සිදුඇති හානියත් අප අමතක නොකළ යුතුය. අප ජීවත් වන පරිසරයට ගොවිතැන තර්ජනයක් නම් අපේ භාවිතයන් අප වහ වහා වෙනස්කළ යුතුව ඇත. ඒ සඳහා එකම විකල්පය පරිසර හිතකාමි කාබනික වගාවට පරිවර්තනය විමයි.

නමුත් රසායනික පොහොරවලින් එකවර ම ඈත්වීම දුෂ්කර කටයුත්තක් නිසා කිසියම් අනුපාතයක ට කාබනික පොහොර භාවිතයට නැඹුරු වීම මීට හොඳ ම විසැඳුම ලෙස විදෙස් රටවල් ද තහවුරු කර ගෙන ඇත. මේ නිසාම රසායනික පොහොර භාවිතය ක්‍රමයෙන් අවම කර ඒ වෙනුවට කාබනික පොහොර යෙදවුම්වලට අවතීර්ණ වීමේ සංග්‍රාමයකට දේශීය ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමට දැන් රජය නවමු වැඩසටහනක් ආරම්භ කර තිබේ.

කාබනික වගාවට ප්‍රවිෂ්ට විමේ සාමුහික අවශ්‍යතාව කාලයක සිට අඩු වැඩි වශයෙන් කතා බහට ලක් වුවද එය එතරම් සාමාජගත වීමක් හෝ ගොවින් ඊට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීමක් තවමත් අපට දැකිය නොහැකිය. ඒ පිළිබඳව පවතින ඇල්මැරුණු ස්වභාවය නිසා ගොවින් ඊට උනන්දු කර වීම ට රජය මැදිහත්වීමට දැනටමත් තිරණය කර ඇත.

ජාතික නියමු ව්‍යාපෘති ඔස්සේ කාබනික පොහොර ගැන පවතින මිථ්‍යාව බිඳලමින් ඊට ගොවින් විශ්වාසයෙන් යුතුව නැඹුරු කර විමට පියවර ගෙන ඇත. ඒ අනුව රසායනික පොහොර සියයට 75ක් සහ කාබනික පොහොර සියයට 25ක් ලෙස අනුපාත ක්‍රමයකින් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ඉකුත් යල කන්නයේ තොරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් වන කුරුණෑගල , මහියංගණය , ගාල්ල , සහ රත්නපුර කලාප තුළ නියමු ව්‍යපෘතිය ක්‍රියාවට නංවන ලදි.

පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව එහි සාර්ථකත්වය පිළිබඳව පර්යේෂණාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදි කාබනික පොහොර යෙදීමේන් වගා භිම්වල සිදු වන වෙනස්කම්, අස්වැන්න, ප්‍රායෝගික ගැටලු මේ සියල්ලක් ම විමසුමට ලක් කළ අතර වයඹ රුහුණ, ඌව, පේරාදෙණිය ,රජරට, සබරගමුව යන විශ්වවිද්‍යාලය ඊට සිය අධ්‍යයනික සහාය ලබා දෙන ලදී.

2020 වසරේ ජනවාරි මස 2 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික කෘෂිකර්මාන්තය ට සමාරම්භය ලබා දෙමින් කැබිනට් අනුකාරක සභාවක් පත් කරන ලදි. ඉන්පසු ජාතික පොහොර ලේකම් කාර්යාලය තුළ කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කර ඉන් ප්‍රධාන පෙළේ කාබනික පොහොර නිපදවන දේශීය සමාගම් 6ක් තෝරා ගන්නා ලදී. ඒ අනුව ඉකුත් යල කන්නයේ හෙක්ටයාර් 1,25000ක වී වගාව ආශ්‍රිතව කාබනික පොහොර යෙදවුම් නියමු ව්‍යාපෘතියක් අරඹා සියයට සියයක් ම එහි සාර්ථකත්වය තහවුරු කර ගන්නා ලදී. ඒ සඳහා රජය මිලියන 200ක් වැය කළ අතර 2020-21 මහ කන්නය සඳහා මිලියන 500ක් දක්වා එය වැඩි කිරීමට ද කටයුතු කර තිබේ. මේ මහ කන්නයෙන් කාබනික වගා බිම් ප්‍රමාණය තවත් හෙක්ටයාර් 14467කින් හා ඉදිරියේ දි යල මහ දෙකන්නයේ හෙක්ටයාර් 440800 වැඩි කිරීම ඉලක්කයයි.

වී වගාවේ දී දෙමුහුන් වී වර්ග සඳහා කාබනික පොහොර යෙදීම පිළිබඳව ගොවින් තුළ පවතින්නේ එතරම් ධනාත්මක ආකල්පයක් නෙවේ. එමෙන්ම දේශීය සහල් අවශ්‍යතාවයෙන් සියයට 50ක් සපයා දෙන මහාවාරි සහ පොලොන්නරුව වැනි කලාපවල කාබනික වගාවට ගොවින් නැඹුරු කර වීම වහ වහා කළ හැකි කාර්යයක් නොවේ.

නමුත් ඉකුත් යල කන්නයේ පර්යේෂණාත්මක වැඩසටහනින් පසු ගොවීන් තුළ කාබනික පොහොර සම්බන්ධයෙන් පැවති අඩු තක්සේරුව සහ වැරැදි දැක්ම පහව ගිය බව පැහැදිළිව දක්නට ලැබීමත් සමඟ රජයට මේ කාබනික වගා සංග්‍රාමය අලුත් පන්නරයකින් ක්‍රියාත්මක කිරීමට හොඳ වතාවරණයක් සැකසි ඇත. ඒ සඳහා ගොවි ජනතාව ට සමිප කෘෂිකර්ම නිලධාරින් හරහා දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙළක් ද ආරම්භකර ඇත.

කාබනික පොහොර භාවිතය ට යොමු විමේ අවශ්‍යතාව පැන නැඟි ඇත්තේ කාලාන්තරයක් තිස්සේ රසායනික පොහොර යෙදීමේ ඵල විපාක ද මතු වෙමින් තිබෙන නිසාය. විශේෂයෙන් පාංශු විශේෂඥයින් පෙන්වා දෙන්නේ වර්තමානයේ ලංකාවේ පසෙහි තත්ත්වය දෙස බලන විට පොස්පරස් ප්‍රමාණය ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි වි ඇති බවය.

මඩ පොහොර යෙදිමෙන් පසේ පොස්පරස් ප්‍රමාණය ඉහළ යන අතර, දැනටමත් පොලොන්නරුව සහ කඳුකරයේ මහා පරිමාණයෙන් එළවළු වගා කරන ප්‍රදේශවල මෙම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙයි. පොස්පරස් ප්‍රමාණය වැඩි වු විට වෙනත් පොහොර වර්ග පසට උරා ගැනීම සිදු නොවෙන අතර, පොස්පරස් පස මත තට්ටුවක් මෙන් තැන්පත් වෙයි. මේ නිසා පස යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් පාංශු ප්‍රතිකාරයක් ලෙස එකම පිළියම වන්නේ කාබනික පොහොර යෙදීමය.

කාබනික පොහොර යෙදිමෙන් සිදු වන්නේ කුමක්ද යන්න ගොවි ජනතාව දැන ගැනීම අතිශයින්ම වැදගත්ය. එහිදි කාබනික පොහොරවල තිබෙන බැක්ටීරියා මඟින් පසේ පොස්පරස් උරාගෙන පස නැවත සකස් කරනු ලබයි. එමෙන්ම රාසායනික පොහොර යෙදිමේ දී පසේ ආම්ලික හා භාෂ්මිකතාව ගැන සැලකිලිමත් විය යුතුය. පසේ අාම්ලිකතාව එනම් පී.එච් අගය 4.5ට වැඩි නම් පොහොර උරා ගැනිමට බාධා ඇති වෙයි.

මේ නිසා රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය නිරෝගිමත් පරපුරක් සහ පරිසරය ට අවනත කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට නම් කාබනික වගාව පිළිබඳ මිථ්‍යාව බිඳ දමා කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත. ඒ සඳහා ධනාත්මක ආකල්ප ඔස්සේ රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ගොවින් ට ආරාධනා කර සිටිමු.

සකුන්තලා ජයසිංහ – දිනමිණ ඇසුරිණි

RSL

Related Posts