නීතිය නැමී ගුලිවෙද්දී, ට්‍රැෆික් OIC මරු තුරුලට; මරුවා වෙනුවට බිලි බෝයි දැමීමේ ඉතිහාසය එදා සිට අද දක්වා..

Spread the love

පසුගිය මාර්තු 01 වනදා බීමතින් රිය පදවා, අනතුරක් සිදුකොට දෙදෙනකුට තුවාල සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්තට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක විය. එහෙත් හිටපු ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු ප්‍රභූන්යැයි සිතමින් රට කන අධමයින්ගේ පුතුන් විසින් පසුගිය පෙබරවාරි 24 වනදා බම්බලපිටියේදී අනතුරට ලක්කර එයින් නොනැවතී එම රියෙන්ම ඔහු යටකර පළාගිය පසු මිනිසුන් විසින් රෝහලට ඇතුලත් කරන ලදුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 14කට ආසන්න කාලයක් මෙලොවත් පරලොවත් අතර ජීවත් වූ බොරැල්ල රථවාහන අංශයභාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා ඊයේ(09) මරණයට පත්ව ඇත.

පොලිසියේ ගොටු අල්ලන ක්‍රමය සහ අරුම පුදුම නඩු ඇහිල්ල

මෙම සිදුවීමෙන් ඊට පසුදින පොලිසිය විසින් අදාළ ඩිෆෙන්ඩර් රථය ඇතුළු සිද්ධියට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර රිය අනතුරක් කොට පළාගිය මෙම සිදුවීමේ නඩු විභාගය සිදුවූයේ අධිකරණය මාධ්‍යවේදීන්ට සහ අන්සියල්ලන්ට තහනම් කලාපයක් වෙමින් දොර ජනේල වසා නඩු ඇසීමෙනි. එහිදී ඩිෆෙන්ඩර් රථය පැදවූ බවට බෙල්ල තැබීමට ඉදිරිපත් වූ නමිඳු ඔමේෂ් රත්නායක නැමැත්තෙක් තාවකාලිකව හිරේට ගිය අතර සෙසු ප්‍රභූ සහචර පුතුන් ඇප මත නිදහස් වූහ.

පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක්කොට, යළි යට කොට පලායෑමේ සිද්ධියට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයාද, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රත්‍රයෙකුද, තවත් දේශපාලන පක්ෂ කිහිපයකට අයත් දේශපාලඥයින්ගේ පුතුන්ද සිටින බවට වාර්තා වූ අතර මෙම සිදුවීම සියලු දේශපාලන කණ්ඩායම් විසින් නිහඬවම යට ගැසීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද එයම බවට වාර්තාවේ.

මේ රටේ අමන දේශපාලුවන්ගේ සහ බල පුළුවන් කාරයින්ගේ සපත්තුවට යටවන නීතිය සහ යුක්තිය පොලිස් පරීක්ෂකවරයෙකු වෙනුවෙන්වත් ඉටු නොවන්නේ නම් මෙවැනි සිදුවීමකදී මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට යුක්තිය සහ සාධාරණත්වය කෙළෙස නම් ඉටුවේද යන්නයි.

හදිසි අනතුර කළ මරුවා වෙනුවට බිලි බෝයි ඉදිරිපත් කිරීමේ කලාව සහ ඉතිහාසය

අද වන විට මේ රටේ දේශපාලුවන්, බලපුලුවන්කාරයින් සහ ඉහළ පන්තියේ අයවලුන් තමන් විසින් කිසියම් රිය අනතුරක් සිදුවූ විට ඒ වෙනුවට වෙනත් අයෙකු හෙවත් බිලි බෝයි කෙනෙකු ඉදිරිපත් කොට තමා නිදහස් වීමේ අමුතුම කලාවක් ඇත්තේය.

අප මෙම අමන කලාවේ ඉතිහාසය සොයා බැලුව හොත් එය 2002 දක්වා දිව යයි. මෙම මිලේච්ඡ ක්‍රමය මුලින්ම හඳුන්වා දී ඇත්තේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි විසින්ය. ඒ 2002 ජූනි මස 15 වනදා අලුයම 4.15 පමණ බොරැල්ල ආලෝක සංඥා අසලදී එවක කමර්ඩාන් ජයලත් වීරක්කොඩි විසින් බීමතින් පැදවූ Peugeot 406 වර්ගයේ මෝටර් රථය පිරිසිදු කිරීමේ සේවා කටයුතු සිදුකරන සමාගමක ලොරි රථයක ගැටී එම ලොරි රථයේ රියදුරා ඉවතට විසි වී ගොස් බරපතළ තුවාල ලබා දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මරණයට පත්වූ අතර එය යටගැසීමට ජයලත් වීරක්කොඩි විසින් දැරූ සැලසුම් සහගත උත්සහයෙනි. මෙම අනතුරින් බේරීම සඳහා එදා ජයලත් වීරක්කොඩි දැඩි උත්සහයක් දැරූ අතර ප්‍රථම වතාවට අනතුර සිදුකළ පුද්ගලයා වෙනුවට වෙනත් ඉත්තෙකු හෙවත් බිලි බොයි කෙනෙකු යෙදවූ බවට අනාවරණය වූයේ මොහු විසිනි. මෙයින් තමා සහ තමාගේ තනතුර බේරාගැනීම සඳහා ගුවන් හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු රථය පැදවූ බවට හිරේ යැවීමට කටයුතු කළද දින කිහිපයකට පසු මෙහි සත්‍ය තොරතුරු හෙළිකිරීමට ඝාතනයට ලක්වූ ප්‍රවීන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සමත්විය. මෙරට මාධ්‍ය සියල්ලම පාහේ අද මෙන්ම එදාද මෙම සිද්ධිය යට ගැසීමට ජයලත්ගේ මුදල්වලට ඔහු වෙනුවෙන් කඩේ ගිය බවක් පෙනෙන්ට තිබුණද එදා ලසන්ත වික්‍රමතුංග විසින් සන්ඩේ ලීඩර් පුවත්පත හරහා “Air Chief nose-dives as operation cover-up backfires” නමින් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය.

මෙම මාරක රිය අනතුර බීමත්ව සිටි එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි අතින් සිදුවන විට ඔහුගේ අනියම් ඇසුරක් ලෙස භාවිතා කළ ගුවන් හමුදාවේම ඉහළ නිලධාරිනිවරියක් සිට ඇති අතර පොලිස් වාර්තා පොත්වලින් ඇයගේ නම ජයලත් වීරක්කොඩි විසින් බලපෑම් කර මකා දමා ඇති බවද පසුව අනාවරණය විය.

මෙම සිදුවීම විමර්ශනය ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියාට ජයලත් වීරක්කොඩි විසින් හඳුන්වා දී ඇත්තේ තමා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරීයා බවත් තමා පොලිස්පතිට කථා කළ අතර දුරකථනයේ සිටින්නේ ඔහු වන අතර මෙය අමතන ලෙසත්ය. ඔහුගේ දුරකථනය ගැනීමට පෙර පොලිස් නිලධාරීයා ජයලත්ට පවසා ඇත්තේ, සියල්ල එලියේ බවත්, ඊට පෙර කලිසමේ සිපරය දමාගන්නා ලෙසත්ය. මෙයින් ඒ මොහොතේ ඔහු සිටි තත්වය සහ කවර ආකාරයේ ඉරියව්වක සිට ඇද්ද යන්නත් අවබෝධ කරගත හැක.

අයුක්තියට එරෙහි සත්‍යයේ හඬ ජයගත් හැටි

කෙසේ වෙතත් මෙම සත්‍ය සිදුවීම එදා ගුවන් හමුදාපතිවරයාගේ ආධිපත්‍යයට යට නොවී නොපැකිලව හෙළිදරව් කිරීමට ඉදිරිපත් වූයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩර් පුවත්පත සහ වික්ටර් අයිවන් මහතාගේ රාවය පුවත්පත යන පුවත්පත් දෙක පමණි. එහෙත් මෙම මාධ්‍යයන්ගේ තිබුණු එම ප්‍රබලත්වය නිසාම අවසානයේ හිටපු කුප්‍රකට ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩිට තම ධුරයෙන් ඉවත්ව යෑමට සිදුවිය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ නියෝගයකට අනුවය.

ඔබේ නිහඬතාවය, ඔබේ පමණක් නොව ඔබේ දරුවාගේ මරුවාටද අවස්ථාවකි

අප කෙතරම් නීතිය, අධිකරණ ස්වාධීනත්වය ගැන කථා පොදුවේ ගත්කළ අදටත් ආසියාතික රටවල නීතිය ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක වීම තිබෙන්නේ යුරෝපයට සාපේක්ෂව පහළ තැනකය. රටේ සාමාන්‍ය පුරවැසියන්ට නීතිය ඉහටත් උඩින් ක්‍රියාත්මක වුවද රටේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ සහචරයින් ඇතුළු හිත්‍යයිෂීන්ටත් රටේ බලපුලුවන්කාර ඉහළ මජර පන්තියටත් නීතිය නැමෙනවා පමණක් නොව විටෙක ඔවුන් එම නීතිය නමා ගුලිකොට අධෝමාර්ගයේද ගසා ගනිති. මෙය පක්ෂ පාට බේදයෙන් තොරව අඩු වැඩි වශයෙන් දේශපාලනයේ සිටින බලය ඇති දේශපාලනඥයින් භාවිතා කරන ක්‍රියාවලියකි.

මෙහි අවසාන අවාසනාවන්ත තත්වය නම් යම් දිනෙක යම් මොහොතක ඔබද, ඔබේ දරුවාද මෙවැනි පාලක පැලැන්තියේ බලධාරීන් අතින් අතවරයට හෝ මරණයට පත්වුවහොත් ඔබ වෙනුවෙන් හඬ නැඟීමට යුක්තිය, සාධාරණත්වය ඉල්ලීමට කිසිවෙකුත් නොමැති වනු ඇත. එම නිසා ඔබ නිහඬව නොසිට ඔබට හැකි අයුරින් ඔබේත් අපේත් සාමාන්‍ය පන්තියේ මිනිසුන් වෙනුවෙන් හඬ නැඟීමට නොපැකිලිව ඉදිරිපත් වන්න.

-හසිත මානන්දුව-

RSL

Related Posts