ෆයිනස් ගැන වෙනස් කියවීමක්…

Spread the love

කදුකර ප්‍රදේශවල සංචාරය කිරීමේ දී කදු පන්ති පුරා විහිදී යමින් පරිසරයෙහි අපූරු රටාවන් මවන ෆයිනස් වගාවන් ඔබට මතක ඇති.

දෑතින් බදා ගත නොහැකි තරමේ පළල් විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ෆයිනස් ගස් සමූහය හාත්පස සිසාරා විහිදී යමින් කදුකරයට වෙනස් සිරියාවක් එක්කොට තිබෙනු දැකිය හැකියි. කාලයක් තිස්සේ වැඩුණු පැරණි ගස්වල කඳ කොටසෙහි පොත්ත පිපිරී ගිය කලෙක මෙන් රටා මැවී තිබේ. බැලූ බැලූ අත පෙනෙන ෆයිනස් ගස් සමූහය නිසා කදුකරය වෙනම ලෝකයක් බව දැනෙනු වැළැක්විය නොහැකියි. ෆයිනස් ශාඛයෙන් පරිසරයට සහ පසට සිදුවන විනාශය අසා තිබෙද්දිත් ෆයිනස්වලින් පිරුණු මේ පරිසරය නම් අපේ සිතේ ඇති කරන්නේ පුදුමාකාර අත්භූත බවක්. ෆයිනස් ගසින් පිරි පරිසරය හාත්පස අඳුර වැඩිකරන නමුත් අප කැමති වන ආකාරයේ ගූඪත්වය පිරුණු හැඟීමකින් සහ ආසාක්තවීමකින් අපව ඒ කෙරේ බැඳ තබා ගන්නට එය සමත්.

පැරණි වාර්තාවලට අනුව මුල්ම වරට ශ්‍රී ලංකාවට පයිනස් ශාකය හඳුන්වා දී ඇත්තේ 1870 වසරේ දී ය. එලෙස හඳුන්වාදුන් පයිනස් ශාකය 1920 වසරේ දී පමණ වගාවක් ලෙසින් රෝපණය කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව pinus patula නම් පයිනස් ප්‍රභේදය මීටර් 1600කට වඩා උසින් යුත් කඳුකර බිම්වල වගා කළත් එය මහා පරිමාණයේ වගාවක් වී නොමැත. ඉන් පසුව 1952 වසරේ දී පමණ උස මීටර් 900 ට වඩා වැඩි බිම්වල pinus caribaea නම් පයිනස් විශේෂය වගා කොට ඇත.

1950 දශකය පමණ වන විට සුළු පරිමාණයෙන් කඳුකරය තුළ වගා කරමින් තිබුණු පයිනස් වගාව සීඝ්‍රයෙන් කඳුකරය පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත්තේ 60 දශකයේදීය. ඒ අනුව 1983 වසර පමණ වන විට කඳුකරයේ හෙක්ටයාර් 2300ක පමණ පයිනස් රෝපණය කර ඇත. එහි දී පතන් බිම්වල වන වගාවක් ලෙසින් පයිනස් ශාකය රෝපණය කිරීමට නිර්දේශ වී තිබුණත් පතන් නොවන බිම්වල පවා පයිනස් ශාකය වගා කර ඇත. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව බහුලව වැවෙන මෙම ශාකය පරිසරයට යහපතට වඩා හානියක් සිදුකරන බව පරිසරවේදීන්ගේ මතයයි.

බහුල වශයෙන් උතුරු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාව පුරා වර්ධනය වන අතර යුරෝපය, උතුරු අප්‍රිකාව, කැරිබියානු කලාපයේ සහ ආසියාවේ සමහර භූගෝලීය ප්‍රදේශයන් තුළ දැකිය හැකිය.

හොඳින් ජලය බැස යන හා වැලි සහිත පස මෙම ශාකයට හිතකර පරිසරය වේ. මෙම ශාකය ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි අතර ඒවායේ ඉදිකටු මෙන් පත්‍ර ද කේතු ආකාරයේ මල් වැනි කොටසක් ද දැකිය හැකිය.

විවිධ පයිනස් විශේෂ සඳහා විවිධ අවශ්‍යතා හා පාරිසරික සාධක අවශ්‍ය නමුත්  ශාකය සාමාන්‍යයෙන් විවෘත හා හිරු එළිය හොඳින් වැටෙන ප්‍රදේශ වලට වැඩි කැමැත්තක් දක්වයි.මෙම ශාකය ලොව පුරා පුළුල් භූ දර්ශන හා දේශගුණික පරාසයක වර්ධනය වේ.

මීටර් 15 – 45 ක් පමණ උසැති මෙම ශාකය වඩාත් දූෂිත පරිසරයේ සවුවද හොඳින් වර්ධනය වේ.තවත් සුවිශේෂී කරුණක් වන්නේ පයිනස් ශාකය වනාන්තර කොරිඩෝවක් (forest corridors)  ලෙස වර්ධනය විය හැකිය.

මෙම ශාකය ලංකාවට ආවේණික ශාකයක් නොවුණ ද විශේෂයෙන් වෙන්කර ඇති වනාන්තර සඳහා කොරිඩෝවක් ලෙස කටයුතු කරයි. පයිනස් ශාකය වාණිජමය අරමුණින් වගා කරනු ලබන්නේ නම් වන වගාවෙන් වෙන් වූ වෙනස් පරිසර තත්ත්වයන් යටතේ වගා කළ යුතු වේ.

පරිසරයට ඇති බලපෑම

පයිනස් ගසට ශක්තිමත් මුල් පද්ධතියක් ඇති නිසා නායයාම් වැනි පරිසර හානීන්ගෙන් පොළොව ආරක්ෂා වේ. භූගත ජලය කෙරෙහි සෘණාත්මක බලපෑමක් මෙම ශාකයෙන් ඇති බවද ඇතැම් පරිසරය ගවේශකයන් අදහස් දක්වා ඇත. සාමාන්‍ය ශාක ගහනයෙකින් යුත් වනයක ජල උත්පාදනයට සාපේක්ෂව පයිනස් වගාවක එම වේගය අඩුය. කඳුකර ප්‍රදේශවල පයිනස් ඉවත් කලහොත් එහි පාරිසරික වෙනස්වීම් වුවද ඇතිවිය හැකිය. නිදසුනක් ලෙස වර්ෂාපතනයෙහි වෙනස් වීම, ස්වාභාවික විපත් හා නායයෑම් වලට ගොදුරු වීම දැක්විය හැකිය.  මෙම වගාව පස විනාශයටද යම්තාක් දුරකට හේතු වන ශාකයක් වන අතර පයිනස් වගාව පවතින ප්‍රදේශය අවට ජෛව විවිධත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකිය.

කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව බහුලව වැවෙන මෙම ශාකය පරිසරයට යහපතට වඩා හානියක් සිදුකරන බව පරිසරවේදීන්ගේ මතයයි. මෙම ගැටලුවට පිළියමක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පයිනස් වගාව කළමනාකරණය කිරීම සඳහා නව පියවරක් ගෙන ඇත. නව කළමනාකරණ සැලසුමට අනුව පයිනස් වගාවේ ඇතැම් අංශ ලී සඳහා ද ඇතැම් අංශ පයිනස් කිරි සඳහා ද භාවිතා කිරීමට කටයුතු යොදා ඇත.

පයිනස් රෙසින භාවිතය හා එහි ප්රයෝඡන

ඒ අනූව අප දැවමය නොවන වන නිෂ්පාදනයක් ලෙස පයිනස් වන වගාවන් ආශ්‍රිතව සිදුකරනු ලබන පයිනස් කිරි නිස්සාරණය කිරීම හා එහි ප්‍රයෝඡන පිළිබඳව මෙම ලිපි‍යෙන් සාකච්ඡාවට භාජනය කරනු ලැබේ.

කිරි යනු සාමාන්‍යයෙන් පොලිම බවට පත් කළ හැකි ශාක හෝ කෘතිම සම්භවයක් ඇති ඉහළ දුස්ස්‍රාවී ද්‍රාව්‍යය කි. එය සාමාන්‍යයෙන් කාබනික සංයෝග වල එකතුවකි.

පයිනස් ගස උසස් ප්‍රතිලාභයක් සහිත ඇලෙන සුළු අවර්ණ ද්‍රාවණයක්/ යුෂයක් නිපදවනු ලබයි. මෙම යුෂ කිරි (resin) නමින් හඳුන්වනු ලැබේ. මෙම යුෂ  ශ්‍රාවය කරනු ලබන්නේ ගසේ සිදුවන කැපීම් තුවාල මත විවිධ කෘමීන් හා සතුන්ගේ බලපෑම නිසා ගසට සිදුවන හානිය වළක්වා ගැනීම පිණිසය.මෙම යුෂ ගසෙහි පලුදු වූ කොටස වටා ආරක්ෂිත තට්ටුවක් හෝ පිරවුමක් ලෙස කියා කරයි.කාලයත් සමඟ මෙම යුෂ අඳුරු පැහැයට හැරේ.

පයිනස් කිරිවල විවිධ ප්‍රයෝජන ඇත.

සාමාන්‍යයෙන් ගම්, පිරවුම්කාරක (Sealant)  වාර්නිෂ්, මැලියම් ලෙස භාවිතා කළ හැකිය. ඊට අමතරව පහත සඳහන් භාවිතයන් ද පයිනස් කිරි මඟින් ලබාගත හැකි ය.

  1. ඖෂධීය භාවිතය
  • ආතරයිටීස් රෝගයේ සන්ධි ප්‍රදාහය යථා තත්ත්වයට පත් කිරීමට හා වේදනාව සමනය කිරීමට භාවිතා කරයි.
  • පිළිස්සුම් හා තුවාල සඳහා බාහිර ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි/ බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.
  • ඇතැම් විලවුන් වර්ගවල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකයක් ලෙස ද ක්‍රියා කරන අතර එමඟින් සිරුරේ ඇතිවන අසාත්මිකතාවයන් හා ආසාදනයන් වළක්වනු ලබයි.
  • යටත්විජිත ඇමෙරිකානුවන් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා ද පිළියමක් ලෙස පයිනස් කිරි භාවිතා කර ඇත.
  • එසේම පිළිකා කාරකයක් ලෙසද භාවිතා කර ඇත.
  • වසූරිය, සිපිලිස් වැනි රෝග සඳහා වූ පිළියමක් ලෙස කිරි සමඟ විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කරමින් භාවිතා කළ බව සඳහන් වේ.
  • විදුරුමස් වැනි දේවල් සැකසීම සඳහා ද භාවිතා කරයි.
  • උගුරේ අමාරුව සඳහා යුෂ ගසෙන් ලබාගෙන ඍජුවම අනුභව කිරීමෙන් උගුරේ අමාරුව සුව කරගත හැකිය.

ඉහතින් සදහන් කර ඇති ආකාරයට  පයිනස් කිරි අතීතයේදී සම්ප්‍රදායික ඖෂධීය භාවිතයන් සඳහා යොදා ගත් නමුත් තවමත් නවීන විද්‍යාව සමඟ ඵලදායී ලෙස යොදාගෙන ඒ පිළිබද කිසිදු සනාථ කිරීමක් සිදු කර නොමැත.

පයිනස් කිරි විවිධ ප්‍රාථමික මෙවලම් ඇලවීම සඳහා ද මැලියම් ලෙස භාවිතා කරයි. ඉටිපන්දම්වල දැවෙන කාලය දීර්ඝ කිරීමට උපකාරකයක් ලෙස භාවිතා කළ හැකිය.

  1. එසේම කිරි උණුකොට ඉටිපන්දම් සැකසීමෙන් පන්දම් ලෙසද භාවිතා කළ හැකිය.
  2. කිරි දාහ්‍ය ද්‍රව්‍යයක් නිසා ගිනි අවුලවාලීමට ද භාවිතා කරනු ලබයි.
  3. පයිනස් වලින් ගනු ලබන කිරි මදුරු විකර්ශකයක් ලෙස ද ක්‍රියා කරන අතර දුම්මල සැකසීම සඳහා ද භාවිතා කරනු ලබයි.
  4. සපත්තු, ලෝහමය බහාලුම්වල සිදුරු පිරවුමක් ලෙස ද භාවිතා කළ හැකිය.
  5. ආසාවනය කිරීමෙන් ටර්පන්ටයින් නිපදවීම ද කළ හැකිය.

පයිනස් කිරි ඉතා ඉක්මණින් ගිනි ගන්නා සුළු ද්‍රාවනයකි. කෙසේ වෙතත් අද වන විට පයිනස් කිරි විවිධ ආයතන මැදිහත්ව නිස්සාරණය කිරීම සිදු කරනු ලබන අතර දේශීයව කිසිදු නිෂ්පාදනයක් සිදු නොකරනු ලබයි.

පයිනස් කිරි නිස්සාරණ ක්රියාවලිය.

පයිනස් කිරි නිස්සාරණය පිළිබඳ වෘත්තීය ජීවිතය තුළ අසා තිබුණ ද එම කටයුත්ත පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කිරීම සදහා අවස්ථාව හිමි වූ‍යේ මාතලේ දිසාවේ රත්තොට බීට්ටුවේ බඹරගිරිඇල්ල ප්‍රදේශයේ පයිනස් වන වගාවක් ආශ්‍රිතව දැවමය නොවන වන නිෂ්පාදන විෂයට අදාළව සිදුකළ ක්ෂේත්‍ර චාරිකාව තුළදීය.

පයිනස් කිරි නැවුම්ව නෙළීමට යාමේදී තරමක් අපහසු වන අතර එයට හේතුව එය ඇලෙන සුලු ද්‍රාවණයක් වීමයි. කාලයක් ගත වීමත් සමග එය නෙළීම පහසු වේ. කාලයත් සමඟ ශ්‍රාවය වූ ද්‍රාවණය විශාල පොකුරු ලෙස පැවතීම එයට හේතු වේ.

කිරි ලබාගැනීමේදී තියුණු පිහියක් වැනි ආයුධයක් ගෙන එයින් පොකුරු  පා මුලට තද කර එය කඩා ඉවත් කර ගත යුතුය. උසින් වැඩි පයිනස් ශාකවල කිරි නෙළීම සඳහා විශේෂිත වූ අස්වනු නෙළීමේ උපකරණ ද භාවිතා කළ හැකිය. කිරි ලබා ගැනීමට පෙර එය නිවැරදිව ශාකයට හානි නොවනසේ ලබාගත යුත්තේ කෙසේද යන්න නිසියාකාරව දැනුවත් විය යුතුය. ශාකයට හානියක් නොවන ලෙස කුඩා ප්‍රදේශයක් තුළ පමණක් කිරි ලබා ගැනීම සිදුකළ යුතුය.

දිවයිනේ මධ්‍යම කදුකරය පුරා විසිර පවතින පයිනස් වන වගාවන් ව්‍යාප්ත කිරීම සදහා මූලිකත්වය ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එම නිසා එම කටයුතු වල ප්‍රධාන අධීක්ෂණය සිදුකරනු ලබන්නේද ඔවුන් විසිනි. මෙම කටයුත්තෙහි ප්‍රථම අදියර ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පයිනස් වන වගාවන් තුළින් විවිධ ප්‍රදේශයන් ආශ්‍රිතව තොරාගත් ගත් බිම් කට්ටි කිරි කැපීම සදහා නිර්දේශ කරනු ලබයි. ඉන් අනතුරුව එම බිම් කට්ටිය තුළ පවතින පයිනස් ගස් ප්‍රමාණය හදුනාගෙන කිරි කැපීම සදහා මිළගනන් කැදවීමක් සිදුකරනු ලබයි.

මෙම ටෙන්ඩර් පත් කැදවීම වසරක කාලයක් සදහා සිදු කරන අතර මෙහිදී පයිනස් මෙම කාර්‍ය්‍යයේ වැදගත්ම කොටස වනුයේ පයිනස් කිරි නිස්සාරණ කාර්‍ය්‍ය අධීක්ෂණය කිරීමයි. මන්ද යත් නිවැරැදි ලෙස කිරි ලබාගැනීම සිදු නොකලහොත් ගසට හානි සිදුවිය හැක.එවිට ගස් මැරීමට භාජනය වීම හො ලබා ගත හැකි දැවමය වටිනාකම අඩුවන ලෙස ගස බාලවීමක් සිදුවේ.

එම හේතුව නිසා කිරි නිස්සාරණය සදහා ඉදිරිපත් වන සමාගම් වෙත කොන්දේසි මාලාවක් පැනවීම සහ බීට්ටු වන නිළධාරින් මගින් නිරන්තර අධීක්ෂණයට භාඡනය කරනු ලබයි. පයිනස් කිරි නිස්සාරණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අදාල සමාගම් විසින් වන වගා බිම් කට්ටිය සහිත ප්‍රදේශයේ කිරි කැපීම සදහා සේවය ලබා දෙන පිරිස්වලට නිසි පුහුණුවක් ලබා දීම සිදු කල යුතුය.

අදාල කාර්‍ය්‍යය අධීක්ෂණය සදහා අධීක්ෂණ නිළධාරිවරයෙකු සමාගම විසින් පත් කළ යුතුවේ. ඔහු කිරිකපන්නන්ගේ කිරි එක් රැස් කර ගැනීම ද ඒ අතරම සිදු කරයි. කිරි කැපීම ආරම්භයට පෙර වෙන්කරන ලද බිම් කට්ටිය තුළ ඇති සියලු පයිනස් ගස් මුල වට මීටරයක පමණ ප්‍රමාණයක් වල් පැල හා කොල ඉවත් කර පිරිසිදු කළ යුතුය.

මෙසේ ගස අවට පිරිසිදු කරනු ලබන්නේ පයිනස් රෙසින වහා ගිනිගන්නා හෙයින් කිරි කැපීමේදී කද තුළ වෑහෙන කිරි හරහා කැලෑ ගිනි ගැනීමකදී ගස ඉහලට ගිනි ගැනීම වැළැක්වීම සදහා ය. මෙමගින් කිරි කපන්නන්ටද පහසුවෙන්  ගස් අතර ගමන් කිරීමට මෙන්ම විෂ සහිත සතුන්ගෙන් සිදු විය හැකි හානි අවම කරගැනීමට හැකි වේ.

කිරි කපන්නන් විසින් ගසේ සුදුපැහැති යටි පොත්තට හානි නොවන පරිදි කිරි කැපීම සිදු කල යුතුවේ. එසේ නොමැති වුවහොත් ගසට හානි සිදුවිය හැක. තවද කැපීමේදී අභ්‍යන්තර පොත්තට හානි සිදුවුවහොත් වෑහෙන කිරි ප්‍රමාණයද අඩුවේ.මෙම කටයුතු බීට්ටු වන නිළධාරින් විසින් නිරන්තර අධීක්ෂණයට යොමු කරන අතර නිවැරැදි ලෙස අදාල කාර්‍ය්‍යය සිදු නොවේනම් ඉන් ඉවත් කිරීමටද බලය පවතී.

ඉහතින් සදහන් ක්‍රමවේදයන්ට අනුගත වෙමින් පයිනස් කිරි නිස්සාරණය කාර්‍ය්‍යයේ අදාල පුහුණු කම්කරුවන් විසින් යෙදෙනු ලැබේ. බොහෝ දුරට පයිනස් කිරි කැපීම සදහා ලබා දෙන බිම් කට්ටියක හෙක්ටයාරයක් තුළ පයිනස් ගස් 400 – 600 ක් පමණ පවතින බව වන ක්ෂේත්‍ර සහායක අල්විස් මහතා ප්‍රකාශ කරන ලදී.ඒ අනූව එක් කම්කරුවකු සදහා කිරි කැපීමට ගස් 900 – 1200 ත් අතර ප්‍රමාණයක් බෙදා දෙනු ලැබේ.

පයිනස් කිරි කැපීම සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබාදුන් අයි . ජී කරුණාවතී මහත්මිය විසින් දිනකට ගස් 300 ක පමණ කිරි කැපීම සිදුකරනු ලබන බව දින හතරකට වරක් කිරි එකතු කිරීම සිදුකරනු ලබන බව ප්‍රකාශ කළාය. පයිනස් කිරි කැපීම සදහා උපකරණ කීපයක් භාවිතා කරනු ලබයි.ඒවා බාර්ක් ශේවර්, Y ක්නයිෆ් හා අඩු මිටිය වේ.

භූමිය පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව කිරි නිස්සාරණ කටයුත්ත ආරම්භ කරනු ලබයි. පයිනස් ගසෙහි මතුපිට පවතින පතුරු කැබලි සහිත පොත්ත බාර්ක් ශේවර් යන උපකරණය භාවිතයෙන් සූරා ඉවත්කර මතුපිට හොදින් පිරිසිදු කරගනු ලබයි.මෙහිදී සෙ.මී 45-50 ක් පමණ උසට හා සෙ.මී 25 -30 පමණ පළලට පිරිසිදු කර ගැනීම සිදු කෙරේ. මේලෙස ගසේ ඉවත් කරනු ලබන මිනුම් ප්‍රමාණයේ එක්  කොටසක් වසර පුරාම කිරි කැපුම යෙදීම සදහා ප්‍රමාණවත් වේ. වසරක කාලයක් සදහා කිරි නිස්සාරණය සදහා ටෙන්ඩර් පත් මගින් ලබාගත්තද බොහෝ දුරට කිරි කැපීම සිදු කරනු ලබන්නේ මාස 08 – 10 ත් අතර කාලයක් දක්වා පමණි.මන්ද යත් වසරේ විවිධ කාල වලදී ඇතිවෙන වර්ෂාවත් සමග කිරි කැපීමේ කටයුත්ත අඛණ්ඩව පවත්වගෙන ‍යා නොහැකි වීම හා ගසේ සෙ.මි 45 – 50ක් උසට හා සෙ.මී 25 – 30 පමණ පළලට පොත්ත ඉවත් කල කොටස තුල මාස 10 ක් පමණ යනවිට කිරි කපා අවසන් වීමයි. එලෙස බාර්ක් ශේවර් මගින් පිරිසිදු කරන කොටස් 03 ක් එකිනෙක උසට වසර 03 ක් යෙදීම සිදුවේ. කම්කරුවන් ප්‍රකාශ කරනුයේ තම උස හා උපකරණයේ ආධාරය සහිතව පහසුවෙන් කැපුම යෙදිය හැකි උපරිම උස ප්‍රමාණය එපමණක් බවයි.

ඒ සදහා පිලියමක් ලෙස මුලින්ම කිරි නිස්සාරණය සදහා යොදන කැපුම තුළ දින 4 කට පසු නැවත වරක් කැපුමක් යොදා කිරි නිස්සාරණය කරන ලෙස අදාල සමාගම් සදහන් කලද එසේ නැවත වරක් කැපුම යොදා කිරි නිස්සාරණය කිරීමේදී දෙවන වර ලබාගත හැකි කිරි ප්‍රමාණය 60% කින් පමණ අඩුවන බව කම්කරුවන් ප්‍රකාශ කරනු ලබයි. එමනිසා ඔවුන් එකම කැපුම නැවත වරක් යෙදීමට අකමැත්තක් දක්වයි. එමෙන්ම මෙම කටයුත්තේදී ගසෙහි කැපුම යෙදීමට අවසර ලබා දී ඇත්තේද මි.මී 3.5 ක් ගැඹුරට පමණි.

අනතුරුව Y ක්නයිෆ් උපකරණය භාවිතා කර V හැඩයට ඉහලසිට පහලට කැපුමක් යොදනු ලබයි.මෙහිදී දිය පට්ට නමින් හදුන්වන සුදු පැහැති යටි සෛලම පටක කොටසට හානි නොවන අන්දමින් කැපුම යෙදිය යුතු වේ. මේ සදහා අදාල උපකරණය හොදින් මුවහත්ව තිබිය යුතු වේ.එම කොටසට හානි වීම ගසේ වර්ධනය බාල වීමට හේතුවකි.

V හැඩයට කැපුම යොදා අනතුරුව එහි හරි මැදින් ඉහල සිට පහලටත් කැපුමක් යොදනු ලබයි. ඉන්පසු ක්‍රමයෙන් පළල අඩුවීයන සෙ.මී 6ක් පමණ දිගින් යුතු තහඩු කැබැල්ලක්, යොදනු ලැබූ කැපුම කෙලවරට තබා ඇණයක් ගසනු ලබයි. අනතුරුව එම තහඩු කැබැල්ලට යටින්කිරි එකතු වීම සදහා තබනු ලබන පොල්කටුව හෝ ප්ලාස්ටික් භාජනය රදවා තැබීම සදහා කම්බි කැබැල්ලක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද වෘත්තාකාර මුදුවද ගසට ඇණයක් ගසා සමබරව සකසනු ලැබේ. එය මත පොල්කටුව රදවනු ලබයි. අවසානයේ යොදන ලද කැපුමට ස්ටිමියුලන්ඩ් නම් ඇසිඩ් ද්‍රාවනයක් යොදනු ලබයි. එය සල්පියුරික් නයිට්‍ර් නම් ද්‍රාවනයක් ජලය සමග කලවම් කර සෑදූවකි.මෙමගින් පයිනස් කිරි වල ඇති ඇලෙනසුලු ඝනත්වය අඩුකර නිස්සාරණය පහසු කරයි. කෙසේ වෙතත් මෙය සමට අහිතකර බැවින් කම්කරුවන් රබර් අත්මේස් දමා කුඩා බෝතලයක මූඩිය සිදුරුකර කැපුමට ඉසිනු ලබයි. මෙම ක්‍රියාවලිය සිදු කිරීම සදහා අවශ්‍ය වන උපකරණ ඇසිඩ් ද්‍රාවන හා කොටස් අදාල සමාගම් විසින් කම්කරුවන් වෙත සපයනු ලැබේ.

මෙය එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවන අතර ඇණ ගැසූ මුදුව තුල පොල්කටුව ‍රැදවු පසු යෙදූ කැපුමෙන් වෑස්සෙන කිරි තහඩුව හරහා විත් එයට එකතු වේ. ඉහත ක්‍රියාවලිය පළමු දිනයේදී කම්කරුවකු වෙත ලබාදුන් ගස් ප්‍රමාණයයෙන් 1/4 ක් සදහා සිදු කෙරේ. අනතුරුව ඒ හා සමාන ප්‍රමාණයක් දෙවන දිනයේදී ද එලෙස දින 04 ක් තුළ තම සියලු ගස් ප්‍රමාණයෙහි කැපුම් යොදා පොල්කටු රදවා අවසන් කරයි.පයිනස් රෙසින

පස් වන දිනයේ උදෑසන පළමු දිනයේ රදවන ලද පොල්කටු තුළ එකතු වී ඇති කිරි ගෙනයනු ලබන භාජනය වෙත පුරවා නැවත V හැඩයේ කැපුම යොදා පොල්කටු රදවනු ලබයි. ගසෙහි රදවනු ලැබු තහඩුව හා පොල්කටුව එලෙසම පවතින අතර කැපුම පමණක් දින 04 කට වරක් වෙනස් වේ.

දෙවන දිනයේ කැපුම යොදාන ලද ගස් වල කිරි හයවන දිනයෙ එක් රැස් කිරීමද වශයෙන් චක්‍රීයව අඛණ්ඩව මෙම ක්‍රියාවලියේ යෙදේ. එවිට පළමු දින හතරේ හැර පස්වන දිනයේ සිට අඛණ්ඩව කිරි එක් රැස් කිරීම සිදු කෙරේ.සාමාන්‍යයෙන් කම්කරුවකු දිනකට පයිනස් කිරි කි.ග්‍රැ 25 – 30 ත් අතර ප්‍රමාණයක් එකතු කරනු ලබයි.

එක් වසරක්දී සෙ.මී 45ක් උසට කිරි නිස්සාරණය කර අවසන් වූ පසු ඊළඟ වසරේදී ඊට ඉහලින් නැවත පෙර පරිදිම කිරි කැපුම් යොදනු ලබයි. මෙලෙස ගසක එක් පැත්තක සෙ.මී 45 උස ස්ථර 03 ක් යොදා අවසන් වූ පසු සෙ.මී 7-8 ක් පමණ තීරුවක් ගසේ අතහැර අනෙක් පසින් පෙර පරිදිම කිරි කැපුම් යොදනු ලබයි. මේ ආකාරයට කද වටා පැති 03 ක් තුල අවස්ථා නවයකදී කිරි කැපීම සිදුකරන බවත් බිම සිට පහසුවෙන් වසර  9-10  ත් අතර කාලයක් කිරි නිස්සාරණය සදහා කැපුම් යෙදිය හැකි බවත් කම්කරුවකු ප්‍රකාශ කරන ලදී.

උදෑසන කාලයේ කිරි කැපීම සිදුකරනු ලබයි. පිරිමි පුද්ගලයෙකුට ගස් 250 -300 අතර ප්‍රමාණයක කිරි කැපීම සදහා පැය 03 – 04 ත් අතර කාලයක්ද කාන්තාවකට පැය 04 – 05 ත් අතර කාලයක් ද ගතවේ. එමනිසා අමතර රැකියාවක් ලෙස මෙම වෘත්තීයෙහි නියැලීමට හැකියාව පවතී. කාන්තාවන්ට නිවසේ රාජකාරි කටයුතු වලටද බාධාවක් නොවන අන්දමින් මෙහි නියැලීමට හැකිවීම විශේෂ වාසියකි.

දැනට සමාගමක් විසින් කිරි කි.ග්‍රැ 01 ක් රු.80 කට මිලදී ගනු ලබයි.එමනිසා සාමාන්‍යයෙන් දිනකට කම්කරුවකු වෙත රු 2000- 2400 ත් අතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතී. වැසි දිනව වලදී මේ කාර්‍ය්‍යය සදහා බාධාවන් මතුවේ. පොල්කටු තුළ ජලය එකතු වුවද ජලය සමග පොල්කටු තුළ ඇති කිරි භාජනය වෙත එකතු කිරීමෙන් අනතුරුව අවසානයේ ජලය  පෙරා ඉවත් කර කිරනු ලබන බව කම්කරුවකු ප්‍රකාශ කලේය. එහෙත් වැසි කාලවලදී ලබාගත හැකි කිරි ප්‍රමාණය අඩු වේ.

හිරුඑළිය හොදින් පවතින හා උණුසුම තරමක් වැඩි මහනුවර, මාතලේ හා බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ වල කිරි නිස්සාරණය හොදින් සිදුවේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික ශීතල හා වර්ෂාව නිසා කිරි නිස්සාරණය ප්‍රතිශතය තරමක් අඩු බව සමාගම් විසින් පවසයි.

දිවයිනේ පයිනස් වන වගාවන් ආශ්‍රිතව අද වන විට මෙම කර්මාන්තය ප්‍රධාන මෙන්ම අතිරේක ජීවනෝපාය කරගත් විශාල පිරිසක් දක්නට ලැබේ. එමෙන්ම එමගින් රට තුළට වසරකට විශාල විදේශ විනිමයක්ද ගලා එයි. කෙසේ වෙතත් රට තුළ වෙනත් සාම්ප්‍රදායික කර්මාන්ත වලට අත්ව ඇති ඉරණම මෙම කර්මාන්තයටද වර්ථමානයේ අත්ව ඇත. එයට රාජ්‍ය ‍යාන්ත්‍රනයේ පවතින අකාර්යක්ෂමභාවය හා අනවබෝධය හේතුවක්ව පවතී. තවද නව පරම්පරාව මෙම කර්මාන්තය සදහා යොමු නොවීමද එහි අභාවයට හේතුවක්ව පවතී.

කිරි කැපීම් ක්‍රියාවලිය තුළදී ගසට හානි වන අයුරින් කැපුම් යෙදීම හා වන වගාවල සතුන් දඩයම් කිරීමට උගුල් ඇටවීම වැනි අක්‍රමිකතා කම්කරුවන් සිදුකරනු ලබන බවටද චෝදනා පවතී.

මීට වසර ගණනකට පෙර පයිනස් රෙසින යොදාගෙන දිවයින තුළම විවිධ නිෂ්පාදන සිදු කර ඇතත් අද වනවිට එලෙස කිසිදු නිෂ්පාදනයක් සිදු නොකොට ඉංදියාව වෙත අපනයනය කරනු ලබයි. ඉන්දියාව මගින් නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය කොට විවිධ අමුද්‍රව්‍ය සාදන අතර ශ්‍රී ලංකාව විසින් නැවත ඉහල මුදලකට විවිධ නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය ලෙස ඒවා ආනයනය කරනු ලබයි.

සිද්ධාලේප වෙන්ඩෝල් වැනි සමාගම් විසින් ඉන්හේලර් , වේදනානාශක නිපදවීම සදහා ද මුද්‍රණ ක්‍රියාවලියේ දී කඩදාසි වල මතුපිට දිස්නය වැඩි කිරීම සදහාද වෙජිටබල් ටර්පන්ටයින් ලෙසද නැවත වරක් අපගේම දේශීය සම්පත ඉංදියාවෙන් මිලදී ගනු ලබයි.

පරිසරයට හානිදායක බව පවසමින් පයිනස් ශාකයට හා ඒවා රට තුළ වගාකල පුද්ගලයන්ට දොස් නගනු වෙනුවට එම වටිනා සම්පත ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට රැකියා අවස්ථාවන් බිහි කිරීම හා එමගින් අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව පවතී. දිවයින පුරා මෙලෙස කිරි නිස්සාරණය සදහා යොදා නොගත් විශාල පයිනස් වන වගාවන් ප්‍රමාණයක් පවතින බව මෙම කර්මාන්තයේ නියුතු සමාගම් හා කම්කරුවන් සදහන් කර සිටීයි. රටක් ලෙස අප සතුව ඇති මෙවන් සම්පත් නිසිලෙස කළමණාකරණය කරගත හැකි නම් එය රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන සම්පතක් වනු ඇත.

මහේෂ් හර්ෂණ රාජපක්ෂ, වැඩබිම් නිලධාරී,  රාජ්‍ය දැව සංස්ථාව, ගිනිගත්හේන

Related Posts