සුපිරි ආහාරයක් බවට පත් වූ ගමේ කෑම ‘වැල් අල’ ගැන දැනගත යුතුම කතා

Spread the love

පසුගිය ලිපියකදී මඤ්ඤොක්කා අල ගැන කරන ලද විස්තරයකදී අප සඳහන් කරනු ලැබුවේ ගලවා ගන්නා ලද අල, දින දෙක තුනක් ඇතුලත ‘හුළං වැදීම’ හේතුවෙන් අනුභවයට නුසුදුසු වන ආකාරයත්, එයට ඉඩ නොදී ඒවා කල් තබාගත හැකි ආකාරයත් පිලිබඳවය.

ලංකාවේ වගාකෙරෙන අලබෝග අතරින් අඩුම කාලයකින් කෑමට නුසුදුසු තත්වයට පත්වෙන අල වර්ගය ලෙස මඤ්ඤොක්කා හැඳින්වීම වුවද මේ නිසා අසාධාරණ නැත. දැන් අප පිවිසෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ අන්තය වෙතටයි. එනම් අස්වැන්න නෙලා ගත්තායින් පසු වැඩිම කල් තබාගැනීමේ හැකියාවක් ඇති අල වර්ගයක් වෙතටය.

18 වෙනි සියවසේදී අප්‍රිකානු වහලුන් අධිරාජ්‍යවාදීන් විසින් නැව් වල පටවාගෙන මාසගණන් මහ සයුරේ යාත්‍රා කරමින් තම රටවලට රැගෙන යනවිට ඔවුනට මගදී කන්නට රැගෙන ගියේ මෙම වර්ගයේ අල තොගයක් බව සඳහන්වේ. කිසිදු උපකාරකයක් යොදා නොගෙන කල්තබා ගැනීමේ හැකියාව මෙහිදී ආශීර්වාදයක් වූවාට සැක නැත. අප්‍රිකානු වහල් සේවකයින්ටද එය ‘සුද්දන්ගේ’ කෑම කනවාට වඩා ප්‍රියජනක වූවාටද සැක නැත. මන්දයත් තම මව් රටෙහිදී පවා ප්‍රධාන ආහාරයක් ලෙස ඔවුන් කන්නට පුරුදුවී සිටියේ මේ අල වර්ග නිසාවෙනි.

ආසියාවේදී සම්භවය ලැබූ ‘වැල් අල’ නොහොත් මෙම ඩයොස්කෝරියා (Dioscorea) ගණයට අයත් සාමාජිකයින් අප්‍රිකාවට පිවිස ඇත්තේ ක්‍රි.පූ. 1500 තරම් ඈත අතීතයකදී බව සඳහන්වේ. එතැන් සිට වහල් වෙළඳාම හරහා ඇමරිකාව දක්වා පැතිරුණු වැල් අල, අද වනවිට ඝර්ම කලාපික දේශගුණයක් සහිත සියලු ප්‍රදේශයන්හි දකින්නට තිබේ.

මෙරට සුලභව භාවිතාවෙන්නේ ඩයොස්කෝරියා අලාටා (Dioscorea alata) නමැති විශේෂයි. එයට අමතරව ඩයොස්කෝරියා විශේෂ 10 ක් ලංකාවේ තිබේ. වඩාත් ජනප්‍රිය අලාටා හි පමණක් වගා දර්ශ 30 ක්, විවිධ දේශීය නම් යටතේ හඳුනාගෙන ඇති බව පවසන්නේ ෆ්ලෝරා ඔෆ් සිලෝන් (Flora of Ceylon) නමැති ශ්‍රී ලාංකික වෘක්ෂලතා ගැන ලියවුනු ග්‍රන්ථ පෙළෙහි 9 වෙනි වෙළුමට, ඩයොස්කෝරියේසේ (Dioscoreaceae) නම් වූ වැල් අල කුලයේ පරිච්ඡේදය ලියූ ආචාර්ය මැග්ඩන් ජයසූරියයි.

මෙරට පවතින වැල් අල විවිධත්වය ගැන කතා කරන්නට ඊට වඩා සමතෙක් ඇතැයි සිතිය නොහැකි අතර, ශ්‍රී ලංකාවටම ආවේනික ‘කිරි ගෝනල’ නමින් වැල් අල වර්ගයක් සිංහරාජ වනාන්තරය තුලින් සොයාගත්තේද ඔහු විසිනි. නමුත් එය නම් අලාටා වලට අයත් වගා දර්ශයක් නොවේ. රාජ අල, ජඹුරල, යාපනයේ දම් අල, හිඟුරල, කහට අල, ඉනි අල, ඇඟිලි අල ඇතුළු පොදු නම් රාශියකින් අප අතර ඇත්තේ මෙම වැල්අල සාමාජිකයින්ය.

බතල, මඤ්ඤොක්කා සහ කිරි අල වැනි ආර්ථික වගා තරමටම අප රටෙහි වැල් අල වගාව ව්‍යාප්ත වී නැත. බොහෝවිට ගෙවතු වගාවක් වශයෙන් අල වැල් කීපයක් තිබීම වඩාත් සුලභ තත්වයකි. අපගේ විස්තරය එවන් වගාවක් පවත්වාගෙන යාම හා බැඳුනු තොරතුරු දෙසට හැරෙන්නේ ඒ නිසාවෙනි. ගෙවතු වගාව පිළිබඳව පසුගිය දිනවලදී ජනතාව අතර මහත් උනන්දුවක් දක්නට ලැබුණු අතර, වසංගත තත්වය හමුවේ කරකියාගත දෙයක් නොමැතිව නිවෙස් තුලට සීමාවූ පිරිස් වෙතින් මේ උනන්දුව වඩාත් කැපී පෙනුනි.

කෙසේ වුවත් ගෙවත්තේ සිටුවන්නට එළවලු ඇට සොයනා තරම් උනන්දුවකින්, හදිස්සියකට වේලක් පිරිමසා ගන්නට හැකි යමක් වගා කිරීමට කල්පනා කරන පිරිස් දකින්නට නොමැතිවීම මෙම සංකල්පයේ අඩුවක් ලෙස පෙනෙන්නට තිබුණි. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ එළවලු වවන්නට ඇති උනන්දුවට නොදෙවෙනි උනන්දුවක් ප්‍රධාන ආහාරය ලෙස ගත හැකි බෝගයක් කෙරෙහිද දැක්වීමයි.

ගෙවතු වගාකරුට ඕනෑකමක් ඇත්නම් වැල් අල විසින් එම හිඩැස අපූරුවට පුරවා දමන්නේය. ගෙවත්ත පරිසරයේ වැවෙන අල වැලට නිශ්චිතව වෙන්වූ ඉඩක් උවමනා නැත. වැල දුවන්නට අමුතුවෙන් ආධාරකද අනවශ්‍යය. සිටුවීමේදී යෙදවිය යුතු මූලික ශ්‍රමයට පසු මහන්සියක් වියයුතු නම් ඒ අල ගැලවීමේදීය. පළිබෝධනාශක හෝ රසායනික පොහොර නොමැතිව ගෘහ යැපුම් මට්ටමේ වගාවක් පවත්වා ගත හැකි නිසා මෙය සම්පූර්ණයෙන්ම කාබනික ආහාරයක්ද වේ.

මඤ්ඤොක්කා වැනි බෝගයකට සාපේක්ෂව වැල් අල, පසෙහි සාරවත් භාවයට ඇලුම් කරයි. ඒ නිසා මෙය හොඳින් වැවෙන්නේ කාබනික ද්‍රව්‍ය සහිත බුරුල් ලෝම පසක් ඇතිවිටදීය. අල වැලකට ඇත්තේ එක ප්‍රධාන අලයක් පමණක් නිසාත්, එය සිරස්ව පොළොවේ පහලට යන නිසාත් බතල, මඤ්ඤොක්කා සිටුවනවාට වඩා වෙනස් ක්‍රමයක් වැල් අල සිටුවීමේදී අනුගමනය කලයුතු වේ.

අඩියක්, එක හමාරක් පමණ දිග, පළල හා ගැඹුර ඇති වලක් සාදා එයට කාබණික ද්‍රව්‍ය මිශ්‍ර පස් පුරවා අල කැබලි දෙක තුනක් එහි සිටුවීම එක ක්‍රමයකි. වලවල් කීපයක් සාදන්නේ නම් අවම වශයෙන් අඩි තුනකවත් පරතරයක් තැබිය යුතුය. වලවල් සාදා සිටුවන විටදී කවදා හෝ අල ගැලවීමේදීත් ගැඹුරට පොලොව හෑරිය යුතු බැවින් අල පළුදුවීම වැනි අවස්ථාවන්ද එතැනදී සිදුවිය හැකි නිසා, වඩා සාධාරණ ක්‍රමයක් වන්නේ පොළොවේ සිට අඩි දෙකක් පමණ ඉහලට පස් කඳු සාදා, ඒ මත අල කැබලි දෙක තුනක් සිටුවීමයි. කඳු අතර පරතරය නම් පෙර සඳහන් කල ආකාරයෙනි.

රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගන්නේ කුඩා ප්‍රමාණයේ සම්පූර්ණ අල හෝ ලොකු අලයක ඉහල ප්‍රදේශයෙන් කපා ගන්නා ලද අල කැබලිය. කැබලි කපන විට ඇතුලත මදය අඩුවෙන් හා, පිටතට නිරාවරණය වූ පොත්ත වැඩිපුර තිබෙන ලෙස කැබලි කරගැනීම උචිත වේ. මදය පෙදෙස අනුභවයට තබාගෙන පොත්ත ඇතුලත් කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස තබාගන්න සැලකිලිමත් වන්න.

නග්න වූ මදය වැඩිපුර තිබෙන කැබලි පැලකල විට ඒ හරහා රෝග කාරකයන් ඇතුල්වීමේ අවදානමක් තිබේ. කෙසේ වෙතත් ඒ මත අළු තවරා හෝ කැප්ටාන්, තිරාම් වැනි දිලීර නාශකයක් ගල්වා හෝ පැල කරන්නේ නම් වඩාත් ආරක්ෂාකාරීය. ග්‍රෑම් 100 – 200 ක් අතර බරකින් යුත් අලයක් හෝ කැබැල්ලක් පැලකිරීම සඳහා යෝග්‍යය වේ. බර වැඩිවෙන විට ලියලන රිකිලිවලට සංචිත ආහාරයෙන් ලැබෙන සහයෝගයද වැඩිවෙන නිසා ඒවාහි වැඩීම වේගවත්ය. අලුතින් අල නිපදවීමද ඉක්මනින් ඇරඹේ.

කුඩා අල කැබැල්ලකින් බිහිවෙන වැලට මෙවන් ආරම්භක සහයක් නොලැබෙන නිසා, ප්‍රමාණවත් ලෙස කොලදාවක් සාදාගන්නා තෙක් අල පිරීම වේගවත් වන්නේ නැත. ඇතැම් රටවල ගොවීන් පහලට වැඩෙන අලයේ කෙලවරට පුරුක් ඉවත්කළ ලොකු උණබට කැබැල්ලක්, මහත පී.වී.සී නලයක් වැනි දෙයක් තබා අලය එතුල වැඩෙන්නට සලස්වන අතර, ප්‍රතිපලය වන්නේ එහි හැඩයට අනුව නිර්මාණය වූ ඒකාකාරී අලයකි. ආහාර සැකසීමේදී අපතේ යන කොටස අඩු බැවින් මේවා ආර්ථිකව වැඩි වාසි ගෙනදේ.

Dioscorea Alata | Only Foods

වැල් අල වල ජීවන කාලය මාස හත අටකින් කෙලවර වන්නේය. සාමාන්‍යයෙන් හොඳින් වැස්ස වැටෙන ඔක්තෝබර් වැනි කාලය වැල් අල සිටුවීමට ඉතා සුදුසු වේ. අල පරිනත වීමත් සමග වැලෙහි පත්‍ර කහපාට වෙමින් එය මැරෙන්නට පටන් ගනී. දැන් අල ගලවාගත යුතුය. එසේ නොකළහොත් මාස 2-3 ක් සුප්තව තිබෙන අල, ඊළඟ වැසි සමයත් සමග යලි ප්‍රරෝහණය වේ.  

අලාටා විශේෂය හැරුණුවිට ඩයොස්කෝරියා එස්කියුලෙන්ටා (Dioscorea esculenta) නමින් වූ වැල් අල විශේෂයක්ද අපගේ වගාකරුවන් අතර ගැවසේ. මෙය හඳුන්වන්නේ කුකුළල යන නමිනි. තනි අලයක් වෙනුවට මෙහි කුඩා අල පොකුරක් පොලොව මතුපිට අසලින්ම සෑදේ. ඇතැම් කුකුළල ප්‍රභේදයන්හි මතුපිට කෙඳි සහිත වන අතර තවත් ප්‍රභේදයක අල දරන්නේ සුමට පොත්තකි.

තවත් ඩයොස්කෝරියා විශේෂයක් වන්නේ ඩයොස්කෝරියා බල්බිෆෙරා (Dioscorea bulbifera) ය. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ ලොකු අල ගෙඩි වැනි ‘බල්බිල’ නමැති ව්‍යුහයන් වායව වැලෙහි තැන තැන හටගැනීමයි. මේවා නිපදවෙන්නේ ශාකයේ වර්ධක ප්‍රචාරණය උදෙසා වන අතර ඒවා තුල ආහාර සංචිතව තිබෙන නිසා අපට ආහාරයට ගත හැකිවේ.

යාපනයේ ‘මෝතකවල්ලි’ හෝ ‘රසවල්ලි’ සේ හැඳින්වන්නේ මෙම විශේෂයි. ඇතැම්විට කිලෝග්‍රෑමයක් තරම් බරට වායව බල්බිලය සෑදේ. නමුත් මෙම විශේෂයේ භූගත අලය නම් තිත්ත රසැති බැවින් ආහාරයට නොගනී. මේ හැරුණුවිට දිවයිනේ සෙසු ප්‍රදේශයන්හි ඇති වැල්අලවල තිබෙන කුඩා වායව බල්බිලයන් නම් තිත්ත රස නිසා කෑමට ගන්නේ නැත.

කෝටි දහයක අප්‍රිකානුවන්ගේ ප්‍රධාන ආහාරය වූවත්, මෙම අසිරිමත් බෝගයේ ආශීර්වාදය අප තවමත් හරියාකාරව උකහාගෙන නැති සිතෙනා තරම්ය. බත් කන අපට වැල් අල කන්නට හිත හදාගත නොයුතු බව සැබෑවකි. එහෙත් ප්‍රධාන ආහාරයක් ලෙස මෙය භාවිතා නොකරන රටවල් පවා වැල්අල වලින් අපූරු ආහාර නිර්මාණ කර තිබේ.

‘උබේ’ (Ube) යන නමින් පිලිපීන ජාතිකයින් හඳුන්වන, අපටද හුරුපුරුදු ‘යාපනේ දම්’ (Jaffna Purple) නමැති වැල්අල වලින් ඔවුන් අයිස්ක්‍රීම්, කේක්, ස්විස්රෝල්, රසකල කිරි වැනි ආහාර රාශියක් සාදන අතර, මේ වනවිට ඒවා ඇමරිකා එක්සත් ජනපදයට පවා අපනයනය කෙරෙන තරමට ව්‍යාපාරය දියුණුය. මෙවැනි දැවැන්ත ව්‍යාපාරයකට මංපෙත් විවර කර ඇත්තේ අල ගෙඩිය තුල වූ දම්පාට ඇන්තොසයනින් වර්ණකය මිස වෙන කිසිවක් නොවේ.

සම්ප්‍රදායික පරිභෝජන රටා වලට පමණක් එලබගෙන සිටිනවාට අමතරව, අප සතු පුළුල් වෘක්ෂලතාදිය අතර තිබෙන මෙවන් සියුම් සම්පත් හඳුනාගැනීමට අප දැන්වත් ඉදිරියට පැමිණිය යුතුය. කෘෂිරසායන පිටුදකිමින් ආහාරය පිරිසිදු කිරීමට ඇති උනන්දුව, මෙවන් ස්වභාවික වර්ණක, රසකාරක වැනි දේ ප්‍රවර්ධනය කිරීමක් දක්වා ඉදිරියට ගෙනා යුතුය.

එහි ප්‍රධාන වගකීම ඇත්තේ දේශීය කර්මාන්තකරුවන් සතුවය. සහල් පිටි යොදා ගනිමින් බිස්කට් වර්ග, නූඩ්ල්ස් වැනි දෑ අද කෙතරම් ජනප්‍රසාදයට පත්ව තිබෙන්නේද යන්න මෙයට සරලව සාක්ෂි සපයයි. සියරට දේ සිරිසැප දේ බවට පත්වීම යතාර්ථයක් බවට පත්වන්නේ එවන් චින්තන පෙරලියක් හරහා පමණි.     

ලංකාවේ තිබෙන වැල්අල විශේෂයන් කිසිවක් විෂ සහිත ඒවා නොවන බැවින් බිය සැක නැතිව ඒවා අනුභවයට ගතහැකි බව ආචාර්ය ජයසූරිය පවසා සිටී. එහෙත් අප්‍රිකානු රටවල විෂ සහිත ප්‍රභේද පවා තිබේ. එසේ වුවත් එය ඔවුන්ගේ ප්‍රධාන ආහාරයකි.

2017 දී ලෝකයේ නිපදවූ ටොන් මිලියන 73 ක් වූ නිෂ්පාදනයෙන් 66% කම නිපදවූවේ නයිජීරියාවයි. වැල්අල වල සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8-9 ක් පමණ වුවත් ඉතියෝපියාවේ ගොවීන් ටොන් 30 ක සීමාව පසුකරන අවස්ථා එමටය. ප්‍රධාන ආහාරය ලෙස බත් කන අපට නම් මෙය හදිස්සියට පිහිටවෙන අසල්වැසියෙකි. ඒ නිසා ගෙවත්තේ අයිනක අල වැලක් දෙකක් වගාකිරීම නුවණක්කාර තීරණයක් වේ. 

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.    

RSL

Related Posts