වාහන ආනයනය ඔක්තෝම්බර් සිට : ඒත් ඇත්ත තත්ත්වය කුමක් ද ?

Spread the love

කොවිඩ් වසංගතය සහ විදේශ විනිමය හිඟය නිසා වසර 4 කට අධික කාලයක් පුරා අත්හිටුවා තිබු වාහන ආනයනය කිරීම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට රජය සුදානම් වෙමින් සිටියි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය මෙම අගෝස්තු මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය. පළමුව ගෙන්වීමට අවසර ලබා දෙන්නේ ප්‍රවාහන සහ වාණිජමය කටයුතු වෙනුවෙන් උපයෝගී කර ගන්නා වාහන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

‘පැති කිහිපයක් ගැන අවධානය යොමු කරනවා’

මෙරටට වාහන ආනයන සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය ක්‍රියාවට නංවන්නේ කෙසේදැයි බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අවසන් තීරණය ගැනීමේදී පැති කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවන බවය.

“අපි ලබන මාසයේ දී (අගෝස්තු) වාහන ආනයනය කිරීම කරන ක්‍රමවේදය ගැන නිල වශයෙන් දැනුම් දෙන්න කටයුතු කරනවා. එතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝම්බර් මාසයේ ඉදලා වාහන ආනයනය කරන්න. එහෙම වාහන ආනයනය කරද්දී මුලින්ම ප්‍රවාහන සහ වාණිජමය කාණ්ඩයට අයත් වාහන සඳහා තමයි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ. වාහන ආනයනය කරන්න අවසර දෙන විට රටේ විදේශ විනිමය වගේම ගෙවුම් ශේෂය ගැනත් අපි අවධානය යොමු කරනවා. මේ සියල්ලම ගැන තීරණය කරලා තමයි වාහන ආනයනය සිදුකරන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ආකාරය ගැන අගෝස්තු මාසයේදී දැනුම් දෙන්න බලපොරොත්තු වෙන්නේ.” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

‘ජනතාව රවටන එකයි කරන්නේ’

මේ අතර රජය විසින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දිනෙන් දින කල් දමමින් ජනතාව රවටමින් සිටින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග චෝදනා කළේය.  ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයට වාහන ආනයනය කිරීමට නිසි වැඩපිළිවෙලක් තිබේනම් එය දිනෙන් දින කල් ගත නොකර නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුව තිබෙන බවයි.

“දැන් මාස ගානක් තිස්සේ ඉදලා කියනවා වාහන ආනයනය අහවල් මාසයේදී කරනවා, අහවල් කාලයේදී කරනවා කියලා. නමුත් ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේ වෙනකම් වාහන ආනයනය කරන දිනය ගැන නිවැරදිව කියන්න. ඒ නිසා වාහන ආනයනය ගැන රජය කියන මේ කතා ඔක්කොම ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය හැටියට අප ප්‍රතික්ෂේප කරනවා.” යැයි ඔහු පැවසීය.

වාහන ආනයනය කරන්නේ නම් එහි මිල ගණන් කෙබඳු වේවිදැයි බීබීසී සිංහල කළ විමසීමකට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“අද ඩොලරයේ පවතින අගයත් මෙතැනදී බලපානවා. රජය මේ වෙනකම් අපට දැනුම් දීලා නැහැ වාහන ආනයනය කරන ක්‍රමවේදය ගැන හෝ පනවන බදු ගැන. බදු වැඩි කලොත් වාහන මිල වැඩි වෙයි, බදු අඩු කලොත් වාහන මිල අඩු වෙයි. ඒ නිසා වාහන ආනයනයේදී මිල ගණන් අඩු වැඩි වෙයිද කියලා අපිට පාරිභෝගිකයින්ට නිසි පිළිතුරක් ලබා දෙන්න විදිහක් නැහැ. අනිත් අතින් බැලුවම දැන් අවුරුදු 5ක් පුරාවට වාහන ආනයනය කරලා නැති නිසා සියලුම වර්ගයේ වාහන ආනයන කිරීමට අවශ්‍ය වෙනවා.” ඔහු පැවසුවේය.

වාහන ආනයනයට අවසර ලැබෙන නිශ්චිත දිනය කවදා ද?

වාහන ආනයනයට ක්‍රමානුකූලව අවසර දෙන ලෙස, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ රජයෙන් ඉල්ලා සිටියි.

“අපි දැන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ අමාරුවෙන්,මේක සංවේදී කර්මාන්තයක්.රජයේ කිසිම නිලධාරියෙක් අපිට හරියට උත්තරයක් ලබා දෙන්නේ නෑ, විවිධ ප්‍රකාශ කලත් වාහන ආනයනය කරන්න අවස්ථාව ලබාදෙන නිශ්චිත දිනයක්, කාලයක් ප්‍රකාශ කරන්නේ නෑ” යැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවැසීය.

පැවැති ආර්ථික අර්බුදයත් සමග වාහන ආනයනය නතර කර මේ වන විට වසර 4ක් පමණ ගත වී තිබේ. වර්ථමානය වන විට වාහන ආනයනකරුවන් මෙන්ම හා වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් ද ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ (මැයි 31වැනිදා) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, 2020 වසරේ මාර්තු මාසයේ සිට රථ වාහන ආනයනය නතර කර ඇති බවය. වසර හතරක් පුරාවට වාහන ආනයනය සඳහා අවස්ථාවක් උදාවේවි යැයි බලා සිටි බවද මානගේ ප්‍රකාශ කළේය. වැඩිපුර සිදුවෙන්නේ වාහන කොටස් ගෙන්වා මෙරට තුළ එකලස් කිරීම වුවත් එම වාහන අපනයනය කිරීමට හැකියාවක් ලැබී නැති බවත් නිසි කලමණාකරණයක් නොමැති බවත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනය ආරම්භ කළේ නම් 200% ත් 250% කට ආසන්න බදු ආදායමක් රජයට හිමි වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කෙරෙනවා.මේක මිනිස්සුන්ට කැරට් අලයක් පෙන්නලා මේ හදන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන ගෙන්වීම” බව ද ප්‍රසාද් මානගේ පැවැසීය.

“මේ ව්‍යාපාරය කරපු 50% ක 60% පිරිසක් දැන් ව්‍යාපාරය අතහැර තිබෙනවා. අපි කියන්නේ ක්‍රමානුකූලව මේ වාහන ආනයනය ඇති කල යුතුයි.දැන් තිබෙන බොහෝ වාහන පරණයි.දැන් පවතින මිල සාධාරණද නැද්ද කියන්න බෑ, ඉල්ලුම හා සැපයුම එක්ක ඒක තීරණය වෙන්නේ. එක පාර වාහන සියල්ල ගෙන්වන්න කියලා අපි කියන්නේ නෑ.අත්‍යාවශ්‍යම වාහන ටික මුලින් ගෙන්විය යුතුයි.පවතින තත්ත්වයන් මත වාහන ආනයනය ආරම්භ කලත් ලොකු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ, ඒ අතරේ වාහන මිල වැඩි වෙයිද කියලත් සැකයක් තියෙනවා” යනුවෙන් ද ඒ මහතා පැවැසීය.

වාහන ආනයන සීමාවන් ඉවත් කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

මෙරටට වාහන ආනයනය කිරීම අදියරෙන් අදියර සිදුකිරීමට කටයුතු කරන බවත්, ඊට අදාළ කරුණු ඇතුළත් වාර්තා කිහිපයක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ( මැයි 30 වැනිදා) පැවසීය.  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආර්ථිකය වසා රට ගෙන යාමට කිසිදු අදහසක් නොමැති බවය. වාහන ආනයන සීමාවන් ක්‍රමානුකුලව ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “මම හිතන්නේ නැහැ වාහන ආනයනය කිරීම ප්‍රමුඛ කාරණයක් කියලා රටේ. අපි අදියරෙන් අදියර මේ වාහන ආනයන සීමා ලිහිල් කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් අපි සංචාරක කේෂ්ත්‍රයට අවස්ථාව දීලා තියෙනවා. ඊලඟට වෙනත් ආර්ථිකමය කටයුතු වලට දායකත්වය දක්වන වාහන වලට පනවා ඇති සීමාවන් ඉවත් කරන්න දැන් අපි සාකච්ජා කරන් යනවා. ඒක අපිට නිශ්චිතවම කියන්න බැහැ මොන කාලවකවානුවේද වෙන්නේ කියලා. “

විවෘත වුණත් විවෘත වෙන්නේ අදියර වශයෙන් තමයි. ඒකෙ අවසානම එක තමයි පෞද්ගලික වාහන."
ඡායාරූප ශීර්ෂ වැකිය,“විවෘත වුණත් විවෘත වෙන්නේ අදියර වශයෙන් තමයි. ඒකෙ අවසානම එක තමයි පෞද්ගලික වාහන.” යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

“ඒක ගැන ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගන්න මේ වෙන කොට වැඩපිළිවෙලක් යනවා. හැබැයි මේක විවෘත වුණත් විවෘත වෙන්නේ අදියර වශයෙන් තමයි. ඒකෙ අවසානම එක තමයි පෞද්ගලික වාහන. මේ තියෙන තත්ත්වය උඩත්, මහ බැංකුවත් එක්කත් කතා කරලා ඒ විදිහට ඉස්සරහටත් එකට වැඩ කරන් යනවා. මේ ගැන කරුණු ඇතුලත් වාර්තා කිහිපයක්ම ජනාධිපතිතුමා වෙත ලබාදීලා තිබෙනවා. ඒ වගේම නිලධාරි මට්ටමෙන් සාකච්ජා වට රාශියක් යනවා. මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. මොකද දැනට සීමා තියෙන්නේ වාහන වලට විතරයි නේ. මොකද අපි ආර්ථිකයක් වහලා රට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව අදියරෙන් අදියර යටතේ තමයි මේ හැම දෙයක්ම සිදධ වෙන්නේ.” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වාහන ආනයනය සීමා මුළුමනින්ම ලිහිල් කළොත් ඉක්මණින්ම වාහන මිල අඩුවේවි ද?

වාහන ආනයන සීමාවන් ඉවත් කරන බවට අවස්ථා ගණනාවකදී අදහස් පළ කෙරුණත් මේ දක්වා එම සීමාවන් ඉවත් කිරීමට රජය කටයුතු කර නොමැත.

එවන් පසුබිමක වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් අප්‍රේල් මස 15 වෙනිදා මාධ්‍යට ප්‍රකාශ කළේය. වාහන ආනයන සීමාවන් පනවා තිබුණද පසුගිය කාල සීමාව තුලදී සීමිත ඇණවුම් යටතේ සංචාරක, මගී, භාණ්ඩ ප්‍රවාහන, ගිලන් රථ යන වාහන කාණ්ඩ මෙන්ම විදෙස් ශ්‍රමිකයින්ට ඔවුන් විසින් මෙරටට එවන ලද විදෙස් මුදල් ප්‍රමාණයට අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීමට රජය විසින් අවසර ලබා දෙන ලදී.

වාහන ආනයනය අත්හිටුවීම සහ හේතුව

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහත වැටීම සහ කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කළේය. පළමුව මාස 03ක කාලයක් සඳහා එම නියෝගය පනවන ලබන බවට පැවසූවත් වසර 04 ක් පුරා වාහන ආනයනය තහනම් කිරීමේ නියෝග වෙනස් කිරීමට මහ බැංකුව හෝ රජය මේ දක්වා කටයුතු නොකරන ලදී.

‘රටට අවශ්‍ය වාහන මොනවාදැයි සොයා බලනව’

මෙරට විදෙස් සංචිත ඉහළ යාමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. වාහන ආනයනය කිරීමේදී කරුණු රැසක් සම්බන්ධයෙන් සොයා බලන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,”අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා.”

“අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද , මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ. මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා. අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ? අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද? දැනට නිෂ්ක්‍රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා. දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත්, බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ. පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා.” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න

මේ අතර වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙසට ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කෙරුණු කෝටි 700ක් වටිනා වාහන 112ක් සොයා ගෙන ඇති බවයි. එබැවින් වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්නැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය. නීති විරෝධී ක්‍රමවේද ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද මුදල් රජ අමාත්‍යවරයා පැවසුවේය. එලෙස අත්අඩංගුවට ගත් වාහන වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව ද හෙතෙම සඳහන් කළේය.

2015 වසරේ සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීමට නියමිත බව ද සඳහන් ය. රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශවයන්ගේ වගකීම බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ මේ වන විට වාහන සඳහා මිල ගණන් නියම කරන්නේ වාහන ආනයනකරුවන් විසින් නොව වාහන හිමිකරුවන් බවයි.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.ඔහු පෙන්වා දුන්නේ මේ වන විට වාහන සඳහා මිල ගණන් නියම කරන්නේ වාහන ආනයනකරුවන් විසින් නොව වාහන හිමිකරුවන් බවයි.

වාහන ආනයනකරුවන්ගෙන් චෝදනාවක්

මෙරටට නැවත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවද එම කමිටුව නියෝජනය කිරීමට ඉඩක් ලබා දී නොමැති බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු සඳහන් කළේ මෙරටට ආනයනය කළ යුතු වාහන සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී සිය සාමාජිකයින්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීම වැදගත් බවය.

“මුදල් රාජ්‍ය අමාත්‍යතුමා පත් කරලා තියෙන කමිටුවට වාහන ආනයනකරුවන් ගේ නියෝජනයක් නැහැ. මේ රටේ සැබෑ වාහන ආනයනය පසුබිම, මොන වගේ වාහනද ගෙන්වන්න ඕන කියන එක හරියටම දැන ගන්න වාහන ආනයනකරුවන්ගේ නියෝජනයක් අවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයින්ගෙන් පමණක් සමන්විත කමිටුවකට මේ වාහන ආනයනය ගැන තීරණයක් ගන්න බැහැ. මුදල් රාජ්‍ය ඇමතිතුමාගේ කමිටුවට තවම වාහන ආනයනකරුවන් සම්බන්ධ කරන් නැහැ. අපි ඉල්ලීම් කළත් මේ ගැන තවමත් පිළිතුරක් ලැබිලා නැහැ. දැනුමක් නොමැති අයගේ තීන්දු තීරණ නිසා තමයි වාහන ආනයනය මේ තරම් දුරට අඩාල වෙලා තියෙන්නේ.” ඔහු පැවසීය.

‘ඉක්මණින්ම වාහන මිල අඩුවේවි’

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ මේ වන විට වාහන සඳහා මිල ගණන් නියම කරන්නේ වාහන ආනයනකරුවන් විසින් නොව වාහන හිමිකරුවන් බවයි.

“අද වෙද්දී වාහන මිල ගණන් අසීමිතව ඉහළ ගොස් තිබෙනවා. මේක කෘතිමව හදපු වෙළෙඳපොළක්. එයට හේතුවක් වන්නේ වාහන සඳහා මිල ගණන් ප්‍රකාශ කරන්නේ වාහනය තියන් ඉන්න කෙනයි. එතැනද වාහන ආනයනකරුවන්ට කිසිම හැකියාවක් නැහැ. හැබැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාහන මිල ගණන් වැඩි කියලා බනින්නේ ආනයනකරුවන්ට.” වාහන ආනයනය කරලා තරගාකාරීත්වයක් එක්ක විකිණුවත් මෙතරම් ඉහළ මිලකට වාහනයක් මිල වෙන්නේ නැහැ” ඔහු කියා සිටියේය.

මේ අතර වාහන ආනයනය කිරීමේදී ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේද පිළිබඳ සිය සංගමය රජයේ වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමට උත්සාහ කළත් ඊට නිසි පිළිගැනීමක් නොලැබුණු බව ද ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේය.

” වාහන ආනයන කිරීමේදී එම වාහනවල වයස් සීමාව කොපමණ ඇතුළුව ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන්නේ කුමන වර්ගයේ වාහනද, ඒවායේ නිෂ්පාදන වයස් සීමාව ඇතුළු කරුණු රැසක් ගැන අපි අදාළ අංශ දැනුවත් කරන්න කටයුතු කළා. නමුත් මේ ගැන දැනුමක් නැති පුද්ගලයින් මහා පරිමාණයෙන් විශාල ලෙස විදෙස් මුදල් සංචිත වැය වන ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන එකට යොමු කරන්න හදන්නේ. අද වුනත් වෙළෙදපොලේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයින්ට ඉඩ දීලා තියෙනවා ඔවුන් මේ රටට එවා තියෙන විදෙස් මුදල් වල වටිනාකමෙන් කොටසකට. නමුත් එහෙම ගෙන්වන පොඩි ඉලෙක්ට්‍රික් වාහනයක මිලත් රුපියල් කෝටි 02ක් වෙනවා. එහෙම මිලකට ලංකාවේ පුද්ගලයෙක්ට වාහනයක් මිලදී ගන්න බැහැ.” ඔහු පැවසීය.

මේ අතර වාහන ආනයනය කිරීමට ඉඩ දී තිබු කාල සීමාවන් වලදී වාර්ෂිකව මෙරටට ඩොලර් බිලියනයක වාහන මෙරටට ආනයනය කරනු ලැබූ බවත් රජය ඉන් විශාල බදු ආදායමක් ඉපැයූ බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.

” අපි අවුරුද්දකට අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමෙන් යුත් වාහන ආනයනය කරලා තියෙනවා. එහෙම අපි අවුරුද්දකට ඩොලර් බිලියනයක වාහන ගෙද්දී රජය ඩොලර් මිලියන 700 – 800ත් අතර ප්‍රමාණයක බද්දක් වාර්ෂිකව උපයා ගන්නවා. මොකද මේක හොර කරන්න බැහැ, රජයට කෙලින්ම ලැබෙන බදු ආදායමක්.  මේ වෙද්දී රජයේ බදු ආදායම පහල වැටිලා තියෙද්දී වාහන ආනයනය කිරීමට රජය තීරණය කළොත් ඒ හරහා ඔවුන්ට ඉහළ ආදායමක් බදු හරහා උපයා ගන්න හැකියාව තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම – බී.බී.සී සන්දේශය වෙබ් අඩවිය

Related Posts