ලෝක ආහාර දිනය අද – දේශීයත්වය අගයන ආහාර රටාවකට ජනතාව හුරුවිය යුතුයි – අගමැති

Spread the love

අද (16) දිනට යෙදී තිබෙන ‘ලෝක ආහාර දිනය‘ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිය පණිවිඩය මගින් අගමැතිවරයා අවධාරණය කරන්නේ මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන්ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයක් බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා

ලෝක ආහාර දිනය (World Food Day) අද දිනයට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “සැවොම එක්ව, වැඩෙන්න, පෝෂණය කරන්න, පවත්වා ගන්න, අපගේ ක්‍රියාවන් අපගේ අනාගතයයි” යන්නයි.

1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීමට සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය වශයෙන් නම් කරන ලදී. එතැන් පටන් කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගනී.

ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක පැවැත්ම ආහාර සුරක්ෂිතභාවය, පෝෂණයට අවශ්‍යය තිරසාර ආහාර රටාව හා සෞඛ්‍ය සම්පන්න ආහාර පද්ධති මත රඳා පවතියි. අතීතයේ පටන් දේශීය ආහාර රටාවකට උරුමකම් කියන ජාතියක් ලෙස අපි දේශීය ආහාර රටාවකට උරුමකම් කියන ආහාර වලින් ස්වයංපෝෂිත ජාතියකි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ජනගහනය දැඩි අර්බුදකාරී තතත්වයකට මුහුණ දී තිබේ. ඒ නිසා අද ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම පිළිබඳව ලෝක මට්ටමෙන් අවධානය යොමුවනු ඇත. එසේ වුවද රටක් ලෙස කොවිඩ්-19 තත්ත්වයට මුහුණදෙමින් එය පාලනය කර ගැනීමේදී අන් සියලු රටවලට වඩා අපගේ ආහාර රටාව ද වැදගත් සාධකයක් විය.

ඉවතලන දණ්ඩක් වුවද ලියලන අපගේ මේ මහ පොළොව ආහාර බෝග නිෂ්පාදනාගාරයකි. ඈත අතීතයේ පටන් අපගේ හෙළ දරුවන් හා මුතුන් මිත්තන් විසින් හඳුන්වාදුන් ආහාර රටාවන් තුළින් රෝගාබාධයන් මේ පොළවෙන් තුරන් විය. එවන් ආහාර රටාවකට හිමිකම් කියන අප සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ද දේශීය ගොවියා හා දේශීය ආහාර නිෂ්පාදන නඟා සිටුවීමට කටයුතු කරන්නෙමු.

මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන්ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයකි. එවන් පසුබිමක් තුළ අප රජය යටතේ දේශීයත්වය අගයමින් දේශීය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට ජනතාව හුරු කරවීම ආරම්භ කර ඇති බව නොරහසකි.

ආහාර යනු මානව පැවැත්ම සහ යහ ජීවනය සඳහා වන මූලික අවශ්‍යතාවයකි. ලෝක ආහාර ප්‍රශ්නය පිළිබඳව ජනතාවගේ දැනුම වර්ධනය කරමින් සහ සාගින්න, මන්දපෝෂණය සහ දරිද්‍රතාවයට එරෙහිව ගෙන යන අරගලයේදී සහයෝගීතාවය ශක්තිමත් කිරීමට මෙවර ආහාර දිනයේදී අප පෙළ ගැසෙමු.

RSL

Related Posts