රට කිරිවලින් ‘ස්වයංපෝෂිත කිරීමට’ කෘෂිකර්ම ඇමැතිගෙන් නව යෝජනා

Spread the love

පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය හා 2021 ඉදිරි වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචනය පිළිබද විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත් විණි.

මේ සාකච්ඡාව සදහා අදාළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කැදවා තිබුණේය.

මෙහිදී නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අදාළව අමාත්‍යාංශය යටතේ ඇති පුරප්පාඩු සහ වැඩ බලන තනතුරු කඩනමින් පිරවීමට පියවර ගන්නා ලෙසයි.

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය අවධාරණය කළ අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අවශ්‍ය සියලු සහයෝගය රජය සහ විදේශ ව්‍යාපෘති හරහා ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

පශු වෛදය කාර්යාල 337ක් දිවයින පුරා ක්‍රියාත්මක අතර, ගොවි සංවිධාන ඒවාට අනුබද්ධ කොට කිරි හා සත්ව නිෂ්පාදන නිෂ්පාදකයින් පුහුණු කිරීම හා දිරි ගැන්වීම වහාම ආරම්භ කරන ලෙස රාජ්‍ය අමාතය ඩී.බී. හේරත් මහතා මෙහිදි යෝජනා කළේය.

මිල්කෝ සමාගම ඇතුළු මෙම ක්ෂේත්‍රයට අදාළ ඇතැම් නිලධාරීන් පෞද්ගලික අංශය සමඟ එක්ව සමාගම්වල මුදලට යටවී ක්‍රියාකරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ  විධිමත් ක්‍රියාපටිපාටියක් ක්‍රියාවට නංවන ලෙස මිල්කෝ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2020 වර්ෂය තුළ යම් ඉදිරි ගමක් තබා ඇති නමුත් එය සෑහීමකට පත්විය හැකි මට්ටමට 2021 වර්ෂය තුළ ප්‍රගතියක් අත්කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කාර්යක්ෂමව ක්‍රියාවට නංවන ලෙස එහි සභාපතිවරයාට මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසිින් උපදෙස් දුන්නේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම් තෘණ වගාව සඳහා යොදා ගන්නා ලෙසත්, ඉදිරියේදි ගෙන්වීමට නියමිත කිරි හරක් සංඛ්‍යාව ද සැලකිල්ලට ගෙන සැලසුම් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

කිරි ගොවියා වෙනුවට ‘කිරි නිෂ්පාදකයා‘ ලෙසත්, දියර කිරි වෙනුවට ‘නැවුම් කිරි‘ ලෙසත් වචනය පවා ධනාත්මකව වෙනස්කොට ජනතාව අතරට යායුතු බව මෙහිදී යෝජනා වීම ද විශේෂත්වයකි.

ගැටලු ගැන කියමින් ඉලක්කය අත්නොහැර 2023 කිරිවලින් ස්වයංපෝෂිත කිරිමට කාර්යක්ෂම වියයුතු බවත්, රජය සියලු ගැටලු විසඳීමට සූදානම් බවත් දැනුම් දුන් අමාත්‍ය අලුත්ගමගේ මහතා රජය කරන කැපකිරීම්, වෙන්කරන ප්‍රතිපාදන අදාළ බිම් මට්ටමට ගමන් කිරිමේ ක්‍රියාවලිය ඉතා අකාර්යක්ෂම බවද අවධාරණයෙන් කියා සිටියේය.

2021 අයවැයෙන් වෙන්කොට ඇති ප්‍රතිපාදන මගින් පළමු, දෙවන, තුන්වන කාර්තු වශයෙන් ලබන ප්‍රගතිය දැනුම් දිය යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට අවධාරණය කළේය.

වීරවිල, පොළොන්නරුව, ඔයාමඩුව, රිදියගම ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගබඩා ඉදි කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ද අමාත්‍යවරයා ඒ මොහොතේම සම්බන්ධීකරණය කළ අතර ගොවිපොළ අවට අලිවැට ඉදි කිරීම සඳහා ද අදාළ ක්‍රියාමාර්ග ගනු ලැබුවේය.

දිස්ත්‍රික් මට්ටමින් කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව සදහන් කළ රාජ්‍ය අමාතය ඩී.බී. හේරත් මහතා කියා සිටි අතර ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රියා කරන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදාලළ නිලධාරීන්ගෙන් මෙම සාකච්ඡාවේදි ඉල්ලා සිටියේය.

ගම් මට්ටමින් සතුන් 05 ට වඩා ඇතිකරන කිරි නිෂ්පාදකයින් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමත් පුහුණු කිරීමත් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමටත් නිලධාරීන් බිම් මට්ටමට පිවිසිය යුතු බවත් සාකච්ඡාවට සීමා නොවී මේ හැම දෙයක්ම පොළොවේ යථාර්ථයක් කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අවධාරණය කෙරුණේය.

RSL

Related Posts