රටකජු ගළවන්නේ පරිස්සමෙන් ! පුස් හැදුනොත් පිළිකාකාරකයක් වන ‘ඇෆ්ලටොක්සින්’ එකතු වෙනවා

Spread the love

මිනිසාගේ පෙනහළු තුළට යන දිලීර බීජානු ක්‍ෂයරෝගය වැනි රෝගී තත්වයන් ඇතිකරයි. අස්පර්ජිලෝසිස් ලෙස හඳුන්වන්නේ එයයි. හානිකර මට්ටමට ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම බලපාන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවටයි. එහි ප්‍රදාහයන්ට මෙම විෂ ද්‍රව්‍යය හේතුවන අතර පිළිකාකාරකයක් වශයෙන්ද අක්මාවට බලපෑමක් ඇතිකෙරේ.

පරිසරයත් සමග බොහොම මිත්‍රශීලීව ජීවත්වූ මිනිසා පරිසරයේ පාලකයා වශයෙන් කටයුතු කරන්නට පටන්ගත් දා පටන් ඔහු විසින් කරන ලද බොහොමයක් දෑ පරිසරයට බොහෝ රිදුම් දෙන ඒවා විය. පරිසරයේ සමතුලිතතාවය බිඳීගිය අතර එහි අවසන් වින්දිතයා වූයේද මිනිසාම බව පෙනුනි.

තමා අනුභව කරන ආහාර, බොන ජලය පමණක් නොව හුස්ම ගන්නා වාතයේද පිරිසිදු හා නිරවද්‍යතාවය ගැන සොයා බලන්නට මේ නිසා සිදුවී තිබේ. මෑතක සිට ‘වසවිස’ නොමැති ආහාර වැනි යෙදුමක්ද සුලභව කතාබහට එකතුවී ඇත.

කෙසේ නමුත් මේ හරහා වැඩි සමාජ අවධානයක් යොමුවී තිබෙන්නේ කෘතිමව නිපදවූ රසායනික පළිබෝධනාෂකයන්ගේ අවශේෂයන් එළවලු හා පලතුරු තුල තිබෙන්නේද යන්න සෙවීම කෙරෙහිය. තවත් අහිතකර දෑ සමූහයක් විවිධ ප්‍රභවයන් හරහා ශරීර ගතවීමේ හැකියාව තිබෙන අතර ඒවා ගැන අවබෝධයක් ඇතිකරගැනීමට ඇති උනන්දුවනම් උදාසීන බවක් පෙන්වයි.

කලකට ඉහතදී සමාජය තුල පුළුල්ව කතාබහට ලක්වූ ඇෆ්ලටොක්සින් මේ අතරින් එක විෂ සහිත සංයෝගයකි. දියුණු රටවල සැකසූ ආහාර සාම්පල්වල ඇෆ්ලටොක්සින් අන්තර්ගතය නිතරම පරීක්‍ෂාකරනු ලබයි. ඔවුන් ඒ සඳහා සීමා මායිම්ද පනවා තිබේ. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ රටකජු නිෂ්පාදනයන්හි ඇෆ්ලටොක්සින් අනුමත සීමාව වන්නේ කොටස් බිලියනයකට කොටස් 20 (20 parts per billion) කි. ඊට වඩා ඉහල අගයකින් යම් ආහාරයක ඇෆ්ලටොක්සින් අන්තර්ගත වන්නේ නම් එක්සත් ජනපදය තුල අලෙවියට අවසර නැත.

යුරෝපීය සංගමයේ මෙම සීමාව 4 ppb වන අතර කැනඩාවේ  15 ppb වැනි සීමාවක පවතී. ලෝකයේ දෙවැනියට විශාල රටකජු නිෂ්පාදකයා වන ඉන්දියාව මේ සම්බන්ධයෙන් වඩාත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අගය තබා තිබෙන්නේ 30 ppb වශයෙනි. මේ නිසා ඉන්දීය රටකජු තෙල්වලට බොහොමයක් දියුණු රටවලින් දොරගුළු වැසී තිබේ.

ආහාර පිසීම සඳහා අවශ්‍ය තෙල් වර්ග පිටරටවල සිට ඉන්දියාවටත් ආනයනය කරන නිසා ඇතැමුන් තර්ක කරන්නේ ඉන්දීය රටකජු තෙල් වලට විදෙස් වෙළඳපොල අහිමිවීම එතරම් ගණන් ගත යුතු නැති බවයි. එහෙත් මෙම තත්වය සෞඛ්‍යාත්මකව විශ්ලේෂණය කරන ඉන්දියානුවන් අසන්නේ වෙනත් රටවලට අහිතකර දෑ ඉන්දියානුවන්ට කන්නට ඉඩහැරීමේ සාධාරණත්වය කුමක්ද යනුවෙන්ය.

මෙරටදී නම් ආහාරගත ඇෆ්ලටොක්සින් ගැන මෙවැනි නිරන්තර පරීක්ෂාවක් හෝ සීමා පැනවීමක් හෝ හෝ සිදුවන්නේ නැත. මෙරට ක්‍රියාත්මකවන මිල පාලන සීමා වැනි දේ ගැන බලන කල තේරුම් යන්නේ එවැනි සීමා තිබුණත් ඒවා ලේඛනගත තොරතුරු හා නීතිරීති මට්ටමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව සමාජගත නොවනු ඇති බවයි.

පසෙහි ජීවත්වෙන මෘතෝපජීවී දිලීරයක් ඇතැම් ආහාර බෝග අස්වැන්න තුළ වැඩෙමින් ඇෆ්ලටොක්සින් නමැති විෂ ද්‍රව්‍ය නිපදවන බව 1961 දී අනාවරණය කරගෙන තිබේ. මේ සඳහා වැඩිපුරම දායක වන්නේ අස්පර්ජිලස් ෆ්ලේවස් (Aspergillus flavus) නමැති දිලීරයයි.

රටකජු මෝරන කාලයට පරිසරයේ පවතින ඉඩෝර තත්වය හමුවේ භූගතව ඇති කරල්වල තෙතමනය අඩුවී, ඒවාහි පරිවෘත්තීය ක්‍රියා වේගයද පහළ බසී. මෙය කරල් තුළට දිලීර ආක්‍රමණය වීමට පහසු තත්වයකි.

අස්වැන්න නෙළීම වැසි කාලයකට පසුව සිදුකරන්නේ නම් හෝ රටකජු ගැලවීමේ පහසුව තකා වගාකරුවා විසින් භූමිය තෙත්කර අස්වැන්න නෙලන්නේ නම්, අසාදනය වී ඇති දිලීරය, රටකජු බීජ තුළට වේගයෙන් පැතිරී යයි. තෙතමනය සහිතව ගබඩා කරන්නේ නම් පැතිරීම තවත් දරුණුය. බීජයක් දෙපළු කර බැලූවිට පුස් නැතැයි කියා හිත හදා ගැනීමද තමාව රවටා ගැනීමකි.

දිලීරජාලය පියවි ඇසට නොපෙනුනත් ආසාදනය වී දින තුනක් ගතවෙත්දී පවා දිලීරය මගින් අදාළ විෂ සහිත සංයෝග නිපදවා බීජ තුළට ඇතුල්කර ඇත. ඇතැම් කර්මාන්තකරුවන් අලෙවි කරගත නොහැකි තරමට ‘පුස් කෑ’ රටකජු සෝදා පිරිසිදු කර වියළා අලෙවි කිරීමට හෝ තත්ත්වය සම්පූර්ණයෙන්ම සැඟවෙන පීනට් බටර් වැනි දේ සෑදීමට හෝ පෙළඹෙන අවස්ථා තිබේ. එයද වැරදි පිළිවෙතකි. ඇසට පෙනෙන පුස් සෝදා දැමුවා කියා බීජයට උරාගෙන ඇති ඇෆ්ලටොක්සින් ඉවත්වන්නේ නැත.

ඇෆ්ලටොක්සින් සහිත බීජ යොදා සාදන සත්ව ආහාර හරහා මෙම විෂ ද්‍රව්‍ය සතුන්ගේ දේහ තුළටද යයි. ඒ අනුව කිරි, බිත්තර, මස් වැනි සත්ව නිෂ්පාදන වලද මෙය අන්තර්ගතවී ඒ හරහාද මිනිසා සොයා පැමිණීමේ අවදානමක් තිබේ.

මේ අනුව පෙනෙන්නේ ආහාරයට ඇතුල්වූ පසු මෙය කෙතරම් ස්ථායීව, ඉවත්කළ නොහැකි තත්වයකට පත්වන්නේද යන්නයි. ඇෆ්ලටොක්සින් උෂ්ණත්වය හමුවේ වුවද විනාශ නොවේ. මේ නිසා කළ යුතු හොඳම දෙය වන්නේ ගොවිතැන හා ගබඩාකරණය තුළදී අස්පර්ජිලස් දිලීරය වර්ධනයට උචිත නොවන පරිසර තත්වයන් නිර්මාණය කිරීමයි.

මේ පිළිබඳ පර්යේෂණ රැසක් පවත්වා ඇති පේරාදෙණිය සරසවියේ ආහාර තාක්ෂණ අංශයේ හිටපු මහාචාර්ය උපාලි සමරජීව මහතා රටකජු අස්වැන්න ඇෆ්ලටොක්සින් වලින් හැකිතාක් නිදහස්ව ලබාගැනීමේ ක්‍රමෝපායයන් කීපයක් යෝජනා කරයි.

පළමු පියවර වන්නේ වැසි කාලයට පෙර අස්වැන්න නෙළා ගැනීමයි. පස තදවීම නිසා ගැළවීමට ඇති අපහසුව වෙනම විසඳාගත යුත්තකි. ගැළවීමේ පහසුව තකා පස තෙමා ගත්තේ නම් අවදානමත් ඒ පසුපසමය. ගැළවූ රටකජු හැකි ඉක්මනින් අව්වේ වේලාගත යුතුවේ. තෙතමනය 7% කට වඩා අඩුකරන්නේ නම් යෝග්‍යයය. මෙසේ වියළා ගත් රටකජු අතර තිබෙන අසම්පූර්ණව පරිණත, කැඩුණු, හැකිලුනු පුස් සෑදුනු ආදී ඇට අතින් අහුලා ඉවත් කිරීමෙන් සාර්ථක ලෙස ඇෆ්ලටොක්සින් අවදානමෙන් මිදිය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.

රටකජු පමණක් නොව බඩඉරිඟු වැනි බීජ පවා මෙම දිලීරයට සංවේදී වන අතර ගබඩා තත්වයන් ප්‍රවේසමෙන් සකසා ගැනීමෙන් එවාහිද දිලීර වර්ධනය පාලනය කළ හැකිය. මෙවැනි අසාදිත බීජ ගබඩාකර ඇති බීජ ගබඩා තුල නිතර වැඩකරන සේවකයින්ද අස්පර්ජිලස් දිලීරයේ ආක්‍රමණයකට හසුවේ. ඒ ඇෆ්ලටොක්සින් නිසා නොව වාතයේ බහුලව පවතින දිලීර බීජානු හේතුවෙනි. මිනිසාගේ පෙනහළු තුළට යන දිලීර බීජානු ක්‍ෂයරෝගය වැනි රෝගී තත්වයන් ඇතිකරයි. අස්පර්ජිලෝසිස් ලෙස හඳුන්වන්නේ එයයි. හානිකර මට්ටමට ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම බලපාන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවටයි. එහි ප්‍රදාහයන්ට මෙම විෂ ද්‍රව්‍යය හේතුවන අතර පිළිකාකාරකයක් වශයෙන්ද අක්මාවට බලපෑමක් ඇතිකෙරේ.

නිතර දෙවේලේ වසවිස නැති ආහාර සොයමින් ගොවියා විසින් කෘෂි බෝගයන්ට හෙළන පළිබෝධනාශක ගැන පමණක් අවධානය යොමුකරමින් සිටිනා සමාජය, සැඟවුණු ප්‍රවේශයන් ඔස්සේ සිරුරට ඇතුල්වන වසවිස ගැනද සිත මෙහෙයවිය යුතු බව කියාදෙන හොඳ උදාහරණයකි ඇෆ්ලටොක්සින්.!! මෙවැනි දෑ තවත් බොහොමයක් අපගේ ආහාරය හා බැඳී තිබෙනා බව අමතක කළයුතු නැත.

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

RSL

Related Posts