මඤ්ඤොක්කා ගැන විස්මිත කරුණු රැසක් හෙළි වෙයි !

Spread the love

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි වයස 50 ක පමණවූ රාජ්‍ය සේවකයෙක් තම ළමා කාලය මතකයට නංවයි.

“ඒවා එකල අපේ ආහාරයේ අනිවාර්ය කොටස්. ආහාර රටාව වෙනස්වීමත් එක්ක අපි මේ වගා වලින් ඈත් වුණා. ලොක්ඩවුන් එකත් එක්ක ආයිත් ආහාරයෙන් ස්වයංපෝෂිත බව අතේ දුරින්ම තිබීමේ වැදගත්කම අපිටම තේරුනා. මම නැවතත් බතල, කිරිඅල, රාජඅල ආදිය වගාකළා. සාන්තිග්‍රාම් කියන ස්වේච්ඡා සංවිධානයෙන් තමයි අපිට රෝපණ ද්‍රව්‍ය දුන්නේ.”

ඉන්දියාවට, අපට පමණක් නොව මෙය වනාහී සමස්ත ලෝක ජනගහනය වෙනුවෙන්ම කල ප්‍රකාශයකි.

අලබෝග දෙවැනි වන්නේ මිනිසාගේ කුසගිනි නිවන්නට දායකවන ප්‍රධාන පංගුකාරයා වන ධාන්‍ය බෝග වලට පමණය. පරිසරයේ සිදුවෙන බොහොමයක් භෞතික ව්‍යසනයන් හමුවේ සියලු බවභෝග වැනසී ගියත්, අලබෝග වලින් සෑදුනු භූගත ආහාර සංචිතයට හානි වෙන්නේ නැත.

ඒ අනුව බලන කල ‘අලබෝග‘ යනු ජීවීන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය වෙනුවෙන් සොබාදහම විසින් ලබාදුන් අසිරිමත් නිමැවුමක් වේ. මෙට්‍රික් ටොන් මිලියන 836 ක ලෝක නිෂ්පාදනයක් පෙන්වන අල බෝග වලින් 43% ක පමණ ඉහල ප්‍රතිශතයක් ආසියාව තුලද, 33% ක් අප්‍රිකාව තුලද සිදුවීමෙන් පැහැදිලි වන්නේ ආසියා-අප්‍රිකා රටවල් කෙතරම් දුරට මේ මත යැපෙනවාද යන්නයි. නිෂ්පාදනයේ තුන්වෙනි තැන යුරෝපයටත් සිව්වැන්න ඇමරිකාවටත් හිමිව තිබේ.

අර්තාපල් හැරුණුවිට ලංකාවේ වගාකෙරෙන අනෙක් අලබෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වියයුතු කරුණු රාශියක් ඇත. ඇතැම් වැරදි සහගත අවබෝධයන් නිසා මේවායින් ලබාගතහැකි ප්‍රයෝජනයන් මුළුමනින්ම ලබා නොගැනෙන අතර, පර්යේෂණාත්මකව තහවුරු කරඇති වගා තාක්‍ෂණයන් පවා නිසිලෙස සමාජගත නොවීම නිසා හෝ දන්නා ක්‍රමවේදයන් වුවත් අනුගමනය නොකිරීම නිසා හෝ වගාකරුවාද උපරිමයෙන් තෘප්තිමත් නොවන අවස්ථා එමටය. අප මේ උත්සාහ කරන්නේ දේශීය අලබෝග සංචිතය තුල සැඟවුණු වැදගත් හා රසමුසු තොරතුරු පියවරෙන් පියවරට නිරාවරණය කි

බ්‍රසීලයේ සම්භවය ලැබී, විදේශිකයින් අතින් අප රටට පැමිණියත් මේ වනවිට මඤ්ඤොක්කා යනු  දේශීය බෝගයක් තරමටම ලාංකිකයාට හුරුපුරුදු ආහාරයකි. ලෝකය පුරා මිලියන 500කට වැඩි ජනතාවක් මඤ්ඤොක්කා මතින් තම කුසගිනි සංසිඳවා ගනී.

මෙය කලෙක අප රටෙහි අපනයන බෝග ලැයිස්තුවේ අංක එක බෝගය ලෙසද කිරුළු දැරූ ශාකයක් වූ අතර වැඩිපුරම අපනයනය කෙරුනේ මැදපෙරදිග රටවලටයි. බහුතරයක් පාරිභෝගිකයින් වූයේද එහි සේවය කරන ආසියාතිකයින්ය.

අද පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ වගා බිමකින් ගලවන මඤ්ඤොක්කා, හෙට උදෑසන වනවිට මැදපෙරදිග වෙළඳ සැලකින් මිලදී ගතහැකි තරමට එකල අපනයන ජාලය ශක්තිමත්ව තිබිණ.

පාංශු විද්‍යාඥයෙකු වූ ඔහු ඕලන්ද ජාතිකයෙකි. ආචාර්ය හවුලර් නමින් අප ඔහු හඳුන්වමු. කොලොම්බියාවේ ඝර්ම කලාපික කෘෂිකර්ම ආයතනය නියෝජනය කල හෙතෙම මීට දශක තුනකට පමණ ඉහතදී මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව මඤ්ඤොක්කා වගාවේ පාංශු අවශ්‍යතා ගැන ක්ෂේත්‍ර අධ්‍යයනයක් උදෙසා කීප වතාවක් මෙරටට පැමිණ තිබේ.

එහිදී මා ඔහු හා එක්ව වැඩකළ ලාංකික නියෝජිතයා විය. වරක් නුවරඑළිය පැත්තේ යනවිට බෑවුම් සහිත භූමියක් පෙන්වමින් මගෙන් විමසා සිටියේ මෙවැනි භූමියක වගාකිරීමට සුදුසු වන්නේ පොලොව හාරා අස්වැන්න නෙලනා මඤ්ඤොක්කා වැනි බෝගයක්ද, නැතහොත් කරල් කඩාගත හැකි කවුපි මුංඇට වැනි බෝගයක්ද යන්නයි.

සෝදාපාළුව යන සංසිද්ධිය නිතැතින්ම මගේ මතකයට පැමිණුනි. එවන් තැනකට මඤ්ඤොක්කා වලින් කිනම් ආරක්ෂාවක්ද? හෙතෙම හිස දෙපසට සොලවා සිනහ වී මගේ පිළිතුර සරලව බැහැර කළේය.

“මඤ්ඤොක්කා යනු මාස 9 ක් කල්ගතවෙන බෝගයක්. බෑවුමක මඤ්ඤොක්කා සිටවුවහොත් පොලොව හාරන්න වෙන්නේ අවුරුද්දකට එක පාරයි. ඒත් කවුපි මුංඇට වගේ මාස තුනේ බෝගයක් හදනවනම් අවුරුද්දට තුන් පාරක්වත් බිම පෙරලන්න වෙනවා අලුතින් බෝග සිටුවන්න. ඉතින් එතන සෝදාපාළුව වැඩියි. ඒ නිසා අල ගැලවුවත්, බෑවුමකට සුදුසු වන්නේ වැඩි වයසක් ගන්නා බෝග”

ආචාර්ය හවුලර් විසින් එදා කියාදුන් පාඩම මතකයට එන්නේ මාස හතරෙන් ගලවන මඤ්ඤොක්කා වර්ගයක කතාවක් පසුගිය දිනෙකදී යලිත් වරක් මගේ කණ වැකුණු නිසාවෙන්ය.

මඤ්ඤොක්කා දඬු කැබැල්ලක් පොළොවේ සිටවූ විට මාස තුනක් පමණ වනතුරු එය වර්ධනය වන්නේ ඉතා සෙමිනි. එවන් වයසක පැලයක් බොහෝවිට අපගේ දණහිස තරමටවත් උස නැත. එබැවින් මාස තුන හතරේ මඤ්ඤොක්කා ප්‍රභේද ගැන සිතමින් කරදර විය යුතු නොවේ. මාස 6 ක් පමණ වෙත්දී නම් තරමක් පිරුණු අල තිබෙන නමුත් ඒවාද තව දුරටත් මහත් වියහැකි ලපටි අල බව සිහි තබාගත යුතුය. අවශ්‍යනම් අඩු වයසින් ගලවා ගෙන කෑමට ගත හැකි වුවත්, ඒවා අඩු වයසේ ප්‍රභේද යයි හැඳින්වීම සුදුසු නැත.

මෙම වැඩි වයස්ගත තත්වය නිසාම මාස 9 ක් තිස්සේ භුමිය ඒ වෙනුවෙන් වෙන්කර තබන්නට සිදුවීම කනස්සල්ලට හේතුවක් කරගත යුතු නොවේ. කැත්ත උදැල්ල හොඳට හුරුනම් පළමු මාස තුන තුල මුං, කවුපි වැනි රනිල බෝගයක් හෝ තක්කාලි වැනි කෙටි කාලීන එළවලු බෝගයක් හෝ මඤ්ඤොක්කා පේලි අතර වැවිය හැකිය. මාස තුනක් ගතවෙනතෙක් මඤ්ඤොක්කා වෙතින් කිසිදු බලපෑමක් අතුරු බෝගයට ඇති නොකරයි.

රනිලයක් වවන්නේ නම් පසට පොහොර එකතුවීමක්ද සිදුවෙන නිසා තවත් වාසිදායකය. මඤ්ඤොක්කා හි ගස් අතර පරතරය අඩි තුනක් නිසා අතුරු බෝගයේ වර්ධනයට ඇතිතරම් ඉඩ පහසුවද තිබේ. ගලේවෙල පැත්තේ ගොවිමහතෙක් අතුරු බෝගය ලෙස බණ්ඩක්කා තෝරාගෙන අමාරුවේ වැටුණු අවස්ථාවක්ද අපට මතකය. බණ්ඩක්කා කැපීමට දිනපතා මඤ්ඤොක්කා පේලි අතර ඇවිද යාමෙන් පස තදවීම නිසා පසුකලක අල ගැලවීමේදී ඒවා කැඩී සෑහෙන හානියක් වූ බව ඔහු පවසා සිටියේය. ඉහත පරතරයට දඬු සිටුවිය යුත්තේ එක වලකට එක දණ්ඩ බැගින් සිරස්වය. එකතැන දඬු කැබලි දෙක තුනක් ඇලයට සිටුවීම හොඳ පුරුද්දක් නොවේ.

මඤ්ඤොක්කා විෂවීමට හේතුවන්නේ එහි ඇති ‘ලිනමරින්‘ නමැති සංයෝගයයි. ලිනමරේස් නම් එන්සයිමය හා ලිනමරින් ගැටී සයනයිඩ් සහිත සංයෝග මුදා හැරේ. නමුත් වෙන වෙනම ගබඩා කර ඇති මේ ද්‍රව්‍යයන් එකට හමුවන්නේ ‘ගබඩා’ බිඳී ගිය විටයි. එය සිදුවන්නේ අල තුවාල වීමේදීය. අපගේ වැඩිහිටියන් තුවාලවූ අල ප්‍රතික්ෂේප කෙරුවේ මෙම කරුණ පදනම්ව වුවත් ඔවුහු නියම හේතුව දැන සිටි බවක් නොපෙනේ. මඤ්ඤොක්කා අල ගැලවීමේදී සිදුවෙන පලුදුවීම් වලදී මෙම ප්‍රතික්‍රියාව ඉතා පහසුවෙන් සිදුවී සයනයිඩ් නිපදවේ.

එහෙත් අප රටේ කොපමණ දෙනෙක් වගාබිමේ අස්වැන්න නෙලනා අතරතුරදී පලුදුවන අලකැබලි කිරි රසයට අමුවෙන්ම අනුභව කරනවාද? විෂ වෙනවානම් සිදුවිය යුතු ප්‍රධාන තැන එතැනයි. එහෙත් එවැනි අත්දැකීමක් ලැබූවන් විරලය.

මීට එකම හේතුව වන්නේ අප රටෙහි වවනු ලබන මඤ්ඤොක්කා මාදිලි කිසිවක් විෂවීමට ප්‍රමාණවත් මට්ටමකට අදාළ සයනයිඩ් සංයෝග නොදැරීමයි. ශාක ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 50 ක් දක්වා සයනයිඩ් සංයෝග තිබීම විෂ තත්වයක් නොවේ. අප වගා කරන්නේ එවැනි මාදිලිය. ඒවා හැඳින්වෙන්නේ රසවත්  (sweet varieties) වර්ග වශයෙනි. එසේ කීවාට එහි ඇති විශේෂ රසක් නැත. තිත්ත නැති වර්ග ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී නිර්දේශ කර තිබූ MU-51 (පේරාදෙණි මඤ්ඤොක්කා) සහ පසුව නිර්දේශ කල CARI – 555 සහ කිරිකවඩි යන මාදිලි සියල්ලත්, ගම්බදව ගෙදර පිළිකන්නේ වැවෙන, ගොවීන් අතර අතිනත යන සියලු මඤ්ඤොක්කා ප්‍රභේදත් අයත් වන්නේ රසවත් කොටසට නිසා ඒවා අනුභවයට බියවිය යුතු නොවේ. අනෙක් අතට, පොත්ත ගලවා විවෘත බඳුනක තැම්බූ විට ඉතා සුළුවෙන් හෝ ඇති මෙම සංයෝග වාශ්පවී ඉවත්ව යයි.

සයනයිඩ් සාන්ද්‍රණය මීට වඩා දෙතුන් ගුණයක් වැඩි මාදිලි අප්‍රිකාව වැනි රටවල වගාකරන්නේ ප්‍රධාන වශයෙන් කර්මාන්ත මාදිලි වශයෙන්ය. වැඩි අස්වැන්න ලබාදෙන ඒවායින් ඔවුහු පිෂ්ඨය ලබාගනී. සයනයිඩ් වැඩි නිසා ඒවා තිත්ත (bitter) මාදිලි සේ හැඳින්වේ. අනුභව කරනවානම් කල යුත්තේ විශේෂ ආහාර තාක්ෂණ ක්‍රමවේදයන්ට බඳුන් කිරීමෙන් පසුවය. සයනයිඩ් වැඩි අප්‍රිකානු මාදිලියක් උපරිම වශයෙන් හිසරදය, වමනය, සිහි නැතිවීම වැනි ආබාධයක් ඇතිකළ හැකි බව පමණක් වාර්තා වල සඳහන් වුවත්, මාරක විෂ සහිත ප්‍රභේද ගැන නම් දැනගන්නට නැත.

මේ පිළිබඳව බොහෝ දෙනා නොදන්නා කතාවක්ද තිබේ. එනම් සයනයිඩ් සංයෝග සාන්ද්‍රණය වැඩියෙන්ම ඇත්තේ මඤ්ඤොක්කා පත්‍ර වලය. ඉහල සිට පහලට, එනම් අල වෙතට යත්දී සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩුවේ. එසේනම් මඤ්ඤොක්කා දළු මැල්ලුම් සහ කොළ තෙල්දමා කෑමේදී අල කනවාට වඩා කීප ගුණයකින් වැඩි සයනයිඩ් සාන්ද්‍රණයක් ශරීර ගත විය හැකිය. එහෙත් බොහෝදෙනා මඤ්ඤොක්කා කොළ නිදහසේ අනුභව කරත්. සියලු කටකතා ගෙතෙන්නේ අල විශවීම් පිළිබඳවයි.

මෙයින්ද පැහැදිලිවන්නේ අප භාවිතා කරන මඤ්ඤොක්කා මාදිලි හානිකර මට්ටමකින් තොර ඒවා බවය. කොළ වංගෙඩියේ කොටා හෝ හීනියට කපා තාපය හමුවේ පිසගන්නා විටද විසක් ඇත්නම් ඉවත්ව ගොස් ඉතිරිවන්නේ පෝෂ්‍යදායි බවෙන් අනූන ආහාරයකි. මඤ්ඤොක්කා පත්‍රවල කැලරි ප්‍රමාණය අඩුය. ග්‍රෑම් 100 කින් ලැබෙන්නේ කැලරි 37 ක් වැනි සුළු ප්‍රමාණයකි. ප්‍රෝටීන් ග්‍රෑම් 3.7 ක් තිබේ. තෙල් ඇත්තේම නැති තරම්ය. කෙඳි ප්‍රමාණය අධිකය. බිත්තර සහ සෝයා වලට සමකල හැකි ප්‍රෝටීන් වර්ග එකතුවක්ද මඤ්ඤොක්කා පත්‍ර තුල තිබෙන නිසා විනාඩි 10 ක් තාපය හමුවේ පිසගත් මඤ්ඤොක්කා කොළ, අන් පලා වර්ගයන් බොහොමයක් පසුකර ඉදිරියට විත් මනා ආහාරයක් අප හමුවේ තැබීමට සමත්වේ.

ලාංකිකයින් වන අපට ඉඟුරු මඤ්ඤොක්කා එකතුව ගැන කතා නොකරම බැරිය. අප දැන සිටි සාම්ප්‍රදායික දැනුම අද වනවිට යම් පමණකට ජාත්‍යන්තරයද පිළිගනී. ඉඟුරුවලද ලිනමරේස් එන්සයිමය පවතින බැවින් මඤ්ඤොක්කා වලින් විෂ නිදහස් කිරීමට එය උපකාරී වියහැකි බව අද සනාථවී තිබේ. කෙසේ වෙතත් වෛද්‍යවරුන් හෝ විෂ රසායනයේ හසලයින් නොවන අප, ඉඟුරු හා මඤ්ඤොක්කා එකතුව ගැන නිර්දේශ දීමට ඉදිරිපත් නොවන්නෙමු.

තිත්ත ප්‍රභේද (Bitter varieties) අප රටට අදාළ නොවුනත් අප්‍රිකානු රටවල ඒවාද වවනු ලබයි. විශේෂයෙන් කර්මාන්තයන්ට අවැසි පිෂ්ටය නිපදවීමටය. මීට අමතරව විශේෂ ක්‍රම මගින් පැසවීමට ලක්කර ආහාර සඳහාද මෙහි අල යොදාගැනේ. එම ක්‍රමවේදයන් තුලදී ඔවුහු විෂ සංයෝග මුළුමනින්ම ඉවත්කර හැරීමට සමත්වෙති. තිත්ත මාදිලියන්හි අස්වැන්න ඉතා ඉහළය. ඒවා වගා කිරීමෙන් ඔවුන් ලබන අතිරේක වාසිය එයයි.

මීට අමතරව අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල ගොවීහු තම වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහාද තිත්ත මාදිලි පේලි කීපයක් තම වගාබිම්කඩ වටේට වගා කරති. අල කිලෝග්‍රෑමයට සයනයිඩ් සංයෝග මිලිග්‍රෑම් 400 ක් පමණ ඇතිනිසා වන සතුන්වත් ඒවා කන්නේ නැත. තිත්ත රස හමුවේ සිදුවන සතුන්ගේ විකර්ෂණය හේතුවෙන් රැකෙන්නේ ගොවියාගේ බෝගයයි. වැරදීමකින් හෝ කෑමට අපේ ගොවිබිම්වල නම්  මෙවැනි තිත්ත මාදිලි නැත.

මඤ්ඤොක්කා පිෂ්ටයේ ඇති තවත් විශිෂ්ට ලක්ෂණයක් වන්නේ එහි ඇති අඩු ග්ලයිසිමික් දර්ශකයයි. මින් කියවෙන්නේ මෙම පිෂ්ටය අනුභවයට ගත් පසු රුධිරයට ග්ලුකෝස් නිදහස්වීම හෙමිහිට සිදුවන බවය. බාස්මතී සහලින් පිසූ බත්ද මෙසේමය. මේ නිසාම දියවැඩියා රෝගීන්ට මෙය සුදුසු ආහාරයක් මෙන්ම දියවැඩියාව බලාපොරොත්තු වන අයටද ප්‍රවේසම් සහිත ආහාරයක් වේ.

කෙසේ වෙතත් මෙය විවාදාත්මක කතාවකි. කුමන පිෂ්ටයක් වුවත් පමණ ඉක්මවා කන්නේ නම් ග්ලයිසෙමික් දර්ශකය ගැන කතාකිරීමෙන් පලක් නැත. මෑතකදී විදුලොව කැළඹූ සිද්ධියක් වනුයේ මඤ්ඤොක්කා මගින් පිළිකා නැසීමේ හැකියාවක් ඇතිබව වාර්තාවීමයි. දිනපතා වරක් හෝ දිනකට දෙවරක් මඤ්ඤොක්කා අනුභවය දිගු කලක් තිස්සේ පුරුදු වූ පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල ගහනය ක්‍රමයෙන් අඩුවී යන බවත්, ඊට හේතුව මඤ්ඤොක්කා අලවල ඇති විටමින් B-17 නම් පදාර්ථය බවත්, යම් තරමකට විද්‍යාත්මකව සනාථ වී තිබේ.

ගලවා දිනක් පමණ ගත වනවිට අල වලට ‘හුලං වැදී’ අනුභවයට නුසුදුසු තත්වයට පත්වීමද අපට හොඳට හුරුපුරුදු අත්දැකීමකි. වායුගෝලීය ඔක්සිජන් මඤ්ඤොක්කා අලයෙහි සංයෝග හා ප්‍රතික්‍රියාවෙන් මෙය සිදුවේ.

ඔක්සිජන් හා ගැටීම අවහිර කෙරෙන්නේනම් මෙය සිදුවන්නේ නැත. විදෙස් රටවල මෙය කෙරෙන්නේ ගැලවූ විගස අල සෝදා පිරිසිදුකර තෙතෙමනයද ඉවත්කර දියර පැරෆින් ඉටි ද්‍රාවණයක අල ගිල්වා ඉතා තුනී, ඇසට නොපෙනෙන තරමේ ඉටි ස්තරයක් අල වටා ඝනවීමට සැලැස්වීමෙනි. එම රටවල සුපිරි වෙළඳසැල්වල පවා රාක්ක සරසන මඤ්ඤොක්කා අල මෙවැනි ඒවාය. මෙරටට ආනයනය කරන ඇපල් ගෙඩි මතද වියලීම වැලැක්වීම සඳහා මෙවැනි ආවරණක් යොදා තිබේ. අපට ගැලපෙන ප්‍රායෝගික ක්‍රමයක් වන්නේ අල කපා පොත්ත ඉවත්කර සෝදා, කවරයක දමා අධි ශීතකරණයේ දැමීමයි. දැන් එය සති කීපයකින් වුවද භාවිත කල හැකි ආහාරයකි.

මඤ්ඤොක්කා පිටි හා ඒ ඇසුරෙන් වූ ආහාර ගැන මෙතෙක් මෙරට වාසීන්ගේ අවධානය ඇති නොවීම බරපතල අඩුපාඩුවක් බවද පෙන්වා දිය යුතුය. දකුණු ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක් ලෙසත් පිටි නිෂ්පාදනය සිදුකරයි. කුඩාවට පෙතිගැසූ මඤ්ඤොක්කා කැබලි අව්වේ වියලා ඉතා සරලව පිටි සාදාගත හැකිය. වියලන ලද බැවින් එහි විෂ සංයෝගද අන්තර්ගත නොවේ. බොහොමයක් ආහාර නිෂ්පාදනයේදී මේ පිටි 50% ක් දක්වා වෙනසක් නොපෙනෙන සේ තිරිඟුපිටි හා මිශ්‍රකල හැකිවේ. ඊට අමතරව තනිකරම මඤ්ඤොක්කා පිටි වලින් සෑදිය හැකි ආහාර බොහොමයකි.

සටහන – සනත් එම්. බණ්ඩාර

RSL

Related Posts