පුවක් වගාවට හරියට අත හැහුවොත් රටයි – ගමයි – ඔබයි ‘ගොඩේ ගොඩ’

Spread the love

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ‘ගිලීමලේ‘ යනු අතීතයේදී නොදියුණු පිටිසර පළාතකි. බුලත් හැපීම මෙවැනි පළාත්වල ජනතාවගේ ඉතා සුලභ පුරුද්දක් වූ නිසා ඔවුනගේ දෙතොල නිතරම රත්පැහැ ගැන්වී, දත්වල කහට බැඳී තිබුණේය.. එවැනි පලාත්වල වුවත් කිරිසුදු දත් දෙපලක් ඇති අය සිටිනා බව දන්වමින් ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන ප්‍රස්තා පිරුල බිහිවුයේ සම්ප්‍රදායික සිරිතට පිටින් යන උදවිය ඕනෑම සමාජයක සිටිය හැකි බව හඟවන්නටය.

 මේ වනවිට ගිලීමලේ තත්වය ඊට වඩා වෙනස් වියහැකි වුවත්, ලෝක ජනගහනයෙන් 10% ක් දෙනා එනම් මිලියන 800 ක පමණ ජනතාවක් තවමත් පුවක් හපති. ඇතැමෙක් ඊට බුලත්, හුණු, දුම්කොළ ඇතුළු වෙනත් අඩුමකුඩුම පවා එකතු කරගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික උද්දීපනය ගෙනදෙන ද්‍රව්‍ය ලැයිස්තුවේ නිකොටින්, කැෆේන්, මද්‍යසාර යන සංඝටක වලට පසුව හතරවෙනියට ලියා ඇත්තේද පුවක්ය.

එසේනම් අප පුවක් ගැන සුළුකොට තැකිය යුතු නොවේ. මන්දයත් මෙම ද්‍රව්‍ය ලැයිස්තුවේ තිබෙන ඒවා වර්තමාන වාග්මාලාවට අනුව කියනවානම් ‘අතේ දුරින් තබාගෙන‘ ඇසුරු කළ යුතු ඒවා නිසාය. ඒවාහි ඇති ඇල්කලොයිඩ් නමැති සංයෝග වර්ග නිසා රුධිරයට ඇඩ්‍රිනලින් නම් හෝර්මෝනයක් පහසුවෙන් නිදහස් වේ. ඒ හමුවේ හෘද ස්පන්දනය ආදිය වේගවත් වී, ප්‍රබෝධමත් ගතියක් සිරුරට දැනෙන්නේය.

අපේ රටේ මිනිස්සුත් කලකට ඉහතදී, කෑමට පසු තවත් සීනි ටිකක් ශරීරයට එකතුවෙන පරිදි අතුරුපසක් වළඳනවා වෙනුවට හැපුවේ බුලත් විටකි. කෑමට පසු ඉබේම ඇතිවෙන නිදිමත ගතිය මේ හරහා පහවී යන බව ඔවුහු අත්දැකීමෙන් දැනගෙන සිටියහ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍යය සංවිධානය පවා පුවක් හඳුන්වාදෙන්නේ පිළිකාකාරකයක් වශයෙන් වන අතර ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් පුවක් ශාකය විෂ සහිත ශාක නාමාවලිය තුලටද ඔබ්බවා ඇත.

ගොවිතැන් කටයුතු ගැන ලියන කියන අප, පුවක් කෑමේ හොඳ නරක ගැන කතා කළයුතු නොවේ. ආරම්භයේදීම ඉහත විස්තරය ගෙනහැර පෑවේ පුවක් හා කරුංකා වල පාරිභෝජන තොරතුරු හා එයට ලොව වටා ඇති පිළිගැනීම කෙසේද යන්න හැඳින්වීමටයි.

ලාංකික ආර්ථිකයට පුවක් මගින් ලබාදිය හැකි සාත්තුව

පුවක් වල ගුණාගුණ ගැඹුරට විමසිය යුත්තේ වෛද්‍යවරුන්ය. සිරිතක් වශයෙන් අපි අනුන්ට අයිති වැඩ නොකරන්නෙමු. මෙම ලිපිය ලියන්නේ දේශීය බෝගයක් වශයෙන් ලාංකික ආර්ථිකයට පුවක් මගින් ලබාදිය හැකි සාත්තුව ගැන පෙන්වාදීමටය.

ඉහත සඳහන් කල ප්‍රබෝධයක් ගෙනදෙන ද්‍රව්‍ය ලැයිස්තුවේ පළමු තුන මගිනුත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවා, අපේ ආර්ථිකයට සල්ලි පිරෙනා නිසා, ‘පුවක්අරඹ’ රැකගැනීමේ වැදගත්කමත්, ඒ හරහා ගමේ ආර්ථිකයේ ඇතිවන දියුණුවත් ගැන කතාකිරීමේ වරදක්ද නැත. අද දවසේ අප මෙය ගැන කතා කලත්, පුවක් ගස සමාජ ඇසුරට පත්වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසටත් එහා දුර අතීතයකදී බව පෙනෙන්නට ඇති කරුණකි.

ජනාකීර්ණ මුම්බායි නගරයේ සිට සැතපුම් 200 ක් පමණ දුරට යන විට ලෝක ප්‍රකට අජන්තා ලෙන් සමුහය හමුවේ. ගල් පර්වතය කපා ලෙන් ගුහා 30 ක් පමණ ඉදිකර ඇති මේවා අතීතයේ සාදා ඇත්තේ වස් වසනා භික්ෂූන්ටත්, වෙළෙන්දන් හා වන්දනාකරුවන්ටත් නවාතැන් ගැනීම සඳහායි. එහි ඇතුළත ඇති අලංකාර සිතුවම් යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් වශයෙන් නම්කර සංරක්ෂණය කර ඇත්තේ එහි ඓතිහාසික වටිනාකම නිසාමය.

මෙහි ඇතැම් සිතුවම් වල පසුබිම් දර්ශනතල ප්‍රවේසමෙන් විමසා බලන විට පෙනෙන්නේ පුවක් ගසක රූ සටහන් ඇඳීමට චිත්‍ර ශිල්පියා සැලකිලිමත් වී ඇති බවයි. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් ඈත කාලයේදී පවා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ පුවක් ගසට තිබූ සැලකිල්ල කියාපෑමට අජන්තා බිතු සිතුවම් කදිම සාක්ෂියකි.

ඒ එදා මහාරාෂ්ඨයයි. එහෙත් මෑතකදී මහාරාෂ්ඨයට අලුත් පුවක් අත්දැකීමක් විඳගන්නට හැකිවූ බව 2018 සැප්තැම්බර් 22 වෙනිදින පළවූ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. බහුලව එම පළාතේ පරිහරණය කෙරෙනා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට, පුවක් කොළ වලින් තැනූ කෑම පිඟන්, දීසි යනාදිය මහාරාෂ්ඨ ප්‍රාන්ත වැසියන්ට හඳුන්වාදීමට කටයුතු කරන ‘ඇනින්දීටා චවුද්රි‘ නම් කාන්තාවකගේ තොරතුරු පුවත්පතෙහි පලවිය.

වසර කීපයකට උඩදී කුඩා ව්‍යාපාරයක් සේ ඇරඹි ඇයගේ නිෂ්පාදන, මහාරාෂ්ඨය ඇතුළු යාබද ඉන්දීය ප්‍රාන්තයන් තුළ පවා දැන් අලෙවි කෙරේ. ඇයට ප්‍රශ්නයක්ව ඇත්තේ කර්මාන්තය ප්‍රසාරණය කිරීමට තරම් පුවක් කොළ හා කොලපත් අවටින් සපයා ගැනීමට ඇති නොහැකියාවයි. එදා අජන්තා ලෙනෙහි සිතුවම් ඇඳි සිත්තරා දුටු පුවක් ගසේ වටිනාකම, චවුද්රි නෝනා විසින් අලුත් රිද්මයකින් මහාරාෂ්ඨයට හඳුන්වා දී තිබේ.

අපේ රටේ නම් පුවක් ගසට තිබු එදා වටිනාකම දිනෙන් දිනම වළපල්ලට යමින් තිබේ. කොලපත උඩ වාඩිවූ බාලයාව මිදුල වටා ඇදගෙන යන්නටවත්, ගමේ කොලු ගැටයාට දැන් විවේකයක් නැත. දෙදෙනාම මුල්ලකට වී දවස පුරාම ෆෝන් එකේ ගේම් ගසති. කෑම කන්නට ප්ලාස්ටික් පිඟනුත්, බත්මුල් ඔතන්නට කීපවරක්ම තහනම් කල ලන්ච්ශීට් කොලත් ඇති පදමට අපට තිබෙන නිසා චවුද්රි නෝනා කල කී දෑ අපට අදාළ නොවිය හැකිය.

පුවක් වැව්වොත් ගොඩේ ගොඩ

අපේ ගම්වල මෙරටට ආවේනික ‘සිංහල පුවක්’ නමින් හඳුන්වන කුඩා ගෙඩි සහිත ප්‍රභේදයට අමතරව ‘රට පුවක්’ නම් ගෙඩි ලොකු ප්‍රභේදයක්ද තිබේ. මේ දෙක අතර කලවම් වීමෙන් හටගන්නේ ‘හම්බන් පුවක්’ නමින් හඳුන්වන තවත් වර්ගයකි. රට පුවක් සිටුවීමෙන් බොහෝ විට එම වර්ගයම නොලැබෙන අතර, වැඩි ප්‍රවනතාවයක් ඇත්තේ කලවම් වර්ගයක් ලැබීමටය.

“අපි ඈත අතීතයේ ඉඳලම පුවක් හා කරුංකා භාවිතා කෙරුවනේ. කරුංකා කියන්නේ වේලපු පුවක්. දවස් තිහ හතළිහක් අව්වේ වේලලා තමයි කරුංකා හදාගන්නේ. ඊට පස්සේ දුම් මැස්සට දාල අවුරුද්දක් හමාරක් වුණත් තියා ගන්නවා. වර්තමානයේ නම් ගෙවල්වල දුම්මැසි නැති නිසා වියලීම පමණයි කෙරෙන්නේ. හොඳට වෙලුනේ නැත්නම් ඇතුළ පුස් කනවා. ගුල්ලො ගහනවා. හොඳ කරුංකා හදාගන්න නම් පුවක් ගෙඩිය ඇතුලේ තිබෙන සුදු පාට පොල්මද කැබලි වැනි දෑ අඩු පුවක් ගන්න ඕනෑ. ඇතැම් ගස් වල හැදෙන ගෙඩි මේ ගතිගුණය සහිතයි. ඒවායින් හැදෙන කරුංකාත් හොඳයි. ඉතින් මේ ගුණාත්මයෙන් තිබෙන කරුංකා වලට ඉන්දියාවෙන් එහෙම හොඳ ඉල්ලුමක් තිබුණා.”

පුවක් ගැන කතාකරන්නට අපනයන කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ දිශානති නිරෝෂා මෙනෙවියත් සමග මා හමුවූ ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා තම විස්තරය ආරම්භ කෙරුවේ එලෙසිනි. හෙතෙම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මාතලේ තිබෙන මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) වරයායි.

මඩ පුවක් සෑදීමද වියලීමට අමතරව පුවක් කල් තබාගැනීම සඳහා මෙරට භාවිතාවන ක්‍රමවේදයකි. මූලිකව මෙහිදී කෙරෙන්නේ එකතුකරන ලද පුවක් ගෙඩි වතුරේ ගිල්වා තැබීමයි. වායුගෝලීය ඔක්සිජන් හා නොගැටෙන බැවින්, ජලය තුල තිබෙනවිට ඇතුලත පුස්කෑම හෝ මදය ගුල්ලන් ගැසීම හෝ සිදුවන්නේ නැත. කුඹුරු ආශ්‍රිතව ජලය රැස්කල වලවල් තුල මඩත් සමගම ගිල්ලා තැබීම නිසා එවැනි නමක් පටබැඳුනා විය හැකිය. දේශීය වෙළඳපොලේ මඩ පුවක්, කරුංකා, අමු පුවක් යන සියල්ලම අලෙවි කෙරේ.

වසර පහකින් පමණ පලදැරීම අරඹන පුවක් ගස, එතැන් සිට අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් නොකඩවා අස්වැන්න ලබාදෙයි. අවුරුද්දකට ගෙඩි 1000 ක් පමණ නිපදවන අතර හෙක්ටයාරයක තනි වගාවක් වවන්නේ නම් එයට පුවක්ගස් 1000-1100 ක් අතර ප්‍රමාණයක් ඇතුළත් වේ. අස්වැන්න 50% ක් අඩුවෙන් තක්සේරු කලත් වසරකට ගෙඩි ලක්ෂ පහකි. ඉතා අවම මුදලක් වශයෙන් ගෙඩියක් විකුණුවේ රුපියල බැගින් යයි සිතුවත්, ආදායම වසරකට රුපියල් ලක්ෂ පහකි. ඇතැම් කාලයට ගෙඩියක් රුපියල් දහයක් පමණ දක්වා මිල නගී. මේ දිනවල වෙළඳපොළ වාර්තා කියාපාන්නේ නම් පුවක් ගෙඩියක මිල රුපියල් 25 දක්වා වුවද ඉහළ නගිනා බවයි. බුලත් විටක් රුපියල් 50 ක් පමණ වෙන්නේ බුලත් පුවල් වලට ලැබෙන මේ අධි තක්සේරුවයි.

“මේ සියල්ල ශුද්ධ ලාභය වශයෙන් තමයි හඳුන්වන්න වෙන්නේ. වගා නඩත්තුවක්, පොහොර දැමීමක්, කෘෂි රසායන ද්‍රව්‍ය වියදමක් වැනි කිසිවක් නෑනේ. කම්කරුවන් යොදවා පුවක් කැඩීම කරන්නෙත් නැත්නම්, ගහ යට වැටෙන ගෙඩි ටික අහුලගන්න එක පමණයි වැඩකට තියෙන්නේ.”

එසේ පවසන ආචාර්ය සරත්චන්ද්‍ර පුවක් ගස හඳුන්වන්නේ 21 වෙනි සියවසේ කප්රුක වශයෙන්ය. ඔහු එසේ පැවසුවත් අපට නම් සිතෙන්නේ කප්රුකෙහි අගය සාමාන්‍ය ජනතාව අතරට ගැඹුරට කාන්දු වී නොමැති බවයි.

ගෙවතු වගාවටත් පුවක් ඉස්තරම්

Ayurvedic Plants of Sri Lanka: Plants Details

රටේ කෙතරම් රුක් රෝපණ වැඩ සටහන් තිබෙනවාද? පොල් පැළ සිටුවනවා කෙතරම් දුටුවත් පුවක් පැළයක් සිටුවනවා රූපපෙට්ටියෙන්වත් දැක තිබෙනවාද? ගසෙහි හටගන්නා පළමු පුවක් වලු කිහිපයේ තිබෙන්නේ ගෙඩි සුළු ගණනක් බවත් කල්යාමේදී ලොකු පුවක් වලු හටගෙන තත්වය හොඳ වන බවත් ගොවියා තේරුම්ගෙන තිබේද?

මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත්, ඔවුනට අයත් රටපුරා පිහිටි පැළ තවාන් වලිනුත්, ගොවීනට අවශ්‍ය හොඳ වර්ගයේ පුවක් පැල නිකුත් කෙරේ. මීට අමතරව වැවිලි සමාගම් වලින් ලැබෙන ඉල්ලීම් වලට අනුව, පැළ සාදාගැනීම සඳහා ඔවුනට ගෙඩිද ලබා දෙන්නේය. ගොවීන්ට ගෙඩි නිකුත් නොකරන්නේ, තවානක් වෙතට නොගොස් ඒවාහි ඉරණම ගැමියාගේ බුලත් මඩිස්සලයෙන්ම කෙලවරවේය යන සැකය නිලධාරීන් තුල තිබෙන බැවිනි.

ගෙවතු වවමින් කෙටිකාලීන ආහාර බෝග ගැන සමාජයේ උනන්දුවක් ඇතිවී තිබෙන මෙම වකවානුවේ, අඩු වියදමකින් ස්ථාපනය කල හැකි, නිශ්චිත ඉඩක් පවා වගාබිමෙන් ඉල්ලා නොසිටින, මෙවැනි බෝග කෙරෙහිද අප අවධානය යොමුකළ යුතුය. වාර්ෂික බෝග මෙන් හදිසි කාලගුණ විපර්යාසයන්ට මේවා සංවේදී නොවන අතර, අස්වැනු හානියකට බියවී පුවක් තොගය ලහි ලහියේ කුණු කොල්ලයට විකුණා දැමිය යුතුද නොවේ.

ප්‍රතිඅපනයන මාෆියාව පුවක් වගාවට හෙණයක්

හෙක්ටයාර් 15000 – 18000 ක පමණ පුවක් වගාවක් මෙරට පවතී. නමුත් ඇත්තේ විසිරුණු වගාවක් වශයෙනි. දේශීය පරිභෝජනයට වැයවෙන ප්‍රමාණය අඩුකළ පසු සාමාන්‍යයෙන් අපනයනය කරන උපරිම කරුංකා ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 5000 කට අඩුය. 2012 වසරේදී මෙරටින් අපනයනය කර ඇත්තේ කරුංකා මෙට්‍රික් ටොන් 2121 ක් පමණි. වසරක් ගතවූ තැන එනම් 2013 වනවිට එය 9783 දක්වා හතර ගුණයකින් පමණ වැඩිවී තිබේ.

අපේ ගම්වැසියන්  වැඩේ හොඳටම හිතට අරගෙන රටපුරා ඇවිදිමින්, පුවක් ගසක් දුටු තැන එය දිගේ බඩගා ගොස් පුවක් කඩා, කරුංකා වියළා ගත්තා සේය. එසේ සිතමින් අප මොහොතකට හිත හදා ගනිමු. 2014 වනවිට රට පැටවූ ප්‍රමාණය ටොන් 29,509 කි. 2015 වෙත්දී 29,513 කි. අවුරුදු දෙකක් ඇතුළත පුවක් අපනයනය මේ පෙනෙන පරිද්දෙන් 14 ගුණයකින් වැඩිකිරීමට නම් ලංකාද්වීපය තුළ දඩිබිඩියේ තුත්තිරි ගස් ගානට පුවක් ගස් පැළවිය යුතුය. පුවක් වලින් සරු ආදායමක් ලබමින් සිටි පිටිසරයාගේ බඩට වැදුනේ ව්‍යාපාරික නාගරිකයින් දෙතුන් දෙනෙක් එකතුවී කල මෙම අපනයන විජ්ජාවෙනි.

ඉන්දුනීසියාවේ වනගත ප්‍රදේශවල ඉබේ පැලවුනු පුවක් ගස් ඇති පමණට තිබෙන නිසා කැලෑවට රිංගා වැටී ඇති පුවක් එකතුකර විකිණීම අවට ගම්මුන්ගේ ජීවනෝපායක් වේ. මේවා ඉතා බාල ගුණාත්මයක් සහිත ඒවා බැවින් වෙළඳපොළ වටිනාකමද අවමය. නිරෝධායන නීති අමතක කරන්නේ නම්, ක්‍රියාත්මක වෙළඳ ගිවිසුම් වලට පින් සිදුවෙන්නට, ඉන්දුනීසියාවේ කරුංකා, ලංකාව හරහා බදු ගෙවන්නේ නැතිවම ඉන්දියාවට යැවිය හැකිවේ. එහෙත් ලංකාව හරහා නොයා ඉන්දුනීසියාවෙන් ඍජුවම ඉන්දියාවට කරුංකා යැවීමේදී නම් එයට බදු අදාළ වේ.

කපටි ව්‍යාපාරික සංවිධානයක් විසින් ඉන්දුනීසියාවෙන් බාල කරුංකා එකතුකර ලංකාවට පැටවීමටත්, මෙහිදී ඒවා ශ්‍රී ලාංකික කරුංකා බවට බවුතීස්ම කර  ඉන්දියාවට යැවීමටත් මේ අනුව කටයුතු කරන ලදී. ‘කරුංකා ප්‍රති අපනයනය’ යනුවෙන් ලස්සන යෙදුමක්ද ඔවුහු නිර්මාණය කරගත්හ. එතැන් සිට ලාංකික කරුංකා වශයෙන් ඉන්දියාවට ගොඩබෑවේ ඉන්දුනීසියානු බාල කරුංකාය.

ඉන්දියාවටද කරුංකා උවමනා වන්නේ කෑමටම නොවේ. ඔවුහු තීන්ත කර්මාන්තය වැනි ව්‍යාපාරයන් රැසක් කරුංකා සමග පවත්වාගෙන යයි. ඒ සඳහා බාල කරුංකා වුවත් සෑහේ. අවසන් ප්‍රතිපලය වුයේ අපනයනකරුවන් විසින් ඔරිජිනල් ලාංකික නිෂ්පාදනයන් පවා අඩු මිලට ඉල්ලා සිටීමය. ඒ කියන මුදලට පුවක් එකතුකිරීමෙන් මහන්සියටවත් මුදලක් නොලැබෙන නිසා මෙරට ගොවීහු අපනයනයට පුවක් සැපයීම අත්හැර දැමූහ.

ශාක නිරෝධායන පනත හකුලා ගැනීම

ශාක නිරෝධායන පනතට අනුව තාල වර්ගයට අයත් පැලයක් නොව ගසක කැබල්ලක්වත් මෙරටට ගෙනඒමට තහනම් බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලදරුවන් කීප දෙනෙක්ම කලබලවී හඬ තැලුවද, බලධාරීන් චාමර සැලුවේ ජාවා හා සුමාත්‍රා දූපත් වල සිට යාත්‍රා කරනා කරුංකා නැවටමය.  

අද නම් නිරෝධායනය යනු කුමක්දැයි සැවොම දන්නා කරුණකි. නිරෝධායනය නොවී, රෝගියෙකු රට තුලට දමාගතහොත් සිදුවන විනාසය කොපමණද යන්න  කොවිඩ්-19 වයිරසය විසින් අපට ගෙනවිත් දුන් පාඩම් පොතේ තිබෙන එක පරිච්ඡේදයකි.

කලකට ඉහතදී ඉහළ ගිය පොල් මිල හමුවේ පිටරටින් පොල් ගෙනෙන්නට තටමද්දීත් කෘෂිකර්මයේ ඇත්තෝ මෙලෙසින්ම කලබල වී කෑ ගැසූහ. වගකිවයුතු එක බලධාරියෙකු ප්‍රකාශකර සිටියේ බාධාව ඇත්තේ පනතේ නම්, පනත වෙනස් කර හෝ පොල් ආනයනය කළ යුතු බවයි. දැන් ඉතින් පනතේ බාධාවකුත් නැති නිසා දඩිබිඩියේ මොනවට ලංකාවට යනවදැයි සිතා, ක්‍ෂුද්‍රප්‍රාණියා පොල් ගෙඩියෙන් බිමට බැස ඉන්දියාවේම නතර වෙනු ඇතැයි ඔහුගේ පුංචි මොලයට සිතුනා විය හැකිය.

වත්මන් පාලකයින් විසින් ප්‍රතිඅපනයන තහනම් කරනා තෙක්ම කරුංකා සෙල්ලම නම් අඩු තීව්‍රතාවයකින් හෝ ක්‍රියාත්මක විය. ඒ 2016 වසරේ සිට ක්‍රමික අවරෝහණයක්ද සහිතවය. කෙසේ වෙතත් නිරෝධායන නීතිරීති පයිසෙකටවත් ගණන් නොගන්නා කරුංකා නැව් උදේ හවස කොළඹ පැත්තේ ඇවිත් ගියද ලංකාවට ලෙඩක් පාත් නොවීම නම් ආශ්චර්යයක් සේ හැඟේ.

කෙසේ නමුත් කලකට ඉහතදී කටකතා පැතිරී ගියේ කල් ගතවෙත්ම නැව් මෙරටට නොපැමිණි බවත්, කරුංකා තොගය ඉන්දුනීසියාවේ සිට කෙලින්ම ඉන්දියාවට යද්දී, ලිපිගොනුව පමණක් මෙහෙ ඇවිත් අපනයන සීල් ගසාගෙන යන බවයි. මේවාහි සත්‍ය අසත්‍ය බව අප දන්නේ නැත. එහෙත් ආනයන වාර්තා වල දැක්වෙන ප්‍රමාණයම අපනයන වාර්තා වලින්ද පෙන්විය යුතු බව පොඩි එකෙකුට වුවත් තේරෙන කතාවකි. කටකතා වලට යම් ජීවයක් තිබුනාද කියා සිතෙන්නේ කරුංකා වෙනුවෙන් මෙම වාර්තා ද්විත්වය එකකට එකක් පෑහෙන්නේ නැති බැවිනි. රෝගකාරක ක්‍ෂුද්‍රප්‍රාණීන් සිටින්නේ කරුංකා ගෙඩිය ඇතුලේ මිස ෆයිල් සමග නොවන නිසා, ලිපිගොනුව ආවත් කරුංකා නොපැමිණීම හේතුවෙන්ම අපේ ගස් ලෙඩ නොවුනාද විය හැකිය.

“ප්‍රති අපනයනය හරහා දේශීය පුවක් වලට සිදුවූ අසාධාරණය දැන් නැවතිලා තිබෙනවා. ඒ හරහා හොඳ විදේශ විනිමයක් රටට ලැබෙන තරමට මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඉල්ලුම අසීමිතයි. මාතලේ පර්යේෂණ භුමියේ අපි දිවයිනේ විවිධ තැන වලින් එකතුකළ පුවක් ගස් එකතුවක් තියෙනවා. ඉන් හොඳ ගස් අපි තෝරලා තියෙනවා. පර පරාගනයෙන් ගෙඩි හැදෙන නිසා හැදෙන හැම ගසකම ගතිගුණ කලින් මව් ගසට වඩා වෙනස්. ඒ නිසා හොඳ ගුණාත්මයෙන් යුත් ගෙඩි ලබාදෙන තනි ගසක් තමයි අපි ‘වර්ගය’ ක් ලෙස නම්කරලා තියෙන්නේ. විශේෂ ක්‍රමයකට අපි ඒ ගස් වල මල් වෙනත් මල් සමග කලවම් නොවෙන්න සලස්වලා ගෙඩි ලබාගන්නවා.”

Big imports from Nepal, Sri Lanka pull down areca nut prices - The Economic  Times

ආකර්ෂණීය ප්‍ර භේද සමග පුවක් වගාව ප්‍රවර්ධනය

අධ්‍යක්‍ෂවරයාගේ සැලසුමට අනුව වඩාත් ආකර්ශනීය ප්‍රභේද තෝරාගනිමින්, වගාව ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත්තේ එසේය. නව ආර්ථික වගා සොයා යන අප බොහොම පහසුවෙන් කල හැකි පුවක් වගාව ගැන මෙතෙක් අවධානය නොකළේ මන්දැයි සිතා බැලිය යුතුය.

නිශ්චිත භූමියක් මේ සඳහා අවශ්‍ය නැත. වැට මායිම ලෙස වුවද පුවක් ගස් වැවිය හැකිවේ. කඳ දිගේ වැවෙන ගම්මිරිස් වැනි වගාවක් පිහිටුවීමට වුවද පුවක් ගස සුදුසුය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන වගා ප්‍රවර්ධන කටයතු වලදී ඔවුනට ප්‍රධාන අඩුවක් ලෙස දැනෙන්නේ ගොවීන්ගේ තොරතුරු නොමැතිවීමයි.

අපනයනකරුවන් සිටින්නේ අතලොස්සකි. ඔවුන් සතුව තමා වෙත කරුංකා ලබාදෙන වෙළඳුන්ගේ තොරතුරුද තිබේ. එහෙත් තමාට කරුංකා රැගෙන එන ගම්මුන්ගේ තොරතුරු මෙම වෙළෙන්දන් සතුව නැත. පුවක්අරඹට රිංගන්නේත්, කූඩැල්ලන් කඩමින් පුවක් ඇහිඳින්නේත් ගම්මුන්ය. ලාංකික නිෂ්පාදනයක ඌරුව පවා කෙලසමින් අතලොස්සක් විසින් යටිමඩි ගසා ගන්නා ලද ඩොලර් මල්ල රුපියල් වලට හරවා ගම්මුන් අතට පත්කරන්නට නම් පුවක් ඇහිඳින ගැමියාගේ වගතුග මාතලේට අවශ්‍යයවේ.

සනත් එම් බණ්ඩාර – හිටපු සහකාර අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ සහ සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.

RSL

Related Posts