පරිසරය නොරිදවා එළවළු ගොවිතැනේ ‘වල්පැළ මර්දනය කරමු‘

Spread the love

ලංකාවේ භාවිතා කෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය අතරින් පසුගිය කාලයේ වැඩියෙන්ම බැනුම් ඇසූ නිෂ්පාදනය කුමක්දැයි මතක් කළහොත් ඉදිරියටම එන්නේ ‘ග්ලයිෆොසෙට්‘ ය. මේ වන විටත් නිශ්චිත හේතුව කුමක්දැයි හරියටම හඳුනා නොගත් රජරට වකුගඩු රෝගයේ ප්‍රධාන විත්තිකරු වූයේද මෙම නිෂ්පාදනයයි.

නඩු නොඅසාම ජනතාවගේ යහපත උදෙසා සැකයේ වාසිය පමණක් තබාගනිමින් එය තහනම් කරන්නටද පියවර ගැනීම අගය කළ යුත්තකි. කෙසේ වෙතත් වැවිලි බෝගයන්හි වල් මර්දනය සඳහා ඇති කම්කරු හිඟය හේතුවෙන්, අස්වැන්න ඉහළින් පවත්වාගැනීමේ අවශ්‍යතාවය පෙරදැරිව යම් සීමාවන්ට යටත්ව ග්ලයිෆොසෙට් භාවිතයට යළිත් අවසර ලැබිණ.

වැවිලිකරුවන්ගේ ප්‍රශ්නය එතෙකින් නිමාවුවද, සාමාන්‍ය ගොවියාට පවා මෙය නැතිවම බැරි ‘බෙහෙතක්’ බවට පත්වී ඇති බව පෙනෙන්නේ හොර පාරෙන් රට තුලට රැගෙන එන ග්ලයිෆොසෙට් තොග අත්අඩංගුවට පත්වීමත් සමගිනි. මේ පිළිබඳ පසුගිය දිනෙක ලංකා ඊ ප්‍රෙස් වෙබ් අඩවියට ලිපියක් සපයමින් මා පෙන්වා දුන්නේ මෙහි ඇති අවදානමයි.

වඩාත්ම භයානක වන්නේ ග්ලයිෆොසෙට් යනුවෙන් අලෙවිකරණ මේවාහි ප්‍රමිතිය ගැන සඳහනක් නොතිබීමයි. නම ග්ලයිෆොසෙට් වුණත් ලේබල් නොමැතිව සංසරණය වන මේවා හරහා මොන දහජරාවක් අපගේ වගාබිම් වලට එනවාදැයි දන්නේ දෙවියන් පමණි. ගොවියා මේ තරමට ග්ලයිෆොසෙට් පසුපස යන්නේ එහි ඇති සංස්ථානික ක්‍රියාව නිසාය. එනම් මෙය පත්‍ර වලින් ශාකයට උරාගෙන මුල් දක්වා පවා පරිවහනය වී මුළු ශාකයම මරා දමනා බැවිනි.

ගෑවුන තැන පමණක් ක්ෂණිකව මරා, ගොවියාගේ හිත තාවකාලිකව සනසන අතරතුර හොර රහසේම වල් පැළයේ ජීවිතයත් රැකදෙන ස්පර්ශ වල්නාශකයන්හි ක්‍රියාවට වඩා එය සුපිරිය. දිගුකාලීන විසඳුමක්ද වේ. ගොවිපොළේ බහුල කලාඳුරු, ඇටවරා වැනි භූගත දේහ කොටස් සහිත වල්පැල අතුගෑවී යන්නේ මෙම ක්‍රියාවලිය  හේතුවෙනි.

කෘෂිකර්මාන්තයේ ආරම්භවූවා සේ සැලකෙන්නේ වසර දහස් ගණනකට පෙරාතුව ඇරඹුණු වනගත ශාකයන්ගේ ‘ගෘහස්තකරණයත්‘ සමගය. වල්පැළ වනාහී මෙම බෝග ශාක වලට සමගාමීව වගාබිම තුළම ගෘහස්තකරණයට හසුවූ අනවශ්‍ය පැළෑටි විශේෂයකි. ඒ නිසා ඉන් මිදීමට වගාකරුවන් උපයෝගී කරගනු ලැබූ වල් මර්දන ක්‍රමවේදයන්ද කෘෂිකර්මාන්තය සේම පැරණිය.

වල් මර්දනය සඳහා එදා සිටම පැවති ප්‍රචලිත ක්‍රමය වන්නේ මිනිස් ශ්‍රමය යොදාගනිමින් සිදුකරන අතින් වල්පැළ ඉදිරීම, ආයුධ මගින් කපා දැමීම වැනි සරල පිළිවෙත්වේ. ඊට අමතරව ලුණු, දැව අළු ආදී දෑ ඉසීම හරහා ගොවිතැනේ වල් මර්දනය කල බවටද ඉතිහාසයේ සාක්ෂි තිබේ. විවිධ යුගයන් පසුකරමින් පැමිණි, මිනිස් ශ්‍රමය පාදක වූ මෙම පිළිවෙත් නොවෙනස්ව පැවතුනේ ළමයින් හා කාන්තාවන්ගේ දෑතේ සවිය නොඅඩුව ගොවිතැනට ලැබුණු නිසා බව සිතිය හැකිය. වෙ

නසක් ඇතිවූයේ කාර්මික විප්ලවයත් සමග කම්හල් වල වැඩට දරුවන් හා කාන්තාවන් දෙකොට්ඨාශය යොමුවීමේ ප්‍රතිපලයක් වශයෙනි. බිහිවූ ශ්‍රම ඌනතාවය මගහැරගැනීම උදෙසා වල් මර්දන ක්‍රමයන්ගේද වෙනස්වීම් සිදුවූ බව පෙනේ. මේ හරහා වල් මර්දනය සඳහා වූ රසායන ද්‍රව්‍ය කරලියට පැමිණුනු අතර එතෙක් 1950 වසර පමණ වනතුරු වල්නාශක වෙළඳාමට මෙතරම් තැනක් කෘෂිකර්මාන්තය තුල තිබුනේද නැත. මේ ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ලෙස සලකනු ලැබුවේ 1960-70 අතරවූ දශකයයි.

කෙසේ වෙතත් කැනඩාවේ ‘සස්කචවාන් විශ්ව විද්‍යාලයේ‘ විද්වත් දෙපලක් වන ‘හෝම් සහ ජොන්සන්‘ පවසන පරිදි වල්නාශක ව්‍යාපාරයේ අනාගතය නම් ක්‍රමයෙන් බොඳවෙමින් පවතින්නේය. සමාගම් මගින් ලියාපදිංචිය සඳහා එළිදක්වනු ලබන වල්නාශක ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

මීට හේතු ලෙස ඔවුන් දකිනා ප්‍රධාන කරුණු දෙකකි.

  1. එකක් නම් ස්වාභාවිකවම සිදුවන ශාක පරිනාමය නිසා වල්නාශක වලට ඔරොත්තු දෙන, නැතහොත් ඒවාට ප්‍රතිරෝධීවන වල්පැල වර්ග බිහිවීමයි. බිහිවන අලුත් මාදිලිවලට ගැලපෙන පරිදි තම නිෂ්පාදනයන්හි සංයුතිය වෙනස්කිරීමට සමාගම් විසින් කරනා පර්යේෂණ අරගලයන්හි කෙළවරක් නොපෙනෙන තැන, ඔවුන්ද වෙහෙසට පත්ව සිටී.
  2. අනෙක් කරුණ වන්නේ සමාජය විසින් පරිසරයේ ආරක්ෂාව ගැන සිතනා ප්‍රමාණය පෙරට වඩා වැඩිවී, වල්නාශක ප්‍රතික්ෂේප කිරීමට ඇති නැඹුරුවයි.

වල්නාශක ශ්‍රී ලංකාව ආක්‍රමණය කෙරුවේ ප්‍රධාන වශයෙන් තේ, රබර්, පොල් වැනි වැවිලි බෝග සහිත විශාල වතු හරහාත්, වී වගාකෙරෙන කුඹුරු යාය තුළිනුත්ය. එසේ වුවත් එළවළු වගාවේ නම් බහුලව භාවිතා කෙරුවේ අතීතයේම පුරුද්දක් වූ ගොවියාගේ ශ්‍රමය පදනම්වූ අතින් කරන වල් මර්දනයයි.

වසවිස කතාබහ වැඩිපුරම ඇසෙන්නේ එළවළු හා පලතුරු පැත්තෙන් වුවද ඒවා බොහෝවිට පදනම් වන්නේ පළිබෝධනාශක යෙදීම මත මිස වල්නාශක සම්බන්ධයෙන් නොවේ. එසේනම් අද දවසේ කෘෂි විද්වතුන්ගේ වගකීම වන්නේ එළවළු කොරටුවේ ගොවියා අතට වල්නාශක බෝතලය නොලැබෙන තැනට තවදුරටත් කටයුතු සම්පාදනය කිරීමයි. ඒ සඳහා සම්ප්‍රදායික ක්‍රමයන් වර්තමානයට ගැළපෙන පරිදි සුසර කිරීම සඳහා පර්යේෂණ කල යුතුවේ. ලැබෙන ප්‍රතිපල සාධාරණ යයි සාමාන්‍ය ජනතාවට තේරුම්යන්නේ නම්, අනවසර වල්නාශක පවා හඹා යමින් ඔහු දැලිපිහියෙන් කිරි කන්නට දඟලන්නේ නැත.

එළවළු පර්යේෂණයන්හි මහගෙදර සේ සැලකෙන ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණායතනයේදී මේ වෙනුවෙන් දැනට වසර දෙකක පටන් කළ පර්යේෂණයක සාර්ථක අනාවරණයක් අපට දැනගන්නට ලැබී තිබේ. ගෙවත්තේ මිරිස් පැලළ හත අටක් සිටුවාගෙන වැඩි සැලකිල්ලට දින හතර පහකට වරක් පාත්තිය උදලුගාන ගෙවතු වගාකරුවාට පවා එම සොයාගත් දෑ වටින්නේය.

පර්යේෂණය මෙහෙයවා ඇත්තේ වල්පැලෑටි පිලිබඳ විශේෂඥ අනුරුද්ධිකා අබේසේකර හා ඇයගේ සහයිකාව වූ කෘෂිකර්ම උපදේශිකා උදයානි හේරත් ය.  

 “ගිරාඳුරුකෝට්ටේ හා පස්යාල යන ස්ථානවල ගොවිපොළවල් පවා එකතුකරගෙන මූලිකව අධ්‍යයනය කෙරුවේ ගන්නෝරුවේ. එළවළු වශයෙන් මාළුමිරිස්, තක්කාලි, බණ්ඩක්කා, වම්බටු, බෝංචි වැනි වර්ග කීපයක්ම අපි භාවිතා කළා. ගොවීන්ගේ සාමාන්‍ය පිළිවෙත තමයි බෝගය සිටුවලා කලක් බලා සිටිනවා වල් පැල මතුවෙනතුරු. මේ කාලය තුලදී බෝගයේ පැළ මෙන්ම වල් ගසුත් බොහොම පුංචියි. සම්පත් සඳහා එම කාලය තුලදී දෙගොල්ලන්ගේම තිබෙන්නේ කරට කර සටනක්. පරිසරයට තිබෙන වැඩි අනුවර්තන හැකියාවන් නිසා මේ තරඟයෙන් වල් පළ ජයගන්නවා. ලපටි කාලයේදී බෝගය ලබන එම පරාජය ලෙහෙසියකට ප්‍රතිපුර්ණය කරගන්න බෑ. ඒ අනුව අපට පෙනීගියා පළමු මාසය තුළ වල් මර්දනය නොකරන හෝ පමාකරන වගාවල අස්වැන්නට ලොකු බලපෑමක් ඇතිවෙන බව. පස්සේ කොච්චර උදලුගෑවත් ඒ අඩුව පිරිමැහෙන්නේ නෑ” ඒ අනුරුද්ධිකා මහත්මියගේ අදහසයි.

එය ඇත්තක් නම්, මහන්සිවී පොලොව කොටා කැට පොඩිකර, පාත්ති දමා පැල සිටවූ පසු සතියක් දෙකක් ගොවියා ලබාගන්නා සාධාරණ විරාමය තුළදී බරපතළ හානියක් බෝගයට සිදුවී තිබේ. ඇයගේ අදහස වෙනත් වචනයෙන් කියනවානම් පළමු මාසය පසුකරන තෙක් වල් පැළ වලින් තොරව වගාව පවත්වා ගන්නේ නම්, ඉන් පසු කාලයේදී වල් මර්දනය යන පදය එතරම් ඔලුවට දමාගත යුතුද නැත. ඒ කාලයේදී බෝග පාත්තියේ ඉහළට එසවෙන වල්පැළ වලින් බෝගයට ඇතිකෙරෙනුයේ අවම බලපෑමකි.

බෝගයේ පැළ ඒ වනවිට හොඳින් ස්ථාපනය වී ඇති නිසා අලුත පැළවෙන වල්ගස් සමග වූ තරඟයෙන් ජයගනු ඇත්තේ බෝගය නිසාය. තක්කාලි වැනි බෝගයක නම් මාසයකින් පසුව වල් උදළු ගෑම ඇතැම්විට අස්වැන්න අඩුවීමකට වුවත් හේතු විය හැකිය.

මුල් පද්ධතිය ගැඹුරට නොයන එවැනි බෝග වල නිතර වල් උදළුගෑමෙන් බෝග ශාකවල මුල් කැපීගොස් ගස් ‘බාලවීම’ සහ මුල් හරහා හානිකර ක්ෂුද්‍රජීවී අසාදන ආදිය සිදුවීම මීට හේතුවයි. පැළ සිටවන දිනයේ සිටම ගලවන්න කීවාට, අතට හසුවෙන තරමේ වල්පැළ සතියක් හමාරක් යනතෙක් පාත්තියේ නැත්නම් ගොවියා කළ යුත්තේ වල් ගැළවීම නොව, වල් මතුවීම අවහිර කරන්නට කටයුතු යෙදීමයි. එය කල හැකි ආකාරය ගැනද පැහැදිලිකිරීමක් ඔවුන්ගේ පර්යේෂණ තොරතුරු වාර්තාවේ ඇතුළත්ය. අප සමග එය පැවසුවේ කෘෂිකර්ම උපදේශිකා උදයානි ය.

“හොඳම ක්‍රමය තමයි වසුනක් භාවිතා කරලා වල් පැළ මතුවෙන එක මුල සිටම අවහිර කරන එක. පොලිතීන් වැස්මක් භූමියට යොදලා එහි අදාළ තැන්වල සිදුරු හදලා පැළ සිටුවීම ඉතාමත් සාර්ථක ක්‍රමයක්. හැබැයි මුලදී වියදම ටිකක් වැඩියි. ඊට අමතරව අපි භාවිතා කෙරුවා කාබනික ඇතුරුම් ද්‍රව්‍ය. උදාහරණ වශයෙන් ගිලිරිසීඩියා කොළ, වියළි පයිනස් කොළ, කැපූ තණකොළ, පිදුරු ආදිය. ග්ලිරිසීඩියා ඇතිරූ පාත්තියෙන් තමයි වැඩියෙන්ම අස්වැන්න දුන්නේ. ඊළඟට පිළිවෙළින් අඩුවෙන පිළිවෙලට කැපූ තණකොළ, පිදුරු හා වියලි පයිනස් පත්‍ර ප්‍රතිපල ලබා දුන්නා.”

පොලිතීන් වැස්ම මෙන් නොව මෙම කාබනික ඇතුරුම් ද්‍රව්‍ය හරහා අතිරේක වාසියක්ද සැලසෙන්නේය. මන්දයත් පළමු මාසය තුළදී සිදුකෙරෙන වල් මර්දන මෙහෙයුම අවසානයේදී  ඇතිරූ ද්‍රව්‍යයද දිරා එතැනටම පොහොරක් වන බැවිනි. පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතය අතින් රනිල ශාකයක් වන ග්ලිරිසීඩියා හි පත්‍ර ඉදිරියෙන්ම සිටින නිසා වැඩි අස්වැන්නක් ලබාදීමට එයද හේතුවූවා විය හැකිය. එහෙත් එය වෙනම පර්යේෂණයකින් සනාථ කලයුත්තක් බැවින් ස්ථිර ප්‍රකාශයක් කිරීම අප පසුවට තබමු.

බෝගය සිටවූවායින් පසුව ඉහළට එසවෙන වල්පැළ මැඬලීමට එලෙස ක්‍රමෝපායයන් සැලසුම් කලද, මූලික බිම් සැකසීමේදී පවා ගොවියා අතින් සිදුවෙන අඩුපාඩුකම් කීපයක් පෙන්වාදීමට අනුරුද්ධිකා මහත්මිය ඉදිරිපත් වූවාය.

ඇත්ත වශයෙන්ම එම මූලික පියවරයන් නිවැරදිව අනුගමනය කෙරුවානම්, බෝගය සිටුවා පළමු මාසය තුළ වුවත් මෙතරම් දඟලන්නට වෙන්නේ නැත. භූමියේ ආරම්භක වල්පැළ සංචිතය අවම අගයකට පත්කර ගැනීමට ගොවියා පියවර ගතයුතු බව ඇය පවසයි.

“අපේ ගොවීන් කරන ලොකු වැරද්දක් තමයි යම් බෝගයක අස්වැන්න කන්නය අවසානයේදී ලබාගත්තායින් පස්සේ, කුඹුරේ ඉපනැල්ල අතහැර දානවා වගේ බෝග අවශේෂ කොටසුත් එක්ක ගොවිපොළ අතහරිනවා. ඊළඟ කන්නය පටන් ගන්න තෙක් එතන බරපතළ විදියට තණකොළ හැදෙනවා. මේ කරන්නේ වුවමනාවෙන්ම වල්පැළ බෝකර ගැනීමක්. සමහර වල් ගස් බීජ පවා නිපදවලා පසට දානවා. මේ හැම එකෙන්ම වෙන්නේ පසේ වල්පැල සංචිතය ඉහළ යාම. එළවළු ගොවියා අන්තිම මොහොත වෙනතුරු ඉන්නවා ඊළඟ කන්නයේ වැඩ පටන්ගන්න. එයා අද දවසේ සී සෑම කරනවා. හෙට කැට පොඩිකරනවා. අනිද්දා පාත්ති දාල හිටවනවා. සී සෑමේදී අර තිබෙන වල් ගස් සේරෝම කෑලි වලට කැඩෙනවා. ඒ හැම එකකින්ම අලුත් පැලයක් හදන්න පුළුවන්.”

අපේ එළවලු ගොවියා වෙනුවෙන් කතාවේ ඉතුරු ටික ඇසුවේ නැතත් කම් නැත. අමුඩය ගසාගෙන ඇත්තේ කඩුල්ලේ හරස් ලීයත් අහුවෙන පරිද්දෙනි. ගැලවීමක් නම් නැත. පුදුමය වන්නේ මෙතරම් කාර්යක්ෂම ඉල්ලාගෙන කෑමක් හමුවේ වගාව නන්නත්තාර වී නොයාමයි.

අත දිගහැර සතුරාට බෝවෙන්නට ඉඩදී, සියලු අවි අමෝරාගෙන ඔහු වෙත කඩා පනින්නා සේ අප රසායනික වල්නාශක ප්‍රහාරයකින් කටයුතු සමනය කරන්නෙමු. පරිසරය වනසන්නෙමු. කෘෂිකර්මාන්තය ඇරඹුණු දා පටන්ම කාලය, ශ්‍රමය හා මුදල් වැඩිපුරම වියදම් කර ඇත්තේ අනෙක් ගොවිතැන් මෙහෙයුම් වලට සාපේක්ෂව වල් මර්දනයට බව සැබෑවකි.

එළවලු පාත්තියේ වල් මර්දනයේ තීරණාත්මක කාලය කුමක්දැයි සොයන්නට මෑතකදී මෙවැනි පර්යේෂණ කෙරුවත්, කෘෂි විද්වතුන් ගොඩ බෝග වගාවක වල් මර්දනයේ පියවර ගැන කතාකිරීම අරඹා ඇත්තේ නම් අද ඊයේ නොවේ. කුමන හෝ බාධකයක් නිසා මේ උපදෙස් එක්කෝ ගොවියා වෙතට සන්නිවේදනය වන්නේ නැත. නැතහොත් ලැබෙන උපදෙස් ගොවියා ගණන් ගන්නේ නැත.

“වගාවේ අස්වැන්න ගත් වහාම භූමිය අතහරින්න ඕනෑ පළමු සීසෑම කෙරුවට පසුවයි. එතනදී වල්පැල කොටසක් මැරෙනවා. ඊළඟ කන්නය පටන් ගනිත්දිත් හැකිතරම් වේලාසනින් පළමු පස පෙරලලා අව්වට නිරාවරණය කරලා සතියක් පමණ තබන්න ඕනෑ. එතකොට තිබෙන වල්පැල යම් කොටසක් පැලවෙනවා. දැන් මීළඟ බිම් සැකසීමට කලින් රේක්කයක් වැනි උපකරණයකින් වැඩිපුර මුල් ඇදලා නැති එම වල්පැල ටික එකතුකරගන්න පුළුවන්. එසේ කලවිට අපිට සටන් කරන්න වෙන්නේ බෝගය සිටවූවාට පසු ඊළඟට පැලවෙන වල්පැල සමග පමණයි. එය පහසු සටනක්.” අනුරුද්ධිකා මහත්මිය තවදුරටත් අවධාරණය කරයි.

ගෙවතු වගාවක් වැනි කුඩා ප්‍රමාණයේ ගොවිතැනක් කරන්නෙකුට මෙම ක්‍රමවේදය සූර්යතාප වල් මර්දනය වැනි ක්‍රමයක් දක්වා වුවත් ඉදිරියට ගෙනයා හැකිවේ. එහිදී සිදුකරනුයේ පළමු පස පෙරලීමෙන් පසු විනිවිද පෙනෙනා පොලිතීන් කඩකින් භූමිය දින කීපයකට වසා දැමීමයි. පොලිතීනය හරහා පසට වැටෙන හිරුරැස් මගින් මතුපිට පස රත්වෙන අතර, තාපය පිටවීමක් සිදු නොවන නිසා මතුපිට ආශ්‍රිතව තිබෙන වල්පැල සියල්ල මැරී යන්නේය. එය ගෙවතු වගාකරුට සහනයකි.

රසායන ද්‍රව්‍යයන්ගෙන් තොර ආහාර බෝග නිපදවීමේ උනන්දුවකින් පෙලෙනා ලෝකවාසීන් පරිසර හිතකාමී වල් මර්දන ක්‍රමවේදයන්ට අපට වඩා නැඹුරු වී ඇති තත්වයක්ද පෙනෙන්නට තිබේ. ඒ උදෙසා තැනූ මෙවෙලම්ද ගණනාවකි. එක විස්තරයක මා දුටුවේ වල්පැල වැඩුනු පසු එහි පත්‍ර හා ස්පර්ශ කර උණුසුම් වායු ධාරාවක් මුදාහැරිය හැකි තණකොළ කපන යන්ත්‍රයක් වැනි උපකරණයකි.

වල්පැල මතට අනපේක්ෂිතව පතිතවෙන අධික උණුසුම හමුවේ ක්ෂණිකව ප්‍රසාරණය වන සෛලගත අභ්‍යන්තර ජලය නිසා සෛල බිත්ති බිඳීගොස් පටක ව්‍යුහයම කඩා වැටී ශාකය මියයයි. ශාකය පිළිස්සිය හැකි කුඩා ගිනි දැල්ලක් නිපදවන උපකරණය එවැනිම තවත් එකකි.

තණකොළ මතට නාභිගතකළ උත්තල කාච පෙළක් සවිකල වල් මර්දන උපකරණයක්ද මා පසුගිය දිනෙක අන්තර් ජාලයෙන් දුටුවෙමි. ට්‍රැක්ටරයකට සවිකළ උපකරණය හොඳට අව්ව පායා ඇති දිනෙක වගාබිම මත සෙමෙන් රැගෙන යාමෙන් ලපටි තණකොළ මරන්නේ කාච හරහා තණකොළ මතට නාභිගතවෙන දැඩි හිරු කිරණ මගිනි.

වල්පැල මරන්නට සුදුසු රසායන ද්‍රව්‍ය නිපදවා සොබාදහම පරදවන්නට සිතා ඉදිරියට පැමිණි මිනිසා, ප්‍රතිරෝධී වල්පැල ප්‍රභේද බිහිවීම නමැති ප්‍රතිප්‍රහාරය හමුවේ සටනින් පසුබැස්සේය. ඒ අතර වාරයේ කෘතිම විෂ රසායනයන් පරිසරයට මුදාහැරීමේ ආදීනවද තේරුම් ගත්තේය. අවසානයේදී ඔහු ලංවී ඇත්තේ මෙවලම් හරහා වල් මර්දනය කිරීමේ ආදී මානවයාගේ ක්‍රමවේදයන් වෙතටමය. වෙනසකට ඇත්තේ එදා මිනිසා අත තිබුණු කැත්ත උදැල්ල වෙනුවට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් මෙවලම් ඔහු අත තිබීමයි.

සොබාදහමේ මූලධර්මයන් වෙතට එසේ ලංවූ ඔහු, එයින්ද සෑහීමකට පත්නොවී කාබනික කෘෂිකර්මයේ හැඩරුව ගැනද මේ දිනවලදී වැඩි වැඩියෙන් කතා කරමින් සිටී. ලෝකයම ආපසු යනවා නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඒ යන්නේ සොබාදහමේ ආචාරධර්ම වෙතට නිසා සිදුවන්නේ සුගතියක්මය. අපේ ඇත්තන්ට නම්  කොහොමත් කරුණු අවබෝධ වන්නේ ටිකක් කල්වේලා ගොසිනි. පරිසර මිත්‍රශීලී මෙවන් කරුණු කාරනා දෝරෙ ගලද්දී තවමත් හොර පාරෙන් ග්ලයිෆොසෙට් ගොඩබාන්නේ ඒ නිසාය.

සනත් එම්. බණ්ඩාර

RSL

Related Posts