දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරු තොගයක් පාර දෙපැත්තෙන්ම අපට හමුවේ.
අන්නාසි, අඹ, අලිපේර, දූරියන්, රඹුටන්, පේර වැනි වාණිජ දේශීය පලතුරුද, නෙල්ලි, ගඩුගුඩා, ගල් සියඹලා වැනි කැලයෙන් කඩාගෙන එන පලතුරුද පමණක් නොව ආනයනය කල ඇපල්, මිදි, පෙයාර්ස් වැනි දේද මේ අතර තිබේ.
පොල්ගෙඩි අකුරෙන් ‘රහංගල පෙයාස්’ යනුවෙන් ලියූ පුවරුවක් පසුගිය දිනෙක මා නෙත ගැටුණු අතර ඊට යාර පනහක් පමණ ඔබ්බෙන් වූයේ පාර අයිනේ ඇටවූ තාවකාලික රාක්කයක් මත පිළිවෙලට තැබූ දේශීය පෙයාර්ස් තොගයකි.
2018 වසර තුලදී පමණක් රුපියල් මිලියන 4300 ක මුදලකට ඇපල් මෙට්‍රික් ටොන් 27,253 ක්ද, මිලියන 50 කට පෙයාර්ස් ටොන් 355 ක්ද මෙරටට ගෙනවිත් තිබේ.
ගස් යට වැටී කුණුවෙන සියඹලා තොග වියලි කලාපය පුරා තිබෙත්දී තායිලන්තයෙන් සියඹලාත් ආනයනය කරන රටකට, දේශීය පරිසරයේදී පහසුවෙන් වැවෙන්නේ නැති බෝගයක් වූ ඇපල් ගෙඩියක් පිටරටින් ගෙන්වාගෙන කෑමේ වරද කුමක්දැයි කෙනෙකුට ඇසිය හැකි වුවත්, මෙම කුඩා දිවයිනේ පවතින දේශගුණික පරාසයන් හමුවේ වැවිය නොහැකි පළතුරක් මෙහි නැතැයි යනුවෙන් සිතට නැගෙන හැඟීම නම් ආශ්වාදයකි.
දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන තව ටිකක් ඉදිරියට මෙහෙයවා, ඇපල් කෙසේ වෙතත් අපේම පෙයාර්ස් වගාවකින් පොහොසත් වන්නටද උත්සාහ ගන්නේ නම් එය කාලයේ තාලයට ගැලපෙන ව්‍යායාමයක්ද වන්නේය.
පෙයාර්ස් වගාව ලංකාවට පැමිණෙන්නේ තේ වගාවේ හඳුන්වාදීමත් සමගය. තේ වතු ආශ්‍රිතව සිටුවීමට බ්‍රිතාන්‍යයේ ඊස්ට් මේලින් උද්‍යාන බෝග හා කෘෂිකර්ම පර්යේෂණායතනයේ සිට පෙයාර්ස් ප්‍රභේදයන් රාශියක් එකලදී මෙහි ගෙනැවිත්, රහංගල තිබූ පර්යේෂනායතනයේදී යෝග්‍යතාවය පරීක්‍ෂා කර තිබේ. ඉන් තෝරාගත් පැරණිම ප්‍රභේදය අද වුවත් හඳුන්වන්නේ ‘රාගල’ ප්‍රභේදය ලෙසයි.
මුලදී නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා හොඳින් ව්‍යාප්තව තිබූ පෙයාර්ස් වගාව පසුබෑමකට ලක්වන්නේ 1978 නොවැම්බරයේදී ලංකාව හරහා හමාගිය සුළිසුළඟ නිසා ඉහල භූමියන්හි තිබූ ගස් බොහොමයක් විනාශ වී යාම හේතුවෙනි. මෙයටම සමපාතව වෙන්චූරියා (Venturia) නම් දිලීරය හරහා ගෙඩියේ ගඩු හටගැනීමේ රෝගයක්ද ඇතිවුණි.
කෙසේ වෙතත් පසුව තේරුම් ගියේ උසින් අඩි 5000 ක වැනි සීමාවේ මෙම දිලීරය හොඳින් පැතිරෙමින් වගාව විනාශ කලද, ඊට වඩා තරමක් පහළ, එතරම් ශීත නැති පරිසරයන්හි දිලීරයේ හානිය අවම වන බවයි.
අදටත් රහංගල, බොරලන්ද, ඔහිය, කැප්පෙටිපොල වැනි පලාත්වල පෙයාර්ස් වගාවත් සමග වෙන්චූරියා රෝගය තිබුණත් දිලීර නාශක යොදමින් පාලනය කලයුතු තත්වයට අවදානමක් නොපවතී. මේ නිසා එම භූමි ප්‍රදේශය තුල පෙයාර්ස් වගාව ව්‍යාප්ත කිරීමේ හැකියාව, සරලව නොසලකා හැරිය යුතු නොවේ.
“පෙයාර්ස් වගාවට සුදුසුම ප්‍රදේශය තමයි මුහුදු මට්ටමෙන් අඩි 4000 – 5500 දක්වා උස්වූ ප්‍රදේශය. මේ ප්‍රදේශය දැනට තේ වගාවෙන් විස්ථාපනය වෙලයි තියෙන්නේ. හැබැයි සමහර තේ වතු තිබෙනවා කල් ගිය නිසරු ඒවා. නිසි නඩත්තුවක් නැතිව ඔහේ තියෙනවා. මේවායේ තව දුරටත් තේ වවන්නේ නැත්නම් හොඳ විකල්ප වගාවක් තමයි පෙයාර්ස්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කල පැරණි ප්‍රභේදය ‘රහංගල වරණය’ වගේම 2019 දී ‘රහංගල ග්‍රීන්’ කියන ප්‍රභේදයත් නිර්දේශ කෙරුවා. රහංගල පර්යේෂනායතනයේත්, ගොවිපොලෙත් මේවයේ පැල හදනවා. කාට හරි ලොකු වගාවකට සැලසුමක් තිබෙනවානම් ඇනවුම් කරලා තමයි පැල සාදවා ගන්න වෙන්නේ. එවන් තොග ඇනවුමක් ලැබුනොත් එය ඉටු කරදෙන්න වසර එක හමාරක්වත් ඕනෑ වෙනවා.”
එසේ අදහස් දැක්වූයේ කලකට ඉහතදී දේශීය පෙයාර්ස් වගාව ප්‍රවර්ධනය උදෙසා වෙහෙසී වැඩකළ කෘෂි විද්‍යාඥයෙක් වන බන්දුල හේමචන්ද්‍ර මහතායි.
බණ්ඩාරවෙල, කහගොල්ලේ කෘෂිකර්ම පර්යේෂණායතනයේ ප්‍රධානියා ලෙස සේවය කර දැනට විශ්‍රාමිකව සිටිනා ඔහුගේ මතකයට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කලකට ඉහතදී පෙයාර්ස් පැල නිෂ්පාදනය සඳහා පුද්ගලික තවාන්කරුවන්වද උනන්දු කර තිබේ. එහෙත් පෙයාර්ස් වැවීමේ උනන්දුව මහජනතාව තුලට කා වැදී තිබී නැත. තවාන්කරුවන් තමා සෑදූ පෙයාර්ස් පැල ටික අලෙවිකරගත නොහැකිව ලතැවෙමින් සිට කර්තව්‍යය අතහැර දමා තිබේ.
මහා පරිමාණයේ වගාවකට නොයන අයෙකුට තම ගෙවත්තේ පෙයාර්ස් පැළ 5 ක් සිටුවා ගැනීමේ කිසිදු අපහසුතාවයක් අප නොදකිමු. එය හොඳ අතිරේක ආදායම් මාර්ගයක් වෙන බවට සැකයක්ද නැත. කෙටි දැනුම්දීමකින් පසු පැළ කීපයක් ඉහත දැක්වූ ආයතනයන් වෙතින් ලබාගැනීමේ පහසුකමද තිබේ.
ආනයනික ඇපල් හා පෙයාර්ස් කෑමට ජනතාව තුළ ඇති ආසාව දේශීය නිෂ්පාදනයන් හරහා මුළුමනින්ම සංසිඳවීමට නම්, නිසරු තේ වගා කීපයක් පෙයාර්ස් වතු බවට පත්කළ යුතු වුවත්, ගෙවතු වගාවක් ලෙස රහංගල පෙයාර්ස් ප්‍රචලිත කිරීමෙන් උදාවෙන්නේ නැවුම් රට පලතුරක රස බලන්නට හැකි මහඟු අවස්ථාවකි. මාස කීපයකට පෙර අස්වැන්න නෙලා, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආලේප කර, ශීත ගබඩාවල තැන්පත්ව අප වෙත එන ‘රට පෙයාර්ස්’ සමග දේශීය බෝගයේ රස ගුණ විමසන්නට ජනතාවට හැකිවන්නේ එවිටය. වෙනස තේරෙන්නේද එවිටය.
සටහන – සනත් එම්. බණ්ඩාර