ජනතා අභිලාෂයන් ඉටුකරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු

Spread the love

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

මෙරට මුල් බැසගත් දේශපාලන රාජාවලියේ වෙනසක් හා පරිවර්තනයක් දැකීමට ශ්‍රී  ලාංකිකයෝ කලක සිට බලා සිටිය හ. ඒ උදෙසා අවස්ථා කිහිපයකදීම තරුණ ප්‍රජාව ගත් උත්සාහයන් අතිබිහිසුණු ලෙස මර්දනයට පත් කළ බව නොරහසකි. එය කෙතරම් භයංකාරවී ද යත් එවැනි එක් අවස්ථාවක මම රැකියාවට ගොස් සිටියෙමි. එදවස මා වෙත සෝවියට් සමූහාණ්ඩුවේ මෙරට තානාපති කාර්යාලය හරහා ‘සමාජවාදී න්‍යාය හා ව්‍යවහාරය සඟරාව’ අඛණ්ඩව ලැබුණි. මා සතුව පැවති එම සඟරා ගොන්න මගේ අම්මා විසින් ගිනිතබා විනාශකර තිබුණි. ඈ පැවසුවේ, ‘පරිස්සම් වෙලා හිටපන්’ යන්නයි.

දේශපාලන නරුමයින් විසින්ම ජනිත කළ ගෝනි බිල්ලන්ගෙන් සමාජය වෙලා ගැනීමට වැඩිකල් නොගියේ ය. තවත් දිනක මරණ ලැයිස්තුවේ පළමු තැනට සිටි ඒ වනවිටත් තන්ගුස් කඹයකින් වදකාගාරයේ එල්ලා සිටි මගේ බාල සහෝදරයාගේ පෙර පිණකට වදකයා විසින් ඔහුව නිදහස්කර තිබුණි. මා සේවයට ආ ගිය මග ටයර් සෑයේ වේදනාවෙන් දැවී ගියේ මගේම සමවයසේ සහෝදරයින් පිරිසකි. කෙළෙස අර්ථනිරූපනය කෙරුවද සිරිමාවෝගේ කාලයේ මෙන්ම ප්‍රේමදාස යුගයේදී ද ඝාතනයට ලක් වූයේ මෙරට තරුණ පරපුරය.

දේශපාලන අවශ්‍යතාමත හසුරවන එවැනි මර්දනකාරී තුවක්කු සංස්කෘතියක් හමුවේ ජනහිතකාමී දේශපාලන ව්‍යාපාරයකට හෝ විප්ලවවාදියෙකුට සැබෑ මුහුණුවරින් පෙනි සිටිය නොහැකිය. එමෙන්ම පාවාදීම් ඔස්සේ සිදුවන අමානුෂික ඝාතන ඔස්සේ එවැනි විප්ලවිය දැක්මක් පරාජයට පත් කළ නොහැකි බව ඔවුන් වටහා ගත්තේද නැත. වඩාත් පැහැදිලිව පවසන්නේනම් එක් එක් පුද්ගලයා දෙවියන් දකින්නේ තමාගේ දෘෂ්ඨි විතානය මත ගොඩනැගෙන ප්‍රතිරූපය අනුව ය. එය ආස්වාදය කිරීම ඒ ඒ පුද්ගලයාගේ බුද්ධිය මත සිදුවන්නකි. එහෙත් ඒ සෑම කෙනෙකුගේම පැතුම දෙවියන් දැකීම ය. පුරවැසියන් ලෙස ලාංකිකයින් සැවොම අද උදාකරගෙන ඇත්තේ එවැනි පැතුමකි.

ඒ පැතුමේ ආශ්වාදය අප භුක්ති විඳිය යුත්තේ කෙසේද? යන්න ඔබ අප හමුවේ ඇති ගැටළුවකි. නිදහසින් පසු එදා මෙදා තුර ගොඩනැගුණ දේශපාලනික අධිමානසිකත්වය විසින්  රට තුල පැවති සංස්කෘතික හර පද්ධතියේ වටිනාකම් පසෙක ලා වාර්ගික හා ආගමික වශයෙන් ජනතාව බෙදා හදා ගත්තේ ය. ඒ සමඟින් රිසි සේ වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර අලවමින් බලය ආශ්වාදය කළ ඔවූහු ගොඩනැගූ ආර්ථික අර්බුද මධ්‍යයේ වෙනසක් පැතූ තරුණ ප්‍රජාව නොනිමි අරගලයක නිරත වූයේ දිවා කල ගැලූ දහඩිය මත රාත්‍රියේ හමා එන ලවණ මුසු සුළගින් විඩාව සන්තර්පනය කරමිනි. දෙවසරකට පෙර ඉස්මතු වූ ගොල්ෆේස් අරගලයේ මුල්කාලීන සංදර්භය තුල පැවති අව්‍යාජ වූ ඒ පැතුම බොඳකර හැරිමට කූප්‍රකට ඊනියා විප්ලවවාදීන් ගත් තැත පරාජය කරමින් ජනතා අභිලාෂයන් ‘ජාතික ජන බලවේගය’ දක්වා විතැන්වීමට පටන් ගැනුණි. ‘ජනතා විමුක්ති පෙරමුණ’ වෙතින් ව්‍යුත්පන්න වූ නව සංවිධාන විසින් ජනවිඥාණය තුලට යොමුකළ ආර්ථික පුනර්ජීවනය උදෙසා දූෂණය හා මහජනතාවට උරුම සම්පත් නාස්තිකාර ලෙස භුක්ති විඳීම නවතාලීමේ දැක්ම තහවුරු වූයේ,  මන්ත්‍රී  ආසන තුනේ සිට එකසිය පනස්නවය දක්වා ඉහල නංවමින් ‘ජාතික ජන බලවේගය’ වෙත ලබා දුන් අති විශේෂ බලයයි. එය කියුබානු, රුසියානු, චීන හෝ වියට්නාම් සංදර්භයක් නොව අප අතහැර ගිය අධිරාජ්‍යවාදීන් විසින් ම දායාද කළ ප්‍රජාතන්ත්‍රවාදය තුළින්ම ව්‍යුත්පන්න වූ ලාංකික හැඩතලයකි. එය ලෝකයටම පෙන්වාදුන් දර්ශනීය ගෝල පහරකි.

ඒ ඒ පාලන සමයේ දී ජාතිය ගොඩනගන්නන් ලෙස ඇතැමුන් විසින් හඳුන්වා දුන් ප්‍රභූ දේශපාලකයෝ අධිකාරීවාදය, ඥාති සංග්‍රහය සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව කෙළපැමිණියෝ වෙති. ඔවුන්ගේ සංස්කෘතිය විවේචනය කළ පාසල් , විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුවාගේ සිට පූජක පක්ෂය, කලාකරුවන්, ලේඛකයින්, වෛද්‍යවරුන්  හා නීතීඥවරුන් දක්වා අතුරුදහන් විය. එමෙන්ම එදා මෙදා තුර දේශපාලන කරලියේ අත්තනෝමතික ලෙස බලය ප්‍රදර්ශනය කළ පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකු අතර රාජ්‍ය  ව්‍යවසායයන් කුණු කොල්ලයට බෙදාහදා ගත් බව ද නොරහසකි. සහල් කූපනය, ඇට අට, ජනසවිය, සමුර්ද්ධිය හා අස්වැසුම වැනි ඊනියා සමාජ සංරක්ෂණ තුලින් සිය පාක්ෂිකයින් අතරම දුගී දුප්පත්බව ප්‍රවර්ධනය කිරීම හැර මහජනතාවට සිදුවූ යහපතක් නොමැති විය. ඔවුන්ගේ බල පරාක්‍රමය කෙතරම් වර්ධනය වූයේද යත් ඇතැම් අමාත්‍යාංශ හා ආයතන ඔස්සේ සිදුකළ වංචා හා දූෂණ වලට පරිබාහිරව බැංකු ණය ගෙවීම් මගහැරීම, විදුලිය හා දුරකථන බිල්පත් ගෙවීම පැහැර හැරීම්, ස්වකිය ව්‍යාපාර මත වු බදු ගෙවීම පැහැර හැරීම මෙන්ම රේගු අණපනත් උල්ලංඝනය කරමින් රථවාහන ආනයනය ඔස්සේ සමස්ත රාජ්‍ය තන්ත්‍රයම පරිහානියට තල්ලු කළ ආකාරය නුදුටු පාසල් දරුවකු පවා නොමැති තරම් ය. ඒ කාලකණ්ණි සමාජ ව්‍යුහය මහජනතාව වෙත කාන්දු වූයේ, තම නිවාස සැළසුම අනුමතකර ගැනීමට, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට, දරුවෙකු පාසලකට ඇතුලත්කර ගැනීමට, විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමට, හෝ වළං තැනීමට පස් ටිකක් කපා ගැනීමට මෙන්ම බස් රථයකට මගී බලපත්‍රයක් ගැනීමට, අල්ලසක් හෝ ශාරීරික අල්ලසක් ඉල්ලා සිටින නිළධාරීන් ගැවසි සමාජයක් නිර්මාණය කිරීමෙනි. මෙම බැරෑරුම් තත්වය ජනතාව අවබෝධකර ගත්තේ ‘ජාතික ජන බලවේගය’ හරහා ය. එම තත්වයේ බැරූරුම්කම කෙතෙක්දයත් විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම ඇතැම් අවස්ථා වලදී අධිකරණය කෙරෙහි මෙන්ම ඉන් ඔබ්බට පොලීසිය කෙරෙහිද ජනතා විශ්වාශය පළුදු විය.

එවැනි පසු බිමක් තුළ දැඩි මාක්ස්වාදී ස්ථාවරයෙන් යම්තරමකට හෝ විතැන්ව තත්කාලීන වාමාංශික ව්‍යපාරයක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජිය සංවර්ධනය ඉහළ නැංවීම කෙරෙහි ‘ජාතික ජනබලවේගය’ ඉස්මතුකළ නව දැක්ම කෙරෙහි  ජනතාව බලාපොරොත්තු තැබුවේ පසුගිය සැප්තැම්බර් මස 21 දිනයි. බොහෝ දෙනෙකුට, වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පුදුමයට කරුණක් වූයේ නැත. මක්නිසාදයත් දශක ගනනාවක සිට පැවති අල්ලස, දූෂණය, වංචාව, හා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව කලකිරුණු ලාංකික ප්‍රජාව පිරිසිදු දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ‘ජාතික ජන බලවේගයේ’ දැක්ම වැළඳ ගත්තේ එක මිටට ය. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ මුල් බැසගත් ප්‍රභූ දේශපාලනයට අභියෝග කළ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස ‘අනුර කුමාර දිසානායක’ නම් ගැමි  චරිතය ඉස්මතු විය. ස්වකීය පංතියේ සුඛ විහරණයම අපේක්ෂා කළ අරාජික දේශපාලන පැලැන්තිය එදින පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය හමුවේ තැති ගත් හ.

සමස්ත ලාංකික ජාතියම ගිලගත් අර්බුද හමුවේ පීඩාවට පත් වූ ජනතාවට ආමන්ත්‍රණය කරමින් වේදිකාව මත ප්‍රකාශිත දූෂණ විරෝධී සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටුකර ගැනීම උදෙසා මෙම ජයග්‍රහණය සාධනීය බලපෑමක් උදාකර දී ඇත. ඒ උදෙසා ‘ජාතික ජන බලවේගයේ’ අභිලාෂකාමී ප්‍රතිපත්ති සහිත න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට සහ මහජන අවශ්‍යතා වඩාත් පිළිබිඹු කරනු වස් සුපිරිසිදු පාර්ලිමේන්තුවක අවශ්‍යතාව වෙනුවෙන් ලාංකික ජනතාව නොවැම්බර් මස 14 දින තීරණාත්මක කතිරය ඔස්සේ තම සහාය අවිහිංසාවාදීව පළ කළේ ය.

එයින් ගම්‍ය වන්නේ කුමක්ද? මෙරට දේශපාලන භූ දර්ශනයේ සම්ප්‍රදායික දේශපාලන නායකයින් මෙතෙක් ඔසවාගෙන පැමිණි සිංහල, දෙමළ හා මුස්ලිම් වාර්ගික බේදය මෙන්ම බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමික බේදය අභියෝගයට ලක්කරමින් උතුරු හා නැගෙනහිර පළාත් හි බහුතරයක් ජනතාව ‘ජාතික ජන බලවේගය’ කෙරෙහි විශ්වාසය තබා තිබේ. එමගින් පිළිබිඹු වන්නේ කුමන ආකාරයක හෝ වාර්ගික සීමාවෙන් ඔබ්බට ගිය ආර්ථික හා ප්‍රාදේශීය සංවර්ධනයක් සමග සමාජීය සංහිඳියාවක පුළුල් අවශ්‍යතාවයක් පොදු ජනතාව අපේක්ෂාවෙන් සිටි බවකි.  එමෙන්ම ප්‍රභූ පංතිය විසින් ගොඩනගා තිබූ ගැඹුරු වාර්ගික බෙදීම ප්‍රතික්ෂේප කිරීමට තරුණ පුරවැසියන් ගත් වෑයමට වැඩිහිටි පුරවැසියන් ද දායකවී ඇති ආකාරය ද මෙම මැතිවරණ ප්‍රතිඵල වලින් තවදුරටත් පැහැදිළි වුණි.

කෙසේ වෙතත්, ආර්ථික සංවර්ධනය උදෙසා යැයි පවසමින් ණය වශයෙන් ලබාගත් විදෙස් ධනය සාපරාධී ලෙස භුක්තිවිදීම මත ලංකා මාතාව වේදනාකාරී මූල්‍ය අර්බුදයකට තල්ලුකළ මෙතෙක් බලයේ සිටි නිල් හා කොළ පක්ෂ නායක නායිකාවන් මෙන්ම ඒවාට දෑත් ශක්තිමත් කළ සෑම තරාතිරකම දේශපාලඥයින් පරාජය කිරීම තුළින් පමණක් ජනතාව සතුටුටට පත්වනු ඇතැයි නව රජය වටහා නොගත යුතුවේ. ඒ සමගම විශේෂයෙන්ම ආදායම් බදු අඩු කිරීමට සහ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විකුණුම් බදු කපා හැරීමට අවශ්‍ය අරමුදල් ප්‍රතිපූරණය උදෙසා කාලකණ්ණි දේශපාලඥයින් විසින් අටවාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ගැටළුව සෙමෙන් ලිහා ගත යුතුව තිබේ. එමෙන්ම බැඳුම්කර හිමියන්ගේ ගිවිසුම් වටා ඇති දේශපාලන සහයෝගය මුළුමනින්ම නිශේධනය කිරීමට ද අපි යොමුවිය යුත්තෙමු.

නව රාජ්‍ය නායකත්වය දිනාගත් ප්‍රතිඵල නුදුරු අනාගතයේ දී කලාපීය වශයෙන් ප්‍රතිරාව නංවනු ඇත. ඒ උදෙසා යළි ගොඩනැගෙන විදේශ ප්‍රතිපත්තිය හේතුකාරක වනු ඇත. එය සාමාන්‍යයෙන් ඉන්දියාව හෝ චීනය ඉස්මතුකරවන හෝ අන් කවර රාජ්‍යයකට සුවිශේෂීත්වයක් උදානොකරන එහෙත් ඈත පෙරදිග ඕස්ට්‍රේලියාවේ සිට කැනඩාව දක්වා සෑම රටකට ම අදාළවන පොදු උපාය මාර්ගික ප්‍රතිපත්තියක් මතවීම  ජනතා අභිලාෂය මුදුන්පත්වීමකි. විශේෂයෙන් එය ඉන්දියාව සහ චීනය සමඟ පවතින සබඳතා සමතුලිත කිරීමට ගන්නා උත්සාහයක් විය යුතුය. මෙරට ජනතාව අපේක්ෂාකරන දේශපාලන පරිවර්තනයේ තීරණාත්මක පසුබිමක් මධ්‍යයේ වුවද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම සහ තිරසාර ආයෝජන කෙරෙහි නව රජය අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කල හැකිවේ. ඒ උදෙසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වාර්ගිකත්වයෙන් බැහැරව සක්‍රීය ලෙස සහයෝගය ලබාදීම කාලීන අවශ්‍යතාවයකි. මක්නිසාදයත් රාජ්‍යයන් අතර ද්විපාර්ශ්වික සබඳතාවල විශ්වසනීයත්වය කෙරෙහි වාර්ගික ගැටළු සමනය කරගැනීමේ ක්‍රියාදාමය සාධකයක් වන බැවිනි. ඒ ඔස්සේ නව විදෙස් ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමට විශාල විභවයක් උදා කෙරෙනු ඇත. ‘ජාතික ජන බලවේගයේ’ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශය, මෙරට සංවර්ධනය කෙරෙහි තීරණාත්මක සාධකයකි. මක්නිසාදයත් නව සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා අභ්‍යන්තර ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා ජාත්‍යන්තර හවුල්කාරිත්වය ඉතා වැදගත් වන බැවිනි.

වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහයෝගය ප්‍රකාශ වුණි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සිය සුබ පැතුම් පිරිනැමූ ප්‍රධාන ලෝක නායකයින් අතර විය. එය සාමාන්‍ය රාජතාන්ත්‍රික සංසිද්ධි දාමයකි. එහෙත් ඔවුන්ගේ දෘෂ්ඨිය අප කියවිය යුත්තේ ඉතා ගැඹුරෙනි. මක්නිසාදයත් උපායමාර්ගික වැදගත්කමක් උසුලන කලාපයක් වන ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ඔවුන් අපේක්ෂා කිරීමයි. එහෙත් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා ඔවුන් කෙතරම් ප්‍රමාණයක දායකත්වයක් දරන්නේද යන්න රඳා පවතින්නේ අප ගොඩනඟන  විදේශ ප්‍රතිපත්තිය හා මෙරට ආයෝජන උදෙසා ස්වකීය ජාතිකත්වය  වෙත උදාකර දෙන ඉඩප්‍රස්ථා මතබව අප අමතක නොකළ යුතු ය.

කෙසේ වුවද අපගේ අනන්‍යතාවයට ගරුකරන අසල්වැසි පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය මෙන්ම චීනය ද  දුරාතීතයේ සිටම සුමිතුරු රාජ්‍යයෝ වෙති. ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට සහ වෙළදාම ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දෙන ඉන්දියාව තම “අසල්වැසියා ප්‍රථම” ප්‍රතිපත්තියේ සහ දැක්ම තුළ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම අති විශාල ආර්ථික ප්‍රසාරණයක් හමුවේ චීනය තම “එක් තීරයක්-එක් මාවතක්”  දැක්ම ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ ශුභවාදී ආකල්පයක් අපේක්ෂා කරයි. කලාපීය බලවතුන්ගේ මෙම ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික විභවය මත වූ තීරණාත්මක සාධකයකි. එහි නායකත්වයට ඉන්දියාව ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයත්, චීනය ඔස්සේ රුසියාවත් සිය දුරදක්නයන් යොමුකරවනු ඇත. මෙම තත්ත්වයන් සියල්ලම මෙරට ආර්ථික සංවර්ධනයේ ගති ලක්ෂණ හැසිරවීමෙහි ලා තීර්ණාත්මක  හා අවසාන නිර්ණායක කර නොගැනීමට අපි උත්සුක විය යුත්තෙමු.

විශේෂයෙන්ම භූ දේශපාලනික වශයෙන්, ඉන්දියන් සාගරය ඔස්සේ වන වැදගත් මුහුදු මාර්ග සම්බන්ධ කරමින් ගෝලීය සමුද්‍ර වෙළඳාමේ ප්‍රධාන කේද්‍රස්ථානය ශ්‍රී ලංකාව බව අවිවාදාත්මකය. ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය හා රුසියාව භූ දේශපාලනික අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන එහෙයිනි. එවැනි වටපිටාවක් යටතේ බහු ධ්‍රැවීය නම්‍යශීලී විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව රට හමුවේ පවතී. මෙහිදී සංහිදියාව අගයන කලාපීය ආරක්ෂාව මෙන්ම ආර්ථික සබඳතා ඇතුළු බහුවිධ කරුණු සම්බන්ධයෙන් සමානාත්මතාවයෙන් කටයුතු කරන රටක් ලෙසින් අසීරුවෙන් වුවද උපායශීලීව අප නැගී සිටිය යුතුවේ.

ඒ උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනටමත් අඩිතාලම දමා ඇති සැලැස්ම අතික්‍රමණය කළහැකි දේශීය නිෂ්පාදන සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අභිමුඛ අපනයන නිෂ්පාදන මෙන්ම බුද්ධිමය දැණුම අලෙවියට ඉඩකඩ විවරකරන ආර්ථිකයක් ව්‍යුහයක් බිහිකර ගැනීමට අපි යොමුවිය යුත්තෙමු. එමෙන් ම දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැගීම සඳහා ක්ෂණික අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් පෙන්වා දිය හැකිවේ. විශේෂයෙන්ම බල ශක්ති ක්ෂේත්‍රය උදෙසා සුළං හා සූර්ය බල ශක්ති ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම, පොසිල ඉන්ධන මත යැපීම වෙනුවට විද්‍යුත් රථවාහන වෙත විතැන්විම, උතුරු පළාත හා නැගෙනහිර පළාත සම්බන්ධ කරන අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැගීම ඒ කෙරෙහි වඩාත් සාධනීය ලක්ෂණ පිළිබිඹු කරනු ඇත.

මේ උදෙසා ජනාධිපතිවරයා ප්‍රමූඛ ‘ජාතික ජන බලවේගය’ ට අභියෝගය ඇත්තේ මෙම සබඳතා සමබර කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් උපාය මාර්ගික ප්‍රතිලාභ  අත්පත්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට කලාපීය සහ ගෝලීය බලවතුන් සමඟ සම්බන්ධ වන ආකාරයයි. එහෙයින්ම ඉදිරියේදී ගොඩනගන විදේශ ප්‍රතිපත්තියට දැඩි මධ්‍යස්ථභාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය වනු ඇත.  මේ උදෙසා ජාතික අවශ්‍යතාවලට හානියක් නොවන පරිදි අන්තර් කලාපීය සහයෝගීතාවයක් සඳහා නව රජයට ඉතා හොඳ දැක්මක් පවතින බව නම් පැහැදිලි වේ.

2024 සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලටම එරෙහිව ජනතා අභිලාෂයනට අමතරව වැඩි යමක් මෙරට ජනතාව ලෝකයාට පෙන්වා දී ඇත. එය නොවැම්බර් මස 14 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ජාතික ජන බලවේගය බලයට පත්වීම වැළැක්වීමට සම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා විදේශීය බලවේග ගත් සියලු යාන්ත්‍රණයන් අඩපණ කොට යටපත් කිරීමට ලාංකික පුරවැසියන්ගේ දේශපාලන විඥානය සූක්ෂම වි ඇත.

දේශපාලන ප්‍රභූන් සාමාන්‍යයෙන් බලය හා නායකත්වය නැතිවීම වළකාගැනීම සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කරයි. එයින් වඩාත් අපට සමීප වූයේ ව්‍යාජ ආඛ්‍යාන පතුරුවා හරිමින් නවකයෙකු ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ නායකත්වයට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වැළැක්වීම සඳහා සන්ධානගත වීමයි. මෙම උපක්‍රමය මෙරට දේශපාලන වේදිකා මත අඩුවැඩි වශයෙන් භාවිතා කරන ලදී. එහෙත් මෙම ප්‍රචාර සමාජීය හා දේශපාලනික වශයෙන් ‘ජාතික ජන බලවේගය’ ප්‍රජාව වෙතින් වෙන්කර දැමීමට තරම් ශක්තිමත් නොවුණි. මක්නිසාදයත් ප්‍රතිපත්තිගරුක දේශපාලන දැක්ම හා  දූෂණ විරෝධී ව්‍යාපාරය ජනවිඥානය උත්තේජනය කරමින් තේ දළු නෙළන කාන්තාවගේ සිට අගවිනිසුරු ධුරය දක්වාම පැතිරයාමට සමත්විය. ඒ අතර පළාත් පාලන මැතිවරණය නැවත නැවතත් කල්දැමීම සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සහ බලවත් මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස නැගී සිටීමට අනුර කුමාර දිසානායක වෙත කාලය ලබා දුන්නේ ය.

එමෙන්ම ‘ජනතා විමුක්ති පෙරමුණේ’ විප්ලවවාදී කැරලිකාර මාවතෙන් බැහැරව ජනතාවගේ සාමුහික දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් ‘ජාතික ජන බලවේගය’ ලෙස  දේශීය හා ගෝලීය හැඩගැසීම් වලට අනුවර්තනය වෙමින්  ලාංකික දේශපාලන භූමියේ විසල් වෘක්ෂයක් බවට පත්වීමයි. වඩාත් පැහැදිළි ප්‍රවේශයක් අනුගමනය කිරීම හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිංහල නොවන ජන කණ්ඩායම් තුළ පවතින ගැඹුරු අවිශ්වාසය ජය ගැනීමට ‘ජාතික ජන බලවේගය’ට හැකිවීම ශ්‍රී ලාංකිකයින් ලැබූ ජයග්‍රහණයකි. ඒ ඔස්සේ විදේශීය කුමණ්ත්‍රණකරුවන්ගේ හා ඔවුන්ගේ දේශීය නියෝජිතයින්ගේ කූප්‍රකට උත්සාහයන් සහමුලින්ම ව්‍යර්ථ වී තිබේ. එසේ වුවද ලබාගත් පුළුල් සහයෝගය වාර්ගික සහ ආගමික සහයෝගීතාවය නොබිඳෙන ලෙස රැකගැනීමට ජනතාව තවදුරටත් පෙළගැස්සවීම උදෙසා රජය ප්‍රතිපත්මය සංකල්ප මත පිහිටා කටයුතු කළයුතු වේ.

එපමණකින් නොනැවතී බිඳවැටෙමින් පවතින ආර්ථික ප්‍රකෘතිමත් කිරිමට අවැසි ජාත්‍යන්තර සහාය දිනාගැනීමට විදෙස් දූත මණ්ඩල සේවයේ නිරතවන්නන්ගේ ආකෘතිය හා ආකල්ප වෙනස් කිරීමට, රාජ්‍ය ව්‍යාවසායයන් තුළ පවතින මගඩි මුලිනුපුටා දැමීමට මෙන්ම මහජනතාව ප්‍රසාදයට ලක්කරන රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ බරපතල වගවීමක් රටේ නව ජනාධිපතිවරයා ඉදිරියේ පවතිනු ඇත. එහිදී ගමේ මංසන්ධියේ සිට ගුවන් තොටුපල පර්යන්තය දක්වා සෑම අස්සක් මුල්ලක් නෑරම පිරිහී ගොස් ඇති පුද්ගල විනය ගොඩනැගීම ප්‍රමූඛතම කාර්යභාරය වනු ඇත.  එලෙසම ජාතීන් අතර සංහිදියාව අරභයා පසමිතුරුකම් බැහැරකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ දේශපාලන කෝන්තර මත සිරගතව ඇති සෑම කෙනෙකු වෙතම සානුකම්පිත අවධානයක් යොමුකිරීමට උචිතම අවස්ථාව මෙය බවද පැවසිය හැකිවේ. මේ අරභයා 2024 නොවැම්බර් 14 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක් ඉක්මවා ගිය සුවිශේශී ජයග්‍රහණයක් ගත් ‘ජාතික ජන බලවේගය’ ට අවැසි නෛතික රාමු ගොඩනැගීමට ජනතාව දැන් ඉඩකඩ විවරකර දී තිබේ. ඒ අනුව මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දරිද්‍රතාවයට තල්ලුකර ඇති ආර්ථික අර්බුදයට ආමන්ත්‍රණය කරන, වාර්ගික සමගිය තහවුරු කරන තිරසාර සංවර්ධනය උදෙසා අඩිතාලම දැමීමට නොවැම්බර් මස 21 දින සිට ජනාධිපතිවරයාට අවස්ථාව උදාවනු ඇත.

කෙසේ වෙතත්, ආර්ථික පුනරුදය උදෙසා වූ ප්‍රචාරක පොරොන්දු මාස කිහිපයකින් ඉටු කිරීමට අපහසු බව අපි තේරුම්ගත යුත්තෙමු. එහෙත් දේශීය වශයෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ නොනැසී ශේෂව පවතින දූෂණය මැඩලීමට, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට හා සම්පත් භාවිතය කළමනාකරණය කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවන් දැන් විවරවි තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව වඩාත් සාධාරණ කිරීමට සහ දුප්පත්ම පුරවැසියන් මත බදු බර ලිහිල් කිරීම තුළින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහ ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගය ලාංකික ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න සමීපව විමසා බලමු. ඒ උදෙසා නව ජනාධිපතිවරයා ප්‍රමූඛ රජයට ශ්‍රී  ලාංකිකයින් සැවොම කාලය ලබා දිය යුතු නොවේද?

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Related Posts