ගතට සුවදෙන රසවතා – බතල

Spread the love

වෙනත් කෘෂිකාර්මික බෝග වලට සාපේක්ෂව බතල වගාව සඳහා යන වියදම අඩු බවද කිව යුතුවේ. බතල වැල් වේගයෙන් වැඩෙමින් පොලොව වසා ගන්නා බැවින් වල් මර්දනය ගොවියාට එතරම් හිසරදයක් වන්නේ නැත. බතල ගුල්ලා වැනි පළිබෝධකයෙකු හැරුණු විට වැඩිපුර රෝගකාරකයින්ගේ සම්බන්ධයක්ද බතල වගාව සමග නැත.

දකුණු කැරොලිනාවේ ප්‍රාථමික විද්‍යාලයක සිසුන් පිරිසක් විසින් පිහිටුවාගත් ‘හරිත කණ්ඩායම’ නමැති එකමුතුවක් මගින් පාසැල් වත්තේ ගෙවතු වගාවක් ආරම්භ කරන ලදී. එහි පාලිකාවක්වූ කැරොලයින් හෙන්ඩ්රික්ස් මහත්මිය එරට පුවත්පතකට 2017 වසරේදී ප්‍රකාශ කර තිබුනේ අදාළ සිසුන් පිරිස විසින් කිලෝග්‍රෑම් හයක් බර බතල අලයක් ගලවාගෙන ඇති බවයි. ඡායාරූපයක්ද පුවත්පතෙහි පළකර තිබුණි. එසේ වුවත් ලෝකයේ විශාලතම බතල අලය නිපදවා ඇත්තේ ගීනස් වාර්තා පොතට අනුව 2004 දී සපාඤ්ඤයේය. එහි බර කිලෝග්‍රෑම් 36ක් විය.

කංකුන් නමැති අපිට හොඳට හුරුපුරුදු පලා වර්ගයද අන්තර්ගතවෙන  ‘කොන්වොල්වුලේසේ‘ (Convolvulaceae) නමින් හැඳින්වෙන, බතල වලට අයත් ශාක කුලයේ ස්ථානගතවී ඇති බොහොමයක් ශාක විෂ සහිත ඒවා වේ. එවන් විස පිරි නෑයින් පිරිවරාගත් පවුලක උපන් බතල, වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 100 ක අස්වැන්නක් ඉක්මවා යන ලෝකයේ බෝග හතෙන් එකක් වීම නම් අසිරිමත් සිදුවීමකි.

පේරු රාජ්‍යයයේ ලීමා නම් අගනුවර පිහිටා තිබෙන ජාත්‍යන්තර අර්තාපල් මධ්‍යස්ථානය විසින් පල කරණ ලද ප්‍රකාශනයක බතල හඳුන්වාදී තිබුනේ ‘දුප්පතාගේ බෝගය’ හා ‘අනාථයින්ගේ බෝගය’ වැනි යෙදුම් වලින්ය.

භූගතව සිටිමින්, අපට උවමනා වෙලාවට ආහාරයක් වීමට ඇති සූදානම නිසා බතල අලයට මෙවන් අන්වර්ථයන් පටබැඳුනා විය හැකිය. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ සම්භවය ලැබී එහි මිනිසුන් අතර අදින් වසර 5000 කට පමණ ඉහතදී පවා ගැවසුණු බතල, මේ වනවිට නම් දුප්පතුන් හා අනාථයින් සනසනවාට අමතරව තවත් බොහෝ දුරක් ගමන්කර අවසන්ය.

ශත වර්ෂ ගණනාක් තිස්සේ ෆීජි, පැපුවා නිව්ගිනි, සොලමන් දූපත්, ටොන්ගා වැනි පැසිෆික් දූපත්වාසීන්ගේ ජනප්‍රිය ආහාරයක් ලෙස බතල පැවතීම පිළිබඳව ඇතැම් විද්වතුන් පුදුමය පළකරන බව පෙනේ. එයට ප්‍රධාන හේතුව වන්නේ තම ව්‍යාප්ති ඒකකය වශයෙන් ඇට හා ගෙඩි කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබා දඬු කැබලි වලින් පැතිරෙන බතල ශාකය, ලෝක ගෝලයේ එක් කෙළවරක පිහිටන තම නිජභූමි වල සිට, මෙවැනි හුදකලා දූපත් සොයාගෙන අනෙක් කෙලවරට පර්යටනය වූයේ කෙසේද යන්න පැහැදිලි කරගත නොහැකි වීමයි.

අද දවසේ ලෝකවාසීන්ගේ කුස පුරවන පිෂ්ඨ සපයන්නා වශයෙන් බතල දෙවෙනි වන්නේ සහල්, තිරිඟු, අර්තාපල්, බඩඉරිඟු හා මඤ්ඤොක්කා වලට පමණි.

අනෙක් බෝග වලට සාපේක්ෂව කෙටි කාලයකින් වැඩි ආහාර ප්‍රමාණයක් මිනිසාට ලබා දෙනවාට අමතරව බතල වගාවේ තවත් වාසි හා පහසුකම් රැසකි. දඬු මගින් හනිකට බෝවෙන නිසා බීජ මිලදී ගැනීමක් හෝ සොයා යාමක් නැත. වගා කන්නයක් ඇරඹෙන තුරු බලා සිටි යුතු වන්නේද නැත. මෙය වසර පුරාම වගා කල හැකිවේ. මාස දෙක හමාරක පමණ කාලයක සිට අවශ්‍ය වෙලාවක අස්වැන්න ගලවා ගැනීමේ හැකියාව මාස 9 ක් පමණ දක්වා කාලයකට දිගුවේ. එසේ නම් මෙය හිතූ හිතූ වෙලාවට ගොඩදමා ගත හැකි භූගත ආහාර සංචිතයකි.

ලාංකික අපටද දැන් මෙය අපේම දේශීය බෝගයක් මෙනි. මීට අඩ සියවසකටත් එපිටදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනලද ‘වාරියපොල වරණය’ නමැති ප්‍රභේදය අදටත් ජනප්‍රිය ප්‍රභේදයක් වේ. ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ දිගු කලෙක සිට එම වර්ගය දිවයින පුරා පැතිරී තිබීම විය හැකිය.

බතල යනු දඬු පැළ කිරීමෙන් ප්‍රචාරණය කෙරෙන බෝගයක් නිසාත්, මඤ්ඤොක්කා දඬු මෙන් මේවා කල්තබාගත නොහැකි නිසාත්, වගාවක් අවසානයේදී වහ වහා යලි පැලකිරීමට ගොවියා අසමත් වුවහොත් ඊළඟ කන්නයේදී එම ප්‍රදේශය රෝපණ ද්‍රව්‍ය හිඟයකට මුහුණ දීම ස්වභාවිකය.

පුළුල් පැතිරීමක් ඇති නිසාම, ‘වාරියපොළ වරණය’ විසින් රටේ කුමන පලාතක හෝ ඇතිවිය හැකි මෙවන් රික්තකයන් පහසුවෙන් පුරවා දමනවාට අමතරව, ඒ හරහාම දිවයින පුරා ඇති තම නියෝජනය යලි යලිත් තහවුරු කරගන්නා බවද පෙනේ.

පසු කාලයේදී, එනම් 70 දශකයෙන් පසුව බතල ආශ්‍රිත පර්යේෂණයන් වේගවත්වී, අස්වැන්න අතින් වාරියපොළ ප්‍රභේදය පවා අබිභවා යන නව ප්‍රභේද 10 කටත් වඩා නිර්දේශ කෙරුවත්, ඒවා ‘වාරියපොළ වරණය’ තරමට ජනප්‍රිය නොවූයේ, ඔවුන් සතුව මෙවැනි ව්‍යාප්තියක් නොතිබුණ නිසා විය හැකිය.

ගිරාඳුරුකෝට්ටේ අසල පිහිටන ‘බතලයාය’, කුරුණෑගල ඇති ‘බතලගොඩ’ වැනි ප්‍රදේශයන්ට එලෙස නම් පටබැඳීමෙන්ම පෙනීයන්නේ අතීතයේ පටන් මෙරට තිබූ බතල සශ්‍රීකත්වයේ තරමයි.

මෙරට ජනතාව අතර භාවිතා නොවුනත් වෙනත් රටවල ජනතාව බතල කරටි පවා එළවළුවක් ලෙස තම්බා අනුභව කරති. මෙරට නම් අල කනවා හැරෙන්නට ගන්නා අනෙක් ප්‍රයෝජනය වන්නේ කහපාට පත්‍ර සහිත ප්‍රභේදය විසිතුරු ශාකයක් ලෙස වගා කිරීමයි. බතල වැල් දැඩි හිරුරැස් හමුවේ මෙන්ම සෙවන සහිත ස්ථානයන්හිද හොඳින් වර්ධනය වේ. ‘ඇන්තොසයනින්‘ නම් දම්පාට වර්ණකය යහමින් ඇති ලපටි පත්‍ර, සෙවන ස්ථානයකදී වුවත් ආලෝකයෙන් තමාට අවශ්‍ය ශක්තිය උරාගැනීමට සමත්ය.

රෝපණ ද්‍රව්‍ය වනුයේ දඬු කැබලි වුවත් වසර දෙක තුනක් තිස්සේ එකම ගහනයකින් දිගින් දිගටම දඬු කඩමින් ප්‍රචාරණය කිරීමේදී, වගාවේ රෝග පාත්‍රීතාවය ආදිය ඉහල යා හැකි බැවින්, නිරෝගී අල තවානක් දමා වසර තුනකට පමණ වරක් අලුතින් දඬු සාදා ගන්නේ නම් අගනේය. අලෙවියෙන් ප්‍රතික්ෂේපවන, කඩතොළු ආදිය සහිත එහෙත් නිරෝගී අල මේ සඳහා සොයාගැනීම අපහසුවක් නොවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහෝ බිම් සඳහා නිර්දේශ කරන්නේ භූමියේ ඇලි සහ වැටි සාදා ඒ මත බතල සිටුවීමටයි. අඩියක් පමණ දිගට කඩාගන්නා දඬු කැබලි සිටුවිය යුත්තේ ගැට තුනක් පමණ පසය යටවෙන පරිද්දෙනි. පොළොවෙන් අඩියක් හෝ එකහමාරක් ඉහලට, වැටියේ මුදුන් අතර පරතරය අඩි තුනක් පමණ වනසේ භූමියේ වැටි සෑදීම බතල වගාවේදී හැම අතින්ම වාසිදායකය.

කුඹුරු වැනි ජලය රැඳෙන පරිසරයන්හි බතල වැවීමේ හොඳම ක්‍රමය මෙයයි. හදිසි වැසි කාලයකදී අන් පරිසරයකට වුවත් මේ ක්‍රමයෙන් වාසියක් සැලසෙන අතර, වල් මර්දනය, පොහොර යෙදීම, අල ගැලවීම වැනි ක්‍රියාකාරකම් වලටද පහසුය. අවාසියක් ලෙස අප දකින්නේ වැටිවල පස සේදී ගියහොත් සිදුවන අල නිරාවරණයයි. ඒවාට හිරුරැස් වැටුනහොත් හරිතප්‍රද සෑදී කොළපැහැ ගැන්විය හැකිය. ඒ නිසා ඇලි වෙතට පහත්වෙන බතල වැල් ඔසවා යලි වැටි මතට දැමීමටත්, අල වැසෙන සේ වැටියේ දෙපසට පස් ලංකිරීමටත් වගාකරු සූක්ෂම විය යුතුවේ.

වෙනත් කෘෂිකාර්මික බෝග වලට සාපේක්ෂව බතල වගාව සඳහා යන වියදම අඩු බවද කිව යුතුවේ. බතල වැල් වේගයෙන් වැඩෙමින් පොලොව වසා ගන්නා බැවින් වල් මර්දනය ගොවියාට එතරම් හිසරදයක් වන්නේ නැත. බතල ගුල්ලා වැනි පළිබෝධකයෙකු හැරුණු විට වැඩිපුර රෝගකාරකයින්ගේ සම්බන්ධයක්ද බතල වගාව සමග නැත.

බතල ගුල්ලා පාලනය වුවද තනිකරම රසායනික ක්‍රම හරහා සිදුකිරීම නොවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වන්නේ. ප්‍රතිරෝධී ප්‍රභේද වගාකිරීම, බෝග මාරුව වැනි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම, ලිංගික ෆෙරමෝන වර්ග යොදාගනිමින් පිරිමි සතා අල්ලාගෙන ගහනය පාලනය කිරීම වැනි ඒකාබද්ධ පළිබෝධ පාලන විධි, රසායන ද්‍රව්‍යයන් සමගම මේ සඳහා භාවිතා කල යුතුවේ.

පළිබෝධනාශක හැකිතාක් අඩුවෙන් යොදන තරමට ‘වසවිස’ නැති ආහාර යන ජනප්‍රිය යෙදුම යටතට ඉතා පහසුවෙන් ඇතුළුවන්නට බතල අල වලට හැකියාව ලැබී තිබේ. එවන් ආරක්‍ෂිත ආහාරයක් වෙනවාට අමතරව මෙය කදිම පෝෂණීය ආහාරයක්ද වේ. ඇතැම් බතල ප්‍රභේදයන්හි බීටා කැරොටින් නම් කහ වර්ණකය බහුලව අන්තර්ගතය. මෙය භාවිතයෙන් මිනිස් සිරුර තුලදී විටමින් ඒ නිපදවේ. එය බතල වල තවත් පෝෂණීය වාසියකි.

White Sweet Potatoes, Locally Grown, 2 Pounds: Amazon.com: Grocery &  Gourmet Food

පිෂ්ඨමය ආහාරයන්ගේ ගුණාත්මය ගැන කතා කරන්නන් ග්ලයිසෙමික් දර්ශකය (Glycemic Index) යනුවෙන් දැන් අලුත් පදයක් සොයාගෙන තිබේ. මෙය 0 හා 100 අතර වෙනස් විය හැකි සංඛ්‍යාවකි. පිෂ්ට ද්‍රව්‍යයක් ආහාරයට ගත්පසු රුධිරයේ සීනි මට්ටම ඉහළයාමේ කඩිනම මින් නිරූපණය වේ. 100 යනු උපරිම ග්ලයිසෙමික් අගයයි. එය ඇත්තේ සුපිරිසිදු ග්ලුකෝස් වලටය. එනම් ග්ලුකෝස් අහුරක් කෑවිට, එය ජීර්නයකට හසුවන්නේ නැති අතර තොගය පිටින්ම රුධිරයට උරාගැනේ.

යම්කිසි පිෂ්ඨ ද්‍රව්‍යයක් 100 න් පහල බැස බිංදුව වෙතට සමීප වන්නේ නම්, එනම් පහල ග්ලයිසෙමික් දර්ශකයක් දරන්නේ නම්, එහි තේරුම එය හෙමිහිට ජීර්ණය වෙමින්, රුධිරයට සීනි නිදහස් කිරීම හෙමිහිට සිදුවෙනවා යන්නය. එකම පිෂ්ට ප්‍රමාණයන් අන්තර්ගත වුවද ආහාර වර්ග දෙකකට එකිනෙකට වෙනස් ග්ලයිසෙමික් දර්ශකයන් තිබෙන්නට පුළුවන් බව මේ අනුව වැටහේ. අගය 55 ට වඩා පහල නම් එම ආහාර GI අඩු ආහාර වේ. එසේනම් දියවැඩියා රෝගීන් තෝරා ගත යුත්තේ එවන් පිෂ්ඨ ආහාරයි. 56 – 69 දක්වා වූ දර්ශකය දරන ආහාර ‘ග්ලයිසෙමික් මධ්‍යම’ සේ හඳුන්වත්දී 70 ට වැඩිනම් ඒවා ‘අධික ග්ලයිසෙමික්’ ගණයට ගැනේ.

බතල අලය පිසිනා පිළිවෙල අනුව ග්ලයිසෙමික් දර්ශකය වෙනස්වෙන බව පෙනීයාම අපූරු තත්වයකි. විනාඩි අටක් තැම්බූ බතලවල ග්ලයිසෙමික් දර්ශකය 61 ක් පමණ වෙමින් ‘GI මධ්‍යම’ ආහාරයක් වුවත් විනාඩි 30 ක් තැම්බූ විටදී 46 ක් වී ‘අඩු GI’ ආහාරයක් බවට පත්වේ. වැඩි කාලයක් තම්බන විට පිෂ්ඨයෙන් කොටසක් දිරවීමට අපහසු ‘දෘඩ පිෂ්ඨය’ බවට පත්වීම මීට හේතුවයි. මේ දෘඩ පිෂ්ඨයද අපට බොහෝ වැදගත්ය.

අපගේ ආහාර වැඩි කොටසක් ජීර්ණය වන්නේ කුඩා බඩවැල නමින් හැඳින්වෙන ඉතා දිග අන්ත්‍ර කොටස තුලයි. දෘඩ පිෂ්ඨය එහිදී කැඩී බිඳී දිරවන්නේ නැත. එම අන්ත්‍ර කොටස අවසානයේ ඇති මහ බඩවැල, සාපේක්ෂව කෙටි අන්ත්‍ර කොටසක් වුවත්, දෘඩ පිෂ්ඨයට නිරුපද්‍රිතව එය පසුකර යාමට නම් ඉඩ නොලැබේ. මහාන්ත්‍රය තුල සිටින බැක්ටීරියා මගින් දෘඩ පිෂ්ඨය තම පෝෂණය සඳහා යොදා ගන්නා අතර ඒ හරහා කෙටිදාම සහිත මේද අම්ලත් වායු වර්ගත් නිපදවනු ලබයි. නිපදවෙන කෙටිදාම සහිත මේද අම්ල වලට උදාහරණ කීපයක් ගතහොත් ඇසටේට්, ප්‍රොපියොනේට්, හා බියුටිරේට් වශයෙන් සඳහන් කලහැකිය. මේ  අතරින් බියුටිරේට් ඉතා වැදගත්ය.

මහ බඩවැලේ ඇතිවෙන ප්‍රදාහ තත්වයන් බියුටිරේට් මගින් වලකන නිසා පිළිකා අවදානම ඒ මගින් අඩු කරනු ලබයි. මීට අමතරව මලබද්ධය, පාචනය වැනි දේ පවා මේ මගින් පාලනය කෙරේ. එසේ නමුත් රෝස්ට් කිරීම නොහොත් උදුනක පිලිස්සීමේදී දෘඩ පිෂ්ඨය විනාශ වේ. එවිට බතල අලය රසකැවිල්ලක් බවට පත්වන්නේ වැඩි ග්ලයිසෙමික් දර්ශකයක් ලබාගනිමිනි.

පොතු ගලවා විනාඩි 45 ක් උදුනක පිළිස්සූ බතල වල GI,  94 ක් වන්නේ මේ නිසාය. මේ අනුව රුධිරගත සීනි ප්‍රශ්න ඇති අය බතල කනවිට, පිසින ක්‍රමය ගැනද සිතා බලන්නේ නම් මැනවි. පිළිස්සූ හෝ චිප්ස් ලෙස බදින ලද බතල ‘හැටට හැටේ’ රුධිරයට සීනි නිදහස් කරන නිසාය!!

සනත් එම්. බණ්ඩාර –

හිටපු සහකාර අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය

RSL

Related Posts