කොරෝනා පාලනය මෙන් නොව මී උණ පාලනයේදී රජයට හෝ සෞඛ්‍යය බලධාරීන්ට කළහැකි දෑ ඉතා සීමිතය. තම වගාබිමේ මීයන් බෝකරගන්නේත්, අනාරක්ෂිතව කුඹුරට බැස ලෙඩේ ඇඟට දාගන්නේත් රටට බත සපයන්න කුඹුරු කොටන මිනිසුන් විසින්මය. වැඩිපුර ලෙඩවෙන්නේ පොළොවේ පයගසාගෙන සිටින්නවුන් නිසා තමා සතු වගකීම නිවැරදිව අවබෝධ කරගැනීම ඉතා වටින්නේය
“නහය කට වැහෙන්න රෙදි කෑල්ලක් බැඳගෙන එළිපහලියට යන්නලු වයිරස් ලෙඩ හැදෙනවා කියල, කුඹුරට යනකොට සපත්තු දාන්නලු මී උණ හැදෙන එකෙන් බේරෙන්න, ඒ අස්සේ මේ පළාතේ නරින්ටත් පිස්සු වැටිලා”
කළුතර දිස්ත්‍රික්කයට අයත් ගම් පෙදෙසක් පසුගිය දිනෙකදී කොරෝනා උවදුර හමුවේ හුදකලා කරනු ලැබීය. එහි ජීවත්වූ හෙතෙම පළාතේම නමක් දිනාසිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. ගල් තලාවක් මතට වී අහුරක් විසිකලත් කරල් පැහෙන කුඹුරක් මැවීමට සමත් අත්ගුණයකින් හෙබි වාසනාවන්ත ගොවි මහතෙකි.
එතුමා වෙතින් නැගුනු ඉහත දැක්වූ නෝක්කාඩුව මගේ දෙසවන තුළින් විනිවිද ගොස් හදවතේ කම්පනයටද යම් තරමකින් සම්මාදන් වූයේ ඔහු සතුව තිබුණු ඒ ප්‍රතිරූපය නිසා විය හැකිය. ඔහුගේ මුහුණේ වෙනදාට මා දකිනා ජයග්‍රාහී එඩිතර පෙනුම හොරු අරගෙන ගොසිනි. මුඛාවරණය අස්සෙන් රිංගා ආ කටහඬ වුවද පිටවූයේ ඕනෑවට එපාවට මෙනි.
ගමේ මිනිහා මහත් අර්බුදයක ගිලී ඇති බවට කිසිදු විවාදයක් නැත. පසුගිය වසරේ මෙරටින් වාර්තාවූ මී උණ රෝගීන් 5769 දෙනා අතරින් දෙවැනි තැන ගත්තේද රෝගීන් 640 ක් බිහිකළ කළුතර දිස්ත්‍රික්කයයි. රත්නපුර දිසාව රෝගීන් 1159 ක් සමග ඉදිරියෙන්ම සිටියේය. මේ වසරේද තවමත් රත්නපුරය ඉදිරියෙනි. මේ වනතෙක් වාර්තා වී ඇති සමස්ත රෝගීන් 6096 අතුරින් රත්නපුරයටම 1341 කි. වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාල පරාසය තුළ බැවින් 2020 අවසන් වනවිට අප කොතැනකින් නවතීදැයි කීම අපහසුය.
1284 අවුරුද්දේ ජර්මනියේ හැමලින් නගරයට හදිස්සියේ කඩාපාත්වූ නලාකාරයා අපේ ගමටත් එනවානම් කියා, උණ හැදී වෙව්ලන අප්පච්චිව දකින නලාකාරයාගේ කතාව අසා ඇති ළමා ළපටින්ට වුණත් සිතෙනවා විය හැකිය. මෙම කතාව සත්‍ය සිද්ධියක් යයි විශ්වාස කරන්නෝ අදටත් ජර්මනියේ වෙසෙති.
හතරවෙනි සියවසේ ජූනි 26 වෙනිදා දිනෙක රෝම අධිරාජ්‍යයේ ජීවත්වූ ජෝන් හා පාවුළු නම්වූ සාන්තුවරයින් දෙපල ඝාතනයට ලක්වුණි. ඊට සියවස් ගණනකට පසු නලාකාරයා ආවේත් ජුනි 26 වෙනිදාවකය.
පුරපතිවරයාගෙන් නගරයේ මී වසංගතය අවසන් කිරීමට කොන්ත්‍රාත්තුවක් ගෙන එය සිදුකල පසු අදාළ මුදල ගෙවීම පුරපතිවරයා විසින් පැහැර හැරි බැවින් නැවතත් නලාව පිඹ, එහි හඬට වශීව තමා පසුපස ආ දරුවන් 130 දෙනෙකුද සමග නලාකාරයා අතුරුදහන් වූ බව කියවේ. ඒ දරුවන් කොතැනකට ගියා දැයි අදටත් ජර්මානුවන් දන්නේ නැත.
වෙල් මීයන් නිසා සිදුවන විපත
වෙල් මීයන් නිසා සෑදෙන මී උණ වසංගතයෙන් අද දවසේ නම් වැඩි අවධානයකින් රැකගන්නට සිදුව ඇත්තේ දරුවන් නොව ගමේ වෙසෙනා වැඩිහිටි ගොවියන්වය. නලාව නැතත් නලාකාරයාගේ චරිතයට පනදෙමින් මී උවදුර පිටුදැකීමට කටයුතු කිරීම සමාජ වගකීමක් බවට පත්වී තිබේ. සාන්ත ජෝන් හා පාවුලුගේ දිනය වන ජූනි 26 වෙනිදා පමණක් නොව අවුරුද්දේ දින 365 තුළම මේ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුවේ. මී උණ වසංගතය කොරෝනා මෙන්ම භයානකය, මාරාන්තිකය.
වසංගත යනු අද ඊයේ ඇතිවූ ඒවා නොවේ. චීනයෙන්ම ඇරඹී 14 වෙනි සියවසේදී වෙළඳ නැව් හරහා යුරෝපයට ගිය ‘කුද්දෙටි ඉදිමීමේ වසංගතය’ නොහොත් ‘බියුබොනික් වසංගතය’ (Bubonic Plague) අප අසා ඇති බොහොම පැරණි ඛේදවාචකයක්ය. එයටද මීයා මූලිකත්වය ගෙන ඇත. රෝගය රැගෙන ගියේ මීයන්ගේ ඇඟේ සිටි මැක්කන් විසින්ය. යුරෝපීය ජනගහනයෙන් භාගයක් පමණ ඒ මගින් අතුගා දැමූ බව ඉතිහාසයේ සඳහන්වේ.
එතරම් ඈත උදාහරණ නොව පළමු ලෝක යුද්ධය අවසන්කර ගෙදර එන සොල්දාදුවන් විසින් රැගෙන ආ ‘ස්පාඤ්ඤ උණ’ (Spanish Flu) හරහා කෝටි 10 ක ජනතාවක් මිය පරලොව යාම මෑත කාලීන නිදසුනකි. මියගිය වැඩිදෙනා නගරවාසීන්ය. නැතහොත් කඳවුරුවල තදින් ඇහිරී නවාතැන් ගෙනසිටි සොල්දාදුවන්ය.
මී උණ ආවේ 1953දී ඒත්….
හයේ හතරේ දිග පළල ඇති මහ කෙරුමන්ව පවා දණගස්වන කොරෝනාව ඇවිත් තවම අවුරුද්දක්වත් ගතවී නැත. නරින්ට පිස්සු වැටී තවම සති ගණනකි. එහෙත් මී උණ නමැති භයානක රෝගය 1953 දී පළමුවරට හඳුනාගත්දා පටන් විටින් විට තැන තැන හොල්මන් කරයි. එහෙත් සද්දෙට මේ ගැන කතා නොකරන්නේ මෙහි වින්දිතයින් වන්නේ බහුලවම නැති බැරි අහිංසක මිනිසුන් නිසාද? ගම්වල වෙසෙන නිතර දෙවේලේ කුඹුරට බසින ගොවියා, සෙයිලමේ දිවිගෙවන පැල්පත්වාසීන් ආදිය, මී උණ වැළඳී ඉස්පිරිතාලේ යන්නවුන් අතර බහුතරය වේ.
මී උණ උත්සන්න වෙන කාල වකවානු දෙකක් මේ වනවිට හඳුනාගෙන තිබේ. වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර කාලය තුළ වන අතර ඉන්පසු රෝගය බහුල වන්නේ මාර්තු හා මැයි අතර කාල පරාසය තුළයි.
ගොවිතැන ගැන ලියන කියන අපට සෞඛ්‍ය බලධාරීන් විසින් පවසන මෙම කාල පරාසයන් දෙක කුඩා සන්දියේ සිටම හොඳට හුරුපුරුදුය. මන්දයත් ඒවා මෙරට පවතින ප්‍රධාන වගා කන්න දෙකෙහි පළමු භාගය නියෝජනය කරනා බැවිනි. වී ගොවියා වැඩිපුරම මඩ පාගන්නේ මේ දිනවලය. ඔක්තෝබරයේදී ඇරඹෙන ‘මහ’ කන්නය ලංකාවේ වැඩිපුරම වී වගාකරන වකවානුව වන අතර, එහි පළමු භාගය මී උණ රෝගය වැඩිපුරම හැදෙන මාස ත්‍රිත්වයද වී තිබේ.
නාගරිකයින් බහුතරය එකතුවී කොවිඩ් 19 වෙනුවෙන් සිතියම් අඳිද්දී, කුඹුරට බසින්නට අමුඩ කෙටිය ගැටගසන අහිංසක පිටිසරයා වෙනුවෙන් යම් උපදෙසක් දෙන්නට අප මෙසේ උත්සාහ දරන්නේ මේ එයට වඩාත්ම සුදුසු කාලය නිසාය. මෙම ලිපිය ලියන ඔක්තෝබරයේ මැද වනවිට වසර තුළ බිහිවූ කොවිඩ් රෝගීන්ට වඩා මී උණ රෝගීන් මෙරටින් වාර්තා වී තිබූ අතර මී උණ මරණ ගණනද කොවිඩ් මරණ මෙන් පස් ගුණයක් පමණ වී තිබේ!
වෙල් මීයා ගැන වෙවුලන කතා
පළිබෝධකයින් යනු නිතර දෙවේලේ අසන දකින කෘමි සතුන් පමණක් නොව වගාවට හානි පමුණුවන වල්ඌරාද පළිබෝධකයෙක් සේ සැලකෙන බැවින්, ගොවි ගෙදරට මී උණ රැගෙන එන ‘වෙල් මීයන්’ ගැන අසා දැනගන්නටද මා ගියේ බතලගොඩටය. එහි වී පර්යේෂණායතනයේ සේවය කරමින් පළිබෝධකයින් හා සටන් කරන කෘෂි විද්‍යාඥයෙක් හමුවන්නටය. ඔහු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස්. ආර්. සරත්චන්ද්‍ර යි.
“දැන් පරිසරය වෙනස්වෙලා. වී ගොවිතැනට මේ වෙනස හොඳටම බලපානවා. මොකද වී ගොවිතැන කියන්නේ පරිසරයත් එක්ක බද්ධ වූ කර්තවයක්. එම සම්පූර්ණ ක්‍රියාදාමයේම බිම් සැකසීමට ප්‍රධාන තැනක් තියෙනවා. වී වගා කරන ගොවියාගේ හොඳම ආයෝජනය තමයි මූලික බිම් සැකසීම. ඒ ටික හරියට කෙරුනොත් කුඹුර කළමනාකරණය කිරීමේදී ඉදිරියට ලොකු සම්පත් ඉතිරියක් වෙනවා. වල් මර්දනය පහසු වෙනවා, රෝග හා පළිබෝධ හානි අවම වෙනවා, ජල පාරිභෝජනය විධිමත් වෙනවා, ඔය සේරොම නිසා ගොයම හොඳට හැදිලා අස්වැන්න වැඩිවෙනවා. ඒ නිසා බිම් සැකසීම කියන්නේ ඉස්සර ගොවීන් හොඳට වෙලාව අරගෙන කරපු වැඩක්. දැන් හැමෝටම පුදුම හදිස්සියක් තියෙන්නේ. ඇයි කාලගුණය ඒ තරමටම අවිනිශ්චිතයි. වැටෙන සුළු වැස්සෙන් හෝ කිරලා මැනලා වගේ දෙන මූලික වතුර මුරයෙන් බිම් සැකසීම ඉවර කිරීම තමයි ගොවියා මුහුණ දෙන අභියෝගය. වල්පැලෑටි වලට, ගොයමට හානිකර කෘමීන්ට විතරක් නෙවෙයි වෙල් මීයන්ටත් ගොවියාගේ මේ හදිස්සියෙන් සැලසෙන්නේ වාසියක්”
සරත්චන්ද්‍ර මහතා සංවාදයට පිවිසුනේ මා බලාපොරොත්තු වූ දොරටුවෙන් නොවේ. වෙල් මීයාට තඩිබා, මී උණට බෙහෙත් අසන්නට පැමිණි මා අතරමං වූවා සේද දැනෙන්නට විය. හෙතෙම යහපත් බිම් සැකසීමක් ගැන කතාකරයි. ගැඹුරට කිමිදී බලන කල ඔහුගේ කියමන හරියටම හරිය.
කාලගුණය හමුවේ යම් තරමක හදිස්සියක් මතුවීම ගොවියාගේ පැත්තෙන් සාධාරණ වුවත්, ඔහු විසින් කුඹුරේ මූලික බිම් සැකසීමේදී අතපසු කරනා ක්‍රියාකාරකම් හැම දෙයක්ම කාලගුණයට ගැට ගසා සමාවදීම නම්, නොකළ යුත්තකි. කුඹුරේ පමණක් නොව ගොවියාගේ ගෙදර පවා මේ වනවිට මීයන්ගේ නවාතැන්පොළවල් බවට පත්වීම සඳහා සියලු සුදුසුකම් සපුරා අවසානය. පිටිසරබද ගොවියාගේ පමණක් නොව නගරවාසී කාගේ කාගේත් ගෙවල්වල වුවද තත්වය මෙසේම වේ. ගෙවල් මීයන් විසින් ගොවිගෙදර තිබෙනා ගබඩා ධාන්‍ය අස්වැන්න කා දමා හානිකරන අතරතුර නාගරික බංගලාවේ රෙදිසෝදන මැසිමේ හා මෝටර් රථයේ ඇති වයර් හනස්ස පවා කපා විනාශ කරන්නේය. ඒ අප විසින් ඔවුනට නවාතැන් ගැනීමට සුදුසු පරිසරයක් ගෘහාශ්‍රිතව නිර්මාණය කරදී ඇති නිසාවෙනි.
දියුණුවේ මහිමය කියාපාමින් අද ‘ඩිස්පෝසබල්’ නොහොත් වරක් භාවිතාකර ඉවතලෑ යුතු පාරිභෝගික භාණ්ඩ ගණනාවක් බිහිවී තිබේ. ගෙදරට උසුලාගෙන එන බඩු මල්ලේ නිරන්තරයෙන්ම මේවා සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති නමුත් බොහෝවිට මේවා වරක් භාවිතා කලපසු ඉවත දමන්නේ නැත. අරපිරිමැස්ම අජීර්ණ වී ඇති නිසාදෝ මේවා නැවත නැවතත් භාවිතයට ගැනේ. අන්තිමටත් හදිස්සියකටවත් ඕනෑවෙයි කියා ගබඩා කාමරයක හෝ රැස්කර තබා ගැනීමට පවා කාරුණික වන්නේය. මේවා අඩුක්කළ ගබඩා කාමර වනාහී කැලේ සිටින මීයන් නිවෙස් තුළට කැන්දාගෙන සත්කාර සපයන ලැගුම්හල් යයි කීවාට වැරදි නැත. එලෙස පැමිණෙන ආගන්තුකයාගෙන් සිදුවෙන භෞතික හානි කෙසේ වෙතත්, ඔවුන්ගෙන් බෝවෙන මී උණ පීඩාව වැඩිපුර දැනෙන්නේ මෙම රොඩුබොඩු හා සමීපව ගැටෙමින් ජීවත්වෙන දුර්වල සනීපාරක්ෂක පහසුකම් ඇති පැල්පත් වැනි නිවාස වාසීන්ටය. එයට හේතුව මීයා තුල වෙසෙන ‘ලෙප්ටොස්පයිරා’ (Leptospira) නමැති බැක්ටීරියාව උන්ගේ මුත්‍රා සමග පිටවී මිනිස් රුධිරය හා මුසුවීමට වැඩි හැකියාවක් ඇත්තේ එවන් පරිසරයන්හිදී බැවින්ය.
මීයන්ගේ වකුගඩු තුළ පමණක් නොව ගවයින්, එළුවන්, ඌරන්, බල්ලන් වැනි සතුන් තුළ පවා ජීවත්වෙන මෙම බැක්ටීරියාව මගින් එම සතුන්ට හානියක් සිදු කරන්නේ නැත. එහෙත් මුත්‍රා සමග පිටවී පරිසරයට එකතුවෙන බැක්ටීරියාව සමෙහි වූ තුවාලයක් හෝ මුඛයේ ශ්ලේෂ්මල පටල වැනි සංවේදී ස්ථානයක් හරහා හෝ මිනිස් සිරුර තුළට ඇතුල්වුවහොත් නම් ප්‍රතිපලය අන්තරාදායක වේ. රෝගයෙහි විද්‍යාත්මක නම ලේප්ටොස්පිරෝසිස් (Leptospirosis) ය. එහි රෝග ලක්ෂණ හා බේත්හේත් ගැන කතාකල යුත්තේ වෛද්‍ය විද්‍යාවේ ආශ්‍රිතයින්ය. දොස්තරලා කෘෂිකර්ම උපදෙස් දුන්නාට, යන්තමට කෘෂිකර්මය දන්නා අප වෙදකම් කරන්නට යා යුතු නොවේ. දන්නා නොදන්නාකම කෙසේ වෙතත් වෘත්තීය ආචාර ධර්මයන්ට ගරුකළ යුතු බැවිනි.
ගෙවල් මීයා ගැන මතුවූ සිතිවිලි වලට බාධාකරමින් නැවතත් කෘෂි විද්‍යාඥ සරත්චන්ද්‍ර දෙසට හැරුනේ වැඩි විස්තරයක් ඉදිරිපත් කළ යුත්තේ වෙල් මීයා සම්බන්ධයෙන් නිසාය. කුඹුරේ ක්‍රමවත් බිම් සැකසීමේ අගය පැහැදිලි කල තරම මදි වූවාක් සේ හෙතෙම තවත් ඒ ගැනම කතා කරයි.
කුඹුර අවට පරිසරය ගැන
“බිම් සකස්කිරීමේ පළමු පියවර වශයෙන් කරන්න ඕනෑ දෙයක් තමයි කුඹුර අවට පරිසරය සුද්ධ පවිත්‍රව තබා ගැනීම. මීයන් කියන්නේ බුද්ධිමත් ක්ෂීරපායී සතුන්. අවට පරිසරය එළි පෙහෙළි වෙනකොට මේ සතුන් එම ප්‍රදේශවලින් ඉවත්වෙලා යනවා. ඊළඟට කුඹුරේ නියර බැඳීමේදී හොඳට කල් වෙලා අරගෙන වල් මර්දනය කරලා, ශක්තිමත්ව හා හැකිතරම් පටු නියරවල් හදාගන්න ඕනෑ. එතකොට මීයන්ට ඒවායේ ගුල් හාරාගෙන පදිංචි වෙන්න බෑ.
කුඹුර අවට පරිසරය පිළිවෙළක් වනවිට අපිළිවෙළට ඇති නිකේතනයන්ටම ලොල්වූ මීයන් අතරමං වී, බාහිර පරිසරයට නිරාවරණය වීම හරහා විවිධ සතුරන්ට ගොදුරුවන බවත්, එය වෙල් මීයන් මර්දනයේ පළමු පියවර විය යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටී.
වියට්නාමය මෙන් අප කුඹුරේ ගොයමත් සමග මීයන්ද වගා කළයුතු නැත. එම රටේ නම් වෙල් මීයන් වනාහී කුඹුරෙන් ලැබෙන තවත් අස්වැන්න ප්‍රභේදයකි. හෝචිමිං සිටි නමැති එහි අගනුවර පවා ඇතැම් සුපිරි අවන්හල් කෑම වට්ටෝරුවල විවිධ ආකාරයට පිළියෙළ කළ මීයන් දීසි පිටින් අලෙවියට තබා ඇත්තේය. ඒ නිසාම මීයන් අල්ලා නගරයට අලෙවිකිරීම එරට ග්‍රාමීය ගොවියාට අතිරේක ආදායම් මාර්ගයක් වේ.
එහෙත් අපේ ගොවියා ඊට වඩා ධාර්මික සිතුවිලි ඇත්තෙකි. දුඹුරු පැල කීඩෑවා, ගොක් මැස්සා වැනි ඇහැට පෙනෙන නොපෙනෙන තරමේ පළිබෝධකයින් වස දියර ඉස වනසා දැමුවාට, මීයන් වැනි විශාල ක්ෂීරපායී සතුන් මරන්නට නම් ගම්වල ගොවි ජනතාවට හිත හදාගැනීම අපහසුය. ආගමික හා යහපත් සංස්කෘතික හැඟීම් වලින් ඔපමට්ටම් වී ඇති ඔහුගේ, පැරණි පළිබෝධ පාලන ක්‍රමෝපායන් පවා වැඩිපුර පදනම් වී ඇත්තේ සතුන් විනාශ කිරීමට නොව පලවා හැරීමටයි. වෙල් මීයාව වුවද කුඹුරට කැන්දා නොගැනීමේ පියවර ගැන මෙතරම් උනන්දුවෙන් අප කතා කලයුත්තේ එබැවිනි.
ප්‍රධාන හතුරන් නැති වීම
පරිසරයේ වෙසෙනා මීයාගේ ප්‍රධාන සතුරන් දෙදෙනා වන්නේ කුරුල්ලන් හා සර්පයින්ය. ‘විෂඝෝර සර්පයා අත නෑර මෝඩයා‘ කියමින් අප විස තිබුණත් නැතත් පරිසරයේ වෙසෙන සර්ප පවුලේ බොහොමයක් දෙනා වඳ කිරීමට දායක වී ඇත්තෙමු. ජීවිත දානය ලැබුවේ නම් විශාල ගැරඬි තඩියෙක් හෝ වැඳුම් පිදුම් වලට පවා පාත්‍ර විය හැකි නාග රාජයෙක් පමණි. ගම්වලින් පවා අද දවසේ සර්ප දෂ්ඨකිරීම් අඩුවෙන් වාර්තා වෙන්නේ ඔවුන්ගේ ගහනයේ අඩුවක් ඇති නිසාමය.
කුරුල්ලන් ගැනද කිවයුත්තේ මෙවැනිම කතාවකි. අද වන විට කුරුළු ගහනයද පසුබෑමට ලක්වී ඇති බව අසන්නට ලැබේ. පසුගිය දිනෙක දිවයිනේ පළාත් කීපයක පළඟැටියන් බෝවිය. ඇතැමුන් අර්ථ දැක්වූවේ පළඟැටියන් වැඩිවීමට හේතුව උන්ව ගොදුරු කරගැනීමට සිටි මයිනන් අඩුවීම ලෙසයි. මයිනන් බිත්තර දමන්නේ ගස් බෙන තුළය. වැඩිවෙන රිලවු ගහනය නිසාත්, ඔවුන් ගස් බෙන තුළ ඇති මයින බිත්තර ආහාරයට ගැනීම නිසාත් මයිනන් අඩුවී, පළඟැටියන් වැඩිවූ බවට ඔවුන් කතා ප්‍රබන්ධ කර තිබිණ.
මේවාහි ඇත්ත නැත්ත පර්යේෂණාත්මකව සනාථ කෙරෙනා තුරු පවතින්නේ උපකල්පන වශයෙන්ය. එසේ නමුදු පරිසරයට මිනිසා විසින් කරන ලද වෙනස්කම් සහ ස්වාභාවිකවම සිරිතට අනුව සිදුවෙන පරිසර වෙනස්වීම් හමුවේ සත්ව ගහනයේ අසමතුලිතතා හටගෙන ඇති බවට නම් පර්යේෂණයක් නොකරම එකඟවිය හැකිය. එසේනම් වෙල් මීයාගේ ගහනය පසුගිය වසර කීපය අතරතුරදී ඉහල ගියේත්, ඊට සමපාතව මී උණ රෝගයේ පැතිරීම වැඩිවූයේත් මීයාගේ ස්වභාවික සතුරන්ට වූ මෙම අකරතැබ්බය නිසා යයි කීම අසාධාරණ නොවේ.
“බිම් සකස්කිරීමේ කටයුත්ත පිළිවෙලට නිමකිරීමෙන් පසු ගොවියා පියවර ගත යුතුයි දැනට ඉතිරිවෙලා ඉන්න ස්වභාවික සතුරන්ගේ සේවය පවා වෙල් මී පාලනයට යොදාගන්න. බොහොමයක් කුරුල්ලන් තම ගොදුර සොයාගන්නේ ඉවසිලිවන්තව අවස්ථාව එනතෙක් කල්මැරීමෙන්. ඒ සඳහා ඔවුන්ට ලැගුම් ස්ථාන කුඹුරේ සකස්කර දිය යුතුයි. ඉස්සර ගොවියා කුඹුර පුරා පොල්පිති ආදිය සිටුවා තබමින් මීයන් පමණක් නෙවෙයි, අනෙක් පළිබෝධකයින්වත් කුරුල්ලන් හරහා පාලනය කෙරුවා. අදට කුරුල්ලන් අඩුබව සැබෑව. එහෙත් මෙවැනි සාම්ප්‍රදායික සිටිත් අතහැරිය යුතු නෑ.”
සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී. ලියැද්ද මත සිටුවා ඇති පොල්පිත්තක් මත රෑකට ලැග සිටින බකමූණෙක් හෝ බස්සෙක් යනු සැබැවින්ම අද දවසේදී ගමේ ගොඩේ වුවත් විරල දසුනක් වුවද හෙතෙම අවධාරණය කරන්නේ වෙල් මීයන් මර්දනයෙහි ලා එවැනි ක්‍රමවේදයන්හි වැදගත්කමයි.
මී උණට හේතුවෙන බැක්ටීරියාව ශරීරගත වීමෙන් ආරක්ෂාවීමත්, එසේ ශරීරගත වුවද ඊට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමත් මෙම ව්‍යසනය මගහැරීමේ අවසාන කරුණු කාරණා වන්නේය.
ලාංකික ගොවියාට ‘බූට්ස්’ දමාගෙන කුඹුරට බසින්නට කීම මොනතරම් ප්‍රයෝගිකදැයි තක්සේරු කිරීමට අප ඉදිරිපත් නොවෙමු. කෙසේ වෙතත් බැක්ටීරියාව ඇතුල්වන්නේ නම් සමේ ඇති කුඩා සිදුරකිනි. තුවාල ඇති අය කුඹුරට නොබසින්න යයි කීම ප්‍රමාණවත් නැත. ඇඟ තුළට යන්නේ අතට හසුවෙන සතෙක් නොව ඇසටවත් නොපෙනෙන ක්ෂුද්‍රජීවියෙකි. නියපොතු අසල සමෙහි ඇති කුඩා පැල්මක් වුවත් ඔවුනට ප්‍රවේශ මාර්ගයක් වේ. ඇතැම්විට එවැනි කඩතොල්ලක් තිබෙනා බව ගොවියා දන්නේත් නැත. ඒ නිසා වඩාත් සාධාරණ වන්නේ අවදානම් කලාපයේ වෙසෙන ගොවීන් කුඹුරට යන්නට පෙර ඖෂධීය රැකවරණයක ආවරණයක් ඔවුනට ලබා දීමයි. ගැනීමයි. ඩොක්සිසයික්ලින් (Doxycyclin) නමැති බෙහෙතේ සුදුසු මාත්‍රාව හා භාවිතයේ උපදෙස් සෞඛ්‍ය බලධාරීන් වෙතින් නොමිලේම ලබාදෙන නිසා ගොවියා ඒ ගැනත් අවධානය යොමුකිරීම වටිනා පියවරකි.
කොරෝනා පාලනය මෙන් නොව මී උණ පාලනයේදී රජයට හෝ සෞඛ්‍යය බලධාරීන්ට කළහැකි දෑ ඉතා සීමිතය. තම වගාබිමේ මීයන් බෝකරගන්නේත්, අනාරක්ෂිතව කුඹුරට බැස ලෙඩේ ඇඟට දාගන්නේත් රටට බත සපයන්න කුඹුරු කොටන මිනිසුන් විසින්මය. වැඩිපුර ලෙඩවෙන්නේ පොළොවේ පයගසාගෙන සිටින්නවුන් නිසා තමා සතු වගකීම නිවැරදිව අවබෝධ කරගැනීම ඉතා වටින්නේය.
සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.