එංගලන්තයේ සිට පැමිණි සත්ත්ව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වුඩ් මේසන් කල්කටාවේ පිහිටි ඉන්දීය කෞතුගාරයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී, සත්ත්ව සාම්පල එකතු කිරීමේ සහ හඳුනා ගැනීමේ ආශාව හා බැඳුනු තම පුරුද්දට අනුව, බිහාර් ප්‍රාන්තයේ කෙත්යායක් හරහා එක්තරා හිමිදිරියක සක්මන් කරමින් සිටියේය.
නිශාචර බව උපතින්ම උරුමව තිබුණත්, හිතුවක්කාරකමට හෝ ආපසු නිවසට යාමට ප්‍රමාද වීම නිසා හෝ, ගොයම් කොළ මත ගාටමින් සිටි කලින් දැක පුරුදු නැති, මදුරුවෙක් තරමේ වූ කෘමියෙක් හදිසියෙන්ම මෙම කීට විද්‍යාඥයාගේ නෙත ගැටුණි.
ඒ වනවිටත් හඳුනා නොගත් රෝගයකින් එම පළාතේ ගොයම පීඩා විඳිමින් සිටි නිසා ජේම්ස් වුඩ් ගේ සිත වඩාත් ඕනෑකමින් මෙම අහඹු සත්වයා කෙරෙහි යොමුවිය. ඒ 1890 වසරයි. ඔහු විසින් සෙසිඩෝමියා ඔරයිසේ (Cecidomyia oryzea) වශයෙන් කෘමියාට නමකුත් තබා ඇමරිකන් නැචුරලිස්ට් නමැති සඟරාවට ඒ ගැන ලිපියක්ද ලියූවත් වැඩි දෙනෙකුගේ අවධානයට එය හසුවූ බවක් නම් නොපෙනුණි.
උත්සන්න වූ වකුගඩු ආබාධය හේතුවෙන් තව දුරටත් සේවයේ යෙදිය නොහැකිව ඉන් වසර තුනකට පසු, එනම් 1893 අප්‍රේල් 5 වෙනිදා දිනෙක ආපසු ගෙදර යාමට හෙතෙම නැව් නැග්ගද, ඉන් මාසයකට පසුව මැයි මස 6 වෙනිදා ඔහුගේ අවසන් සුසුම මුහුදු සුළඟටම මුසු වූයේ හිරු නොබසින අධිරාජ්‍යයට නැවත පා තැබීමද අවහිර කරමින්ය. එපමණක් නොව ඔහු හඳුන්වාදුන් අමුත්තා ගැනද ඉන්දියාවට අමතක වී ගියේය.
නැවතත් ඉන්දියාවට ඇහැකණ ඇරුනේ1901 දී පෙරකී කෘමි හානිය මයිසූර් ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමගය. 1934 දී ඉන්දීය කීට විද්‍යාඥයෙකු වූ එම්. එස්. මානි විසින් මෙම කෘමියා නිල වශයෙන් ලෝකයට හඳුන්වා දෙනවිට 1922 දී පළවූ වාර්තා වලට අනුව උතුරු වියට්නාමයටත් ඌ පැතිරී හමාරය.
ආරම්භයේදී ජේම්ස් වුඩ් විසින් කෘමියාට තැබූ නම වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නොවුන අතර 1936 දී ඉන්දුනීසියාවටත්, 1941 දී චීනයටත්, 1947 වනවිට සුඩානයටත් කෘමියා සංක්‍රමණය වෙමින් ගොයම පාලුකිරීම අරඹා තිබේ. අවසානයේදී ලී සහ චියු නමැති චීන විද්වත් දෙපලක් විසින් 1951 දී සත්වයාගේ ජීවන චක්‍රය පවා අනාවරණය කරගත් අතර දැනට භාවිතා වන විද්‍යාත්මක නාමය වන්නේ ඔර්සියෝලා ඔරයිසේ (Orseolia oryzea) යන්නයි.
අපට තේරෙන විධියට මෙතැන් සිට මේ කරදරකාරයා ‘ගොක් මැස්සා‘ ලෙස හඳුන්වමු. මැස්සා බිත්තර දමන්නේ ලපටි ගොයමේ පත්‍රවල යටි පැත්තේය. දින දෙක තුනකින් බිත්තර පුපුරා එන කීටයින් පහලට රූටා ගොස් පත්‍ර පාදය සිදුරු කරගෙන කඳ තුලට ඇතුල්වී එහි වර්ධන අග්‍රය වෙතට ගොස් ඒ මත පෝෂණයේ යෙදේ. ඒ අතර තම පිලා අවධියේ වාසය සඳහා පත්‍ර කොටස් වලින්ම ‘ගඩු’ නමින් හඳුන්වන සෛල ගොනුවක්ද සාදා ගනී. වර්ධන අග්‍රය විනාශ කර ඇති නිසා මෙම රිකිල්ලෙන් දැන් ඉතින් කරලක් හෝ සරු පත්‍රයක් ඇති නොවෙන අතර ලපටි සුහුඹුලා පිටව යන්නේ රිදී පැහැයට පිටතට දික්වූ ගඩුව හරහාය.
ඉන්දියාවට ආවානම් ගොක් මැස්සා මෙහාටත් නෑවිත් ඉන්නේ නැත. හැත්තෑව දශකයේදී අපේ වී වගාව ගැන විද්‍යාත්මකව කරුණු විමසන්නන්ට වැඩි වශයෙන්ම තෙත් කලාපයේ කුඹුරු ඉඩම් වලින් මේ ආගන්තුක රෝගය ගැන ඉව වැටී තිබුණි.
බැලූ බැල්මටම කෘමි හානියක් සේ නොපෙනුනත්, නාඹර ගොයමේ තැනින් තැන කරල් පූදින්නේ නැතිව ඒ වෙනුවට රිදී පැහැ ගොබයක් පිටතට පැමිණීම මෙම රෝග තත්වය විය. රන්වන් කරලින් බරවූ සරුසාර ගොයමක් වෙනුවෙන් නිතර දෙවේලේ සමාජය අවදි කරවන අපට රිදියෙන් කල ගොබයක් ගැනත් ලියන්නට සිදුවීම දෛවයේ සරදමක් දැයි සිතෙන තරම්ය.
එහෙත් රන් කරල් වෙනුවට පැමිණි රිදී ගොබය වී ඇටයක්වත් රැගෙනවිත් තිබුනේ නැත. තව තවත් අලුතින් රිකිලි දමමින් අපගේ කුසගිනි නිවීම කෙසේ වෙතත්, තම පණනලවත් රැක ගන්නට ගොයම් පඳුර උත්සාහ දැරුවද ඒවායින් එලියට ආවේද ලූණු කොළ බඳු සිලින්ඩරාකාර රිදී ගොබ පමණකි. ‘රිදී ගොබ පීදීම’ වශයෙන් රෝගයක් කුඹුරේ ලියාපදිංචි විය.
රිකිල්ලෙන් කරලක් හටගන්නේ නැති නිසා ‘රිකිලි’ දහයක් තිබෙන ගොයම් පඳුරක රිකිලි පහකින් කරල් වෙනුවට රිදී ගොබ හටගත්තේ නම්, එදාට අස්වැන්න 50% කින් පහල බසිනවා යන්න සරල අංක ගණිත දැනුමකි. විසිතුරු රිදී ගොබ සංදර්ශනය කියා පෑ එම ගණිත සූත්‍රය හමුවේ රටේ සමස්ත වී නිෂ්පාදනයට සිදුවෙන බලපෑම තේරුම් ගත් ගොවි ජනතාවගේත්, වී පර්යේෂකයින්ගේත් ඉහ මොළ රත්වූයේ බොහොම ඉක්මනටය.
වෙනත් විෂයයන් හදාරා වෘත්තීය නිපුනත්වයක් ලබාසිටි රූපලාවන්‍ය ශිල්පීන්, නීතිඥයින්, වෛද්‍යවරුන්, සංගීතඥයින් වැනි අය, රටේ වාසනාවට රිදී ගොබයට උත්තර බඳින්නට එදා ඉස්සරහට ආවේ නැත. බැඳගත්ත බෙරය ගහන්නට කෘෂිකර්මය දන්නවුන්ටම ඉඩදී ඔවුහු තමාගේ වැඩක් බලාගත්හ. වෘත්තීය ආචාරධර්ම අකුරටම ක්‍රියාත්මක විය.
ලෝකයේ කුමන හෝ අහුමුල්ලක සිදුකෙරෙන අනාවරණයක් ඇඟිලි තුඩේ සරල මෙහෙයුමකින් හිස් කබල තුලට ඔබාගැනීමේ හැකියාවක් පවා අද මෙන් නොතිබුණු යුගයකදී, කාගෙන්වත් බාධාවක් නොමැතිව පිටියට පිවිසි වී පර්යේෂකයින් හොඳ ඉනිමක් ක්‍රීඩාකර රිදී ගොබයට හේතුව පැහැදිලි කරදෙන ලදී.
ගොයම් ගස තුල සැඟවී හිඳිමින් රිදී පැහැ ගොබයක් පිටතට එවනුයේ ‘ගොක් මැස්සා’ නමින් හැඳින්වෙන මදුරුවෙක් වැනි කුඩා සතෙකු විසින් බව පැහැදිලි කල විද්වත්තු, දිවා රෑ වෙහෙසී වැඩකර රිදී ගොබ ඇති නොවන අන්දමේ වී ප්‍රභේද කීපයක් 1979 වසර වනවිට නිපදවා, ගොවීන් වෙතටද පමුණුවා රිදී ගොබ ප්‍රශ්නය අහවර කළහ.
“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ගෙන්වා ගත්ත ගොක් මැස්සාට ඔරොත්තු දෙන වී වර්ග. ඒවා ලංකාවේ තත්වයට ගැලපෙනවාද කියල හොයල බැලුවේ ගන්නොරුවේදී. අපි හිටියේ බතලගොඩ. අන්තිමට ඕබී 677 සහ ඕබී 678 කියල වර්ග දෙකක් අපිට තෝරලා දුන්න ප්‍රතිරෝධී වර්ග කියල. ඒවායේ අස්වැන්න නම් අඩුයි, හැබැයි 100% ක්ම ගොක් මැස්සාට ඔරොත්තු දෙනවා. අපිට කරන්න උනේ ඒ මාදිලිවල තිබෙන අදාළ ජාන අපේ වැඩි දියුණුකළ වී වර්ග වලට ඈඳා ගන්න එකයි. අපි පාවිච්චි කෙරුවේ ඕබී 678 කියන ප්‍රභේදය””
කර්තවයට උරදුන් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ සහල් අභිජනන විද්‍යාඥ ආචාර්ය එම්. පී. ධනපාල මහතා එසේ සඳහන් කර සිටී. ඉන්දියාවෙන් ලැබුණු ඔරොත්තුදෙන ප්‍රභේදයන්ට එම ගතිගුණය හිමිවූයේ වී පැලයේ දේහ සෛල තුල වූ යම්කිසි විශේෂිත ජානයක් හෝ කීපයක් නිසාය. එම ජාන මගින් නිපදවන කිසියම් සංයෝගයක් ගොක් මැස්සාට විෂ සහිත වන බැවින් එවැනි ගොයමක් තුල මැස්සා නඩත්තු වන්නේ නැත.
බතලගොඩ විද්වත් නඩයට එකල ගන්නෝරුවේ පිහිටි මධ්‍යම කෘෂිකර්ම පර්යේෂනායතනයෙන් උපදෙස් ලැබුනේ ඉන්දීය මාදිලිය දැරූ මෙම ජානය හෝ කීපය ගලවා අපගේ මාදිලි වලට සවි කරන්නටයි. වැඩේට වසර හත අටක් ගිය බවද සැබෑවකි. වී අභිජනනය දවසෙන් දෙකෙන් කරන්නට බැරිය. වාසනාවට පර්යේෂකයින්ට කකුල් මාට්ටු දමමින්, වැඩේ දෙල් කරන බකපන්ඩිතලාත්, ඇස්දෙක බැඳගෙන අලියාගේ තැනතැන ඇඟපත අතගාමින් උගේ හැඩරුව කියන අංජනම්කාරයිනුත් එදා සිටියේ නැත. හිටියා නම් ධනපාලලා තවමත් ජාන අමුනන්නට දඟලනවාය.
වැඩේ කෙරෙනා තුරු ගොවීන්ගේ සහනයට උපදෙස් දෙනු ලැබුවේ ගසට උරාගෙන ඇතුලත සිටිනා සතුන් මරන්නට තරම් ප්‍රබල වන කාබොෆියුරාන් වැනි ‘කැට කෘමිනාශකයක්’ කුඹුරට යොදන්නටයි. මන්දයත් සතුරා සිටින්නේ සැඟවීගෙනය. ප්‍රමාණයෙන් කුඩා බව නිසා හදිස්සියට පෙනෙන්නේත් නැත.
කෙසේ වෙතත් අද වනවිට මෙවැනි ප්‍රබල කෘමිනාෂකයන් කෘෂි නිලධාරීන් විසින්ම මෙරට භාවිතය තහනම් කර තිබේ. සමහරුන් කියනා පරිදි මෙරට සිටිනා කෘෂි නිලධාරී ඇතැමෙක් පළිබෝධනාශක මාෆියාවෙන් වරදාන ලබාගන්නවුන් වෙති. ඒ නිසා ඔවුන් නටන්නේ කොම්පැනිය ගසනා බෙර පදයට අනුවය.
එසේ නටනා අතරතුර රටට ජනතාවට හානි පමුණුවන පළිබෝධනාශක වර්ග රාශියක භාවිතය මෙරට තුල තහනම් කිරීමට ඔවුන් විසින්ම පියවර ගැනීම මට නම් අමුතුම වර්ගයේ අපබ්‍රංශයකි. එක්කෝ ඔවුන් වරදාන සන්තෝසම් ගන්නේ නැත. නැත්නම් තහනම් කිරීම බොරුවකි. මේ දෙක එකිනෙකට පරස්පරය. අතයට ගනුදෙනුව පිටතට නොපෙනෙන නිසා ඒ ගැන සහතික දෙන්නට බැරි වුවත්, තහනම නම් එළිපිටම පෙනෙන්නට තිබේ. එසේනම් ගනුදෙනුවත් නොලැබුණා වියහැකි නිසා අවසානයේ නිගමනය කරන්නට සිදුවන්නේ, එසේ පවසන අයගේ පරිපථයන්හි බරපතල වයර් පටලැවිල්ලක් සිදුවී ඇති බව පමණය.
රිදී ගොබ පීදීමේ රෝගයෙන් තාවකාලික සහනයක් ලැබීමට කෘමිනාශක හරහා ගොවියා සමත්වෙත්දී, කෘෂි විද්වතුන් විසින් තකහනියෙන් නිපදවන ලද ගොක් මැස්සාට ඔරොත්තු දෙන Bg 400-1, Bg 380, Bg 276-5 වැනි ප්‍රතිරෝධී වී ප්‍රභේද එදා කෙතරම් ජනප්‍රසාදයට පත්වූවාද කියනවානම් වසර දෙක තුනක් යනවිට ලාංකික වගා වපසරියෙන් 30% ක පමණ ප්‍රමාණයක් පුරවාලන්නට මෙම ප්‍රභේදයන් සමත්වී තිබේ.
එහෙත් සොබාදහම අපට පමණක් පක්ෂපාතී වන්නේ නැත. මැස්සාට පෝෂණය විය නොහැකි ගොයමක් නිපදවන්නට සොබාදහම විසින් විද්වතුන්ට ආශීර්වාද කරනවාසේම, ඊට එරෙහි ජීව දර්ශ ප්‍රසූත කරන්නට ගොක් මැස්සාවද දිරිගන්වා තිබේ. විද්වතුන්ගේ උත්සාහයන් සරදමට ලක්කරමින්, ප්‍රතිරෝධී ප්‍රභේද වලටත් ගොක් මැස්සා පැමිණියේ ස්වභාවික විකෘති හරහා නව ජීව දර්ශ බිහිකර ගනිමින්ය.
ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද එකල වූ සිදුවීම ගැන මතකය අවදිකරනු ලැබුවේ මෙලෙසිනි.
“1983 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ගුරුවෙල ප්‍රදේශයෙන් නැවතත් ගොක් මැස්සාගේ හානිය මතුඋනා. ගොවීන් වගා කල බව අපිට කීවේ Bg 400-1 යන වී ප්‍රභේදය. අපේ කණ්ඩායමක් වහාම ඒ ස්ථානයට ගියා. අපි උපකල්පන දෙකක් කෙරුවා. එක්කෝ මේ 400-1 කියන ප්‍රභේදය නෙවෙයි. අනෙක් උපකල්පනය තමයි අපේ ප්‍රතිරෝධී ප්‍රභේද හා සටනට ගොක් මැස්සා තම පරපුර සූදානම් කරගෙන අවසන් කියන එක. දෙවැනි උපකල්පනය තමා නිවැරදි බවට සනාථ උනේ. ගොක් මැස්සා ජය අරගෙන”
වසරක් ගතවෙත්ම ගොක් මැසි ආක්‍රමණය රටපුරාම ව්‍යාප්ත වූ බැවින් රසායන මර්දනයකට පවා යාමට සිදුවූ බව හෙතෙම පවසයි. වී වගා විද්වතුන්ට නැවතත් සිදුවූයේ ප්‍රතිරෝධී වී ප්‍රභේද බිහිකිරීමේ අභිජනන වැඩසටහන් ආරම්භ කරන්නටය. 1991 වසර වනවිට නැවතත් අවදානමෙන් මඳක් මිදෙන්නට ඔවුනට හැකිවී තිබේ. දිගින් දිගටම නවාතැන් අහිමිවීමේ තත්වය මත ගොක් මැස්සාගේ ‘දල’ බිඳී ඇති බවත්, තවදුරටත් ආර්ථික හානියක් කරන්නට ඌ සමතෙක් නොවනු ඇති බවටත් සිතමින් අප පසුගිය කාලය ගෙවා දැමුවෙමු.
එහෙත් ඉදිරියේදී මේ තත්වය වෙනස්වන බවට ඉඟි පලකරමින් පසුගිය 2019/20 මහ කන්නයේදී මහනුවර අන්තර් පලාත් බල ප්‍රදේශයේ හසලක සමහර ස්ථාන වලිනුත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ආදී සමහර ප්‍රදේශ වලිනුත් දරුණුලෙස ගොක්මැස්සාගේ හානිය වාර්තා වූ බව පවසන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේන මහත්මියයි.
“ඒ ක්ෂේත්‍රවල වගාකරලා තිබුනේ Bg 352, Bg 366, Bg 374 සහBg 403 වැනි වී ප්‍රභේද. හැම එකටම දරුණුලෙස හානිවෙලා තිබුන. මේ වී ප්‍රභේද වගාව සදහා මුලින්ම නිදහස්වන අවස්ථාවේදී ගොක්මැස්සා සදහා මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් තිබුනත් තත්වය මේ වනවිට බිඳීගොස් තිබෙනවා විය හැකියි. ඒ කියන්නේ ගොක් මැස්සාගේ තවත් ජීව දර්ශයක්/හානිකර මාදිලියක් බිහිවී තිබීම වෙන්න පුළුවන්.එය සනාථ කිරීම සදහා පර්යේෂණ කෙරුවත් අපිට අවශ්‍ය තොරතුරු නියමාකාරයෙන් ලැබුනේ නෑ. රටේ පැවති කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ඊළඟ කන්නය වන 2020 යල කන්නයේදී එම පර්යේෂණ ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් බැරිඋනා.”
ඉදිරියට එන්නට ඇත්තේ යලිත් මහ කන්නයකි. දිවයිනේ ප්‍රධාන වී නිෂ්පාදන කාල පාරාසය වන්නේ එයයි. කොවිඩ් වසංගතයත් සමග ගැටී, අගුල් වැටී සිටියදී කාගෙ කාගේත් වැඩි අවධානය යොමුවී තිබුනේ කුඹුරු කොටන්නට නොව යහමින් ගෙවතු වවන්නටය.
මේ අතර වාරයේ දින තුන හතරක ජීවිත කාලයක් තිබෙන ගොක් මැස්සාගේ පරම්පරා කීයක් බිහිවන්නට ඇත්ද? මිනිසා විසින් නිපදවා ඇති ප්‍රතිරෝධී ගොයම් මාදිලි සමග ජීවිතය ගෙවන්නට කුමන ආකාරයකට එයා අනුවර්තනය වන්නට ඇත්ද? රටේ වෙනත් ප්‍රදේශයන් කරා ව්‍යාප්තවී ගොස් ලබන කන්නයේ පූදින ගොයමත් සමග මඟුල් කන්නෙමියි සිතා විකල්ප ධාරක වල් පඳුරු අතර මේ වනවිටත් සැඟවී සිටිනවා ඇත්ද? දෙවියන් පමණක් අද දවසේ දන්නා මේ තොරතුරු වල සාරාංශය ගොවියාට දැනගන්නට ලැබෙන්නේ එළඹෙන මහ කන්නයේ ගොයම පූදින සමය වනවිටයි.
නිදහස් කරන සෑම ගොයම් ප්‍රභේදයක්ම අඩුතරමින් ගොක් මැස්සාට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක්වත් පෙන්වන්නේදැයි සැක හැර දැනගෙන නිකුත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිරිත වුවත්, පළිබෝධකයාගේ මෙම ආක්‍රමණික උපක්‍රමය නිසා, අද වනවිට ඒවාහි ප්‍රතිරෝධීතාවය එහා මෙහා වී හෙට අනිද්දා තැන තැන කුඹුරු වල රිදී ගොබ මතුවීම අහම්බයක් නොවී සිරිතක් වීමට හොඳටම ඉඩ තිබේ.
මහ කන්නය ආරම්භයේදීම මේ සඳහා පිළියම් යෙදිය යුතු වන්නේ රිදී ගොබ පීදුන ගොයමකින් කරල් ඉල්ලා සිටීම පලක් නැති බැවිනි. කොරෝනාවට බෙහෙත් නැතුවා සේම ගොයම් ගස තුල සැඟව සිටිනා පුංචි කෘමියා මැරිය හැකි විෂ පළිබෝධනාශකද මේ වනවිට අපට නැත. ජාන වෙනස් කරගෙන යලි ඉපදුන මැස්සාට ඔරොත්තුදෙන නව ප්‍රභේද බිහිකිරීමටත් වසර ගණන් කල්ගතවේ.
මහ කන්නය ආරම්භයේදීම මේ සඳහා පිළියම් යෙදිය යුතු වන්නේ රිදී ගොබ පීදුන ගොයමකින් කරල් ඉල්ලා සිටීම පලක් නැති බැවිනි. කොරෝනාවට බෙහෙත් නැතුවා සේම ගොයම් ගස තුල සැඟව සිටිනා පුංචි කෘමියා මැරිය හැකි විෂ පළිබෝධනාශකද මේ වනවිට අපට නැත. ජාන වෙනස් කරගෙන යලි ඉපදුන මැස්සාට ඔරොත්තුදෙන නව ප්‍රභේද බිහිකිරීමටත් වසර ගණන් කල්ගතවේ. එසේනම් අප ඉදිරියෙන් ඇත්තේ අවදානමකි. ගබඩා තුල සඟවාගත් වී තොග ගැන මෙතෙක් කතාකල අයට මේ හමුවේ අනාගතයේ කතාකරන්නට වන්නේ ගබඩා පුරවන්නට වී තොග නැතිව හුළං පිරෙන ගබඩා ගැන විය හැකිය.
කන්නය ආරම්භයේදී ගොවියා අනුගමනය කලයුතු පිළිවෙත් පැකේජයක් මේ වන විටත් බතලගොඩ නිලධාරීන් විසින් එලි දක්වා තිබේ. ඒ ගැන තාක්ෂණික විස්තර කියවීමට බහුතර සතිඅන්ත පාඨකයින් කැමති නොවනු ඇත. අවශ්‍ය තරම් උපදෙස්, තොරතුරු පත්‍රිකා මගින් ගොවීන් හා මුසුවෙන කෘෂි නිලධාරීන් වෙත දැනටමත් යවා ඇති බැව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කුඹුරු කරන්නන් හෝ කරවන්නන් දැන් කලයුත්තේ පළාතේ කෘෂි නිලදරුවන් හමුවී ගොක් මැස්සා හා සටන මෙහෙයවන අයුරු දැන කියා ගැනීමය. දෙපාර්තමේන්තුවටත් වසර අටකින් පමණ නව නිලධාරීන් බඳවාගෙන නොමැති බැවින් අලුතින් ගොයම් ප්‍රභේද නිපදවීම වැනි කටයුතුවලටද අපහසුතා ඇතිබවට පසුගිය දිනවලදී පුවත් පළවුණි.
වර්ජන තර්ජනයක් ඇතිවිටදී විශ්‍රාමික රියදුරන් සේවයට ගෙන අවදානම නොසලකා කෝච්චි දුවවන්නට ඉදිරිපත් වෙන බලධාරීන්, විශ්‍රාමික විද්වතුන්වත් කුලියට ගෙන ගොයමේ අවදානම ගැන අවධානය යොමු කරනවානම් ගොක් මැස්සා වැන්නවුන් ඔයතරම් උඩපනින එකක් නැත.
එලය යොදාගෙන වහලේ ගැහුවත්, අරටු ලී දඬුත් හරි හරියට ඒ හා මිශ්‍රව නොතිබුනොත් නම්, වහල කඩා වැටෙනා බව ඔවුනට අවබෝධ විය යුතුය. අලුතින් බඳවා ගන්නා පොඩි එකෙකුට උනත් යමක් කමක් අසා දැනගන්නට අහල පහලින් දන්නා කියන කෙනෙක් සිටීමේ වැදගත්කම එයයි. එහෙත් වගකිව යුත්තන් ඉස්තාලය වසන්නට කල්පනා කරන්නේ අස්සයා පැනගිය පසු නොව, ඉස්තාල දොරත් වේයන් කෑ පසු වීමය අපට තිබෙනා ගැටලුව වන්නේ……..
සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.