සමාරම්භයේදීම කැන්ඩි ටස්කර්ස්ගෙන් දැවැන්ත ඉලක්කයක්

Spread the love

අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා ලෙසින් තම නම ඉතිහාස කරගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ රහමනුල්ලා ගුර්බාස්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කලම්බු කිංග්ස් පිල හමුවේ ලකුණු 220 ක අභියෝගාත්මක ඉලක්කයක් තැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ.

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විචිත්‍රවත් සමාරම්භ උළෙලකින් පසු ඇරැඹි එල්.පී.එල්. පළමු තරගයේ  පළමු හතරේ පහර එල්ල කිරීමේ ගෞරවය නායක් කුසල් පෙරේරා සතු වුවත්, මන්ප්‍රීට් ගෝනි යවන ලද දෙවැනි පන්දුවාරයේ සිට සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ ඇෆ්ගනිස්තානු ජාතික දකුණත් පිතිකරුවා මුහුණ දුන් 21 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

මැතිව්ස්, ගෝනි, චමීර සහ උදානගේ පන්දු යැවීම තඹයකටවත් මායිම් නොකළ ගුර්බාස් කයිස් අහමඩ්ට එරෙහිව පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් ලකුණු 50 සීමාව ඉක්මවා ගියද අනතුරුව යවන ලද පන්දුවේදී උඩ පන්දුවක් දැවී ගියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සරසා ගනිමිනි.

දැවී යන විටත් නායක කුසල් සමඟ ලකුණු 75 ක සම්බන්ධතාවයක් එක් කිරීමට ගුර්බාස් සමත්වීම නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 79 ක් රැස් කර ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිලට හැකියාව ලැබිණ. ගුර්බාස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් තරමක් තැන්පත් වුණු කුසල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේ.

පිටිය සිසාරා පහර එල්ල කළ වමත් කසකරුවා අර්ධ ශතකය පන්දු 35 කදී සම්පූර්ණ කරගනිද්දී ඉතිරි ලකුණු 37 ලබා ගැනීම සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. දැවී යන විටත් හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම සරසාගෙන සිටි කුසල් පෙරේරා පන්දු 52 කදී කුසල් ලකුණු 87 ක් ලබා සිටියේය.

නුහුරු ලෙස ඇදී ගිය උඩ පන්දුව හඹා ගිය අශාන් ප්‍රියන්ජනගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ කුසල්ගේ ඉනිම හමාර වූ නමුත් කලම්බු කිංග්ස් පන්දු යවන්නන් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාර 5 දී ලකුණු 70 ක් උදුරා ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ සමත්වූහ. ඒ අතර තුරදී කුසල් මෙන්ඩිස් (පන්දු 24 කදී ලකුණු 30 ක්) සමඟ ලකුණු පන්දු 42 කදී ලකුණු 59 ක්ද අසේල ගුණරත්න සමඟ පන්දු 39 කදී ලකුණු 73 ක්ද රැස් කරමින් තම ඉනිම ලකුණු 200 ඔබ්බට රැගෙන යෑමට වැඩි දායකත්වයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

RSL

Related Posts