සමගි ජන බලවේගය ‘පවුලක බූදලයක්’ වූ පක්ෂයක් නොවෙයි – නීතිඥ හිරණ්‍යා හේරත්

Spread the love

සමගි ජන බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රතිඵලයක් බවත් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර දැවැන්ත දේශපාලන පරතරයක් ඇති බවත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය පැවසුවාය.

නුවරඑළිය සමගි ජන බලවේගයේ, නුවරඑළිය දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව අමතා මේ බව සඳහන් කළ හිරණ්‍යා හේරත් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලූ විසඳා ගතහැකි වන්නේ නුවරඑළිය ජනතාවට ආදරය කරන, එහි ගැටලූ විසඳීමට කැපවීමක් කළහැකි දේශපාලන නායකත්වයකින් පමණක් බවයි. මෙහිදී නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය මෙසේද පැවසුවාය.    

‘අපි අද සාක්ෂි දරන මේ සිදුවීම ලංකාවේ හැමදාම සිදුවෙන දෙයක් නොවේ. අපි නොදැනුවත් වුණත් අපි මේ කරන කර්තව්‍ය ඉතිහාස පොතේ ලියවෙනවා. 1946 ලංකා ජාතික කොන්ග්‍රසය සහ සිංහල මහා සභාව එක්ව එක්සත් ජාතික පක්ෂය බිහිවුණා. 1951දී එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ගිය බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. ඉන්පසු  සියලු රජයන් බිහි වුණේ මේ පක්ෂ දෙකෙන් එකක නායකත්වයෙන්.

ඒ වගේම ලංකාවේ දේශපාලන කරළියේ තවත් වෙනසක් ඇති කරමින්  2016දී  නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය ප‍්‍රබලයින් පිරිසකගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ බිහිවුණා. මේ සියලූ දේශපාලන බෙදීම් සහ නව පක්ෂ බිහිවීම් අතර සුවිශේෂම, ඒ වගේම ඓතිහාසික අවස්ථාව වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වවෙන් සමගි ජන බලවේගය බිහිවීමයි.

එය ප‍්‍ර‍්‍රතිපත්තිමය දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවක්. ජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂා මල්ඵල ගැන්වීමක්. අපි අද සාක්ෂි දරන්නේ ශ්‍රී ලංකා දේශපාලන වංශ කතාවේ ඒ සුවිශේෂී ජයග‍්‍රහණය වෙනුවෙනුයි.   දේශපාලන විචාරකයින් කියන ආකාරයට මේ තමයි ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල දෙවන යුගය. ලංකාවේ දේශපාලන පක්ෂ වල  දෙවන පරපුරේ ආරම්යභ තුළයි අපි දැන් ඉන්නේ.

නව තත්ත්වය තුළ තව දුරටත් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒවා දැන් අතීතයට එක්වෙලා ඉවරයි. ශ්‍රී ලංකාවේ අනාගතය තිබෙන්නේ දුරකථනයත් පොහොට්ටුවත් අතරයි. මොකද ජනතාව  අද ඉන්නේ මේ කණ්ඩායම් දෙකත් සමගයි.

ඒත්  දුරකතනයයි – පොහොට්ටුවයි අතර ලොකු වෙනසක් තියනවා.. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ පවුලේ නිර්මාණයක්. රාජපක්ෂ පවුල් බලය ආරක්ෂා කර ගැනීමට අටවා ගත් පක්ෂයක්. ඒත්  සමගි ජන බලවේගය  කියන්නේ ප්‍රජාවාදී අරගලයක ප්‍රතිපලයක්.

අපි පක්ෂය හදන්න අරගල කළා, පක්ෂය නවීකරණය කරන්න අරගලය කළා, අපි ප්‍රජාතන්ත්‍රවාදී වීමට අරගලය කළා, දුරකථනය කියන්නේ ඒ අරගලයේ ප්‍රතිපලයක්. දුරකථනය කියන්නේ ප්‍රජාන්තවාදී දේශපාලන දර්ශනයක එක සාධකයක්. එය පවුල්වාදී පක්ෂයක් හෝ දර්ශනයක් නොවෙයි. එක පවුලක බූදලයක් වූ පක්ෂයක් නොවෙයි.

අනාගතයේදී අපේ අපේක්ෂකයින් තෝරන්නේ  පක්ෂයේ සංවිධායක නෙමෙයි. පක්ෂ නායකයාගේ පුද්ගලික අභිමතය පරිදි නොවෙයි. එය සියය සියයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි සිදුවන්නේ.
මම අද ඔබ සියලු දෙනාට ලොකු වගකීමක් පවරනවා. මම විශ්වාස කරනවා ඒ වගකීම ඔබ සියලුදෙනාට බාරගන්න පුළුවන් එකක් කියලා.

ඔබ අද ගමට ගියාම කරන්න පොඩි වැඩක්  මම බාර දෙනවා. ඒ  මං  වෙනුවෙන්වත්, දුරකථනය වෙනුවෙන්වත් නෙවෙයි, ඒ වගකීම අපේ ප්‍රජාව වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්, නූපං පරම්පරාව වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කරන ඉල්ලීමක්.

ඔබ අද ගමට ගියාම, තරුණ සමගි බලවේගයේ ශාකාවක්  පිහිටුවන්න. දෙන්නෙක්ගෙන් හරි පටන්ගන්න. එය ප්‍රමාණවත්. වර්ධන කරන්න. එකතු කරන්න, පිරිස රැස් කරන්න.

ඔබ පිහිටවන ශාකව හරහා ගමට සේවය කරන්න. ප්‍රශ්නවලට විසදුම් හොයන්න. රජය විසඳනකම් බලා ඉන්න එපා. ඔබේ ගමේ නායකත්වය ඔබ බාරගන්න.

ඔබේ වගකීම ඔබේ ගමට සේවය කරන එක. ප්‍රශ්න විසඳන එක. නැති යට උදවු කරන එක. ශ්‍රමදාන කරන්න. පරිසරය පිරිසිදුව තියන්න. ව්‍යාපාර කරන්න. වෙළදාම කරන්න,  රැකියා නිපදවන්න. හැමදේම රජය දෙනකන් බලන් ඉන්න අපිට කාලය නෑ.

මම මතක් කරන්න කැමතියි, අපි මේ ජීවත්වෙන සුන්දර නුවරඑලිය දිස්ත්‍රික්කය තමයි මුළු ලංකාවටම වතුර දෙන්නේ. ලෝකයටම තේ සපයන්නේ, මුළු රටම නිවාඩුව ගතකරන්න, සුන්දර සිරි නරබන්න එන්නේ. රටටම එළවලු දෙන්නේ. ඒත්  අපිට පිටින් ලැබුණු දෙයක් තියෙනවද ? අපි වෙනුවෙන් පිට කෙනෙක් කරපු දෙයක් තියෙනවද ?

අපේ දිස්ත්‍රික්කය අපි දියුණු කරමු. රාජ්‍ය බලය තිබුණත් නැතත් අපි හැමෝටම මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. සල්ලි තිබුණත් නැතත් අපිට තව කෙනෙකුට දෙන්න දේවල් තියෙනවා. දුරකථනයේ අයිතිය ඔබ බාරගන්න. රට හදන වගකීම ඔබ බාරගන්න. අදම වැඩ පටන්ගන්න. දුරකථනය දිනවන්න. අපේ රට දිනවන්න වැඩ කරන්න.
කතා කරා ඇති. දැන් අපි වැඩ කරමු.

මෙම සමුලුව සඳහා සමගි තරුණ බලවේගයේ චමින්ද ගුරුසිංහ, ඉන්සාෆ් බාකීර් මාකර්, ජෙසීමා මෙනවියා හා දිනුක් කිරිඇල්ල මහත්මහත්මින් අමතනු ලැබීය.

RSL

Related Posts