ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම

Spread the love

COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති.

ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ නව නිර්මාණකරුවන් ද නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති. එහි සතුටුදායක ප්‍රතිඵලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම

COVID-19 රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යන බවට මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ

ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරසය ‘A’ කාණ්ඩයට අයත් වේ

COVID-19 ලෙස නම් කළ රෝගය ඇති කරන නව කොරෝනා වෛරසය SARS-CoV2 ලෙස හඳුන්වනු ලැබේ.

එම වෛරසයේ A,B හා C ලෙස හඳුන්වන මූලික ආකාර තුනක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ.

ඉන් මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගත් වෛරසයේ A කාණ්ඩයට අයත් ප්‍රභේදය ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වන අතර චීනයේ වුහාන් ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ COVID-19 රෝගය ඇති කරන වෛරසයේ B කාණ්ඩයේ ප්‍රභේදය බව ද මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළාය.

නව කොරෝනා වෛරසයේ C කාණ්ඩය වැඩි වශයෙන් යුරෝපයෙන් වාර්තා වෙමින් තිබේ.

‘ඉතිහාසගත පරීක්ෂණයක්’

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය තුළ පිහිටි රසායනාගාරයේදී COVID-19 රෝගීන් හඳුනා ගැනීමට අදාළ PCR පරීක්ෂණ නීලිකා මලවිගේ මහාචාර්යවරියගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කරනු ලැබේ.

එම පරීක්ෂණ සඳහා ලැබුණු COVID-19 රෝගය වැළඳුණු අයගේ ජෛව සාම්පලවලින් වෙන්කර ගත් වෛරසයේ RNA (Ribo Nucleic Acid) දත්ත සැකැස්ම විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය හඳුනාගැනීමට හැකි වී තිබේ.

”මේ පර්යේෂණය මගින් තමයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක whole genomic sequencing (වෛරසයේ ජාන සැකැස්ම) හොයාගත්තේ. ශ්‍රී ලංකාවේදී වෛරස වලට අදාළ පරීක්ෂණ සිදු කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වුණේ වෛරසයේ ප්‍රවේණිගත ලක්ෂණ සහිත RNA (Ribo Nucleic Acid) වෙන්කරගෙන වැඩිදුර පර්යේෂණ සඳහා වෙනත් රටක රසායනාගාරයකට යැවීමයි. COVID-19 වෛරසයේ ප්‍රභේදය අනුව සංකූලතා වෙනස් වන බවට මතයක් තියෙනවා. අපි ලංකාවේ පැතිරෙන වෛරසය නිවැරදිව හඳුනාගැනීම රටක් විදියට මේ සඳහා මුහුණ දෙන්න ඉතා ම වැදගත්,” යනුවෙන් මහාචාර්යවරිය විස්තර කළා ය.

මීට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව ද ඇය පැවසීය.

COVID-19 රෝගයෙන් පුද්ගලයන් මිය යාමේ සිද්ධි ඇමරිකාව හා යුරෝපයෙන් වැඩි වශයෙන් වාර්තා වේ. තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව සැලකූ විට මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල පැතිර පවතින වෛරසයේ ස්වභාවය ඊට හේතු විය හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරයි.

“මේක අලුත් වෛරසයක් නිසා විකෘති සිදුවේගන යනවා. සිංගප්පූරුවේ එන්නතක් හැදුවොත් ඒක ලංකාවටත් හරියනව ද කියල බලන්න ලංකාවේ වෛරස කාණ්ඩවල තියෙන වෙනස්කම්, අනිත් රටවල තියෙන වෙනස්කම් බලන්න ඕනා. ඒකට අපි ලංකාවේ මේ වෛරසයේ whole genomic sequencing කියන එක සොයා ගැනීම ඉතා වැදගත්,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියා ය.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

COVID-19 පාලනයට විශ්වවිද්‍යාල තුළින් නව නිර්මාණ

COVID-19 රෝගය පාලනයට අවශ්‍ය නව නිර්මාණ සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් වෙත මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහිදී කොළඹ, පේරාදෙණිය, වයඹ, රුහුණ , ජයවර්ධනපුර සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලින් සාර්ථක යෝජනා ලැබී ඇතැයි වාර්තා වේ.

කෘත්‍රිම ශ්වසනය ලබා දීමට අවශ්‍ය වෙන්ටිලේටර් යන්ත්‍ර, රෝගියාට අවශ්‍ය බෙහෙත් සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා දිය හැකි රොබෝ යන්ත්‍ර, වඩාත් ආරක්‍ෂිත මුහුණු ආවරණ නිර්මාණය එම යෝජනා අතර වේ.

ආචාර්යවරයෙකුගේ අධීක්ෂණය මත, උප කුලපතිවරයා හරහා සරසවි සිසුන්ට නව නිර්මාණ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර සාර්ථක නිර්මාණ කිහිපයක් දැනටමත් නිපදවා අවසන් බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවේය.

”හදවත නවතින්න යන කෙනෙකුට පපුවට අවශ්‍ය තෙරපුම දෙන්න කොළඹ වෛද්‍ය පීඨයේ දරුවෙක් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. ඒවා මිලියන ගාණක් වෙළෙඳ පොළේ. නමුත් ඒ දරුවා රුපියල් පනස් දාහකින් වගේ වියදම පිරිමහලා තිබුණා. දැන් ඒවා නිෂ්පාදනය කරනවා. මුලින් ම කොළඹ ජාතික රෝහලටත් කළුබෝවිල රෝහලට සහ කරාපිටිය රෝහලට දෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විෂබීජ නාශක ගුණය සහිත තීන්ත වර්ගයක් හදලා තියෙනවා. ඒ තීන්ත ගෑවහම ඒ වාට්ටුව විෂබීජවලින් ආරක්ෂා වෙනවා. මේ වගේ හොඳ නිර්මාණ රැසක් තියෙනවා,” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේය.

මෙම සම්පූර්ණ ලිපියම පසුගිය 24 වැනි දින බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූවකි. ජනතාව වෙත නිවැරදි විද්‍යාත්මක තොරතුරු සන්නිවේදනය කිරීමේ වගකීම හා වගවීම මත ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන මෙම වෙබ් අඩවියේ ද පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts