වස විස නැති ගෙවතු වගාවකට නිවසේදීම ‘කාබනික / කොම්පෝස් පොහොර’ හදා ගනිමු

Spread the love

COVID-19 වසංගත තත්ත්වය සමග උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයේදි ‘ගෙවතු වගාව‘ ජනතාවට සැලකිය යුතු සහනයක් සලසනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට හේතුව වන්නේ අනාගත ආහාර හිගය ඇති වන්නේ ප්‍රධාන වශයෙන් ‘සැපයුම් දාම‘ බිද වැටීම නිසා වීමයි. විශේෂයෙන් ආනයනික ආහාර බෝගවලට මේ තත්ත්වය ඍජුව බලපාන බවයි ආර්ථික විශේෂඥයින් කියන්නේ.

මේ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රසායනික පොහෝර සහ කෘෂි රසායන (වල් නාශක හා කෘමි නාශක) සැපයුම ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බිද වැටීම හෝ දුර්වල වීම සිදුවිය හැකි බවයි.

මේ තත්ත්වය තුළ රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු ද අර්බුදයට යාම නොවැළැක්විය හැකි කරුණක්.

මේ තත්ත්වය තුළ බිහිවන ආහාර අර්බුදයට යම් සහනයක් ගෙවතු වගාව හරහා මෙන්ම කාබනික බෝග වගාව හරහා ද ලබාගත හැකියි. විශේෂයෙන් කාබනික බෝග වගාව තුළ නියැළීම මගින් රසායනික පොහොර සහ කෘෂි රසායන අවශ්‍යතාව තොරවීම තුළ වඩාත් සුරක්ෂිත ආහාර සැපයුමක් ලබාගත හැකියි.

මේ තත්ත්වය තුළ ගෙවතු වගාවේ යෙදී සිටින ඔබට පහසුවෙන් සහ අඛණ්ඩව කාබනික පොහෝර සපයා ගත හැකි මග වන්නේ ඔබ විසින් ම කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමයි.

කාබනික පොහොර

‘දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර‘ ලෙස සරලව හැඳින්විය හැකියි. කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරක‍ෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා. එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.

කාබනික පොහොර වර්ග:

  1. සත්ත්ව පොහොර
     ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.
     කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි.
  2. කොළ පොහොර
     ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
     කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි.
  3. කොම්පෝස්ට් පොහොර
     දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි. උදා :-
    – ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර
    – ගලවා දමනු ලබන වල් පැළෑටි
    – කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ
    – පොල් කුඩු හා තේ කොළ
    – ලිපෙන් ඉවත් කරන අළු
    – වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ
    – සත්ත්ව වසුරු
  4. ගැඩවිලි පොහොර
    ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්.

කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර නිපදවීම

ඔබගේ  ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර සාදාගත හැක.  බැරලයක් භාවිතයෙන් කොම්පෝස්ට් නිපදවීම ඉඩකඩ ඉතා අඩු නාගරික ගෙවත්තට වඩා සුදුසුයි. මෙය ඉතා සරල ක්‍රමයක්.

කොම්පෝස්ට් බැරලය

 මෙම ක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.
 කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.
 කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.
 සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.
 බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි.

ඔබගේ ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර

ඔබගේ  ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර සාදා ගැනීම සඳහා කොම්පෝස්ට් කුළුණු සකස් කරගත හැකියි.

කොම්පෝස්ට්කුළුණ

  • ග්ලිරිසීඩියා කෝටු ළඟින් ළඟින් සිටුවා ගැනීමෙන් කොම්පෝස්ට් කුළුණක් සාදාගත හැකිවෙනවා.
  • ග්ලිරිසීඩියා කෝටු වෙනුවට මේ සඳහා ඉපිල් ඉපිල්, එරබදු වැනි කෝටු වර්ගත්භාවිතා වෙනවා.
  • මුළුතැන්ගෙයින්ඉවත්කරන අප ද්‍රව්‍ය වගේම ගෙමිදුල අතුගා එකතුවන කොළ රොඩුත්, ගෙවත්තෙන් ඉවත් කරන බෝග අවශේෂත් දිනපතාම මේ කොම්පෝස්ට් කුළුණට දමන්න.
  • සිටුවන ලද ඉනි පැළවේ නම් ඒවාද වරින්වර කපා කොම්පෝස්ට් කුළුණට එකතු කිරීමට හෝ කොළ පොහොරක් ලෙස භාවිතා කිරීමටයොදාගත හැකියි.
  • මේ කොම්පෝස්ට් කුළුණ දිනපතාම පිරවිය හැකි අතරම කලින් කලට එහි අඩියෙන් කොම්පෝස්ට් පොහොර ලබාගත හැකියි.

තොරතුරු මූලාශ්‍රය – http://saubagya.lk ඇසුරිණි

RSL

Related Posts