Covid-19 වසංගතය ගෝලීය අවදානමක් බවට පත්වීම සමග ලංකාවේ බොහෝ දෙනෙක් ගෙවතු වගාවට යොමු වුණා. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණ අතර රජය විසින් සෞභාග්‍ය ගෙවත්ත‘ නමින් ගෙවතු දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා.
මේ සමග බොහෝ දෙනකුට, නාගරිකයින්ට පවා උදළුවල හඩ නිතර නිතර අසෙන්නට පටන්ගත් අතර මුහුණු පොත ඇතුළු සමාජමාධ්‍යවලත් තමන්ගේ ගෙවතු වගාව ගැන ඡායාරූප සහ අත්දැකීම් හුවමාරු වුණා.
කෙහොම හරි ලංකාවේ බොහෝ දෙනෙක් ගෙවතු වගාව ආරම්භ කිරීම සමග සුලභ මැසිවිල්ලක් ඇසෙන්නට පටන් ගත්තා. ඒ ‘බීජ‘ ගැන. හදිසියේ නිර්මාණය වූ බීජ දැවැන්ත ඉල්ලුම සපුරාලන්න තරම් පුද්ගලික ආයතන සතුව බීජ තිබුණේ නැහැ.
ලංකාවේ ගෙවතු වගාව ගැන කතාව හැමදෙනාම දන්න නිසා අපේ අවධානය යොමු වුණේ කොවිච්-19 වසංගතය සමග ලොව පුරා පැතිර ගිය ‘සාගතයක් ගැන භීතිය‘ සමග නිර්මාණය වූ වෙනත් රටවල ගෙවතු වගාවන් ගැන.. මේ පසුගිය මැයි 07 වැනිදා බී.බී.සී වෙබ් අඩවියේ සදහන් වුණ කතාව..
ජෙරී ගෙට්ල් ගෙවතු බීජ සමාගම (Jere Gettle’s garden seeds company) මීට පෙර එවැනි දෙයක් දැක නැත.
“අපගේ අවුරුදු 22 ක ඉතිහාසයේ විශාලතම බීජ ඉල්ලුමක් ඇති වුණ දිනය මාර්තු 30 වන සඳුදා” යැයි මිසූරි හි මෑන්ස්ෆීල්ඩ් හි බේකර් ක්‍රීක් හයර්ලූම් සීඩ්ස් හි හිමිකරු ( Baker Creek Heirloom Seeds in Mansfield, Missouri) පවසනවා.
“අපට ඇණවුම් 10,000 කට වඩා තිබුණා, එය අපගේ සාමාන්‍ය තත්වයට වඩා 10 ගුණයක් පමණ වැඩි ඉල්ලුමක්. වෙනත් ආකාරකින් කිව්වොත් එය අති දැවැන්ත ඉල්ලුමක්”
කොවිඩ්-19 වෛරස් වසංගතයට ප්‍රතිචාර වශයෙන් මාර්තු මාසයේ ලෝකයේ බොහෝ රටවල් අගුළු දැමූ විට, ආහාර හිඟයක් ඇති විය හැකි බවට වන බිය අප බොහෝ දෙනාගේ ක්ෂණික අවධානයට ලක් වුණා.
ආදායමේ වෙනසකින් තොරව ජනතාවට හදිසියේම සුපිරි වෙළඳසැල් වලට පෝලිම් ගැසීමට සිදු වූ අතර, ඔවුන් අවසානයේ ඇතුළට ගිය විට දැකගත හැකි වුණේ හිස් රාක්ක පමණයි.
‘සියල්ල අවසන් ‘ ඔවුන්ට එවැනි හැගීමක් දැනෙන්න ඇති. කොපමණ මුදල් තිබුණත් ආහාරයට ගන්න දෙයක් නැති නම්… !
මෙවැනි භීතියක් බටහිර රටවල දශක ගණනාවකින් ඇති වී නැහැ. විශේෂයෙන් ඇමෙරිකාවේ…
සුපිරි වෙළෙද සැල්වල රාක්ක හිස්වන විට ඔවුන්ට කළ හැකි වෙනත් විකල්පයක් ගැන සිතා ගන්න පවා නොහැකි වුණා.
‘මේක ගෝලීය වසංගතයක්. ආනයනික ආහාර ගැන විශ්වාසය තබන්න බැහැ… සැපයුම්දාම බිද වැටිලා. රටවල් වහලා. ප්‍රවාහනය සම්පූර්ණයෙන් බිද වැටිලා. ඉදිරි දිනවල තත්ත්වය තවත් දරුණු විය හැකියි‘ අනාවැකිකරුවෝ කිව්වා.
ජනතාව හමුවේ විකල්ප ගණනාවක් තිබුණේ නැහැ. තිබුණේ සීමිත විකල්ප කිහිපයක් පමණයි. ඒ අධික මිල ගණන්වලට සීමිත ආහාර ප්‍රමාණයක් මිලදී ගැනීම හෝ ඇතැම් විට කිසිවක් නොමැතිව සිටීම. නැතිනම් තමන්ට අවශ්‍ය අවම දේ හෝ තමන් විසින්ම වගාකර ගැනීම.
කල්පනා කර කර කාලය මැරීමට කාලයක් තිබුණේ නැහැ. කොවිච් වසංගතය හැම තැනම සිය ආධිපත්‍ය පතුරවා හැර තිබුණා. නිව්යෝර්ක්, ලන්ඩන්, පැරිස්, රෝමය හිස් වුණා. ඒක කිසිමදාක සිදු නොවූ දෙයක්.
දැන් බොහෝ දෙනෙකුට පෙනී යන්නේ තමන්ගේම එළවළු වගා කිරීම ආරම්භ කිරීමට සුදුසු හෝරාව පැමිණ ඇති බවයි.
වාසනාවට එය උතුරු අර්ධගෝලයේ වසන්ත රෝපණ සමයේ ආරම්භයත් වුණා. !
කොවිඩ් වසංගතයෙන් වැඩියෙන්ම බැටකන ඇමෙරිකා එක්සත් ජනපදයේ නාගරිකයින් ගෙවතු වගාවට යොමු වුණේ එහෙමයි. ඒ සමග එළවළු බීජ සදහා අධික ඉල්ලුමක් නිර්මාණය වීම අනිවාර්ය වුණා. ලංකාවේ අපිට වගේම ඇමෙරිකාවේ ජනතාවගෙන් අති බහුතරයකට බීජ තිබුණේ නැහැ.
එක්සත් ජනපදයේ විශාලතම එළවළු සහ මල් බීජ අලෙවි සමාගම වන Mr Gettle’s company සතු එළවළු බීජ තොගවලින් අඩක් දින කිහිපයකින් අලෙවි වී අවසන් වූ අතර තක්කාලිවල සිට අර්තාපල්, නිවිති, ඉරිඟු දක්වා බීජ සියල්ල අලෙවි වී අවසන් වුණා.
“මහා අවපාතයෙන් පසු සමස්ත බීජ කර්මාන්තය මේ වගේ දෙයක් දැක නැහැ” ගේටල් මහතා විස්මයටත්, සතුටටත් පත් ස්වයෙන් කිව්වා.
තම ව්‍යාපාරයට අවසන් වරට අද තත්ත්වය හා කිසිසේත් සමාන නොවුණත් බීජ ඉල්ලුමේ සැලකිය යුතු ඉල්ලුම් ඉහළ යාමක් දක්නට ලැබුණේ 1999 සහශ්‍ර භීතිය”millennium bug” සහ 2008 අවපාතයෙන් පසුව බවත් ඔහු පවසනවා.
“මෙවර අසීමිත ඉල්ලුමක් ඇති වුණේ එළවළු බීජ සදහා පමණක් නොවෙයි. මල්, ඖෂධ පැළෑටි ඒ සියල්ල සදහා අසීමිත ඉල්ලුමක් ඇති වුණා. විශ්වාස කළ නොහැකි මිලකට ඒවා අලෙවි කිරීමට අපට හැකි වුණා”
අපි ඉහතින් සදහන් කළේ ලෝකයේ ප්‍රමුඛතම ආහාර නිෂ්පාදකයෙක් වන ඇමෙරිකාවේ තත්ත්වය. දැන් අපි මහා බ්‍රිතාන්‍ය වෙත හැරෙමු.
එක්සත් රාජධානියේ බීජ සමුපකාරයේ සමාන පින්තූරයක් වන අතර එහි සාමාජිකයින් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකි. එක්සත් රාජධානියේ බීජ අලෙවියේ ප්‍රමුඛයා වන්නේ ‘බීජ සමූපකාර සමතියයි Seed Co-operative. එය එක්සත් රාජධානියේ බීජ නිෂ්පාදකයින් විසින් පවත්වා ගෙන යන ව්‍යාපාරයක්.
එහි අත්දැකීම් ඇමෙරිකානු අත්දැකීම්වලට සමාන බවයි වාර්තා වන්නේ.
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සදහා එක්සත් රාජධානිය අගුළු දාලා තිබෙන අතර බොහෝ ව්‍යාපාර වසා දමා හෝ සීමිත සේවක සංඛ්‍යාවක් සමග කෙටි කාලයක් ව්‍යාපාරවල නිරත වීමට ඉඩ දී තිබෙනවා.
බීජ සදහා ඇති වූ සුවිශේෂී ඉල්ලුම සමග සීමිත කාර්ය මණ්ඩලයක් සමග තම ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔවුන්ට සිදු වුණා.
බීජ සමුපකාරයේ කළමණාකාර අධ්යක්ෂ ඩේවිඩ් ප්‍රයිස් පවසන්නේ ඇණවුම් හය ගුණයකින් වැඩි වී ඇති බවයි.
“අපට හොඳ මට්ටමේ බීජ තිබෙනවා. නමුත් බොහෝ ඉීජ දැන් ඉවරයි,” ප්‍රයිස් මහතා පවසයි.
වර්තමාන බීජ සඳහා ඇති අධික ඉල්ලුම ඉදිරි වර්ෂවලදී බීජ සැපයුම් සීමිත වීමට අවස්ථාව නිර්මාණය කරනු ඇති බව ඔහුගේ අදහසයි.
“අපි බහු වාර්ෂික නිෂ්පාදන කාලසටහන් මත ක්‍රියාත්මක වෙන්නේ. එබැවින් බීජ සැපයුම නැවත පිරවීමට කාලය නොමැති විට එය වසර කිහිපයකින් සැබෑ ප්‍රශ්නයක් බවට පත්විය හැකියිි”
දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් රාජධානියේ බීජ නිෂ්පාදනය පිළිබඳ විශේෂඥයින් වන ගොවි සමාගම් සිය ගණනක් ඇති අතර මේ වන විට ඔවුන් සතු බීජ තොග හීන වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රයිස් මහතා පවසන්නේ ඔහු වැනි එක්සත් රාජධානියේ සමාගම් තම සැපයුම්වලින් වැඩි ප්‍රමාණයක් නෙදර්ලන්තයෙන් හා ජර්මනියෙන් ලබා ගත යුතු බවයි.
නෙදර්ලන්තය ලෝකයේ විශාලතම බීජ අපනයනය කරන රට වන අතර එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජර්මනිය ද ප්රමුඛ බීජ නිෂ්පාදකයින් බවට පත්ව සිටී.
තමන්ගේම ගෙවතු ඇති පුද්ගලයින්ට තමන්ගේම බෝග වගා කිරීමේදී වාසියක් ඇති අතර, එවැනි ගෙවතු නොැති පුද්ගලයින්ට කුඩා පැලෑටි සහ එළවළු සඳහා ජනෙල් කවුළු හොඳින් භාවිතා කළ හැකිය.
කොරෝනා වෛරසය යුරෝපයට පැමිණීමට සති දෙකකට පෙර බර්ලිනයේදී ඇලීකා ෆෙරර් සහ ඇගේ මිතුරිය ලීනා මුලර් (Alica Ferrer and her friend Lena Müller) ඔවුන්ගේ ගෘහස්ථ ගෙවතු පෙට්ටි ව්‍යාපාරයක් වන Gruneo ආරම්භ කළහ.
ව්‍යාපාරය ආරම්භ කර දෙසතියකට පසු මිරිස් පැළයක්, සලාද කොළ සහ චෙරි, තක්කාලි ඇතුළත් වන ඔසු සහ එළවළු පෙට්ටි සඳහා අන්තර්ජාල උනන්දුව ඉහළ යන බව ඔවුහු දුටුවෝය.
ඇලීකා ෆෙරර් මහත්මිය පවසන්නේ තමා බර්ලින් මහල් නිවාසය තුළ තමාගේම ආහාර වගා කිරීමට පටන් ගත් පසු මෙම ව්‍යාපාරය ආරම්භය සඳහා අදහස ඇති වූ බවයි.
Gruneo’s පළමු ගනුදෙනුකරුවන්ගෙන් එක් අයෙකු වන Gini මීට පෙර විශාල ගෙවත්තක් තිබූ ඇගේ සීයා බර්න්ඩ්ට තෑග්ගක් ලෙස ඖෂධ පැළෑටි පෙට්ටියක් මිල දී ගත්තාය.
“ඔහු සිල්ලර වෙළඳසැලකින් සලාද කොළ මිලදී ගත් පුද්ගලයා නොවෙයි” ගිනි පවසයි.
“නමුත් ගෙදර හැදූ සලාද කොළ සහ තක්කාලිවලට ඔහු බොහෝම කැමැත්තක් දක්වාවි”
කොරෝනා වයිරසයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙක් නිවසේදී එළවළු වගා කරන අතර, බීජ සමුපකාරය සහ බේකර් ක්‍රීක් බීජ යන ආයතන දෙකම සනාථ කරන පරිදි, මල් බීජ අලෙවිය ද ඉහළ ගොස් තිබේ.
සමහරවිට නිවසේ සිරවී සිටින පුද්ගලයින් කිසිදු වැඩක් නොකර සිටීමේ ආතතියෙන් මිදීම සදහා තම උද්‍යාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. නැතහොත් අඛණ්ඩ වසංගතය නිසා සොබාදහමේ සරල ප්‍රීතිය මිනිසුන් අගය කිරීමට පෙළඹේ.
වයිල්ඩ්ෆ්ලවර් wildflower බීජ අලෙවි කරන ස්කොට්ලන්ත සමාගමක් වන කබ්ලූම් Kabloom පවසන්නේ මාර්තු අග සිට එහි විකුණුම් දස ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
වේල්සයේ ඩයිෆි මිටියාවතේ වාසය කරන අට හැවිරිදි තලා සුටන් Tala Sutton සහ පස් හැවිරිදි සයිරීනා Sirena, මල් වැවීම සඳහා වන ප්‍රජා ව්‍යාප්ත යෝජනා ක්‍රමයකට බැඳී ඇත.
“පැලෑටි වැඩීම නැරඹීමට මම කැමතියි” යැයි තලා පවසයි.
“මගේ සූරියකාන්ත පැළය කොතරම් විශාල වේදැයි බැලීමට මට බලා සිටිය නොහැකයි!” ඇය බලාපොරොත්තු සහගතව කියයි.
සිරීනා සුටන් පවසන්නේ “බීජ රෝපණය කිරීම හා මල් හා එහි ගෙඩි එනතෙක් බලා සිටීම අපූරු දෙයක් බවයි‘‘
බේකර් ක්‍රීක් වෙත ආපසු ගිය ගෙට්ල් මහතා දැන් ඔහුගේ පෙර වසර දෙකට වඩා පස් අවුරුදු බීජ සැපයුමක් ලබා ගැනීමට සැලසුම් කරයි. ඔහු පවසන්නේ ගෝලීය බීජ කර්මාන්තය වටා “විශාල ආරක්ෂිත දැලක් ගොඩනැඟිය යුතු” බවයි.
ගොවීන්ට බීජ ලබා ගැනීම පැහැදිලිවම අතිශයින්ම වැදගත් වන අතර කර්මාන්තය නියෝජනය කරන ජාත්‍යන්තර බීජ සම්මේලනය International Seed Federation පවසන්නේ කොරෝනා වසංගතය දිගටම පවතින බැවින් බීජ සැපයුම් අඛණ්ඩව සිදුවන බවට වග බලා ගැනීම සඳහා එහි සාමාජිකයින් අඛණ්ඩව වෙහෙස මහන්සි වී කටයුතු කරන බවයි.
බීජ අංශය අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් වන අතර ගොවීන්ට ප්‍රමාදයකින් තොරව බීජ ලබා දීම සඳහා තමන් අඛණ්ඩව කටයුතු කරමින්ක සිටින බව ජාත්‍යන්තර බීජ සම්මේලනය පවසයි.
‘‘නමුත් මම ගොවියෙකු නොවේ නම්, මගේ ආහාරය සදහා අවශ්‍ය එළවළු වගා කිරීමට මම උත්සාහ කරන්නේ නම්, මම මුලින්ම උත්සාහ කළ යුත්තේ කුමක්ද ? ‘‘ ඔබට ප්‍රශ්නයක් විය හැකියි.
ගෙට්ල් මහතා බීට්රූට් වලින් ආරම්භ කිරීමට ඔබට යෝජනා කරයි.
“බීට් සමඟ ආරම්භ කරන්න, ඒවා විනෝදජනක සහ වර්ධනය වීමට පහසුයි” ඔහු පවසයි.
“ඔබට [ආරම්භ කිරීමට] නරක ප්‍රතිඵල ලැබිය හැකිය, නමුත් අත් නොහරින්න.” ඔහු වැඩි දුරටත් කියයි.
ලංකාවේ ගෙවතු වගාව ආරම්භ කර පුංචි පුංචි පැළ දෙස බලා සුසුම් හෙළන ඔබට ඒ අවවාදය රන් හා සමානය.
බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි