මහේන්ද්‍ර සිං දෝනි: අඩුව පිරවිය නොහැකි විශ්‍රාම ගැනීමක්

Spread the love

දෝනිගේ සුප්‍රකට’corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි

ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා නමුත් දෝනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) තරඟාවලිය තුළ දිගටම රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) යනු දෝනි තමා කැමැති ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩාකරමින් විනෝදවෙන අතරවාරයේ පෙරළා එම ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගනු ලබන තරඟාවලියයි.

වසර විස්සකට අධික කාලයක් විහිද ගිය දෝනිගේ ක්‍රීඩා ජීවිතයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ අනූවක්, එක්දින ජාත්‍යන්තර තරඟ 350 ක් සහ විස්සයි විස්ස (T20s) තරඟ 98ක් සඳහා සහභාගී වී ඇත. එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අනාගතයේදී ඔහු අහිමිවනු ඇත.

ඒ සියල්ලටම අමතරව දෝනි මෙතෙක් ඉන්දියාව දිනවූ වඩාත් සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩා නායකයා වේ. ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලෝකයේ පළමු ස්ථානය කර රැගෙන ගිය දෝනි වසර විසි අටකට පසු යළිත් වරක් ඉන්දියාවට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරුළ හිමිකර දෙමින් 2011 දී එම ජයග්‍රහණය දිනා දීමට සමත් විය. සීමිත ඕවර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විප්ලවයක් බඳු IPL තරඟාවලිය ආරම්භ කිරීමට පවා මුල්වූ විස්සයි විස්සයි ජාත්‍යන්තර කිරුළ 2007 වසරේ ඉන්දියාවට ලබාදීමට මුල්වූ දෝනි 2013 වසරේ දී ‘චැම්පියන් ශූරතාවත්’ (ICC Champions Trophy) සියරට රැගෙන ආවේය.

ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි සුදු පැහැති පන්දු (white ball cricket) යොදාගත් තරඟවලදී අපරාජිතයන් බවට පත් ක්‍රීඩකයන් අතලොස්සට දෝනි එක්වේ. එවැනි ක්‍රීඩා තරඟ අසූ හතරක දී නොදැවුණ ක්‍රීඩකයා ලෙස පිටියෙන් ඉවත්වූ දෝනි සිය එක්දින තරඟ ලකුණු සාමාන්‍යය (average) පනහට ඉහළ මට්ටමක තබා ගැනීමට සමත් විය. තරඟ ජයග්‍රහණය අතින් ඊට වඩා ඉහළ ස්ථානයක සිටින්නේ රිකී පොන්ටිං නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පමණි. විස්සයි විස්ස (T20) ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය අතින් දෝනි ලෝකයේ සෙසු සියලුම ක්‍රිකට් නායකයන්ට වඩා තරඟ ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

විරාත් කෝලි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෑතදී භාර ගනු ලැබීමට පෙර දෝනි ටෙස්ට් ක්‍රිකට් තරඟ හැටක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවීමට සමත්ව ඇත.

දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.

mahendra singh ,dhoni
කඩුල්ල බිඳ හෙළමින් පිතිකරුවකු දවා ලන ලද අවස්ථාවක්

දෝනි උපත ලද්දේ එවක ක්‍රිකට් ක්‍රීඩාව ගලා නොගිය ඉන්දියානු කලාපයක්ව පැවති නැගෙනහිර ඉන්දියාවේ රාංචි(Ranchi) නගරයේ ය. දෝනි තමාට පෙර ඉන්දීය කණ්ඩායමේ නායකයකු වූ සව්රව් ගංගුලි විසින් ආරම්භ කරන ලද ක්‍රිකට් ව්‍යාපෘතියට එක් විය. සාම්ප්‍රදායිකව එතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට හවුල් නොවූ තැන් කෙරෙහි අවධානය යොමු කෙරුණු ගංගුලි ව්‍යාපෘතිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් පෙරට ගෙන ඒමට සමත් වූවකි.

දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උසස් කරනු ලැබීම මුල්යුගයේ දී මහාරාජාවරුන් සහ ප්‍රාදේශීය අධිපතිවරුන් ඇතුළත් වංශවතුන්ගේ විනෝදාංශයක්ව පැවති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් අනතුරුව මධ්‍යම පන්තියට අයත් ක්‍රීඩකයන් කරාත් අනතුරුව කුඩා නගරවල කුසලතා සහිත ක්‍රීඩකයන් කරාත් ව්‍යාප්තවීමේ දිගුවකි. එම අර්ථයෙන් ගත්විට එය ඉන්දියානු සමාජය තුළත් එක්තරා පරිණාමයක් ප්‍රදර්ශනය කරන සුළු වර්ධනයක් වේ.

සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවරම ලබමින් පිටියට අවතීර්ණ වන විට දෝනිගේ වයස අවුරුදු අටක් පමණි. දෝනි නායකත්වය භාරගනු ලැබීමෙන් මාස කීපයකට පසු තෙන්ඩුල්කාර් මෙසේ සඳහන් කළේය.

“දෝනි කටයුතු කරන ආකාරය ගැන මම සතුටුවෙනවා. දෝනි තියුණු මොළයක් ඇති සමබර චරිතයක්”

දෝනි ඉතා පහසුවෙන් සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පිළිගැනීම දිනාගත්තේය. හැකියාව සහිත ඉදිරිගමන සහ සාධාරණත්වය යන දෙඅංශයෙන් ම ඔහු ජ්‍යෙෂ්ඨයන්ගේ ගෞරවයට ලක්විය.

dhoni
රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි.

දෝනි සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත්තේය. රාහුල් ඩ්‍රාවිඩ් ගේ නායකත්වය යටතේ ටෙස්ට් ක්‍රිකට් තරඟ 19 කටද, අනිල් කුම්බ්ලේ ගේ නායකත්වය යටතේ ටෙස්ට් තරඟ දහයකට ද දෝනි ක්‍රීඩාකර ඇත.

රාහුල් ඩ්‍රාවිඩ් මෙන්ම අනිල් කුම්බ්ලේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් පැමිණියෝ වෙති. ඔවුන් දෙදෙනාගෙන් ම දුර්ලභ බුද්ධියක්, උපායශීලී දැනුමක් සහ කළමනාකරණ කුසලතාවක් ක්‍රිකට් කණ්ඩායම් නායක කාර්යභාරයට එක්ව ඇත.

”මට කණ්ඩායමක් අවශ්‍යයි. අපි ඉදිරියට ධාවනය වෙමින් තිබෙන විශාල ලොරියක් ඉදිරිපිට සිටගන්න පුළුවන් කණ්ඩායමක්” දෝනි වරක් සඳහන් කර ඇත. එවැනි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඔහු ක්‍රියාත්මක විය.

ක්‍රීඩකයකු ලෙස දෝනි සතු විශ්මයජනක කුසලතාව වන්නේ වෙනත් ක්‍රීඩකයකු තුළ පැවතිය හැකි දුබලතාව හඳුනා ගැනීමය. ඔවුන්ගේ කපටි උපක්‍රමයක් වුවද දෝනිට තම වාසියට හරවා ගත හැකිය.

ඉන්දියාවේ හිටපු කඩුළු රකින්නකු වූ සයිඩ් කිර්මානි (Syed Kirmani) මුල දී දෝනි කඩුළු රකින්නකු ලෙස ඔහුගේ අඩුපාඩු දුටුවේය. පිතිකරු පසුකර තමා ඉදිරියට එන පන්දුවක් ඩැහැ ගැනීමේදී කකුලේ ඇඟිලි මත නොව විලුඹින් සිටීම සම්බන්ධයෙන් සයිඩ් විසින් දෝනි දෝෂදර්ශනයට ලක්කරනු ලැබ ඇත. දෝනිගේ සුප්‍රකට ‘corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි. වෙනත් පිතිකරුවන් විසින් එම ප්‍රහාරය ඉතා කලාතුරකින් එල්ල කරනු ලබන්නේ එය අනුකරණය කිරීම දුෂ්කර කාර්යයක් වීම හේතුවෙනි.

dhoni
මහේන්ද්‍ර සිං දෝනි “පද්ම විභූෂන්” ගරු නාමයෙන් පුදනු ලැබුණි.

ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමට ද දුෂ්කර කාර්යයකි.

සුනිල් ගවස්කාර් විශ්‍රාම යාමෙන් අනතුරුව මුහුණදුන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සමස්ත ඉන්දියානු කණ්ඩායම ලකුණු 75 කට දවාලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. එම තරඟයේ දී ඉන්දීය කණ්ඩායම කඩුළු පහකින් පරාජය වී ඇත. ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල විසින් ලකුණු සියයක් සම්පූර්ණ කරනු ලැබ තිබෙන්නේ එම තරගයෙන් පසු තවත් ටෙස්ට් ක්‍රිකට් තරඟ දහනවයකට පසුවය. එය කාසියේ එක පැත්තකි.

එහි අනිත් පැත්ත මෙසේ විය. තෙන්ඩුල්කාර්ගේ අවසන් ටෙස්ට් ඉනිමේ දී ඔහු ‘ස්ලිප්’ ක්‍රීඩකයා විසින් දවා ගනු ලැබීමෙන් පසු ඊළඟට පැමිණි විරාත් කෝලි ඊළඟ පන්දුවේ දී ළකුණු හතරකට දැවී ගියේය.

සංකේතවාදය (symbolism) බැහැර කළ නොහැක්කකි. රජු ස්වර්ගස්ථ වූයේ නමුත් දිගුකල් ජීවත් වන්නේය.

දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

වසර පහළොවක් තුළ දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟ 538කට සහභාගී වී ඇත. ඔහු විසින් රැස්කරන ලද ලකුණු සංඛ්‍යාව 17,000 කි. රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි. බිඳ හෙළන ලද කඩුළු ගණන 195 කි.

dhoni
2007 විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දේ පිතිකරුවකු දවා ගැනීමේ සතුට පළකළ මොහොතක්

දෝනිට සාපේක්ෂව ඊට වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයන්ගේ ගණන පහකි. ඔවුන් අතර ද සිටින්නේ එක් කඩුළුරකින්නකු පමණි. එහෙත් දෝනි තරම් ක්‍රීඩා තරඟ ප්‍රමාණයකට ඔවුන් නායකත්වය සපයා නැත.

දෝනි තබා ඇති එම වාර්තා ඉක්මවා යාම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. එහෙත් එම සංඛ්‍යාවන් ඉක්මවා යන ඔහුගේ උරුමය ඉන්දීය සමාජමය විපර්යාසය නම් ආරුක්කුවේ පිළිබිඹු වනු ඇත.

එම උරුමයට ඉන්දියාවේ මේ දක්වා නොසලකා හරිනු ලබන ජනකොටස් තුළට ප්‍රදානය කරනු ලබන ස්වයං විශ්වාසයක් ද ඇතුළත් වේ. එසේම පැරණි සම්ප්‍රදාය සතු ගරුත්වය අවධාරණය කිරීමක්ද එමගින් සිදු කෙරෙන අතර, එය ඔහු නැගී සිටි ක්‍රීඩාවට සහ එහි නිරත ක්‍රීඩකයන්ට පිරිනමනු ලබන ගෞරවයක් ද වේ.

by – bbc

RSL

Related Posts