බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් සිය ඉන්දීය සංචාරයේදී විශේෂිත ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ බිම්ස්ටෙක් ප්‍රඥප්තිය යටතේ බිම්ස්ටෙක් ආයතනික රාමුව ඒකාබද්ධ කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව බිම්ස්ටෙක් මහලේකම්වරයා සමඟ සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූ බවයි.

ආපදා කළමනාකරණය, සමුද්‍රීය සහයෝගීතාව,ත්‍රස්තවාදයට එරෙහි වීම සහ බලශක්ති සුරක්ෂිතතාව ඇතුළු ඉන්දියාව ප්‍රමුඛ විශේෂිත ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී බිම්ස්ටෙක් මහලේකම්වරයා සාකච්ඡාවට බඳුන් කළ බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් දැක්වූයේ දරිද්‍රතාවය තුරන් කිරීම, සම්බන්ධතාව සහ වෙළඳාම සහ ආයෝජන යන බිම්ස්ටෙක් ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනෙහි පවතින සහයෝගීතාව සමාලෝචනය කළ බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර්ගේ ආරාධනයෙන් බිම්ස්ටෙක් මහලේකම්වරයා අගෝස්තු 22 සිට අගෝස්තු 25 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විය.

මහලේකම්වරයා නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක, බලශක්ති ලේකම් සහ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ සාමාජික ලේකම් හමුවී ආංශික ක්ෂේත්‍රවල බිම්ස්ටෙක් සහයෝගිතාව සමාලෝචනය කළේය.

ඔහු සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පර්යේෂණ සහ තොරතුරු සංසදය විසින් අනුග්‍රහය දක්වන ලද “හවුල්කාරීත්වය හරහා වර්ධනය පුනර්ජීවනය කිරීම – බිම්ස්ටෙක්හි කාර්යභාරය” යන මාතෘකාව යටතේ මහජන සැසියකට සහභාගී විය.

එයට නවදිල්ලියේ බිම්ස්ටෙක් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ තායිලන්තය, භූතානය සහ මියන්මාරයේ තානාපතිවරුන් ද සහභාගී විය.

ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ලද පසුගිය බිම්ස්ටෙක් සමුළුවේදී, නායකයින් විසින් බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර අත්සන් කරන ලදී. එමගින් බිම්ස්ටෙක් සංවිධානය සුවිශේෂී ජාත්‍යන්තර නෛතික පෞරුෂයකින් යුත් අංගසම්පූර්ණ කලාපීය සංවිධානයක් බවට පත් විය.

බිම්ස්ටෙක් යනු, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුලපිරීම සඳහා කෙටි යෙදුම වේ. බිම්ස්ටෙක් සංවිධානය බෙංගාල බොක්ක ආශ්‍රිතව හෝ යැපෙන සාමාජික රටවල් හතකින් එනම් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවලින් සමන්විත වේ.