බැසිල්ගේ මල්වාන ඉඩමේ නඩුව මාර්තු 9 වැනිදා විභාගයට

Spread the love

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක්‌ මිලට ගෙන එහි සුවිසල් නිවසක්‌ ඉදිකර රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව චෝදනා ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු 09 වැනිදාට විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 29 වැනිදා නියම කළේය. 29 වැනිදා දහවල් 2.30 ට එම නඩුව මහාධිකරණය හමුවේ කැඳවූ අතර විත්තිකරුවන්ගේ නීතිඥයන් විසින් කළ ඉල්ලීම අනුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් එම නීතිඥයන් වෙත පෙරදින ලබා දී ඇති එම නඩුවට අදාළ සටහන් සහ සාක්‍ෂිවල කිසිදු අඩුපාඩුවක්‌ නොමැති බව විත්තියේ නීතිඥයන් මහාධිකරණ විනිසුරු වෙත දන්වා සිටියේය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපති පනවා ඇති එම නඩුවේ සාක්‍ෂිකරුවන් වන උපුල් කුමාර රාමවික්‍රම මුදිත උපාලි ජයකොඩි, නිමාලි චම්පිකා සේනාධීර, සන්ධ්‍යා ලාලනි සේනාධීර, තනුජා ප්‍රියදර්ශනී සේනාධීර, අජන්තා ශ්‍යාමලි සේනාධීර, ප්‍රශාන්ත මහේසි, අරුණ කීර්ති උදයකුමාර, ඩබ්ලිව්. එම්. පාලිත විඡේරත්න සහ නීතිඥ නිහාල් වීරසේකර රාජකරුණා යන 10 දෙනාට ලබන වසරේ මාර්තු මස 09 වන දින ගම්පහ මහාධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට නියම විය.

මාර්තු 09 වැනිදායින් පසුව මැයි මස 07, 16, 22 සහ ජුනි මස 08 සහ 22 දිනත්, ජුලි මාසයේ සෑම සිකුරාදාවකමත් නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරිණි.

පළමු විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (29 දා) මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර මහාධිකරණයේ අවසර මත ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතව සිටින දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේසන් යන අය ඊයේ (29 දා) මහාධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයෙවයි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ සැරයන් ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙයවීමට සහාය විය.

RSL

Related Posts