පොහොට්ටු කල්ලිය ‘ජවිපෙට මඩ ගහන’ සැබෑ හේතු ගැන බිමල්ගෙන් ඔත්තුවක්

Spread the love

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජනතා විමුකති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වුණා.

පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් නිර්මාණය වී ඇති අර්බුදය සහ එයට ජවිපෙ විසින් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම වත්මන් දේශපාලන ප්‍රවණතා ද මෙහිදී බිමල් රත්නායක මහතාගේ විශ්ලේෂණයට ලක් වුණා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සිදුවන ‘මඩ ප්‍රහාර‘ ගැන ද බිමල් රත්නායක සවිස්තරව කරුණු පැහැදිලි කළා.

මෙම දීර්ඝ මාධ්‍ය හමුවේදී බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ සියලු අදහස් කිසිදු සංස්කරණයකින් තොරව අපි අපේ පාඨකයින් වෙත ඉදිරිපත් කරනවා.

අපේ විශ්වාසය වන්නේ නිවැරදි + සමබර + නිරවුල් = විශ්වාසනීය තොරතුරු මේ මොහොතේ ඔබට අත්‍යවශ්‍යව පවතින බවයි.

පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා අද (17) වනවිට දින 68ක් ගතවී තිබෙනවා. පාසැල් පටන් ගැනීමේ හැකියාව තවමත් නැති බව අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මාස දෙකහමාරකට අධික කාලයක් පාසැල් වසාදැමීම නිසා උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන්ට බලපෑම ඉතාම වැඩියි. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට පවා මේ බලපෑම ඇතිවෙමින් තිබෙනවා.

මේ ප්‍රශ්නය පිළිබඳ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා අග්‍රාමාත්‍යතුමාට ලිඛිතව දැනුම් දුන්නා. දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් තුළ සැලකිය යුතු සංකීර්ණභාවයක්, අවිනිශ්චිතභාවයක් උසස් පෙළ සහ ශිෂ්‍යත්වය විභාගය පිළිබඳව ඇතිවී තිබෙනවා.

මේ නිසා අධ්‍යාපනඥයන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේම දෙමාපියන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර සමාන අත්දැකීම් ඇති රටවල් අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් අධ්‍යයනය කරලා මැයි මාසයේ මුලදී දරුවන්ට විසඳුම් දෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් මේ වනතෙක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවිනිශ්චිත කරුණු දැක්වීම් හැරුණාම නිශ්චිත කිසිම අදහසක් ඉදිරිපත් කර නැහැ.

මේ අවිනිශ්චිතභාවය දරුවන් කෙරෙහි විශාල පිීඩනයක් ඇතිකර තිබෙනවා. උසස් පෙළ විෂයමාලා ආවරණය නොවීම බරපතල ප්‍රශ්නයක්. අපි එකඟ වුණත් නොවුණත් උසස් පෙළ විෂය මාලාව ආවරණය කරගන්න ප්‍රධානම මාර්ගයක් හැටියට පෞද්ගලික උපකාරක පංති  පත්ව තිබුණා. සැලකිය යුතු සිසුන් පිරිසක් විෂයන් වෙනස් කර උසස් පෙළට පෙනී සිටීමට ඉන්නවා.

හදිසියේ පාසැල් වසාදැමීම නිසා නේවාසික තැන්වල ඉඳලා අධ්‍යාපනය ලබපු දරුවන්ගේ පොත්පත් පවා ලබාගැනීමට නොහැකිවී තිබෙනවා. උතුරු නැගෙනහිර මේ ප්‍රශ්නය ඉතා බරපතළයි. මේ සියලුම කරුණු සලකා බලා පාසැල් විවෘත කිරීමෙන් පසුව ඔවුන්ට අහිමිවූ කාලය අධ්‍යාපන කටයුතුවලට එකතු කරලා විභාග පවත්වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. 

අධ්‍යාපන ඇමතිවරයාම මෑතකදී කියා තිබුණා, පාසල් 532කට වතුර, පාසැල් 800කට පමණ වැසිලිකිළි නැහැ කියලා. සමස්ත පාසැල්වලින් 8%කට පමණ වතුර නැති වීම රටේ භෞතික සම්පත්වල පරතරය කියාපාන මනා නිදර්ශනයක්. මේ තත්වය තුළ අන්තර්ජාල අධ්‍යාපනය ලබාදීම කොරතරම් ඵලදායකයිද කියන දේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්ගෙන් පෞද්ගලිකව මම විමසා බැලුවා.

කොළඹ කලාපයේ පවා දරුවන්ගෙන් අන්තර්ජාල අධ්‍යාපනයට අදාල උපකරණ තිබෙන්නේ 60%කට ආසන්න ප්‍රමාණයක්. උපකරණ තිබුණත් නිවසේ ඊට අවශ්‍ය පහසුකම් නැහැ; අන්තර්ජාල පහසුකම් ලබාගන්න විශාල මුදලක් වැයවීම, දුරකතනය දෙස බලා ඉගෙන ගැනීමේ බාධක වගේ කරුණු ගණනාවක් අහිතකර ආකාරයෙන් බලපා තිබෙනවා. අනුරාධපුරය දිස්ත්‍රික්කයක වැනි ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ඉතාමත් අඩුයි. උතුරු පළාතේ යාපනය නගරය තුළ පවා අන්තර්ජාල පහසුකම් ඉතාම සීමා සහිතයි. කිලිනොච්චිය වගේ ප්‍රදේශයක තත්වය ඉතාම බරපතලයි. 

මාස කිහිපයකට පසු දරුවන් පාසලට පැමිණි පසු විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම පිළිබඳ බරපතළ පීඩනයක් ගුරුවරුන්ට තිබෙනවා. අන්තර්ජාල ඉගැන්වීම් සරල දෙයක් නෙවෙයි. අපි මේ කරුණු ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ප්‍රතික්‍ෂේප කරන්න නෙවෙයි. විෂය මාලා ආවරණය කිරීමේ මූලික ඉලක්කයට අන්තර්ජාල අධ්‍යාපනය ගෙනියන්න එපා කියලයි අපි කියන්නේ.

වෛද්‍ය පීඨ ඇතුළු විශ්වවිද්‍යාලවල පවා ශිෂ්‍යයන්ගෙන් 60%කට පමණයි අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ කියලා ආචාර්යවරු සමීක්‍ෂණ මගින් තහවුරු කරගෙන තිබුණා. එයිනුත් 30%කට පමණක් ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමේ හැකියාව තිබෙන්නේ.

මයික්‍රොසොෆ්ට් ආයතනයේ සමාරම්භකයා වන බිල් ගේට්ස් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ දැනටත් ලෝකයේ තිබෙන අධ්‍යාපන පරතරය අන්තර් ජාල අධ්‍යාපනය නිසා දෙගුණ තෙගුණ වන බවයි. ඔහු මේ බව කියන්නේ ලංකාවේ හෝ ඉන්දියාවේ තත්වය ගැන බලා නෙවෙයි, එක්සත් ජනපදය වගේ රටවල්වල තත්වය බලලයි. එම ප්‍රකාශයේ බරපතලකම පැහැදිලියි.

තරඟකාරී ලෙස අන්තර් ජාලය මගින් අධ්‍යාපනය ලබාදී විෂය නිර්දේශ ආවරණය කළ බවට අධ්‍යාපන බලධාරීන් කිසියම් වීරත්වයක් ආරෝපණය කර නොගත යුතු බවයි අපි කියන්නේ. සමහර ගුරුවරු වගේම සමහර දෙමාපියන් පවා මේ බරපතල අසමානතාවය නිර්මාණය වීම ගැන කල්පනා කර නැති බව අපිට පේනවා. 

අපේ රටේ 98%ක් පමණ පාසල් අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනය, නැත්නම් රාජ්‍ය අධ්‍යාපනයෙන්. ඉතිරි අය ජාත්‍යන්තර පාසල්වලින් අධ්‍යාපනය ලබනවා. පෞද්ගලික අංශයේ ප්‍රධානම ජාත්‍යන්තර පාසල්වල පවා ගුරුවරුන්ගේ වැටුප් අප්‍රේල් මාසයේ සිට කපලා. සමහර පෞද්ගලික පාසැල්වල දරුවන්ගේ දෙමාපියන් මාසික වාරික නොගෙවීම නිසා දරුවන් අන්තර් ජාල පාඩම්වලට එකතු කර නොගන්නා දරුණු ඛේදවාචකයක් තිබෙනවා.

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ, එයට මුදල් වෙන්කිරීමේ, එය දිවි හිමියෙන් ආරක්‍ෂා කර ගැනීමේ ප්‍රතිලාභය කොයිතරම්ද කියලා මේ වගේ අවස්ථාවල පැහැදිළි වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය බාර ආණ්ඩු අධ්‍යාපන පනත උල්ලංඝණය කරලා අධ්‍යාපන කඩවලට ඉඩදී තිබුණට දරුවන්ට ඉගැන්වීමේ වගකීම තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. වාරික නොගෙවීම නිසා අධ්‍යාපනය අහිමිකර තිබෙන ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න කියලා අධ්‍යාපන ඇමතිවරයාට අපි කියනවා. 

පවතින සමස්ත අධ්‍යාපන ගැටලු විසඳීම සම්බන්ධයෙන් අපිට යෝජනා මාලාවක් තිබෙනවා.

■ අන්තර්ජාල අධ්‍යාපනය අතිරේක ක්‍රමයක් හැටියට පමණක් පවත්වාගෙන යාම
■ දරුවන්ට අසීමිත ලෙස බර පටවන ආකාරයට අන්තර්ජාල අධ්‍යාපනය පවත්වාගෙන නොයෑම.
■ අන්තර්ජාල සේවාවන් සඳහා අය කරන ගාස්තු අඩු කිරීම, දිවා රාත්‍රී ගාස්තු විෂමතාවය අනුව රාත්‍රී කාලයේ ඉතිරි වන ඬේටා ප්‍රමාණය දිවා කාලයේ අධ්‍යාපන කටයුතුවලට ලබාදීම.
■ නිශ්චිතවම පාසල් විවෘත කිරීම ගැන තීරණයක් නොමැති තත්වයක් යටතේ සාමාන්‍ය පෙළට පහළ දරු දැරියන්ට ලබාදිය යුතු අධ්‍යාපනය කුමණ ආකරයෙන්ද යන්න විධිමත් සාකච්ඡාවක් කිරීම.
■ අන්තර් ජාලය සහ රූපවාහිනිය පාවිච්චි කර විෂය නිර්දේශයෙන් භාහිර විකල්ප අධ්‍යාපන වැඩසටහන් ප්‍රචලිත කිරීම.
■ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර ලබාදී අන්තර්ජාල අධ්‍යාපනයට අදාල පහසුකම් ලබාදීමට කටයුතු කිරීම යන මූලික යෝජනා අපි ඉදිරිපත් කරනවා. 

ජනාධිපතිවරයා මෑතකදී විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් කැඳවා අධ්‍යාපනය සම්බන්ධව කර තිබූ කරුණු සම්බන්ධයෙන් අදහසක් කියන්න අවශ්‍යයි. කොරෝනා වසංගතය යටතේදී තාවකාලික පියවරයන් ලෙස අනුගමනය කරන සහ අපි තාවකාලිකව පිළිගන්නා කරුණු පොදු සාමාන්‍යකරණය කිරීමට ඉඩදිය යුතු නැහැ. සෞඛ්‍ය සම්බන්ධයෙනුත් ඒ වගේමයි. කොරෝනා තත්වය යටතේ ගන්නා ක්‍රියාමාර්ග ඊට පසු අනිවාර්ය තත්වයකට පත්වීමට ඉඩදිය යුතු නැහැ.

ජනාධිපතිතුමා ඒ සාකච්ඡාවේදී කියල තිබුණ රැකියා වෙළඳපොළට ගැලපෙන ලෙස අපේ උපාධි පාඨමාලා සකස් කළ යුතු බව. මේ අදහස පරණ එකක්. ලංකාවේ රැකියා වෙළඳපොළ කියන්නේ ආර්ථිකයේ ප්‍රකාශනයක්. අපේ ආර්ථිකය දියුණු එකක් නෙවෙයි. ලංකාවේ ආර්ථිකයට ගැලපෙන ලෙස උපාධි පාඨමාලා සකස් කළොත් මේ පාඨමාලා වැඩි ප්‍රමාණයක් ඩිප්ලෝමා පාඨමාලා බවට පත් කරන්න වෙනවා.

උදාහරණයක් හැටියට ඉංජිනේරු පාඨමාලා අවශ්‍ය වන්නේ විශාල වශයෙන් විවිධ කාර්මික නිෂ්පාදනයන් කරන රටකට. ජානාධිපතිවරයා කියන විදියට ඉංජිනේරු පාඨමාලා වැඩි ප්‍රමාණයක් ඩිප්ලෝම පාඨමාලා බවට පත් කරන්න වෙනවා. ලංකාවේ රැකියා වෙළඳපොළ ඉංජිනේරු උපාධි ඉල්ලන්නේ ඉතාමත්ම අඩුවෙන්. ලංකාවේ නිෂ්පාදනය අඩු නිසා, වෙළඳපොළ දුර්වල නිසා, ඉහළ මට්ටමේ රැකියාවලට තිබෙන ඉඩකඩ අඩු නිසා අපේ අධ්‍යාපනය කප්පාදු කරන්නයි මේ යෝජනා කරන්නේ. 

ලෝක බැංකුවෙන් මූල්‍ය අරමුදලෙන් ලබාදුන් ආර්ථික උගුලකට හසුවී අපේ නිෂ්පාදන ක්‍ෂේත්‍ර වැහිලා තියෙන්නේ. නමුත් අපේ උසස් අධ්‍යාපනයේ ප්‍රමිතියේ යම් ප්‍රමාණයකට ආරක්‍ෂාවී තිබීමත් මේ යෝජනා අනුව කප්පාදු වෙනවා. රටේ නායකයන්ගේ චින්තනයට අනුව අධ්‍යාපනය කප්පාදු කරන්න එපා කියලා අධ්‍යාපනඥයන්ට අපි කියන්න කැමතියි. ඒ වගේම හැම රැකියාවකටම වෙළඳපොළ ඉල්ලුමක් නැති බවත් කියන්න ඕනෑ.

අපේ රටේ තිබෙන අතිවිශාල පුරාවස්තු ප්‍රමාණය සංරක්‍ෂණය කරන්න පුරා විද්‍යාඥයන් අතිශය වැදගත්. නමුත් වෙළඳපොළ ඉල්ලුමක් නැහැ. අපේ රටේ අතිවිශාල මානසික රෝගීන් පිරිසක් ඉන්නවා. මොන සමාගමද මනෝ විද්‍යාඥයින්ගේ සේවය ලබා ගන්නේ. රටේ පරිසරය අති විශාල වශයෙන් විනාශ වෙනවා. වෙළඳපොළ විසින් පරිසර විද්‍යාඥයින් ඉල්ලන්නේ නැහැ. හැබැයි සමාජයක් පවත්වාගෙන යන්න රාජ්‍යයක් පවත්වාගෙන යන්න මෙවැනි රැකියා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. මේ තත්වය තේරෙන්නේ නැති එක ගැන අතිශය කණගාටු වෙනවා. 

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දුෂ්ට අවලාද දැවැන්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ඉන්නවා. එය ආණ්ඩුව පාර්ශ්වය සංවිධානාත්මකව කරන දෙයක්. ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ශීර්ෂ යොදාගෙන ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරනවා. පක්‍ෂ නායකයින්ගේ ඡායාරූප යොදාගෙන ඔවුන් නොකියූ කරුණු නිර්මාණය කොට විශාල වශයෙන් අන්තර්ජාලයට මුදාහරිනවා. අනුර දිසානායක සහෝදරයා, නලින්ද ජයතිස්ස සහෝදරයා වගේම මමත් මේ සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පැමිණිලි කළා. ව්‍යාජ ෆේස්බුක් වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් සියලු තොරතුරු සමඟ අප්‍රේල් දෙවැනිදා පැමිණිළි කර තිබෙනවා. මාස එක හමාරකට පසුවත් තවමත් කිසිදු පරීක්‍ෂණයක් නැහැ. මේ මඩ ප්‍රහාරයේ ඉන්න අති බහුතරයක් සාමාන්‍ය පුද්ගලයෝ නොවෙයි. 

ජනතා විමුක්ති පෙරමුණේ අපිට ඕනෑ තරම් විවේචන බාරගැනීමට සහ විවේචනවලට මුහුණදීමට හැකියාව තිබෙනවා. අනෙක් ඕනෑම පක්‍ෂයකට වඩා අභියෝගයන්ට පීඩාවන්ට කරදරවලට අපි මුහුණදී තිබෙනවා. ඕනෑම තත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තුදීමේ හැකියාව අපිට තිබෙනවා. පොදුජන පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ සාධාරණ සාමාන්‍ය සාමාජිකයන්ට වඩා තමන්ගේ වෘත්තීය වශයෙන් තමන්ගේ ආත්මයම කෙළෙසා ගනිමින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ජාතිවාදය ප්‍රකාශ කරන, බොරු ගොතන, තමන්ගේ පෞරුෂය බිඳගත්ත කුලී ලියන්නන් ආණ්ඩුවේ රාජකාරි කරන අතර මේ කටයුතු කරන බව පැහැදිළියි. 

පසුගිය සති තුනේදී සතියකට එක ගානේ මගේ ඡායාරූපය යොදාගෙන ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර තිබුණා. පසුගිය දින තුනේදී ව්‍යාජ ප්‍රවෘත්ති 3ක් නිර්මාණය කර බෙදාහැර තිබුණා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී වුණත් ඔබ දකින්න ඇති මම කරුණු ඉදිරිපත් කරන්න කලින් කුණුහරුප කියන, පිරිසක් ඔබ මේ මොහොතෙත් දකිමින් සිටිනවා ඇති.

සාමාන්‍ය මිනිස්සු නම් තමන් අකමැති දේ අහන්නේ නැහැ. ඒක එක ගුණයක්. එහෙම නැත්නම් කැමති වුණත් අකැමැති වුණත් අහලා පස්සේ විවේචනය කරනවා. නමුත් මාධ්‍ය සාකච්ඡාවලදී සුභ උදෑසනක් කියන්නත් කලින් කුණුහරුප 500ක් විතර කමෙන්ට් පුද්ගලයන් කවුද? මේ රාජපක්‍ෂ පවුලේ පුත්තු නෙවෙයි. ඔවුන්ට බැල මෙහෙවරකම් කරන, වහල්භාවයට පත්වූ සාමාන්‍ය පවුල්වල අය. තමන්ගේ ආත්මය නැති කරගෙන අතින් සල්ලි වියදම් කරගෙන මෙහෙම කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ලැහැස්තියි.

මේ කොරෝනා තත්වය හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය හැරුණාම වැඩිම වැඩ කොටස කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව අපි ඉතාම නිහතමානීව කියන්න කැමතියි. නගර විෂබීජහරණය කළාම එක් අයෙකුට හෝ වෛරසය බෝවීම අඩු වෙනවා මිස වැඩි වෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශවලට, ආරක්‍ෂක අංශවලට, ලක්‍ෂ ගණන් මුහුණ ආවරණ දුන්නාම වෛරසයෙන් ආරක්‍ෂා වෙනවා මිස ගොදුරු වෙන්නේ නැහැ.

ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් ජනතාවට යම් ප්‍රමාණයක හරි ආහාර ද්‍රව්‍ය බෙදුවාම ජනතාවට සහනයක් ලැබෙනවා. රෝහල්වල ලේ හිඟ වුණාම රතු තරුවෙන් ගිහිල්ලා ලේ පරිත්‍යාග කරනවා. වසංගතය ඇතුළේ ජවිපෙ කරපු වැඩවලින් කුමන හෝ දෙයක් වසංගතය වැඩිවෙන්න බලපෑවේ නැහැ. ස්වභාවික ආපදා, කොවිඞ් වසගංතය වගේ අවස්ථාවලදී විතරක් නෙවෙයි අපේ මුළු දේශපාලනයම ස්වේච්ඡාවෙන් කරන එකක්. 

වමේ දේශපාලනය ස්වේච්ඡා දේශපාලනයක්. වෛරසය මැඩලන්න විෂබීජ නාශක ඉසින සහෝදරවරුන්ගේ ඉඳලා සියලුම දෙනා ඊට දායකත්වය ලබාදෙනවා. ජවිපෙ කුහක යැයි අවලාද කියන පොදුජන පෙරමුණේ නායකත්වයෙන් අහන්න කැමතයි, ඔබ ජවිපෙට මඩ ගහන එක හැරෙන්න අපි කරන වැඩ ගැන ඇගයීමක් කර තිබෙනවද? 

ඔවුන් සහ අපි අතර වෙනස්කම් ගණනාවක් තිබෙනවා. 

■ ඔවුන් කොරෝනා අස්සේ ඡන්ද රැස්වීම් පවත්වනවා. අපි සුභසාදන වැඩ කරනවා.
■ ඔවුන් කසිප්පු පෙරනවා, අපි නගර විෂබීජහරණය කරනවා.
■ ඔවුන් කුඩු ගේනවා, අපි ලේ පරිත්‍යාග කරනවා
■ ඔවුන් ළමා අපචාර කරනවා, අපි දරුවන්ට උගන්වනවා
■ ඔවුන් හොරකම් කරනවා, අපි හොරකම් අල්ලනවා.
■ ඔවුන් වංචා කරනවා, අපි කෝප් කමිටුවට ගිහිල්ලා දෙගොල්ලන්ගේම වංචා, හොරකම් අල්ලනවා.
■ ඔවුන් සහනාධාර විකුණනවා, අපි සහනාධාර බෙදනවා.
■ ඔවුන් සුනාමි ආධාර, ජනතා මුදල් හොරකම් කරනවා, අපි මන්ත්‍රී වැටුපත් පරිත්‍යාග කරනවා.
■ ඔවුන් රාජ්‍ය සංස්ථා දේපොළ විකුණනවා, අපි රාජ්‍ය සංස්ථා ලාභ කරලා තිබෙනවා
■ ජනාධිපතිවරයා මාස 3ක වැටුප දෙනවා, ඒක හොඳයි, අපි අවුරුදු 20ක් තිස්සේ වැටුප් පරිත්‍යාග කරනවා. නිහාල් ගලප්පත්ති සහෝදරයා වසර 26ක් තිස්සේ වැටුප් පරිත්‍යාග කරනවා, මා මගේ වැටුපේ චෙක්පත තාම දැකලා නැහැ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා මේ ආදර්ශය ක්‍රියාත්මක වෙනවා.
■ ඔවුන් පිටරට ඥාතීන් ගෙන්වා ගන්න ගුවන්යානා යවනවා. අපි රටට සල්ලි ගේන විදේශගත දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.
■ ඔවුන් රාජ්‍ය සේවකයන්ගේ පඩි කපනවා. අපි ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනවා.
■ ඔවුන් හමුදා සොල්දාදුවන්ට නිරපරාදේ තැන් තැන්වල රඳවා තබනවා, අපි හමුදා සොල්දාදුවන්ට මුව ආවරණ, සෞඛ්‍යාරක්‍ෂක ඇඳුම් ලබාදෙනවා.
■ ඔවුන් රටේ සල්ලිවලින් මාලිගා හදනවා, අපි මන්ත්‍රී වැටුප් අරමුදලෙන් රෝහල්වල ගොඩනැගිලි හදනවා.
■ ඔවුන් හම්බන්තොට වරාය, ගෝල්ෆේස් ඉඩම් විකුණනවා. අපි ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා.
■ ඔවුන් ජාතිවාදය ආගම්වාදය වැඩි කරනවා. අපි ජාතික සමගිය වෙනුවෙන් වැඩ කරනවා.
■ ඔවුන් මඩ ගහනවා, කුණුහරුප කියනවා, අපි තර්ක කරනවා, දත්ත, කරුණු ඉදිරිපත් කරනවා
■ ඔවුන්ගේ නායකයා ජාතිය ඇමතුවාම රටේම හුලං බහිනවා, අපේ නායකයා කතා කළාම ජනතාව ඒ ගැන හිතනවා.
■ ඔවුන් විපක්‍ෂයේ ඉන්න කොට පාර්ලිමේන්තුවේ අන්තිමයන්ට වැටෙනවා, අපේ මන්ත්‍රීවරු ඔක්කොම පාර්ලිමේන්තුවේ මුල් පෙළට අවුරුදු 5ක් තිසේසේ පත්වෙනවා.
■ ඔවුන් අධාර්මිකව ජීවත් වෙනවා. අපි ධාර්මිකව ජීවත් වෙනවා.■ ඔවුන් පන්සිල් පද පහම කඩනවා, අපි පන්සිල් රකිනවා

අපිට පහර දෙන්න හේතුව මොකක්ද?

ඔවුන් තුළ තිබෙන බරපතල භින්න පෞරුෂය, හීනමානය. පොදුජන පෙරමුණේ නායකයන්ට තිබෙන්නේ හීනමානය පිළිබඳ ප්‍රශ්නයක්. අපට වඩා ඔවුන්ට තනතුරු තිබෙනවා. නමුත් ඔවුන් තනතුරු, තාන්නමාන්න ලබාගන්න ආකාරයෙන් නම් ජනතා විමුක්ති පෙරමුණේ අපිට විකිණිලා ඕනෑම දූෂිතයෙක් පක්‍ෂයට අරගෙන ඕනෑම බොරුවක් කියලා ඡන්ද දිනන්න පුලුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපිට තනතුරු තාන්නමාන්න නැහැ කියලා කිසිම හීනමානයක් නැහැ.

අප උත්සාහ කරන්නේ හරි ප්‍රතිපත්තිවලින් ජයග්‍රහණය කරලා රට පාලනය බාරගන්න මිසක් රට වළපල්ලට ඇරලා තනතුරු ලබාගෙන වැජඹෙන්න නෙවෙයි. කොවිඞ් වසංගතයට එරෙහිව නිස්සරණාධ්‍යාශයෙන් කටයතු කරන ජවිපෙට ජවිපෙ සාමාජිකයන්ට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරද්දී මාස දෙක හමාරක් නිහඬව හිඳ අපි වැඩ කළා. අපේ හිතවතුන් අපහසුතාවයට පත් නොවෙන ලෙස උත්තර දිය යුතු නිසයි මේ කරුණු ටික කිව්වේ.

මේ මඩ ගැසීම අවසන් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා, එක්කෝ පොදුජන පෙරමුනේ නායකයන් හීන මානය නැතිකර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි තුළ තිබෙන හොඳ ගුණාංග ඔවුන් අත්පත් කරගන්න ඕනෑ. ඔවුන්ට ඒවා අත්පත් කරගන්න බැහැ. එසේ නැත්නම් ජවිපෙ ප්‍රතිපත්ති අතහැරලා ඔවුන් වගේ ජරාජීර්ණ කූණුවලට වැටෙන්න වෙනවා. ඒක වෙන්නෙත් නැහැ. ඒ නිසා බොරු කියලා බලය ගත්ත මේ හීනමාන කණ්ඩායම මේ රටට බරපතල අනතුරක් ඇතිකරමින් ඉන්නවා. ජනතාව වෙනස් නොවන තාක් ඔවුන් වෙනස් වෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුනේ අපිට ඕනෑ තරම් සාධාරණ විවේචන ඉදිරිපත් කරන්න. මඩ, කුණුහරුප, අවලාද නිර්මාණය කිරීමෙන් රටට හෝ ජනතාවට කිසිදු වැඩක් නැති බව කියන්න ඕනෑ. අපි තර්කයෙන් පමණක් නෙවෙයි අපි ක්‍රියාකාරිත්වයෙනුත් පොදුජන පෙරමුණේ දේශාපනය පරාජය කර තිබෙන බව ජනතාවට කියන්න ඕනෑ. 

RSL

Related Posts