දේශපාලන බිස්නස්වලට ඇතුගල මගුල් මඩුව බිලිවෙද්දී ‘චීවරධාරීන් සහ ෆෙස්බුක් වීරයින්’ නිහඩ ඇයි ?

Spread the love

කුරුණෑගල රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ඩෝසර් කර විනාශ කර තිබේ.  මේ ලෙස විනාශ වන්නේ පොලොන්නරුව සහ දඹදෙනිය අතර කාලය තුළ (වසර 300 ක පාරාසයක්) ඉදිකිරීම් අතරින් අංග සම්පූර්ණව ආරක්ෂාවී තිබු ලංකාවේ එක ම ගොඩනැගිල්ලයි.

අපේ රටට අවේනික දුර්වල කම අනුව යමින් මේ ගොඩනැගිල්ල ද පසුගිය කාලයේ ජනතාවගේ අවධානයෙන් මිදි ගොස් තිබුණි. මෙම ගොඩනැගිල්ල පිළිබඳව වගකීමක් සහිතව විධිමත් අවධානයක් යොමු වූයේ 2017 වසර තුළයි. එහිදි සාධනීය මෙහෙවරක් ඉටුකරණ ලද්දේ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. එහි දී මගුල් මඩුව සංස්රක්ෂණය සඳහා ගැසට් කළ අතර සංරක්ෂණයට මුදල් ද වෙන් කෙරිනි.

මගුල්මඩුව අවන්හලක් බවට පත්වන්නේ 1995 වසරේ සිටය. ඔවූහු එය බුනෙකබා අවන්හල යැයි නම්කළහ. චන්ද්‍රිකා රජය සිය පාක්ෂිකයින්ට බාර් පර්මිට් ලබා දෙන අතර තුර බුනෙකබා රජ්ජුරුවන්ට අයිති දේපලකටද බාර්පර්මිට් එකක් ලබා දෙන්නට අමතක නොකළාය. එතැන් සිට මේ ස්ථානය දේශපාලකයින්ගේ තිප්පොලක් බවට පත්වූ අතර සමහරු එය අන්තප්පුර බවට ද පත්කරගත්හ. කුරුණෑගල මගුල් මඩුවට එම අවාසනාවන්ත ඉරණම අත්ව තිබිය දී එයට විරුද්ධව  හඬනැගුවන් සිටියද ඔවුන් ගේ හඬ යටපත් කරන ලදදේ මේ ජාතික අපරාධය රටට නොදැනෙන පරදිය.

මහනගර සංවර්ධන අමාත්‍යංශය මගින් මේ ස්ථානය සංරක්ෂණය කරන්නට තීරණය ගැනීමත් සමග එයට උරණවූවෝ සිටියහ. එයට ඔවුන් මුලදී  විරෝධය පලකළේ වක්‍රාකාරයෙන්ය. අමාත්‍යංශය මගින් වැව රව්මේ ඉදිකළ උද්‍යානය සහ එහි ස්මාරක මහා රෑ විනාශ කර දැමුවේ ඔවුහු ය. නගරාධිපතිවරයාටත් දේශපාලන බලදාරීන්ටත් පෙනුනේ මෙම භූමියේ වාණිජමය වටිනාකම පමණි. තවදුරටත් මේ භූමිය ජාවාරම් සඳහා යොදාගැනීම පමණක් ඔවුන් ගේ අරමුණු වීය.

නගර සභාව මගුල් මඩුවේ නිධන් හෑරුවාද? මගුල් මඩුව පසුගියදා ඩෝසර් කරන්නේ අහඹු ලෙස හෝ අත්වැරැද්දකින් නොව හිතා මතාම කරණ සැලසුමක් අනුවය. ඔවුන්ගේ අවශ්‍යතාව තිබුනේ හොර හසේම පුරාවස්තු ටික විනාශ කරදැමීමය. එහෙත් දෛවෝපගතව එලිවන්නට පෙර එය කරගත නොහැකිවූයේ ඒ සඳහා යොදාගත් බැකෝ යන්තරය ක්‍රියා විරහිත වීම නිසාය. එසේ නොවන්නට ඒ යක්ෂයාගේ රාත්‍රියේ මගුමඩුවේ අවසානය සිදුනු ඇත. මේ ආකාරයෙන් හෝ මගුල් මඩුව ආරක්ෂාවුයේ  ඒ අවසරයෙනි.

මේ විනාශය සිදුවන්නට යන බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුව දැනසිටියහ. ඒ නිසා ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර තිබුණි. පොලිසිය කළ යුතුව තිබුනේ මේ ස්ථානයට ආරාක්ෂාව යෙදවීමයි. සමහරවිට පොලිසිය එය කරන්නට අදහස් කළාද විය හැකිය. එහෙත්  පොලිසියට වැඩිය නගරාධිපතිවරයා බලවත් වී තිබිණි. නගරාධිපති ඉහළ අයගේ බලයද ගත් විට ඒ බලය තවත් වැඩිය. (පසුගියදා කුරුණෑගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා එලවාගත්තේ ද මේ නගරාධිපතිය.) මේ නගරාධිපතිවරයා ඇතුගලටත් වැඩිය සවිමත් වන්නේ දේශපාලන බලයෙනි. එළඹෙන මැතිවරණයේ ඉහළ දේශපාලන බල අධිකාරියේ උපදෙස් ඔහු ට තිබේ. අගමැතිවරයාද එම ලේඛණයේ ම චන්දය ඉල්ලයි. අගමැතිවරයාගේ සහෝදරයා ජනාධිපතිය. ඒ සියල්ලට ඉහලින් ජනාධිපති පුතුන් සිටිති. පුතුන් රජකරවන්නට දිස්ත්‍රික් නායකයා පිඹුරුපත් සකසමින් සිටිති. ඒ අනුව නගරාධිපතිවරයාට භය වන්නට කිසිඳු හේතුවක් නැත. එය එසේ  යැයි තහවුරු වන්නේ තමත් මේ ජාතික අපරාධයේ වගකිව යුත්තෝ නිදැල්ලේ සිටීම නිසාවේනි.  

මාර්ග සංවර්ධන අධිකාරිය පැහැදිලිවම කියා තිබෙන්නේ මේ  බිඳදැමීම තමන්ට අදාල කාර්යයක් නොවන බවය. එහෙත්, නගරාධිපති මුලින් පැවසුවේ එය මාර්ගසංවර්ධන අධිකාරියේ අවසරයකින් කරන ලද්දක් ලෙසය. දැන් නගරාධිපති වරයා කියන්නේ එය අනවසර ඉදිකිරීමක් බවයි. මෙය පුදුම අවනඩුවකි. මේ ඉදිකිරීම කරන්නේ 13 වන සිවසේ සිටි නගරාධිපතිය. ඔහුගේ මේ ඉදිකිරීම අනවසර වනවානම් වන්නේ  ඉන්දියාවේ සිට රට ආක්‍රමණය කළ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයකට අනුවය. එසේ නම් වත්මන් නගරාධිපතිවරයා මේ ක්‍රියාත්මක කොට ඇත්තේ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයයි. ඒ අනුව දෙවන බුවනෙකබාට දඬුවම් ද කළ යුතු යැයි නගරාධිපති වරයා කියනු ඇත.

බුනෙකබාට කුරුණෑගල ආරක්ෂිත නැති බව දැනිනි. ඒ දකුණු ඉන්දිය ආක්‍රමණය ලඟ ලඟම එන බව දැනුනු විටය. ඒ නිසා සිය බෑණනුවන් ලවා සෙන්කඩගල නගර ඉදිකරවන ලද්දේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහාය. ඒ ගත් දූරදර්ශී පියවර පසුකාලීනව පලදායි වූ බව ඉතිහාසය ශාක්ෂි දරයි.  පසුකලෙක කුරුණෑගල අතහැර දැමුවද එහි වැදගත් ස්ථාන කීපයක් සංරක්ෂණය වීය. ඒ අතරින් එකක් වුයේ මගුල් මඩුවයි.  ගම්පල සහ කෝට්ටේ යුග පසුකරමින් මහනුවර යුගයේ ද මගුල් මඩුව සුරැකිව තිබුණි. මහනුවර යුගයේ මගුල්මඩු ප්‍රතිසංස්කරණය වන්නේ ප්‍රාදේශීය පරිපාලනයේ අවශ්‍යතා මතය. ආර්ය චක්‍රවර්ති මගුමඩුව විනාශ නොකළේය. ඔහු සිය පරිපාලනය සඳහා එය යොදාගත්තේය. පසුව ආ  පරංගියාද ලංසියාද ඉංග්‍රිසිකාරයාද උඩරටට පහර දෙන්නට ආවේ කුරුණෑගල හරහාය. එහෙත් ඔවුන්  මගුල් මඩුව අනවසර ඉදිකිරීමක්  ලෙස  සැලකුවේ නැත. ඔවුන්ගේ ගමන් මග පලල් කරන්නට මගුල් මඩුව කඩන්නට හිතුවේ නැත.

imageමහනුවර මගුල්මඩුවේ රාජසභාව බිඳවැටීමෙන් පසුව කුරුණෑගල මගුල් මඩුව ඓතිහාසිකව නැවත වැදගත්වීය. ඒ 1848 කැරැල්ල අවස්ථාවේ දීය. මාතලේ දී ගොන්ගාලේ ගොඩ බණ්ඩා රජවූවා සේම හත්කෝරලයේ දී හඟුරන්කෙත සුදු බංඩා , කීර්ති ශ්‍රි නමින් රජවීය. ඔහු ඔටුනු පැලඳුවේ සහ රාජ්‍ය කටයුතු ඇරඹුවේ කුරුණෑගල මගුල් මඩුවේය. සුද්දාගේ ආක්‍රමණය කුරුණෑගල වෙත එද්දි ඔවූහු මගුල් මඩුව තුළ බලය තහවුරු කරගෙන සිටිහය. ඔවුන් එම ස්ථානයෙන් පසුබැස්සේ සුද්දාගේ කාලතුවක්කුවට මුනදීගත නොහැකිවය. ඒ පියවර නොගන්නට  මගුල් මඩුව කාලතුවක්කු ප්‍රහාරයෙන් විනාශ වන්නට තිබුණි.  කුරුණෑගල අත්පත් කරගත් සුද්දා මගුල් මඩුව අනවසර ඉදිකිරීමක් බවට නම් කළේ නැත. එහෙත්  කැරලිකරුවන්ට විරුද්දව නඩු ඇසුවේ මේ මගුල් මඩුවේය. ඉතිහාසයේ විරුවන් රැසකගේ ඉරණම් තීන්දුව ලැබුණේ ද එහි දීය.

ඒ  සියලු අතවරන් හමුවේ සුරැකි පසුව අවන්හලක් වූ මගුල්මඩුවට මෙවර අත තැබුවේ කව්රුන්ද. ? මේ සඳහා නගරාධිපතිවරයාට බලය දුන්නේ, සුද්දාගේ පාලනය යටතේ රාමදින්න මාලදිවයිනෙන් ගෙන්වු මිනිසෙකුගේ මී මුණුබුරාය. ඔහු කුරුණෑගල ප්‍රමුඛ අරක්කු වෙලෙන්දාය. ඔහු සිය අරක්කු අධිරාජ්‍යයේ බලකොටුව පැරණි මගුල් මඩු භූමියේම් ඉදිකරන්නට තීරණය කිරීම දෛවෝපගතය.  රා මදින පරපුරේ අරක්කු රේන්ද කාරයාගේ අධිරාජ්‍යට බලය ලබාදන ඉහළ දේශපාලන බල අධිකාරියද අපූරුය. ඒ දෙපල බලයට ආවේ එම්. සී. සි. ගිවිසුමෙන් අක්කර දොලොස්දාහක් ඇමරිකාවට දෙන්න යනවා කියමින් මහ භීතියක් ඇතිකරමින්ය. ඔවුන්ගේ ගෝලබාලයින් හඬ නැගුවේ ඓතිහාසික ඇතුගල්පුරයත් ඇමරිකාවට දෙන්න යනවා කියමිනි. ටියුෂන් මාස්ටර්ලා පවා හය හතර නොදන්න උසස් පෙළ  ළමයින්ට කිව්වේ සීගිරිය සහ දඹුල්ලත් ඇමරිකාවට දෙනවා කියාය.  පපුවට අතගසාගනිමින් මව්බිම රකිනවා උරුමය රකිනවා කිව් අය වැඩ අරඹා ඇති බව දැන් පැහැදිලිය.

ආර්ය චක්‍රවර්තිගේ ආක්‍රමණය තුළ බිඳනොවැටුන, සුද්දාගේ ආක්‍රමණය තුළ ද කෙලින් සිටගෙන විරාජමානව සිටි මගුල් මඩුව අද බිඳවැටි ඇත. එහි කැනිමඩල සුණු විසුණුවි ගොස්ය. බැකෝ යන්ත්‍රයේ පහරින් ඇදවැටුන ගොඩනැගිලි ශේෂය කියාපාන්නේ අතීත විරුවන්ගේ අසරණ බවයි. එහෙත් බුවනෙකබාගේ ආත්මය නැගිට ඇවිත් බැකෝ යන්ත්‍රය ක්‍රියාවිරහිත කොට තිබේ. මගුල් මඩුවේ කොටසක් සුරැකී ඇත. එහෙත් අතීත විරුවන්ගේ සාපයෙන් නම් ගැලවී ගත නොහැකි වන බව අපරාධකරුවන් දතයුතුය.

දර්ශනපති, ධර්මසිරි හේවාගම රජරට සංස්කෘතික හා කලා පදනම

RSL

Related Posts