ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්ති ලෝකය වෙනස් කරයිද ?

Spread the love

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ”ඇමෙරිකාව ප්‍රමුඛ”(“America First”) වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක් නොමැති අසාධාරණ ඒවා වන බවය.

ට්‍රම්ප්ගේ එම ස්ථාවරය එක්සත් ජනපදයට පමණක් වාසි සහගත වූවකි. එසේම එය භේද ඇතිකරන සුලු, කඩාකප්පල්කාරී මෙන්ම ඒකපාර්ශ්වීය නිගමනයකි. එපමණක් නොව, එය ඔහුගේ පෞද්ගලිකමය මෙන්ම නොමග යවන සුලුය. එවැනි පිළිවෙතක් තීන්දුවී තිබෙන්නේ ට්‍රම්ප්ගේ පෞද්ගලික හැඟීම් සහ නායකයන් සමඟ පවත්වනු ලබන සම්බන්ධකම් මෙන්ම ඔහුගේ ‘ට්විටර්’ ප්‍රතිචාර මගින් මෙහෙයවනු ලැබීම මගිනි.

ජෝ බයිඩන්ට අනුව, ජාත්‍යන්තර ආයතන පාදක කරගත් සම්ප්‍රදායික ඇමෙරිකානු කාර්යභාරය සහ අභිලාෂයන්, බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම සහ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව පිහිටුවන ලද ජාත්‍යන්තර ආයතන මත පදනම් වෙයි.

එය ජාතික සීමාවන්ගෙන් පිටත සිට එල්ලවෙන තර්ජන මැඩලීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිදහස් ජාතීන්ට නායකත්වය දෙනු ලැබීමේ එක් ජගත් සන්ධානයකි.

එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය භාර ගැනීමට නියමිත ජෝ බයිඩන් පරිපාලනය යටතේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද? දැනටමත් එවැනි වෙනස්කම් කීපයක් දක්නට ඇත. සිය මිතුරු රටවල් කෙරෙහි සමීපවීම,දේශගුණ විපර්යාස සහ මැද පෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ඉන් කීපයකි.

පැරණි සගයන් සමඟ යළි මිතුරුවීම

ජනාධිපති ට්‍රම්ප් ඒකාධිකාරීන් අගය කිරීමට ලක්කළ අතර ඇමෙරිකානු සගයන්ට අවමන් කළේය.එවැනි පරිසරයක පදවියට පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩන්ට පැවරෙන කාර්ය ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ එම පිරිහුණ සබඳතා යළි යථා තත්ත්වයට ගෙන ඒමය. විශේෂයෙන්ම,නේටෝ යුද හවුල තුළ සබදතා සවිමත්කර ගනිමින් ලෝක මට්ටමේ ඇමෙරිකානු සගයන් සමඟ යළි හවුල්වීම ජෝ බයිඩන්ට පැවරෙන ප්‍රමුඛ කාර්යයක් වෙයි.

ඒ අතරම,ජෝ බයිඩන් පරිපාලනය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ යළිත් හවුල්විය හැකි අතර, කොරෝනාවෛරස් වසංගතය මැඩලීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ගෙනයන ක්‍රියාමාර්ගයක් සඳහා නායකත්වය දීම කෙරෙහි අවධානය යොමුකරනු ඇත. .

General View of the United Nations Building on September 22, 2019 in New York City.
ජගත් ආයතන සමඟ කටයුතු කිරීමට ජෝ බයිඩන් අපේක්ෂා කරයි

බයිඩන් කඳවුරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ තේමාවක් වූයේ ට්‍රම්ප් පාලනය තුළ හානියට පත් ඇමෙරිකානු ප්‍රතිරූපය යළි ස්ථානගත කරනු ලැබීමය. එසේම වේගයෙන් වර්ධනය වෙමින් පැවැති බල අධිකාරීවාදී රැල්ලක් ලෙස ඔවුන් දුටු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකමුතු කරනු ලැබීම එම ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් සටන් පාඨයක් වී තිබුණි.

එහෙත් එකී මතවාදය අභියෝගය ලක්කරන ‘ඇමෙරිකානු ව්‍යාපාරික කටයුතු පිළිබඳ අධ්‍යයනායතනයේ’ ඩැනියෙලා ප්ලෙට්කා (Danielle Pletka) පවසන්නේ, එම ප්‍රචාරක අවි යථාර්ථයට වඩා මෝස්තරයක විලාශයක් ගත් බවය. ට්‍රම්ප් පරිපාලනය ජගත් මට්ටමින් පෙරට යාමක් ද සහිතව බොහෝ ජයග්‍රහණ ලද බවට ඩැනියෙලා තර්ක කරන්නීය.

දේශගුණ විපර්යාස

සිය පාලනය දේශගුණ විපර්යාස පාලනය කර ගැනීමේ සටනට ප්‍රමුඛස්ථානය දෙන බව පවසන ජෝ බයිඩන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අතහැර දමන ලද ‘පැරිස් පරිසර සම්මුතිය’ සමඟ යළි එක්වෙන බව ද කියා සිටියි. ‘පැරිස් පරිසර සම්මුතිය’ට්‍රම්ප් විසින් අත්හැර දමන ලද ජාත්‍යන්තර සම්මුතිවලින් එකකි.

In this photo illustration of German tabloid Bild Zeitung that features an exclusive interview with then US President-elect Donald Trump
ජනාධිපති ට්‍රම්ප් සෙසු රටවල් සහ ආයතන යටපත් කර පෙරට යාමේ ප්‍රයත්නයක නිරතවිය

එම කාරණය අතින් ඇමෙරිකානු නායකයන් දෙදෙනා සිටින්නේ සහමුලින්ම දෙපැත්තකය. මිහිතලයේ උණුසුම පාලනය කිරීම සඳහා පියවර ගැනීම ඇමෙරිකානු ආර්ථිකයට තර්ජනයක්ය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ තේරුම්ගැනීම වෙයි. ඔහු පොසිල ඉන්ධන දහනය දිරි ගන්වයි. දේශගුණ විපර්යාසයන්ට සහ පරිසර සංරක්ෂණමය ක්‍රියාමාර්ග අතින් ලබා ඇති ජයග්‍රහණ ආපසු හරවයි.

මේ අතර පරිසරයට හානිකර විෂවායු විමෝචනය ජගත් මට්ටමින් මුදුන්පත් කරගැනීමේ සැලසුම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් සැපයීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ජෝ බයිඩන් බලාපොරොත්තු තබා ඇත. එවැනි සැලැස්මක් මගින් පරිසර හිතකාමී ආර්ථිකයක් නිර්මාණය කළ හැකි අතර, එමගින් දශලක්ෂ සංඛ්‍යාත රැකියා උත්පාදනයක් ද සිදුවෙන බව ඔහුගේ බලාපොරොත්තුව වෙයි.

ඉරානය

ජනාධිපති ට්‍රම්ප් විසින් අත්හැර දමන ලද තවත් ජාත්‍යන්තර ගිවිසුමක් වන්නේ, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි පණගැන්වීමට පියවර ගන්නා බව ජෝ බයිඩන් පවසයි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතියේ පරිමාව අවම කරනු ලබන්නේනම්, ඊට හිලව් වශයෙන් එරටට එරෙහි ආර්ථික සම්බාධක ළිහිල් කිරීමට එම ගිවිසුම මගින් බැඳී ඇත.

ජනාධිපති ට්‍රම්ප් 2018 වසරේ දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්හැර දමන ලද්දේ ඉරානය විසින් එල්ලකරනු ලබන තර්ජනය සමඟ පොරබැදීම අතින් එම අවි පාලන ගිවිසුම ප්‍රමාණාත්මක නොවන බව පවසමිනි. එසේම අදාළ කාලසීමාව ඇතුළත න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමාකරනු ලැබීම අතින් ගිවිසුම දුර්වලය යන්න ට්‍රම්ප්ගේ අදහස විය.

ජනාධිපති ට්‍රම්ප් විසින් ගන්නා ලද තීන්දුව පරිදි ඉරානයට එරෙහි සම්බාධක යළි ක්‍රියාත්මක වූ අතර,එරටට එරෙහි ආර්ථික බලපෑම දැඩිකරනු ලැබුණි. එපමණක් නොව, ඉරානයේ මූල්‍ය අංශය සහමුලින්ම මෙන් ”කළු ලැයිස්තුගත” (blacklisting) කිරීමට ද ට්‍රම්ප් පාලනය මෑතදී පියවර ගනු ලැබුණි. ඉරානය ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ සිය න්‍යෂ්ටික බලාගාර අධීක්ෂණය සම්බන්ධයෙන් එක්තරා මට්ටමක තහංචි පනවමිනි.

ජෝ බයිඩන් පවසන පරිදි ඉරානය කෙරෙහි ”උපරිම බලපෑම්” එල්ලකෙරෙන ට්‍රම්ප් පිළිවෙත අසාර්ථක ක්‍රියාමාර්ගයකි. එම ක්‍රියාමාර්ගය නිසා දෙපාර්ශ්වය අතර ගැටුම්කාරීභාවය විශාල මට්ටමින් උත්සන්න වූ බවත් බයිඩන් අවධාරණය කරයි. ගිවිසුමට හවුල් වූ සෙසු පාර්ශ්වයන් ද ට්‍රම්ප්ගේ තීරණය ප්‍රතික්ෂේප කරන අතර ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා ඉරානය න්‍යෂ්ටික අවි නිපදවනු ලැබීම අතින් බොහෝදුර ගමන්කර ඇත.

ඉරානය දැඩි මට්ටමින් ගිවිසුමට අනුගත වන්නේනම්, ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් එම ගිවිසුමට එක්වෙන බව ජෝ බයිඩන් පවසයි. එහෙත් එතෙක් ඉරානයට එරෙහි සම්බාධක ඉවත්කිරීමට බයිඩන් පරිපාලනය පියවර නොගනු ඇත. ඒ අතර නව ජනාධිපති බයිඩන් ජනාධිපති ට්‍රම්ප් විසින් මතුකරනු ලබන මැසිවිලි සම්බන්ධයෙන් විසඳුම් සොයාගැනීමේ සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත.

යේමනයේ යුද්ධය

සෞදි අරාබියේ සහයෝගයෙන් ක්‍රියාත්මක යේමන් යුද්ධයට සහයෝගය දීමත් ජෝ බයිඩන් පාලනය යටතේ නතරකෙරෙනු ඇත. අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කෙරෙමින් පවතින යේමන් යුද්ධයට ඇමෙරිකා එක්සත් ජනපදය හවුල්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ වාම බලවේගය කෙරෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර,එම මතයේ සිටින කොංග්‍රස් සභිකයන්ගේ සංඛ්‍යාවත් වැඩිවෙමින් පවතී.

Saudi Arabia's Crown Prince Mohammed bin Salman shakes hands with US President Donald Trump, at the G20 leaders summit in Osaka, Japan
සෞදි අරාබිය ඇමෙරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කිට්ටුම මිතුරු රාජ්‍යය වෙයි

සෞදි අරාබිය ජනාධිපති ට්‍රම්ප්ගේ කිට්ටුතම මිතුරු රාජ්‍යයකි. සෞදි අරාබිය ඉරාන විරෝධී ප්‍රධාන කේන්ද්‍රයකි. විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ජෝ බයිඩන් සෞදි අරාබි රාජාණ්ඩුව විවේචනයකින් තොරව වැළඳ ගනු ලැබීමේ ට්‍රම්ප් පිළිවෙතින් බයිඩන් බැහැරවිය හැකි බවය.

”මැද පෙරදිග ගත්තොත් බයිඩන් පාලනය යටතේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි මම හිතනවා” ඩැනියෙලා ප්ලෙට්කා පවසයි.

”එය වැඩිවශයෙන් ඉරානයට පක්ෂපාත පිළිවෙතක්.එසේම එය ස්ථිරවම,සෞදි අරාබියට අඩු පක්ෂපාතීභාවයක් සහිත පිළිවෙතක්”

අරාබි-ඊශ්‍රායෙල් අර්බුදය

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීරය අතර පසුගියදා ඇතිකරගත් ජනාධිපති ට්‍රම්ප්ගේ ගිවිසුම නව ජනාධිපති ජෝ බයිඩන්ගේ ද පිළිගැනීමට ලක්වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයේ පැරණි පරපුර අනුව යමින් ජෝ බයිඩන් ඊශ්‍රායලයේ දැඩි හිතවතකු මෙන්ම එම රාජ්‍යය ආරක්ෂා කළ යුතුය යන මතයේ සිටියි. ඊශ්‍රායලය ”පලස්තීන භූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින්නේය” යන වචන ඩිමොක්‍රටික් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති අංශයේ දක්නට නැත.

එහෙත් ජෝ බයිඩන් ”බටහිර ඉවුර අල්ලාගැනීමේ ඊශ්‍රායල් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයේ ප්‍රතිපත්ති මත රඳා පවතින ආකාරයක් දක්නට නොලැබෙයි. ට්‍රම්ප් පිළිවෙතට ඊශ්‍රායලයේ නව ජනපද පිහිටුවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නොවන බව පැවසෙන ප්‍රකාශනයක් ඇතුළත්ය. එම ප්‍රකාශනය අනුව බටහිර ඉවුරේ කොටස් ඊශ්‍රායලය විසින් ඒකපාර්ශ්වීය මට්ටමින් අල්ලාගනු ලැබීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නොවේ.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශය කලින් වසරවලට වඩා වැඩි දියුණු කරන ලද සහ බලපෑම් සහගත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර,පලස්තීනයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ලකරමින් ඇත.

Israeli West Bank barrier in Bethlehem. Tuesday, 13 March 2018, in Bethlehem, Palestine
ජෝ බයිඩන් ඊශ්‍රායලය ආරක්ෂාකර ගත යුතුය යන මතයේ සිටියත්,බටහිර ඉවුර සම්බන්ධයෙන් ඔහු ට්‍රම්ප්ට වඩා වෙනස් මතයක සිටියි

”පලස්තීන ජාතිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ උපදේශකයන්, පලස්තීන ඇමෙරිකානුවන් සහ අරාබි ඇමෙරිකානුවන් ශක්තිමත් බැඳීමක් තිබුණා කියල මම හිතනවා. එපමණක් නොවෙයි, ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අල්ලාගැනීම අවසන් කළයුතුය යන්න එක්සත් ජනපද විදේශ පතිපත්තියේ ප්‍රධාන මූලධර්මයක් විය යුතුබව යුදෙව් ඇමෙරිකානු කණ්ඩායම් විසිනුත් පිළිගන්නවා” මෙවර ජනාධිපති ධූර අපේක්‍ෂකත්වය දිනාගැනීම සඳහා ජෝ බයිඩන් සමඟ තරඟ වැදුන බාර්නි සෑන්ඩර්ස් ගේ විදේශ ප්‍රතිපත්ති උපදේශක මැට් ඩුස් (Matt Duss) පවසයි.

ජනාධිපති ට්‍රම්ප්ට මෙන්ම ජෝ බයිඩන්ට ද ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ යුද්ධ සඳහා සදාකාලිකව මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැත. බයිඩන් ගේ උවමනාව වනු ඇත්තේ ත්‍රස්තවාදය සමඟ සටන්වැදීම සඳහා කුඩා හමුදා සේනාංක එම රටවල රඳවා තැබීම පමණි. එසේම, පක්ෂයේ වාම බලවේගයේ බලපෑම නොතකා බයිඩන් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (පෙන්ටගනයේ) වැය ශීර්ෂය කප්පාදු නොකරනු ඇත.

භූදේශපාලන එදිරිවාදීකම් පෙරට පැමිණි විට ලෝකය බලාපොරොත්තු වූ තරම් වෙනසක් ඇතිවිය නොහැක යන්න එහි තේරුමය.

රුසියාව

මේ අතර ඉහළ රාජ්‍ය සබඳතා නියත ලෙසම වෙනස්වීමකට භාජනය වනු ඇත. රුසියාවේ නායක ව්ලදිමීර් පුතින් ගේ ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කරන සුළු හැසිරීම සම්බන්ධයෙන් නිතරම දක්නට ලැබුණේ ජනාධිපති ට්‍රම්ප් විසින් පෞද්ගලික මට්ටමින් ඔහුට සමාවක් පිරිනමනු ලබන ආකාරයකි.

එහෙත් ට්‍රම්ප් පරිපාලනය සම්බාධක පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රුසියාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් ද අනුගමනය කළේය. මිශ්‍ර පණිවුඩයකින් තොරව, එම පිළිවෙත බයිඩන් පාලනය යටතේත් වෙනසකින් තොරව ඇතැම්විට ක්‍රියාවට නැංවෙනු ඇත.

Russia's President Vladimir Putin during a video conference meeting with participants in the We Are Together nationwide volunteer campaign
ජෝ බයිඩන් පාලනය තුළ රුසියාව සම්බන්ධ එක්සත් ජනපද ප්‍රතිපත්තියේ මඳ වෙනසක් සිදුකෙරෙනු ඇත

තමා රුසියාව “සතුරකු” ලෙස විශ්වාස කරන බව හිටපු උප ජනාධිපතිවරයා (බයිඩන්) CNN සේවයට කිසිම පාලනයකින් තොරව කියා ඇත. එපමණක් නොව,ඇමෙරිකානු ජනාධිපතිවරණයට අතපෙවීම සම්බන්ධයෙන් ද බලපෑමක් එල්ලකරන බවට ප්‍රතිඥාවක් දී සිටින ජෝ බයිඩන්, ඇෆ්ඝනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවන් ඉලක්ක කොට පහරදීම සඳහා තාලිබාන් ව්‍යාපාරයට මුදල් සපයා ඇති බවට රුසියාවට චෝදනා කර ඇත. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා නැත.

ඒ අතරම, න්‍යෂ්ටික අවි ගබඩා නිරෝධායනයට අදාළ අවි පාලන ගිවිසුම් සුරක්ෂිත කරගැනීමට මොස්කව් බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමාට අවශ්‍යකරන බවත් ජෝ බයිඩන් විසින් පැහැදිළිව සඳහන් කරනු ලැබ ඇත. ජනාධිපති ට්‍රම්ප් රුසියාව සමඟ එළැඹ තිබුණු එවැනි ගිවිසුම් දෙකකින් ඉවත්විය. ඔහු එවැනි පියවරක් ගත්තේ රුසියාව ඒ සම්බන්ධයෙන් වංචාකරන බවට චෝදනා කරමිනි. මේ අතර ලබන වසරේ පෙබරවාරි මාසයේ කල් ඉකුත්වෙන තුන්වෙනි අවි ගිවිසුමක් රුසියාව සමඟ දීර්ඝකර ගැනීමේ උත්සහයක් ද පවතී. තමා ජනාධිපති පදවියට තේරී පත්වුනොත් කොන්දේසි විරහිතව එම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා කැපවෙන බව බයිඩන් පවසා තිබේ.

චීනය සම්බන්ධයෙන්

ජනාධිපති ට්‍රම්ප් 2017 වසරේ දී ප්‍රකාශයක් කරමින්, තමා සහ චීන ජනාධිපති ෂි ජින්පින් චොකලට් කේක්වලට කොතරම් ආශා කරන්නේදැයි කියා සිටියත්, එම මිත්‍රත්වය පරදුවට තබමින් කොරෝනාවෛරසය පැතිරවීම සම්බන්ධයෙන් ඔහු චීනයට චෝදනා කිරීමත් සමඟ දෙදෙනා අතර මිත්‍රත්වය දැන් අලුත් සීතල යුද්ධයක් බවට හැරී පවතී.

වෙළෙඳාම සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් චීනය පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා දුර්ලභ ගණයේ අන්තර් පක්ෂ ගිවිසුමක් සඳහා පියවර ගනිමින් ඇත. ප්‍රශ්නය වී තිබෙන්නේ උපායමාර්ග ගැනය.

චීනයේ ”ආක්‍රමණශීලී ආර්ථික භාවිතයන්’ට” එරෙහි ට්‍රම්ප් ප්‍රතිපත්තිය ජෝ බයිඩන් ද දිගටම අනුගමනය කරනු ඇත. එහෙත් එය සිදුකෙරෙනු ඇත්තේ ට්‍රම්ප් මෙන් ඒකපාර්ශ්වීය මට්ටමින් වෙළෙඳ ගිවිසුම් කරා යාමේ අභිලාශයෙන් තොරව මිතුරු රාජ්‍යයන් සමඟ සන්ධානගතවය.

චීනයේ සන්නිවේදන තාක්ෂණය වර්ජනය කිරීමක් සඳහා ජගත් සහයෝගය සාර්ථකව දිනාගැනීමට ට්‍රම්ප් පරිපාලනය සමත්විය. එය පෙරමුණු කීපයකින් බේජිං පාලනය පසුබස්වාලීමට එක්සත් ජනපදය විසින් ගන්නා ලද ප්‍රයත්නයේ එක් කොටසකි. එම තත්ත්වය ඔවුන් අතර සබඳතා දශක කීපයක් ඇතුළත දක්නට ලැබෙන පහළම අඩියට වැටීමට මුල්විය.

ජනාධිපති ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද එම චීනය දඩයම් කිරීමේ ව්‍යාපාරය ඔවුන් විසින් හඳුන්වන ලද්දේ මූලෝපායී තරඟකාරිත්වයක් යනුවෙනි. එහෙත් මූලෝපායික ගැටුම වන්නේ ඇතැම් විශ්ලේෂකයන් විසින් එම පිළිවෙත විග්‍රහකරන ආකාරය අනුවය. ජෝ බයිඩන් නැගී සිටිමින් පවතින චීනයක් සමඟ සහයෝගී සම්බන්ධතා පැවැත්විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි සක්‍රීය මට්ටමින් අවධානය යොමුකරනු ඇත.

”තමාට ඇමෙරිකානු නායකත්වය නැවත පණගැන්වීමට අවශ්‍ය’ බව’ ජෝ බයිඩන් කියාසිටී.

එහෙත් පසුගිය වසර හතරක කාලය ඇතුළත දැඩි මහා බල තරඟයක් යළි කැඳවමින් ලෝකය බෙහෙවින් වෙනස් වී ඇත. මෑතදී පැවැත්වුන මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඇමෙරිකානු ජනාධිපති පදවිය භාරගනු ලබන ජෝ බයිඩන් විසින් නායකත්වය දීමට බලාපොරොත්තු තබනු ලබන ඔවුන්ගේ වෙනස් නොවෙන මිතුරු සගයන් වන රටවල පවා ඇමෙරිකානු කීර්තිය විශාල වශයෙන් පිරිහී ඇති බවකි.

(ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ BBC වාර්තාකාරිනී, බාබරා ප්ලෙට් උෂර් ගේ විශ්ලේෂණයක පරිවර්තනයකි – උපුටා ගැනීම බී.බී.සී සන්දේශය)

RSL

Related Posts