කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?
‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ‘ මාධ්‍ය හමුව අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත් වුණා. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වුණේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙනුයි‘ එහිදී ජාතික ජනබලවේගයේ නීතියෝ විසින් දැක්වූ සම්පූර්ණ අදහස් සංස්කරණය කිරීමකින් තොරව පළ කිරීමට අපි තීරණය කළා.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ සුනිල් වටගල
නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණුවලදී අපි මීට ප්‍රථමත් ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස ඊට අදාළ සක්‍රීය දායකත්වය ලබාදී තිබෙනවා. මේ වෙලාවේ මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් පවතින ඇවන්ගාඞ් ගනුදෙනුවට අදාළව සිටින නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම මූලික අරමුණක්.
ඒ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය නෙවෙයි මේ දිග හැරෙමින් තිබෙන දේශපාලන පසුබිම පැහැදිළි කරන්න ඕනෑ. නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණුකර තිබුණු ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති මහත්තයාව දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවට සාක්‍ෂිකරුවන් ගණනාවක් කැඳවා කටයුතු කරගෙන යනවා.
නීතිඥ උපුල් කුමරප්පෙරුම – ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක
දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යභාරය මම මුලින්ම පැහැදිලි කරන්නම්. 2020 ජනවාරි 09වැනි දින අංක 2157/44 ගැසට් පත්‍රය මගින් පත්කරනවා. කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඊට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක මහත්මයාත් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රානන්දු මහත්මයත් නම්කර තිබෙනවා.
ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා පවරා තිබෙන කාර්යභාරය 2015 ජනවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී පැවැති ජනාධිපතිවරණයට පෙර හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ නිලධාරීන් රාජ්‍ය සංස්ථාවල සේවකයන් සන්නද්ධ හමුදාවල මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයන් සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මස 16න් අවසන්වූ කාලපරිච්ඡේදය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්කර තිබේ යැයි වාර්තා කිරීමය.
මේ ගැසට් පත්‍රය අනුව අදාල කරුණු සෙවිය යුතු ආයතන වශයෙන් අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය, එෆ්.සී.අයි.ඩී. එක සහ පසුව ගැසට් පත්‍රය සංශෝධණය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ඇතුළත්කර තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන් එහෙම නැත්නම් පොලීසියේ හෝ හමුදාවල සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන බව නිශ්චිතව සඳහන් වෙනවා.
මේ අයට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී. එක හෝ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තමන්ට විරුද්ධව පරීක්‍ෂණයක් දේශපාලන පක්‍ෂග්‍රාහීව සිදුකර ඒ නිර්දේශ මත තමන්ට විරුද්ධව චෝදනාවක් අධිකරණයක හෝ වෙනත් ස්ථානයක විභාගවෙමින් තිබෙනවා නම් මේ කොමිසම ඉදිරියේ කරුණු හෙළි කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
ඇවන්ගාඞ් ආයතනයේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව අනුර දිසානායක මහත්මයාටත් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ පැමිණිල්ල සහ අනුර දිසානායක මහත්මයා වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබීම මේ ගැසට් පත්‍රයට සාරානුකූලද කියලා අපි සලකා බලන්න ඕනෑ.
නීතිඥ හර්ෂණ නානායක්කාර – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ දේශපාලන අරමුණකට නෙවෙයි. නීතිඥවරුන් වශයෙන් අපේ ස්ථාවරයන් පැහැදිලි කිරීම සඳහා. අනුර දිසානායක මහත්මයා මේ වන විටත් කියා තිබෙනවා, ඉතාමත්ම කැමැත්තෙන් කොමිසම ඉස්සරහට යන බව. කොමිසම මේ අවස්ථාව අනුර දිසානායක මහත්මයට ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ.
හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මම පැහැදිලි කරන්නම්. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අවුරුදු 200ක් පැරණි ආයතනයක්. රජයේ කුමන දෙපාර්තමේන්තුවකට හෝ පුද්ගලයන්ට මේ දක්වා දූෂණ වංචා පිළිබඳව චෝදනා තිබුණත් අපි නීතිඥවරු වශයෙන් ගරු නීතිපතිතුමාට විරුද්ධව කිසිම වචනයක් කියලා නැහැ. ඔවුන් අවුරුදු 200ක සම්ප්‍රදායන් රකින වැදගත් වෘත්තීයවේදීන් පිරිසක්. ඔවුන්ගේ කැපවීම අතිමහත්. මේ කොමිසම පවත්වන්නේ පෙරකී ආයතන හරහා දේශපාලන පළිගැනීම් වුනාද කියලා බැලීමයි.
නීතිපතිවරයාගේ කාර්යභාරය ස්වාධීනව සාක්‍ෂි සලකා බලනවා. ඒ අනුව සී.අයි.ඩී. එකෙන් පවා එන සමහර ෆයිල් සලකා බලා තවදුරටත් කටයුතු කරන්න එපා කියලා මුදා හරින අවස්ථා රාශියක් තිබෙනවා. යම් ලිපිගොණුවක නඩුවක් පැවරිය හැකි බවට බැලූ බැල්මට සාක්‍ෂි තිබෙනවා නම් ඒ ලිපි ගොනුව එන්නෙත් කිහිප දෙනෙකු සලකා බලලා. අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා, ඊට වඩා ඉහළ නිලධාරියෙක් ඒ සාක්‍ෂි අධීක්‍ෂණය කරනවා. මේ ක්‍රියාවලියෙන් සෑහීමකට පත් වෙනවා නම් අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා.
නිශ්ශංක සේනාධිපති මහත්මයා කියන්නේ ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සාක්‍ෂි තුළනාත්මකව සලකා බලා පවරපු අධි චෝදනාවක චූදිතයෙක්. කොමිෂන් සභාවේ ඉන්න සාමාජිකයන් පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් නිශ්ශංක සේනාධිපතිට නඩු පවරලා තියෙන්නේ දේශපාලන පලිගැනීමකින් යනවග යම් හෙයකින් කොමිසම තීරණය කළහොත් ඒකෙන් කියවෙන අනික් පැත්ත මොකක්ද?
ඒ කියන්නේ නීතිපතිවරයාත් මේකට සම්බන්ධද? එතකොට ගරු නීතිපතිතුමා සාක්‍ෂි තිබෙන බවට බොරු කියලාද? එෆ්.සී.අයි.ඩී., සී.අයි.ඩී. ආදී වශයෙන් කවුරු විමර්ශන ලිපිගොණු එව්වත් සාක්‍ෂි නැත්නම් නීතිපතිවරයා නඩු පවරන්නේ නැහැ. නමුත් කොමිෂන් සභාවෙන් අර ආකාරයේ තීන්දුවක් ආවොත් ගතහැකි ක්‍රියාමාර්ගය මොකක්ද?
කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?
ඉදිරියේදී මතුවන තත්වයන් ගැන අපි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. අපි මීට කලින් අත්විඳපු නැති නීති ඉතිහාසයේ, දේශපාලන ඉතිහාසයේ අලුත්ම දේවල් මේ සිද්ධ වෙන්නේ. මෙවැනි කොමිසමක් මගින්ම එක අවස්ථාවකදී අලි සම්බන්ධ නඩු යද්දී ෆයිල් එක කොමිසමට කැඳවලා තිබුණා. මේ අවස්ථාවේදී කොමිසම ඒ ෆයිල් කැඳවලා නඩුව හිර කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කර තිබුණා.
මොනවා හරි දේශපාලන උවමනාවන් මත අපේ නීතියේ ආධිපත්‍යය පසිඳලන ආකාරයට ප්‍රශ්න ඇතිවුණොත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතිවන තත්වය කුමක්ද? ඔවුන් ඉගෙන ගන්න අත්පොත් තබන අය නොවෙයි. අපි සංවේදී සහ සංකීර්ණ නීති ප්‍රශ්න රාශියකට ඉදිරියේදී මුහුණ දිය හැකියි. මේ සම්බන්ධයෙන් අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරනවා. මාධ්‍යවේදීන් මහත්ම මහත්මීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඒ සම්බන්ධ අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරන්නයි.
නීතිඥ ජගත් අබේනායක – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
මේ වෙනකොට කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙක් වගඋත්තකරුවෙක් කරලා, සිතාසි නිකුත් කරලා. රජයේ හෝ රජයෙන් පරිභාහිර නීතිඥවරයෙක් වුණත් ඔහුගේ කාර්යභාරය කුමක්ද? අපරාධ නඩුවක් ගත්තොත් ඒ නීතිඥවරයා අපරාධය සිදුවන ස්ථානයේ ඉඥලා නැහැ.
අදාල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමයි නීතිඥවරුන් කරන්නේ. අධිකරණයේ සිදුකරන කාර්යයේදී එක පැත්තකින් නීතිඥවරුන් අධිකරණයට සහාය දෙනවා. පෞද්ගලික නීතිඥයෙක් වුණත් රජයේ නීතිඥයෙක් වුණත් සැලකෙන්නේ අධිකරණ නිලධාරියෙක් විදිහට.
අධිකරණයට සහාය වන අතර ඔහු නියෝජනය කරන පාර්ශ්වයෙන් ඔහුට ඉදිරිපත් කරලා තියෙන කරුණු ඔහු දන්නා ඉහළම හැකියාවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෘත්තීය වගකීමයි. ඔහුට ඒක පැහැර හරින්න බැහැ. රජයේ අධිනීතිඥවරයෙක්ගේ කාර්යභාරයත් ඒක. යම් නීතිඥවරයෙකුට නඩුවක කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැඳීම් තිබෙනවා නම් ඒ බව ප්‍රකාශ කරලා ඉවත් වෙනවා.
රජයේ අධිනීතිඥවරයෙක් කියන්නේ රජයේ සේවකයෙක්. ඔහුට පැවරී තිබෙන රාජකාරියෙන් ඉවත් වෙන්න බැහැ. යම් නීතිවරයෙකුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ නඩු කියන්නන් චෝදනා කරනවා නම් ඒ නීතිඥයා යටි අරමුණකින් කටයුතු කළ බව මෙවැනි තත්වයක් නවතින්න පුළුවන් කොහෙන්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ක්‍රමය බිඳ දැමීමේ උත්සාහයක්. ඒ නීතිඥයන්ට ස්වාධීනව තම වෘත්තිය ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව අහිමි කිරීමේ පොටක්. මේ කාරණය අපි හැමෝම සැලකිල්ලට ගන්න ඕනෑ කියලා මම හිතනවා.
විමර්ශනය කළහැකි පුද්ගලයන් වගේම විමර්ශනය කළ හැකි ආයතන සම්බන්ධයෙනුත් බලතල මේ කොමිෂන් සභාවට තිබෙනවා. මේ ගැසට්පත්‍රයට අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ ආයතන අතර නැහැ. රජයේ අධි නීතිඥවරයා වගඋත්තරකරුවෙක් කර සිතාසි යැවීම රටක නීතිය ක්‍රියාත්මකවීමේ ක්‍රමය බැරෑරුම් අර්බුයකට යැවීමක්. ඒක සමස්ත ක්‍රමයේම පිළිබිඹුවක් කියලා මම හිතනවා.
නීතිඥ චරිත් ගල්හේන – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තා කිරීමේ මාධ්‍ය සතු වගකීම ගැන ප්‍රශ්න තියෙනවා. යම් පුද්ගලයෙකුට, මාධ්‍යවේදියෙකුට, මාධ්‍ය ආයතනයකට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාව තිබෙනවා. නමුත් අධිකරණයට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාවක් විනිශ්චයකාරවරුන්ට නැහැ.
නීතියේ අන පනත් සහ ක්‍රියාමාර්ග තියෙනවා. සාක්‍ෂි විධිවිධාන, නඩුවක් ඇහීමේ විධිවිධාන තියෙනවා. යම් චෝදනාවක් සම්බන්ධයෙන් දෙපැත්තක් තියෙනවා. අධිකරණය කරන්නේ මේ දෙපැත්ත සම්බන්ධයෙන් සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කිරීමයි. විනිශ්චයකාරවරු හැම අවස්ථාවකදීම සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කරනවා. පැහැදිලි කිරීම් තියෙනවා. හැබැයි මාධ්‍ය නඩු තීන්දුවක් මිනිස්සු අතරට ගෙනියන්නේ පැහැදිලි කිරීම් එක්ක නෙවෙයි.
යම් නඩු තීන්දුවක් වැරදි යැයි සිතෙනවා නම් අභියාචනා අවස්ථා දෙකක් ලංකාවේ තියෙනවා. අභියාචනා අවස්ථා තිබීම චූදිතයකුගේ අයිතිවාසිකමක්. ඒක ලෝකයේ සම්මුතියක් වශයෙන් පිළිගත් අයිතියක්.
ජනාධිපති සමාව සහ ජනාධිපති කොමිෂන් කියන බලතල දෙකම ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් අවුරුදු 40ක් පමණ තිබෙන විවේචනවලින් දෙකක්. සමාව කියන එක නීති පද්ධතියට අවශ්‍ය දෙයක්. නමුත් ලෝකයේ වෙනත් රටවල්වල සමාව ක්‍රියාත්මක වන කාර්ය පටිපාටියක් තියෙනවා. සිරකරුවන්ගේ හැසිරීම් අධ්‍යයනය කරනවා.
සමහර දියුණු රටවල නඩු තීන්දුවේදීම අදාල දණ්ඩණය සමාවට යටත්ද නැද්ද යන්නත් සඳහන් වෙනවා. එළියට දාන්න පුලුවන් පුද්ගලයෙක් වැරදිකරුවෙකු වී ඉන්නවා නම් අර අධ්‍යයනය කිරීම් මගින් නිර්දේශ කෙරෙනවා. සමහර චෝදනාවලට සමාවක් ඇත්තේම නැහැ. දඬුවමකින් පුද්ගලයා පීඩාවට පත් කිරීමේ අදහසට වඩා ඔහු නිවැරදිකරුවෙකු කර ගැනීමේ උවමනාව තිබෙනවා. දඬුවමක පුනරුත්ථාපනය කිරීමේ අදහස අන්තර්ගත වෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
නීතිඥ ජගත් අබේනායක – ජනාධිපති කොමිෂන් සභාවක් කියන්නෙ අධිකරණ ව්‍යූහයක්. ඒ කොමිෂන් සභාවක් ගැන විශ්වාසයන්, අවිශ්වාසයන් තියෙන්න පුළුවන්. හීනෙන් දැකලා බය වෙන හැම කාරණයක් සම්බන්ධයෙන්ම අධිකරණ ව්‍යූහයකට චෝදනා කරන්න හැකියාවක් නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභාව නීත්‍යානුකූලව පිහිටුවා තිබෙනවා. එහි කටයුතු නිසියාකාරව කෙරෙයි කියන අපේක්‍ෂාව අපිට තියෙනවා.
නීතිඥ හර්ෂණ නානායක්කාර – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 106ක් නැතිවුණේ නැහැ. පැවතුණු රජය විසින් ඒ පිටු 106 එළියට නිකුත් කළේ නැහැ. මහජනතාවට දැන ගැනීම පිණිස ඒ පිටු 106 නිකුත් කරන්න මේ රජයට සම්පූර්ණ හැකියාව තිබෙනවා. ඒක අධිකරණ ක්‍රියාවලියක් හෝ කිසිදු විනිශ්චයකාරයෙක් කළ දෙයක් නෙවෙයි. නමුත් වර්තමාන දේශපාලන අධිකාරිය වගේම කලින් හිටිය දේශපාලන අධිකාරියේ උවමනාව මත ඒ පිටු 106 එළියට එන්නේ නැහැ. ඒකට කොමිසම වගකියන්න ඕනෑ නැහැ.
මමත් ඔබ වගේම කොමිෂන් සභාව විශ්වාස කරනවා. අපි මෙහිදී මතු කරන්නේ මතුවී තිබෙන අලුත් තත්වය. නීතිපතිවරයා විසින් නඩුව පවරන්නේ ප්‍රමාණවත් සාක්‍ෂි තියෙන නිසා. කොමිසම සාධාරණ පිළිතුරක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම මතු කරන්නේ යම් හෙයකින් කොමිසම ඇවන්ගාඞ් සම්බන්ධයෙන් චෝදනාවක් නැහැයි කියලා කිව්වොත් නීතිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට මොකද වෙන්නෙ කියලා.
නීතිපතිවරයා නඩු ඉවත්කර ගන්නේ අලුත් තත්වයන් මතුවීම සහ මතුකර තිබෙන සාක්‍ෂියක දුර්වලකමක් නිසා කියලා අපිට නිල වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. අනික් පැත්තෙන් අපි නොදන්නා යම් යම් දේශපාලන අතපෙවීම් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. නීතිඥවරුන් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්න කටයුතු කරන්න ඕනෑ බවයි අපි පෙන්වා දෙන්නෙ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගන්නා නඩු සම්බන්ධයෙන් ජනතාවට යම් සැකයක් මතු වෙනවා නම් දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ඒ අයිතිය මහජනතාවට තිබෙනවා.
අධිකරණයේ යම් තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. නීතිඥවරයෙකු වශයෙන් අපිට කරන්න තියෙන්නේ අධිකරණය ඉදිරියේ දේශපාලනික කාරණයක් නෙවෙයි. ඇවන්ගාඞ් නඩුවේදීත් නිශ්ශංක සේනාධිපති මහත්මයාට නීතිපතිවරයාට විරුද්ධව රිට් ආඥාවක් ගන්න පුළුවන්. ඒ වගේම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන ඉල්ලීම මොන ආණ්ඩුව ආවත් අධිකරණයේ කටයුතුවලට අත පොවන්න එපා කියලයි.
ඇප පිට ඉන්න නිශ්ශංක සේනාධිපති මහත්මයා මාධ්‍යයට ගෙන්වාගෙන ප්‍රකාශ දෙන්න බාධාවක් නැහැ. ඔහු තවම වැරදිකාරයෙක් වෙලා නැති බව ඇත්ත නමුත් ඔහු සැකකාරයෙක්. ඇප පිට එළියේ ඉන්න පුද්ගලයෙක් මාධ්‍යයට ගෙන්වනවාද නැද්ද කියන සදාචාරය ඒ මාධ්‍යවලට තියෙන්න ඕනෑ.
අපි ඇත්ත කතා කළොත් ගරු ජනාධිපතිතුමාට විරුද්ධව තියෙන නඩුව අහන්නේ නැත්තේ ඔහුට තියෙන මුක්තිය මත. නැත්නම් ඔහුත් ඇප පිට එළියේ ඉන්න සැකකාරයෙක් තමයි. ලක්‍ෂ 69ක් ඡන්දය දී පත්වී තිබුණත් ඔහුට අදාල නීත්‍යානුකූල තත්වයත් ඒකම තමයි. මේ සදාචාරාත්මක ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න ඕනෑ කොහොමද කියලා මාධ්‍ය හා ජනතාව තීරණය කළ යුතු දෙයක්. නිශ්ශංක සේනාධිපතිත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් නීතිය ඉදිරියේ තාමත් වැරදිකාරයෝ නොවෙයි ඔවුන් සැකකාරයෝ.
නීතිඥ උපුල් කුමරප්පෙරුම– ඇවන්ගාඞ් එකට ප්‍රශ්න විසඳාගන්න හොඳම ක්‍රමය ඔය නඩුවට මුහුණ දීලා නිවැරදිකරුවන් වීම. දේශපාලන අගතියක් වෙලා තිබෙනවා නම් මේ කොමිසම නිර්දේශ කරාවි. යම් පුද්ගලයෙක් යමක් කී පමණින්ම එක් නිවැරදි වෙන්නෙත් නැහැ. කොමිසම තියෙන්නේ ඒ ගැන හොයලා බලන්න.
කොමිසම ඒ රාජකාරිය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නැහැ, කැමැත්තක් තිබෙන්නේ. අනුර දිසාානායක සහෝදරයා ලේඛන සහිතව කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙන්න බොහොම කැමැත්තෙන්ම ඉන්නේ. නීතිපතිවරයා විසින් ඉවත් කරගත් නඩු ගොඩක් තියෙනවා. චන්දන කත්‍රිආරච්චිට විරුද්ධව තිබූ නාම්පමුණුව මිනීමැරුම් නඩුව ඇතුලු විශාල ප්‍රමාණයක් විවිධ හේතූන් මත ඉවත්කරගෙන තිබෙනවා.
නීතිපතිවරයා නඩු ඉවත්කරගැනීම සඳහා අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කර තීන්දුවක් දීම කියන්නේ කාරණා දෙකක්. අධිකරණයක් ඉදිරියට නඩුවක් එන්නේ ක්‍රියාවලියක් තුළින්. මුලින්ම පැමිණිල්ලක් තිබිය යුතුයි. විමර්ශනය කළ යුතුයි. විමර්ශනයේදී සාක්‍ෂි අනාවරණය වෙනවා. සාක්‍ෂි ලේඛණය නීතිපතිවරයාගේ සලකා බැලීම සඳහා යොමුකළ යුතුයි. ඒ සලකා බැලීමට පස්සේ නඩු පැවරිය යුතු බවට නීතිපතිවරයා තීරණය කරනවා නම් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා.
ඊට පසු උසාවියේදී පැමිණිල්ල මෙහෙයවන්නේ නීතිපතිවරයා. නඩුව අහන්නේ විනිශ්චයකාරවරයා. නඩුවට සාක්‍ෂිකාරයෝ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා. විනිසුරුවරයෙක් ඉස්සරහ ඉදිරිපත් කරන සාක්‍ෂිවල නිරවද්‍යතාවය ඇගයීමෙන් පස්සේ තීරණයක් ලබා දෙනවා.
මේ ක්‍රියාවලියට මැදිහත්වීමක් කරනවා කියන්නේ දේශපාලන මැදිහත්වීමක්. දේශපාලන මැදිහත්වීමට නතුවන ආයතනය හෝ විනිශ්චයකාරවරයා හෝ ඒ ගැන වගකීම බාරගන්න ඕනෑ. ලංකාවේ අපරාධ නඩුවල වැරදිකරුවෙකු වීමේ සම්භාවිතාව සාමාන්‍යයෙන් 10%ක් විතර. අපරාධ නඩුවක තීන්දු-තීරණ දෙන්නේ ඉතා පරිස්සමෙන්. සැකයේ වාසිය යුක්තියට දෙන්න ඕනෑ. කිසිම සාක්‍ෂියක් නැතිව උසාවියක නඩුවක් පවරා ගෙනයන්න බැහැ. නඩුවක් උසාවියට එනකොට විනිශ්චයකාරවරුන් සෑහීමකට පත්වන සාක්‍ෂි ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව නඩුපවරලා මේ ආයතන විහිළුවකට ලක් කරන්න පුලුවන්කමක් නැහැ.
නීතිඥ හර්ෂණ නානායක්කාර– අධිකරණ තීන්දුවක් ඉවත්කරගන්න බැහැ. ජනාධිපති සමාවක් දෙන්න පුළුවන්. ඒ පුද්ගලයා නිවැරදිකාරයා වුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙක් දඬුවමකින් මුදා හරින බලයක් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. ඒ පුද්ගලයා නිවැරදිකාරයෙක් කියලා එයින් අදහස් වෙන්නේ නැහැ.
ජනාධිපතිවරයා සමාව දීමකදී වින්දිතයාට නැවත නඩු පවරන්න බැහැ. අධිකරණයෙන් චූදිතයා වැරදිකරුවෙක් කර තිබෙන නිසා. මේ කාරණයේදී යම් යම් අඩුපාඩුකම් තිබෙන බව පිළිගන්න වෙනවා. අධිකරණය හෝ පොලීසිය කියන්නේ අපරාධකරුවෙකු පසුපස හඹාගෙන ගිහිල්ලා දඩයම් කරන ආයතන නෙවෙයි.
වැරදිකරුවෙකු නිදහස් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තිබුණත් ඒ සඳහා නිර්ණායකයන් ලබාදී නැහැ. ඒක ලොකු අඩුවක්. ජනාධිපති අභිමතයටම යටත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 20වැනි ආණ්ඩුක්‍රම කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අගතිය නිසාමයි. ජනාධිපති සමාව තුළ වෙන්නේ නීතිමය අසාධාරණයක් නෙවෙයි. සමාජමය අසාධාරණයක්. ලංකාවේ ජනාධිපති සමාව දීම ගැන ගැටලු රැසක් තිබෙනවා.