ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ

Spread the love

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් සිවුදෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණේ ප්‍රබලයකු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ,රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ලෙස,ඉල්ලීම් කරමින් සිටින බවද වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර,අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද ඔහුට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.

මේ අතර,ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර,හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද අලහප්පෙරුම මහතාට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි දැනගන්නට ඇත.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට ද ,තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට ද ,තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ .

මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද,මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.

සභානායක දිනේෂ් ගුණවර්ධන ,අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට ඇත.

RSL

Related Posts