කොවිඩ්-19ට අභියෝග කරමින් පුනර්ජීවනය ලබන ගෙවතු වගාව

Spread the love

Covid-19  කියු සැනින් ලොකු කුඩා භේදයකින් තොරව අපේ සිතට නැගෙන්නේ මරණීය බියකි. මෙතෙක් අප මුහුණ දුන් ඉතාමත් භයානක වසංගතයක් වු මෙය තනි මරණයකින් කෙළවර නොවී රුක් සටහනක් සේ ව්‍යසනය පැතිරී පොකුරු මරණයකින් ද කෙලවර වේයැයි කිසිවෙකුට තවමත් කිව නොහැකිය. එය ස්වභාව ධර්මයේ තනි තීරණයකි. එම තීරණයට අවනත වූ මිනිස් වර්ගයා අද එයට මුහුණ දෙමින් සිටී.

Covid-19 වසංගතය සමග ආහාර සැපයුම් ජාල බිද වැටීම, ආනයන – අපනයන සීමා වීම හෝ අත්හිටුවීම, අධික බදු පැනවීම් ආදිය සමග ‘ආහාර හිගයක් ‘ සාගතයක් ‘ගැන ද ගෝලීය වශයෙන් භීතියක් නිර්මාණය වී ඇති අතර ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන් ඇතුළු ආයතන ද මේ ගැන සිය බිය ‘නිල වශයෙන් ‘ පළ කර තිබේ.

ගෝලීය වශයෙන් පැතිර යන මෙම ‘ආහාර අහේනිය, සාගතය‘ පිළිබද භීතිය සංවර්ධිත එක්සත් ජනපදය – මහා බ්‍රිතාන්‍ය පමණක් නොව නිරන්තරයෙන් ආහාර අහේනියෙන් හා සාගතයෙන් බැටකන අප්‍රිකානු කලාපය පවා භීතියට පත් කිරීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එක්සත් රාජධානියේ දරුවන් ද ගෙවතු වගාවට යොමුව සිටීන අයුරු

උදාහරණයක් ලෙස බී.බී.සී ලෝක සේවය වාර්තා කළේ එක්සත් රාජධානියේ කෘෂිකාර්මික බීජ සදහා වන ඉල්ලුම පසුගිය මාර්තු මාසයේ 1100%කින් ඉහළ ගිය බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ එම ප්‍රතිශතය සියයට 600%ක් වන අතර බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය වාර්තා කළේ පසුගිය මාසයේදී එරට පවුල් ඒකක වලින් 46%ක් ගෙවතු වගාව ආරම්භ කර ඇති බවයි.http://lankaepress.com/2020/05/25/33496/ සහ http://lankaepress.com/2020/05/08/32252/

එහෙත් මේ ගැන අවධානය යොමු කරන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ගෝලීය වසංගත අවධානමක් සමග නිර්මාණය වන ‘සාගතය පිළිබද බිය‘ නිසා මිනිසුන් බෝග වගාවට යොමු වීම හුදු අහඹු සිදුවීමක් නොවන බවයි. එය වසර සිය දහස් ගණක් පුරා මිනිසුන්ගේ ජාන තුළ නිදන්ගතව පැවැති ‘ගොවිකම‘ යළි එළියට පැමිණීමක් ලෙස ඔවුහු සලකති.

එළවළු උද්‍යාන, නාගරික ගෙවතු උයන්, ගෙවතු වගාව, බදුන් තුළ වගාව, පියැසි මත වගාව‘ ආදි ඒ ඒ රටවලට, පරිසරවලට ආවේනික ආකාරයෙන් ‘තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගැනීම‘ හෙවත් ලංකාවේ අපට වැටහෙන ආකාරයෙන් ‘වවා කියා ගෙන කෑම‘ ලෝකය පුරා වසංගතයක් (මෙය ඍණාත්මක අදහසක් නොවන නිසා රැල්ලක් වශයෙන් නම් කළ හැකිය) ලෙස පැතිර යන්නේ ‘ගොවිකම‘ නැමති ජාන සෑම මිනිසෙකු තුළම නිදන්ගතව පැවතීම නිසා බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ඉහත සඳහන් කළා සේ හිතේ ගතේ දැවටී තිබූ ගොවිකම හමස් පෙට්ටියකට දමා අඟුළු ලා මාසේ පඩියට රැකියාවන්ට ගිය මහත්වරුන්ටත් තමන්ගේ ජීවිත‍යෙන් ගොවිකම ඈත් වී නැති බව වටහා දීමට මේ කොරෝනා කාලය සමත් වී ඇත. රැකියා සඳහා යන්නට නොහැකි වු දින ගණණ දිනෙන් දින ඉහළ යත්ම වෙනදාට කඩියන් සේ එහෙ මෙහේ දිව යමින් වැඩ කළ ඒ මහත්වරුන්ගේ නෙත ගැටුනේ උදැල්ල සහ නිවස අවට හිස් භූමියයි. අද ඔවුන්ගේ ගොවිකමේ පිබිදීම අපහට සියැසින් ඉතා අපූර්ව ලෙස දැකබලාගත හැකි වී ඇත්තේ, නිවස අවටත් හිස්ව පැවති සෑම තැනකමත් පුංචි පුංචි මල් පිපිණු ඵල බර වෙන්නට තතනමින් සිනාසෙන ගස් වැල් දකින විටය.

වසංගතය නිසා ඇති වේ යැයි සැක කළ ආහාර හිඟය හා සටන් කිරීමට වීර සෙබලුන් සේ අද මේ අලුත් ගොවි මහතුන් සන්නද්ධ වී ඇත. ඔවුන් නැවත රැකියාවන්ට ගිය ද මේ පිම්ම, මේ ගැම්ම නැති කර ගන්න නම් මේ මහත්වරුන්ට සිතක් ඇත්තේම නැති බව ඔවුන් හා කෙරුණු සාකච්ඡාවල දී පැහැදිලි විය.

කොවිඩ්-19 හමුවේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය නඟා සිටුවීමට යත්න දරන රජය විසින් ගොවියා සහ ගොවි පවුල හෙවත් කුටුම්භය ආරක්ෂා කරමින් ගම ද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින මොහොතක ගමේ යමක් කමක් තේරෙන මේ මහත්තුරුන්ගේ උනන්දුව ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ උන්නතියට යොදා ගත හැකි නම් කෙතරම් අගනේ ද? 

චිරාත් කාලයක් තිස්සේ විද්වතුන්ගේ කතා බහට ලක් වන කෘෂි ව්‍යාප්ති සේවයේ අකාර්යක්ෂමතාවයට ආසන්නතම හේතුවක් වන්නේ කෙතරම් දැනුම තාක්ෂණය ලබා දුන්න ද මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමේ සමත් කමක් නොමැති වීම බව පැහැදිලි කිරීමට සාක්ෂි බොහෝ ඇත. නමුත් අද වන විට ඇසට නොපෙනෙන සියුම් වෛසයක් විසින් සක්කරයාටවත් වෙනස් කළ නොහැකි මිනිසුන්ගේ සමහර ආකල්ප ඉතා අපූරුවට යහපත් ලෙස වෙනස් කර ඇති ආකාරය සතුට දනවන කාරණයකි.

වසංගතයත් සමඟ ඉතා සාධනීය අයුරින් තම කුටුම්භය සම්බන්ධයෙන් පමණක් නොව තම අසල්වාසීන් නෑයින් පිළිබඳව ද සිතන කාෂිකාර්මික ආකල්පයන් සහිත එවැන්නන් හා කෙරුණු සාකච්ඡා පහත පෙළ ගැසේ.

ජගත් රෝහණ හෙට්ටිආරච්චි මහතා

ජගත් රෝහණ හෙට්ටිආරච්චි මහතා, උඩුබද්දාව ප්‍රදේශයට අයත් දකුණු දුනකදෙනිය ග්‍රාමයේ වෙසෙන දෙදරු පියෙකි. ආදර්ශමත් පාසල් ගුරුවරයෙකි. ඔහු කොරෝනාවෙන් ලැබූ නිවාඩුව පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරන්නේ, සංකීර්ණ ජීවන අරගලයන්ට මැදිව හෙම්බත්ව සිටි මිනිසුන්ට මඳක් නිවී සැනහෙන්නට ස්වභාව ධර්මය විසින් පුංචි විරාමයක් ලබා දී ඇති බවයි. ඒ  පුංචි විරාමය ජීවිතයට සමීප කළ දේවල් අතර ඉතා වැදගත්ම දේ විවිධ බෝගවලින් පිරුණු ගෙවත්තක හිමිකරුවෙක් වීම බව සඳහන් කරන්නේ තෘප්තිමත් මුහුනින්ය.

අසල්වාසීන්ගෙන් හුවමාරු කර ගැනීමෙන්  මෙන්ම කෘෂි බීජ අලෙවි සැල්වලින් ලබාගත් බීජ භාවිතා කරමින් තමන් දන්න තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව විවිධ එළවළු වර්ග, පළා වර්ග ගණනාවක් මේ වන විට තමාගේ නිවස අවටත් නිවස ආසන්නයේ තිබෙන අමතර ඉඩම් කැබැල්ලේත් වගා කර ඇති බව පෙනෙන්නට තිබිණි. කැලෑවෙන් වැසී තිබූ මෙම භූමිවල පසේ ඇති නැවුම් සාරවත්භාවය නිසා අමතරව පසට පොහොරක් එක් නොකළ ද ග්ලිඩිසීරියා කොළ සහ වෙනත් කාබනික ද්‍රව්‍යවලින් තම වගාවන් පෝෂණය කරන බව ජගත් ඉස්කෝලේ මහත්මයා සඳහන් කරන ලදි.

ජගත් මහතා සහ බිරිය වගාවන්ට සාත්තු කරමින්

ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ මේ කාර්යයන් සියල්ල පසුපස හිඳිමින් ඔහුට සහය වන්නේ ඉතාමත් සතුටිනි. ඉදිරියේ දී වස විසෙන් තොර නැවුම් එළවළු වර්ග, පළා වර්ග තමන්ට පමණක් නොව තම නෑ හිතමිතුරන් සමඟත් සුළු වශයෙන් හෝ බෙදා හදා ගැනීමේ අවංක සිතුවිල්ලක් ද ඔහු තුළ පවතික බවට සඳහන් කළ ජගත් මහතා කොරෝනා කාලය අවසන් වුවත් තමන්, බිරිඳ දුව සහ පුතා මේ ගෙවත්ත තනි නොකරන බව  ද මතක් කළේය.

කමල් රන්දෙනිය මහත්මා පෞද්ගලික ආයතනයක සේවය කරන දකුණු දුනකදෙනිය ග්‍රාමයේ ම වෙසෙන පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියෙකි. ඔහු සඳහන් කරන්නේ, උදෑසනක ගහකට කොළකට වැටෙන ලා හිරු රැසක් දකින්නට හෝ සන්ධ්‍යාවක සියුම් සුළඟක් ඇඟට විඳ ගන්නට හෝ අවකාශයක් නොලැබ කලුවරේම නිවසින් පිටත් වි කලුවරේම නිවසට එන මිනිසුන්ගේ හැල්මේ දිව ගිය ජීවිත එක්වරම මොහොතකින් නතර කළ ඒ කොරෝනාව ආශ්චර්යයක් බවයි.

කමල් රන්දෙනිය මහතා

කොරෝනා වසංගතයත් සමඟ ඇතිවිය හැකියැයි අපේක්ෂා කළ ආහාර හිඟයට මුහුණ දීමට තමන් තුළ ඇති වූ ධෛර්යය ඊටත් වඩා ආශ්චර්යයක් බව ඒ මහතා සඳහන් කරයි.  සුපුරුදු දින චර්යාවෙන් මිදී දින සති ගෙවෙන විට සමාජ ජාල ඔස්සේ එහා මෙහා හුවමාරු වන ගෙවතුවල දර්ශන ඒ වගේම රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ ඉතා වැදගත් අංගයක් වු වස විසෙන් තොර ආහාර බෝග නිෂ්පාදනයේ ඇති වැදගත්කම ආදී තොරතුරු අතරින් ගෙවත්තක් සාදා ගැනීමේ සිතිවිල්ල තමන්ගේ සිතට කාවැදුනු බව කමල් මහතා සඳහන් කළේය. කෘෂිකාර්මික අංශයට අදාළ රැකියාවක නියුතු ඔහුගේ බිරිඳත් පාසල් යන පුතුන් දෙදෙනාත්  මෙම කාර්යයට උපරිම සහයෝගය දූන් බව ඔහු සඳහන් කළේය.

බීජ සහ රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මහත් වෙහෙසක් දරන්නට සිදු වු බව සඳහන් කළ මොහු දින කිහිපයක් මහන්සි වී ඒවා සපයා ගත් බව සඳහන් කළේය. ඒ තරමටම බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් එම දිනවල පැවති බව හේ සඳහන් කළේය. අන්තර්ජාලයේ සැරිසරමින් සම්ප්‍රදායික දැනුම සහ ඥානය පිළිබඳ තොරතුරු රැස් කරමින් ඒවා අත්හදා බැලීමටත් ඔහු උත්සහා දරා ඇති බව ඔහු සඳහන් කළ කරුණුවලින් පැහැදිලි විය.

කමල් මහතා කරවිල වගාවට සාත්තු කරමින්

ඔහු විසින් නිවස අවට ඉඩක් ඇති සෑම බිම් අඟලකම ඉන්දවා ඇති විවිධ එළවළු පැළ සාරවත්ව පවත්වා ගැනිම සඳහා සෑම පාත්තියකටම ග්ලිඩිසිරියා කොළ අතුරා ඇත. ඔහු සඳහන් කරන ආකාරයට මෝරන ලද ග්ලිඩිසීරියා කොළවලට වඩා ලපටි කොළ වඩාත් ප්‍රතිඵලදායක වේ. ඊට අමතරව කෘමීන් සහ පළිබෝධකයින්ගෙන් තම වගාවට වන හානිය අවම කර ගැනීමටත් පොටෑසියම්, පොස්ෆරස් වැනි ඛණිජ පසට එක් කිරීම සඳහාත් කැප්පෙටියා කොළ, ගං සූරිය කොළ භාවිතා කරන බවත් සඳහන් කරන ලදි. මිරිස්, වම්බටු, එළබටු වැනි වගාවන්ගේ කොළ කොඩ වීම වැළැක්විම සඳහා රතුලූනු/රට ලූනු සහ සුදු ලුනු පොතු බ්ලෙන්ඩර් කර තනුක කිරීමෙන් අනතුරුව එම දියරය භාවිතා කළ බව ද කමල් මහතා සඳහන් කරන ලදි.

කොරෝනා බිය පහවෙමින් ගිය ද එයින් තම ජීවිතයට එක් කළ වැවීමේ ආශාව හා උනන්දුව  මෑ, වැටකොළු, පතෝල, වැල් ඒවායෙහි ආධාරක දිගේ ඉහළට යන්නා සේ දළුලමින් වැඩෙන බව ඔහු පවසන්නේ අතිශය ප්‍රීතියකිනි. සියලු බෝගවල ඵල හටගන්නට දැන් සූදානම්ය. කමල් මහතමා සඳහන් කරන පරිදි අද හෝ හෙට ඔහුටත් බිරිඳටත් රැකියාවන් සඳහා යායුතු වන්නේය. නමුත් මේ ව්‍යවසන කාලයේ  දී ලද ශික්ෂණය මියෙන්නට ඉඩ නාරින බව ඔහු තරයේම කියා සිටියේය. නොසිතු වෙලාවක ජීවිතයට ලැබුණු මේ ඉසිඹුව, නිදහස්  සරල ජීවිතයක අරුතත් ස්වභාව ධර්මයට ආදරය කිරීමෙන් ලැබෙන නිරාමිස සුවයත් පහදා දුන් බව  කමල් මහතා නිවුණු මනසින් සඳහන් කළේය.

ප්යල් අබේවික්‍රම මහතා

පියල් අබේවික්‍රම මහතා, දකුණු දුනකදෙනිය ග්‍රාමයේ වෙසෙන කලක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම යාමෙන් අනතුරුව දැනට රජයේ ආයතනයක සේවය කරන තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ පාසල් ගුරුවරියකි. කාලයක පටන් ඉඩ ලැබෙන සෑම මොහොතකම තම ගෙවත්තේ විවිධ බෝග වගා කිරීමට තමා පුරුදු වි සිටින බව සඳහන් කළේය. කොරෝනා වසංගතය  නිසා ලැබුණු දීර්ඝ විරාමය ඔහුගේ මෙම පුරුද්ද වර්ධනය කිරීමට සමත් වු බව මේ මහත්මා විසින් සඳහන් කරන ලදි.

පියල් මහතාගේ රතුළුෑණු වගාව

කොරෝනා වසංගතය ආරම්භය සමඟින්ම තම නිවස වටා ඇති භූමියේ ඉඩ පහසුකම් ඇති සෑම ස්ථානයකම එළවළු සහ පළා වර්ග සිටුවීමට පියල් මහතා උත්සහ දරා ඇති බව ගෙවත්තට පිවිසෙන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන දසුනක් වේ. නිවිති, කංකුං, මුගුනුවැන්න එක් පසෙක ද ඉතා පුංචි ඉඩක රතුලූනු ද ගෙවත්තේ වැට ආධාරකයක් වනසේ සිටුවා ඇති මෑ වර්ග , වැටකොළු සහ පතෝල වැල් ද සාරවත්ව මල් පිදී ඇත.

නිවසට අවශ්‍ය කෙරෙන බොහෝ එළවළු වර්ග තම ගෙවත්තෙන් නෙළා ගැනීමේ අපේක්ෂාව සිත්හි දරාගෙන එයින් ලැබෙන සතුට පියල් මහතා අප්‍රමාණව භුක්ති විඳින් සිටියි. උදෑසනම නැගිට තමන් සිටුවා ඇති බෝග වර්ගවලට සාත්තු කිරීම දැන් මොහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වි ඇත. එය තම ශරීර සෞඛ්‍යය වර්ධනයට ඉතාමත් යහපත් බව පියල් මහතාගේ අදහසයි.

ජීවිතයට පැමිණෙන බොහෝමයක් ව්‍යසන සේම කොරෝනා ව්‍යසනයත් තමාගේ යහපතට හරවා ගැනීම නිසා රටේ නව කාෂිකාර්මික ප්‍රතිපත්තියේ පෙන්වා දී ඇති වස වස නැති ගොවිතැන, කාබනික පොහොර භාවිතය වැනි කාරණා නිරායාසයෙන් මිනිසා අතර ප්‍රචලිත විම ඉතා යහපත් තත්ත්වයක් බව ද පියල් මහතා සඳහන් කරයි.

පියල් මහතාගේ කංකුන් වගාව

ඉහත දැක්වුයේ කොරෝනා වයිරසය නිසා ලැබුණු විරාම කාලය අර්ථවත් කරගත් මහත්වරුන්ගේ කථා කිහිපයකි. එම සාකච්ඡා තුළින් පැහැදිලි වන කරුණු කිහිපයකි. එනම්, රජයන් බිහිවන විට නව ප්‍රතිපත්ති ද බිහිවෙයි.

ප්‍රතිපත්ති කෙතරම් බිහි වුණ ද ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ නවතාවයකට නොඑළැඹුනු පසුබිමක වන විට බොහෝ සැලසුම් මල් ඵල ගැන්වෙන්නේ නැති තරම්ය. නමුත් මේ කොරෝනා සමයේ දී ස්වභාව ධර්මය විසින් සියලු මනුෂ්‍ය වර්ගයා වෙත සියලු දේ සම්බන්ධයෙන් ඉතා උසස් සත්‍යාවබෝධයක් ලබා ගැනීමේ මාර්ගය ලබා දී ඇත. එබැවින් අද වන විට මානව ආකල්ප වඩාත් සුබදායක මට්ටමකට පැමිණ ඇත.

ගුරුවරයාත්, ලිපිකරුවාත්, විධායක ශ්‍රේණියේ නිලධාරියාත්, පෞද්ගලික අංශයේ නිලධාරියාත් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා වූ දාමය තුළ මිනිසුන්ගේ සිත් තුළ පවතින අවශ්‍යතාවන්ට මුදල් පමණක් තිබීම ප්‍රමාණවත් නැත යන ආකල්පය ගෙවී ගිය දෙ මස තුළ මිනිස් මනසේ ගැඹුරටම කිඳා බැස ඇත.

මේ මහ පොළවට සහ අහස් තලයට ස්වභාව ධර්මයෙන් ලද ඒ සොඳුරු ඇමතුම කෙතරම් අගනේ ද? එසේ නම්  කොවිඩ්-19ත් සමඟ අපට උරුම වු ඒ වඩා සංවේදී වූ සහ පිරිසිදු වු මේ සමාජය තුළ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ  යහපත් මාර්ගයක් ලැබී තිබීම අනාගතය පිළිබඳ සුබ ලකුණක පෙර නිමිති බව පෙනී යයි.

එම්.ඩී. සුසිලා ලූර්දු, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයුම් අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

RSL

Related Posts