ඔබ නිර්මාණශීලී නම් ‘හැම බිම් අගලක්ම ගෙවත්තක්’ කරගත හැකියි !

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව අප හැර යන වේගයට සමාන්තරව සමාජයෙන් ඉවත් නොවේවියයි අප සුභවාදීව බලාපොරොත්තු තබාගෙන සිටිමු.

නැවුම් කාබනික එළවලු අතේ දුරින්

ලඟින්ම තිබෙන නිසා දෛනික වැඩ ඇරඹුනත් මග හැරෙන්නේ නෑ

දරුවන්ව වගාවට යොමුකරන මෙවලමක්

සමාජ ජනවහරේ ගැවසෙන යෙදුම් අවභාවිතා වන්නට ලොකු පරිණාමයක් අවශ්‍ය වන්නේ නැත. උච්චාරණයේ සිදුවෙන වෙනසක් පවා ඒ සඳහා ප්‍රමාණවත්වේ. ‘වවාගෙන කනවා‘ යනුවෙන් පවසන විට මෙම අවභාවිතය නිසා වැඩිපුර තේරුම් යන්නේ ගොවිතැනක් කරගෙන තම දිවි රැකගන්නා අදහස වෙනුවට අනෙකා සූරාකෑමේ නැඹුරුවක්ය. කොරෝනා ආක්‍රමණය හමුවේ එවන් වංචාකාරී වවාගෙන කන්නන්ට පමණක් නොව සමස්ත ජනතාවටම අද සිදුවී ඇත්තේ නියම අරුතට යළිත් ගරුකරමින්, ‘ඇත්තටම වවාගෙන කන්න‘ටය.

ලාභයට පහසුවට ලෝකයේ කුමන හෝ තැනකින් ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නට තිබේ නම් දින දෙක තුනක් ඇතුලත තමාගේ මුළුතැන්ගෙය වෙත එය කැඳවා ගැනීමේ කාර්යක්‍ෂම සන්නිවේදනයක් හා ප්‍රවාහන යාන්ත්‍රණයකින් සන්නද්ධව ආඩම්බරයෙන් සිටි මිනිසා, වසංගත කුනාටුව පැමිණ මාස දෙකක් ගතවෙත්දී, රට රටවල් සමග නොව, අල්ලපු ගම සමග පවා තිබුණු සබඳතා බිඳීගොස් තැන තැන හුදකලා වී සිටී.

පාසැල් වැසීගොස් අකර්මන්‍යව නිවෙස්තුලට ගාල් වී ඇති බොහෝ ලපැටියන්ගේ ඩියුටිය වී ඇත්තේ ගේට්ටුව අසල බලා සිටිමින් එළවලු ලොරියක් මහමග යන වෙලාවක් සොයා වැඩිහිටියන් දැනුවත් කිරීමය. වෙනදාට අගිස්ස මිරිකමින් බණ්ඩක්කා කරල් තෝරන ගෘහණිය, එළවලු ලොරියෙන් සිලි සිලි මල්ලට හලා භාරදෙන ඕනෑම දෙයකට බොහොම ගෞරවයෙන් මුදල් ගෙවන්නීය. ගමේ එලවළුද, තෙල් බෙහෙත් ගසා තිබේද වැනි විමසුම් කිසිවක් ලොරි මුදලාලිගෙන් ඇසෙන්නේද නැත.

දරුවන් වෙතින් නැගෙන අරක මේක කන්න බෑ වැනි කන්දොස්කිරියාවන්ද කෑම මේසය පැත්තෙන් මතුවෙන්නේත් නැත. උවමනාවටත් වඩා තම ආහාර අවශ්‍යතාවයන් බාහිර ලෝකයට උගස් නොකොට, හැකිතාක් ආහාර ප්‍රමාණයක් අතේ දුරින් වවාගෙන කන්නටත්, සිතට එන හැම සිතිවිල්ලක්ම හඹා නොගොස් චාම් දිවිපෙවතකට ජනතාව නැඹුරු වෙන්නටත්, මෙතරම් කෙටි කාලයක් තුල හුරුවූයේ කෙසේදැයි නම්, සිතා ගැන්මටත් බැරි තරමේ අරුමයකි.

මහ බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ රැකියාවලින් එළියට ඇද දමනා සංඛ්‍යා මිලියන ගණනින්ය. එවැනි තත්වයක් මෙරට පෞද්ගලික අංශයේද උදා නොවන්නේ යයි මේ මොහොතේ සහතිකයක් දීමටද කිසිවෙකු ඉදිරිපත් නොවේ. ඒ තරමටම අනාගතය අවිනිශ්චිතය.

පසුම්බියේ බර අඩුවීමේ වෙනස සියල්ලටම කලින් දැනෙන්නේ කුස තුලට නිසා පෙර නොවූ විරූ උනන්දුවකින් හැකි පමණින් යමක් වගාකරගන්නට ජනතාව උනන්දු වෙමින් සිටී. අර්බුද අවස්ථාවක් තරණය කිරීම උදෙසා ගෙවතු දශලක්‍ෂයක් වවන්න යයි රාජ්‍ය අංශයෙන් උපදෙස් දීම ආරම්භ කෙරුවේද මෙවන් උද්‍යෝගයක් බලාපොරොත්තුවෙන් නොවිය හැකිය. පැල හා බීජ වලට ඇති ජනතා ඉල්ලුම කෙසේදයත්, මේ වනවිට විසිලක්ෂයක් ගෙවතු හදන්නට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිපදවන්නට ඔවුහු සැලසුම් සාදමින් සිටිති.

ඊජිප්තුවේ ඇති පැරණි සුසානයන්හි මීට වසර 3600 කටත් එපිටදී මිනිසුන් විසින් ඇඳ තිබූ සිතුවම් අතර ඇකේසියා හා තාල වර්ගයේ ශාක වලින් වටකොට තැනූ නෙලුම් මල් පිපුණු පොකුණු දකින්නට තිබේ. ගහකොළ වගාකරමින් උයන් තැනීම නොහොත් උද්‍යානකරණය මානවයාට පුරුදුවී ඇත්තේ ඉතා ඈත කාලයේදී බව තේරුම් ගැනීමට මෙය හොඳ උදාහරණයකි.

සතුන් දඩයම් කරමින් හා වනගත පලවැල එකතුකරමින් ගල් යුගයක්ද, හීලෑ කරගත් සත්ව රැළ තැනින් තැනට දක්කාගෙන යමින් එඬේර යුගයක්ද ගතකර අවසානයේදී, කෘෂිකාර්මික දිවි පෙවෙතකට පිවිසුණු ඔහුගේ, ජානගත පුරුද්දක් ලෙසට ගොවිතැන තිබෙනා බව වර්තමානයේදී සිදුවූ මෙම ක්ෂණික ‘ගොවිතැන් අවතීර්ණය’ හරහා ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි.

මීට ඉහතදීද මෙරට ජනතාවට ආහාර සීමාවූ යුගයන් නොපැමිණියාද නොවේ. ඒවා සමනය කිරීම උදෙසා විවිධ කාලයන්හි, නොයෙකුත් ආකර්ශනීය නාම පුවරු යටතේ වැඩසටහන්ද ක්‍රියාත්මක වුනි. පිරිසක් ඒවාට අනුගතව වගා කළහ. තවත් පිරිසක් ඒවා විවේචනය කරමින්, වඩා පහසුදායී විකල්ප ක්‍රියා පිළිවෙත් ජනතාවට පෙන්වමින් සිටියහ. බොහෝවිට එතැන ක්‍රියාත්මක වුයේ සත්‍ය තත්වය ඉදිරිපත්කිරීමට වඩා තම දේශපාලන අභිලාෂයන් ජනතාව ලවා ඉටුකරවා ගැනීමයි.

දෙපැත්තකට අදිනා කඹයක මැද්දට ගෙවත්ත සිරවූ නිසා, එහි සශ්‍රීක බව වැඩි කලක් පැවතුනේ නැත. මෙය මෙරටට පමණක්ම සිදුවූ අභාග්‍යයක්ද නොවේ. ගෝලීයකරණයේ දම්වැලේ පුරුකක් වීමට ගිය බොහොමයක් තුන්වෙනි ලෝකයේ රටවල් තමාට ආවේනික ගති සිරිත් කෙලසාගත්තේ මේ අයුරිනි.

එහෙත් කෝවිඩ් -19 නමැති ක්ෂුද්‍ර ප්‍රාණියා විසින් සියල්ල උඩු යටිකුරු කර ඇත්තාසේය. මේ වතාවේ නම් ගෙවත්ත අතහැරීමට එතරම් පහසු වන්නේ නැත. රටේ කටයුතු යථා තත්වයට පත්වී මිනිසුන් හා ගැහැනුන් වැඩට යන්නටත්, දරුවන් පාසැල් යන්නටත් පටන් ගත් විට ගෙවත්තට සාත්තු කරන්නට වෙලාවක් ඉතිරිවේවිදැයි ඇතැමුන් අසුභවාදීව සැක පහල කෙරුවත්, හිතේ හැටියට ගන්නට කළමනා වෙළඳසැලේ නැත්නම්, වැඩ ඇරී ගෙදර එන දෙන්නා දෙමහල්ලන්ට මහන්සි නොබලා ගෙවත්තේ සුවදුක් විමසන්නටත් කෙටි වෙලාවක් හෝ වෙන්කරන්නට සිදුවෙනු ඇත.

මේ වැඩේ පහසු වන්නටත්, නොපිරිහෙලා ඉටුකරගන්නටත්, හොඳම ක්‍රමයක් වන්නේ ‘ගෙවත්ත‘ යන ව්‍යුහය හැකි පමණ තම වාසස්ථානය අසලින් තබා ගැනීමයි. බොහොමයක් නාගරික හා අර්ධ නාගරිකයින්ට නම් දුර යන්න කීවත් යාමට ලොකු දුරක් ඔවුනට නැත. මහල් නිවාසවාසීන් හෝ තට්ටු ගෙවල්වල ජීවත්වෙන බොහෝ දෙනෙකුගේ ගෙවත්ත වන්නේ සඳලුතලයයි. නැතහොත් හිසට සෙවන දෙන කොන්ක්‍රීට් පියැස්සයි.

සකසුරුවම් ගෙවත්තක් සකසා ගන්නට දෙන උපදෙස් මාලාවේ මුල්ම ඉලක්කය ලෙස අප විසින් ඔවුන්ව තෝරාගත්තේ, අපට ගෙවත්තක් නැතැයි යන සිත් වේදනාව වැඩිපුරම දැනෙන්නේ එම පිරිසට බව කතාබහෙන්ම තේරුම් යන බැවිනි. එහෙත් ඇත්ත තත්වය නම් එය නොවේ.

මිදුලක් ඇති අයට පොළොවට සමාන්තරව බැලූ බැල්මටම පෙනෙන ගෙවත්තක් තිබෙනා බව සැබෑය. එහෙත් මේ පිරිස සතු ගෙවත්ත ඇත්තේ සිරස් අවකාශයේය. එය තිරස් ගෙවත්තට වඩා තමාගේ අතේ දුරින්ය. එනම් නඩත්තුවද පහසුය. වැඩ නිමවා ගෙදර පැමිණි පසුද ගෙවත්ත ගැන විපරම් කිරීම නිවසේ ගතකරනා විවේක කාලයේම කොටසක් බැවින් තවත් වාසිදායකය.

ඉස්සර වගේ නෙවෙයි, ඉදිරි අවුරුද්ද හෝ එකහමාර අපේ රටේ කෘෂිකර්මාන්තයේ දිශානතිය කෙසේ වේවිදැයි මේ වනවිට අනාවැකි පලකරන්න බැරි තත්වයකුයි පවතින්නේ.

සිරස් ගෙවත්තක ගුණ සුවඳ විමසන්නට සුදුසුම පුද්ගලයෙක් සොයායාමේදී මට හමුවූයේ කෘෂිකර්ම මහාචාර්යවරයෙකි. හෙතෙම කලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයෙක් ලෙසද සේවය කල අතර, අනතුරුව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයට බැඳී, එහි උපකුලපතිවරයා ලෙසද, උද්‍යාන විද්‍යාව පිළිබඳව සම්මානනීය මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර විශ්‍රාම ලැබූවෙකි. මේ වනවිට මාලබේ හොරයිසන් කැම්පස් හිද උපකුලපතිවරයා ලෙස සේවය කරන ඔහු මහාචාර්ය සුමිත්‍ර ජයසේකරයි.

“ඉස්සර වගේ නෙවෙයි, ඉදිරි අවුරුද්ද හෝ එකහමාර අපේ රටේ කෘෂිකර්මාන්තයේ දිශානතිය කෙසේ වේවිදැයි මේ වනවිට අනාවැකි පලකරන්න බැරි තත්වයකුයි පවතින්නේ. පොහොර, කෘෂිරසායන ද්‍රව්‍ය විතරක් නෙවෙයි එළවලු ඇට පවා ලොකු ප්‍රමාණයක් අපි පිටරටින් ගේනවා. ඒවාත් ඉදිරියේදී ලැබේදැයි සැක සහිතයි. ගෝලීය ආර්ථික අවපාතනය හමුවේ මේ තත්වයට මුහුණ දෙන්න වෙයි. එහෙම උනොත් පිටරට ආහාර නෙවෙයි, දේශීය ආහාර නිෂ්පාදනයටත් යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි වහාම සැලසුම් කරන්න ඕනෑ දේශීය බෝග ප්‍රභේදයන්ගෙන් වැඩි වැඩියෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය හදන්නත්, කාබණික පොහොර හරහා අස්වැන්න වැඩි කරගන්නත්, ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් අපගේ වගාවන් ආරක්ෂා කර ගන්නත්.”

හෙතෙම එම අවදානම සඳහන් කෙරුවේ තම ජීවනෝපාය සඳහා ගොවිතැන කරන අය වෙනුවෙනි. එවැනි බාධාවක් පැමිණියහොත් රටේ ආහාර නිෂ්පාදනයත් පසුබසින නිසා  ගෙවත්ත ශක්තිමත්වීම වීමේ වැදගත්කම ඔහු පෙවා දෙයි.

“ගෙවත්ත කියන්නේ පවුලේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකරන පෝෂණීය ඒකකයක් ලෙසයි මම දකින්නේ. එය අපේ ප්‍රධාන ආහාරය හදන තැන නම් නෙවෙයි. නොදන්නා තැනකින් ගෙනත් ආරක්‍ෂිතව නිපදවූ ආහාරයක්ද කියලා සැක සහිතව අනුභව නොකර, ගෙවත්තේ දෑ කන්න පුළුවන්. තමන් දන්නවා හදපු හැටි. බොහෝවිට බෝගය කාබණිකයි, වසවිස කතා මොකුත් නෑ. ඒ වගේම නැවුම්. තමන්ට එදාට අවශ්‍ය තරම තමයි ගසෙන් කඩා ගන්නේ. ඒ කියන්නේ පසු අස්වැනු හානිය කියන නාස්තියත් නෑ. අඛණ්ඩව නිෂ්පාදනයකුත් තියෙනවනේ. මෙතෙක් දවස් මිදුලෙන් අතුගාල ගිනිතබා විනාශ කල කොලරොඩු ආදියටත් කොම්පෝස්ට් සෑදීම හරහා වටිනාකමක් එකතුවෙනවා. මුළුතැන්ගෙයින් පිටවෙන ජලයට පවා ගෙවත්ත හරහා ප්‍රයෝජනයට ගත හැකියි.”

ගෙවත්තේ වටිනාකම මහාචාර්යවරයාගේ අදහස් හමුවේ මෙසේ තහවුරු වෙත්දී අප සොයා බැලිය යුත්තේ ඇස් පනාපිට ගෙවත්තක් සෑදීමට බිම්කඩක් නොමැති නගරවාසීන්ගේ ගෙවතු සිහිනය සැබෑවන්නේ කෙසේද යන්නයි.

මහපොළොවේ ඉඩ නැත්නම් අනිවාර්යයෙන්ම බෝග සිටුවිය යුත්තේ බඳුන් තුලය. වගාවක් පිහිටුවීමට සුදුසු බඳුන් හෝ බඳුන් ලෙස භාවිතා කල හැකි බොහොමයක් දෑ නාගරික නිවෙස් තුල අහුමුලුවල ඕනෑතරම් තිබේ. ප්ලාස්ටික් ලොකු බීම බෝතලයක දිග අතට පැල්මක් කර, ඊට විරුද්ධ පැත්තේ පතුලෙහි සිදුරු කීපයක් සාදා ගත්කල එය අපූරු වගා බඳුනකි. ඉවත දමා ඇති වැහිපිහිලි, පරණ ටයර්, ප්ලාස්ටික් කෑන්, භාවිතයෙන් ඉවත්කළ සපත්තු, යනාදිය සියල්ල වගා බඳුන්ය.

මේවා ඇසුරෙන් කලාත්මක බඳුන් නිර්මාණය කිරීමටත්, ඒවා සඳලුතලයේ හෝ ආලෝකය වැටෙන පිටතින් ඇති තරප්පු පෙළ දිගේ හෝ ක්‍රමවත්ව ඇසිරීම නිවසේ දරුවන්ගේ සහභාගිත්වයෙන් කරගත හැකිය. එය ඔවුනට විනෝදාස්වාදයක් ගෙනදෙනවා පමණක් නොව, නිර්මාණ ශක්තිය ඔපනංවන්නක්ද වනු ඇත. එක අවස්ථාවක මෙවන් වගා බඳුනක් සාදා තිබුනේ පරණ ඩෙනිම් කලිසමකිනි! තරප්පුවේ එක් පඩියක අයිනේ වාඩිවී සිටිනා ඉරියව්වට කලිසම නවා තිබූ අතර, ඉන ප්‍රදේශයෙහි සිට දණහිස දක්වා පිරෙන සේ පස් පුරවා තිබිණ. පිටතට විවෘතවූ ඉන පෙදෙසින් ඉහලට වැවී තිබුනේ සාරවත් තක්කාලි පඳුරු දෙකකි.

මේ සැලසුමට ‘ගෙවත්ත’ කියන්න සමහරු අකමැති වෙන්නත් පුළුවන්. අපි කියමු පවුලේ ආහාර නිෂ්පාදන ඒකකය කියල. මේක හදාගන්න ලොකු කෘෂිකාර්මික දැනුමක් අවශ්‍ය වන්නේත් නෑ. වැඩිපුරම අවශ්‍ය වෙන්නේ නිර්මාණශීලිත්වය. මොකද ගොවිතැන කියන එක අපි හැමෝගෙම ඇඟේ තියෙනවා.

“මේ සැලසුමට ‘ගෙවත්ත’ කියන්න සමහරු අකමැති වෙන්නත් පුළුවන්. අපි කියමු පවුලේ ආහාර නිෂ්පාදන ඒකකය කියල. මේක හදාගන්න ලොකු කෘෂිකාර්මික දැනුමක් අවශ්‍ය වන්නේත් නෑ. වැඩිපුරම අවශ්‍ය වෙන්නේ නිර්මාණශීලිත්වය. මොකද ගොවිතැන කියන එක අපි හැමෝගෙම ඇඟේ තියෙනවා. ලොකු දැනීම අවශ්‍ය වෙන්නේ ආර්ථික ලාභ බලාපොරොත්තුවෙන් වගා පිහිටුවීමේදී. මෙතන ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ පවුලේ එළවලු ආහාර සුරක්ෂිතතාවය රැකගැනීමයි. අතිරික්තයක් තිබෙනවානම් අසල්වාසීන් සමග වුවත් හුවමාරු කරගන්න පුළුවන්.”

මහාචාර්ය ජයසේකර තවදුරටත් සඳහන් කරයි. ඔහු කියනා නිර්මාණශීලිත්වය අවශ්‍යවන්නේ බඳුන් නිර්මාණයට මෙන්ම ස්ථාන තෝරා ගැනීමටය. ඉඩ පහසුකම් සීමා වී ඇති තට්ටු නිවාසයක කිසිදු වැඩකට ගත නොහැකි මුල්ලක්, අනවශ්‍ය ප්‍රමාණයට වඩා පළල්ව ඉදිකළ තරප්පු පෙළක එක පැත්තක්, හොඳින් ඉර එලිය වැටෙන පිටත බිත්තියක් වැනි ඕනෑම ස්ථානයක් පවුලේ ආහාර නිෂ්පාදන ඒකකයේ කොටසක් වීමට හොඳ හැකියාවක් තිබේ.

බිත්තියක් දිගේ ඉහලට ලී දඬු වැනි දෙයක් යොදාගෙන සාදාගත් රාක්කයක් වැනි ආධාරකයක බඳුන් පැල තබා, සම්පුර්ණ බිත්තියම වුවත් ආහාර නිෂ්පාදන ඒකකයක් බවට පත්කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. ඇතැම් පැල වර්ග දැඩි හිරුරැස් ප්‍රිය නොකරන සෙවන ලැදි ශාක වේ. ඒවා හිරුඑලිය හොඳින් නොවැටෙන ස්ථාන වලට යෝග්‍යයය.

“මේ නිෂ්පාදන ඒකකයේ ‘වැඩකාරයෝ’ වෙන්නේ ගෘහ මූලිකයා නෙවෙයි. ගෙදර දරුවන්ට ලොකු වැඩක් කරන්න පුළුවන්. ගෘහනියටත් අර්ධ කාලීනව වගාවේ යෙදෙන්න පුළුවන්. එහෙම උනහම රට විවෘත වෙලා කාර්යාල ඇරඹුනා උනත්, වගාවට අනුගතවීමේ සිරිත සමාජයෙන් ගිලිහී යයි කියල හිතන්න අමාරුයි. දරුවාගේ සිට මහල්ලා දක්වා මෙයින් ආශ්වාදයක් ලබනවා.

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව අප හැර යන වේගයට සමාන්තරව සමාජයෙන් ඉවත් නොවේවියයි අප සුභවාදීව බලාපොරොත්තු තබාගෙන සිටිමු.

සටහන – සනත් එම් බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communi

Loading...

RSL

Related Posts