ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහල නිලධාරීන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා කොළඹදී ශ්‍රී ලංකාවේ නායකත්වය සමග පුළුල් සාකච්ඡා පැවැත්වීය.දශක ගනනාවකට පසු දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින දූපත් රාජ්‍යයට ආර්ථික සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණයි.

මෙම සංචාරයට ඉන්දීය විදේශ ලේකම් ක්වාත්‍රා සමඟ ඉන්දීය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත්, ප්‍රධාන ආර්ථික උපදේශක අනන්තා නාගේස්වර සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපයේ සම ලේකම් කාර්තික් පාණ්ඩේ ද එක්ව සිටියහ. මෙම සංචාරය අතර ක්වාත්‍රා ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය සහ සහාය ඉස්මතු කළහ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව දෙපාර්ශවය ශ්‍රී ලංකා ආර්ථිකය සහ ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ප්‍රයත්නයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත විය.

ඉන්දියා-ශ්‍රී ලංකා ආයෝජන හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සහ යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්ති සහ දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (සාගර් දැක්ම) යටතේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට අධික ආර්ථික, මූල්‍ය සහ මානුෂීය ආධාර සැපයීම දැක්විය හැකි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ඉන්දීය නියෝජිත පිරිස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී සාකච්ඡා කළහ. ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මෙහිදි ඔවුන් අවධාරනය කළහ. එමෙන්ම ඉන්දීය ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දක්වන කැපවීම පිළිබඳව ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම් හමුවීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

ඉන්දීය විදේශ ලේකම් ක්වාට්‍රා සිය ශ්‍රී ලංකා විදේශ ලේකම් අරුණි විජේවර්ධන ද හමුවිය.රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ශක්තිමත් කිරීම සඳහා සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමටත්, කඩිනමින් ද්විපාර්ශ්වික සංචාරයක් සිදු කිරීමටත් ඔවුහු එකඟ වූහ.

ශ්‍රී ලංකාව සඳහා විශාලතම සංචාරක ප්‍රභවය ලෙස ඉන්දියාව අඛණ්ඩව පවතින බව මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.ඉන්දියාව විසින් ලබා දෙන සංවර්ධන ආධාර ඩොලර් බිලියන 5 ඉක්මවයි. මේ යටතට ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළුව ඩොලර් මිලියන 600කට වැඩි ප්‍රදානයන් ද ඇතුලත්ය.

පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා කළමනාකරණය, මානුෂීය ආධාර, සංවර්ධන සහයෝගීතාව, වාණිජමය කටයුතු ආදි ක්ෂේත්‍රයට අදාලව ඉන්දීය රජය දක්වන අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා පාර්ශ්වය අගය කළේය.

මෙම වසරේ මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම්වලදී සහ ඉන් අනතුරුව කලාපීය සහ බහුපාර්ශ්වික සංවිධාන ඇතුළු විවිධ සංසදවලදී ඉන්දියාව ලබා දුන් සහයෝගය සහ පශ්චාත් කොවිඩ් ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම ශ්‍රී ලංකා පාර්ශ්වය අගය කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්