ගුජරාට් ප්‍රාන්තයේ කේඩා දිස්ත්‍රික්කයේ නාඩියාඩ් සිට නිර්මාංශ ආහාර කාණ්ඩය යටතේ ශාක ආශ්‍රිත නිෂ්පාදන ප්‍රථම තොගය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවට අපනයනය කර ඇත.

ඉන්දීය කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයන අධිකාරිය විසින් මෙම ශාක ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පහසුකම් සපයන ලදී. ඉන්දියාවේ සුවිශේෂී කෘෂිකාර්මික සැකසූ ආහාර නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස මෙම කැපවීම සඳහන් කළ හැකිය.

මෙම ජයග්‍රහණය පිළිබඳව නිවේදනය නිකුත් කරමින් ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉදිරි මාසවලදී ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, නවසීලන්තය සහ වෙනත් රටවලට පෑන්කේක්, ස්නැක්ස්, චීස් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇතුළු විවිධ සත්ත්ව ආහාර වලින් තොර ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයන අධිකාරිය සැලසුම් කර ඇති බවයි.

නාඩියාඩ් සිට ඇමරිකා එක්සත් ජනපදයට යවන ලද භාණ්ඩ තොගයේ මොමෝස්, කුඩා සමෝසා, පැටිස්, නූගට්, ස්ප්‍රින්ග් රෝල්ස්, බර්ගර් වැනි විවිධ නිර්මාංශ ආහාර ද්‍රව්‍ය අඩංගු විය. මෙම භාණ්ඩ අපනයනය සඳහා ගුජරාට්හි ඛෙඩා දිස්ත්‍රික් පරිපාලන ආයතනය විසින් සැපයුම් ආධාර සපයන ලදී.

ශාක ආශ්‍රිත මස් නිෂ්පාදන කඩිනමින් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් උත්සාහ කරන බව කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයන අධිකාරියෙහි සභාපති එම් අංගමුතු මහතා ප්‍රකාශ කළේය.ඔහු වැඩිදුරටත් කරුණු දැක්වූයේ සාම්ප්‍රදායික සත්ව ආශ්‍රිත මස් අපනයන කර්මාන්තයට බාධාවක් නොවන පරිදි මෙම ක්‍රියාව සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ශාක පදනම් වූ නිර්මාංශ ආහාර නිෂ්පාදනවල ඉහළ පෝෂණ ගුණය හේතුවෙන් ඒවායේ ඉහල අපනයන හැකියාවක් ඇති අතර, එම නිෂ්පාදන සංවර්ධිත රටවල බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පැවසීය.

සත්ත්ව ආහාර වලින් තොර ආහාර ලොව පුරා ආදේශක ආහාර ලෙස වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතින්නේ ඒවායේ අධික තන්තු සහ අඩු කොලෙස්ටරෝල් ප්‍රමාණය නිසා බව ද ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අතථ්‍ය වෙළඳ ප්‍රදර්ශන සංවිධානය කිරීම සඳහා අතථ්‍ය ද්වාර නිර්මාණය කිරීම, ගොවි සම්බන්ධක ද්වාරය,ඊ-කාර්යාල, හෝර්ටිනෙට් සොයා ගැනීමේ පද්ධතිය,ගැනුම්කරු-විකුණන්නා හමුවීම් සහ ප්‍රතිලෝම ගැනුම්කරු හමුවෙයි ඇතුළු අපනයන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සහ මුලපිරීම් රාශියක් කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයන අධිකාරිය විසින් සිදු කර ඇති බව එම ප්‍රකාශය අවධාරණය කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්