ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් පැවසූයේ ඉන්දියාව පසුගිය දශක තුනක කාලය තුළ රාජ්‍ය අනුග්‍රහය ලබන දේශසීමා ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බවයි. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “අප්‍රිකාවේ සාමය සහ ආරක්ෂාව, ස්වභාවික සම්පත් නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීම හරහා සන්නද්ධ කණ්ඩායම් සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමට එරෙහි සටන ශක්තිමත් කිරීම” යන මැයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් ය.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ සන්දර්භය තුළ මෙම තේමාව අප්‍රිකාවට පමණක් නොව සමස්ථ ලෝකයටම අතිශයින් වැදගත් බව ඔහු අවධාරණය කළේය.

පසුගිය දශක තුනකට ආසන්න කාලයක් රාජ්‍ය අනුග‍්‍රහය ලබන දේශසීමා ත‍්‍රස්තවාදයේ ගොදුරක් වූ රටක් ලෙස ඉන්දියාව ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ ඉදිරියෙන්ම සිටින්නේ යැයි ඔහු තර්ත කළේය. ත්‍රස්තවාදයේ සමාජ-ආර්ථික හා මානුෂික පිරිවැය පිළිබඳව දැඩි ලෙස ඉන්දියාව දැනුවත් බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් පෙන්වා දුන්නේ ය.

ඉන්දියාව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා සියලුම ප්‍රධාන ගෝලීය මුලපිරීම් සඳහා සහභාගී වූ ආකාරය පෙන්වා දෙමින් ඔහු පැවසුවේ, 1373 යෝජනාව සම්මත කිරීමට බොහෝ කලකට පෙර එනම් 1996 පමණ, ඉන්දියාව පුළුල් නීතිමය ක්‍රමයක් සැපයීමේ අරමුණින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විස්තීරණ සම්මුතිය කෙටුම්පත් කිරීමට මූලිකත්වය ගත් බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද ත්‍රස්තවාදය පිළිබඳ සියලුම ප්‍රධාන සම්මුතීන් ඉන්දියාව අත්සන් කර අනුමත කර ඇති බව ඔහු පැවසීය.

අප්‍රිකාවේ, සහෙල් සහ නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ආරක්ෂක හිඩැස් සහ බිඳෙනසුලු පාලන ආයතන ප්‍රයෝජනයට ගනිමින් ත්‍රස්තවාදී සහ සන්නද්ධ කණ්ඩායම් මෑත වසරවල වර්ධනය වෙමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට මෙම කලාප අවදානමට ලක්ව ඇති බව මුරලිදරන් සඳහන් කළේය.

ත්‍රස්තවාදීන්ට මූල්‍ය ආධාර සහ ආරක්ෂිත තෝතැන්න සැපයීම පැහැදිලිවම ත්‍රස්තවාදයට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තවත් රාජ්‍යයන් සිටින බව ඔහු පැවසීය.

ත්‍රස්ත විරෝධී කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස සාමාජික රටවලට ඉන්දියාවේ ආරාධනයද යළිත් ඔහු සිහිපත් කළේය.මෙම කමිටුව මේ මස 28 සහ 29 යන දිනවල මුම්බායි සහ නවදිල්ලි නුවරදී පැවැත්වේ.

බහුවිධ, විවෘත හා විවිධ සමාජයන්ට එරෙහිව ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට සහාය දක්වන අය භාවිතා කරන නව තාක්‍ෂණික මෙවලම් ඵලදායි ලෙස මැඩපැවැත්විය හැකි ගෝලීය යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවය ඔහු පූළුල් ලෙස මතූ කොට පෙන්වීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්