ඉන්දියාව විසින් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට සහ නිපුණතා ආයතනවලට ඉන්දියාව තුළ ඔස්ට්‍රේලියානු සරසවි පිහිටුවීමට ආරාධනා කර ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව පිළිබඳ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ද ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සමඟ සාකච්ඡා කරමින් ඕස්ට්‍රේලියානු ආයතන ඉන්දියානු ආයතන සමඟ සහයෝගීතාවයේ ක්ෂේත්‍ර ගවේෂණය කරන ලෙස යෝජනා කළේය.

ඉන්දියා-ඕස්ට්‍රේලියාවේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ අධ්‍යාපනය ප්‍රධාන කුළුණක් බවට පත් කිරීමේ අරමුණින් ඉගෙනීම, නිපුණතා සහ පර්යේෂණවල සහයෝගිතාව පුළුල් කිරීමට දෙරටේ අධ්‍යාපන අමාත්‍යවරුන් එකඟ විය.

කුසලතා සහතික කිරීම සහ පතල් කැණීම, සැපයුම් කළමනාකරණය, ආයුර්වේද, යෝග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල දෙරට අතර පර්යේෂණ සහයෝගීතාවය වර්ධනය කිරීමට සහය වන ලෙස අමාත්‍ය ප්‍රධාන් ඉල්ලා සිටියේය.ඉන්දියාව ඩිජිටල් විශ්ව විද්‍යාල පිහිටුවා ඇති බව ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා විගමණය වන ඉන්දියානු සිසුන්ගේ වීසා බලපත්‍ර ප්‍රශ්නය ද මතු කළ ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයාගෙන් සහයෝගය අපේක්ෂා කළේය. එයට යහපත් ප්‍රතිචාර අමාත්‍ය ජේසන්ගෙන් ලැබිණ.

අන්‍යෝන්‍ය වර්ධනය සහ සමෘද්ධිය සඳහා අධ්‍යාපනය, නිපුණතා සහ පර්යේෂණ සඳහා ඕස්ට්‍රේලියාව සමඟ දැනුමේ පාලම් ගොඩනැගීමට සහ ද්විපාර්ශ්වික කටයුතු පුළුල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය අමාත්‍ය ප්‍රධාන් නැවත අවධාරණය කළේය.

දෙරටේ අමාත්‍යවරු දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීය. මෙම මාධ්‍ය හමුවේ දී දෙරටේ අන්තර් ජාතික අධ්‍යාපනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීම ද නිවේදනය කළහ.

ඕස්ට්‍රේලියානු-ඉන්දියා අධ්‍යාපන කවුන්සිලයේ 6 වැනි රැස්වීමේ සම සභාපතිත්වය ද ක්ලෙයාර් සමඟ ප්‍රධාන් විසින් දැරීය.අධ්‍යාපනය, නිපුණතා සංවර්ධන සහ පර්යේෂණ ප්‍රමුඛතාවල නිරත වීම ඉහළ නැංවීමට සහ සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඕස්ට්‍රේලියානු-ඉන්දියා අධ්‍යාපන කවුන්සිලය ඵලදායි සංසදයක් ලෙස ඔහු විස්තර කළේය.7 වන ඕස්ට්‍රේලියානු-ඉන්දියා අධ්‍යාපන කවුන්සිලය ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කරන ලදී.