චන්දිපූර්හි ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේදී ක්ෂණික ප්‍රතික්‍රියා මතුපිට ගුවන් මිසයිලය පද්ධතියේ පියාසැරි පරීක්ෂණ හයක් ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය හමුදාව විසින් සාර්ථකව නිම කර ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ චන්දිපූර්හි ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේදී ඉන්දීය හමුදාව විසින් ඇගයීම් අත්හදා බැලීම්වල කොටසක් ලෙස පියාසැරි පරීක්ෂණ සිදු කරන ලද බවයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ අති නවීන මාර්ගෝපදේශන සහ යුධ ආයුධ පද්ධතියේ නිරවද්‍යතාවය ස්ථාපිත කිරීම සඳහා සියලුම මෙහෙයුම් කේන්ද්‍රගත වූ බවයි.

මෙම මිසයිලයට ක්ෂණික ප්‍රතික්‍රියා මතුපිට ගුවන් මිසයිලය අවි පද්ධතියේ ඇති සුවිශේෂත්වය නම් ලුහුබැඳීමේ හැකියාව සහ කෙටි නැවැත්වීමකදී වෙඩි තැබීමේ හැකියාව සමඟ ගමන් කළ හැකි වීමයි. මීට පෙර සිදුකරන ලද සංචලතා අත්හදා බැලීම් වලදී එය ඔප්පු වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දිගු දුර මධ්‍යම උන්නතාංශය, කෙටි දුර, ඉහළ උන්නතාංශය ඇතුළු විවිධ අවස්ථා යටතේ ආයුධ පද්ධතිවල හැකියාව තක්සේරු කිරීම සඳහා විවිධ ආකාරයේ තර්ජන අනුකරණය කරමින් අධිවේගී ගුවන් ඉලක්කවලට එරෙහිව පියාසැරි පරීක්ෂණ හය සිදු කරන ලද බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

පූර්ණ ස්වයංක්‍රීය විධාන සහ පාලන පද්ධතිය, දේශීය ගුවන්විදුලි සංඛ්‍යාත සීකර් සහිත මිසයිලය, ජංගම දියත් කිරීම, නිරීක්ෂණ සහ බහු ක්‍රියාකාරී රේඩාර් ඇතුළු දේශීයව සංවර්ධනය කරන ලද සියලුම උප පද්ධති වලින් සමන්විත යෙදවුම් පරිසරයක් තුළ මෙම පරීක්ෂණ සිදු කරන ලදී.

ටෙලිමෙට්‍රි, රේඩාර් සහ ඉලෙක්ට්‍රෝ ඔප්ටිකල් ට්‍රැකින් සිස්ටම් වැනි උපකරණ ගණනාවක් මගින් ග්‍රහණය කරගත් දත්ත මගින් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ පරීක්ෂණ පරාසය තුලදී තහවුරු කර ඇත.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම පයාසරි අවස්ථාවට සහභාගී විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, විසින් සාර්ථක ගුවන් ගමන් අත්හදා බැලීම් පිළිබඳව ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයට සහ ඉන්දීය හමුදාවට ප්‍රශංසා කළේය. ක්ෂණික ප්‍රතික්‍රියා මතුපිට ගුවන් මිසයිලය අවි පද්ධතිය සන්නද්ධ හමුදාවන් සඳහා විශිෂ්ට නිමැවුමක් වනු ඇති බවට සීං විශ්වාසය පළ කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්